විශේෂාංග


Share now!

අද වන විට ලෝකයේ රටවල් ගණනාවක් විසින් වර්තමානයේ පවතින ආහාර අර්බුදය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කිරීමට කටයුතු කරමින් සිටී. එලෙසම කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළවල ඇති සියලු සෘණාත්මක ප්‍රවණතා, ආහාර ලබා ගැනීමේ ප්‍රවේශය සම්බන්ධයෙන් වන බිඳ වැටුණු අපේක්ෂාවන් සහ ගොවීන්හට සිදුවන විශාල පාඩු සඳහා අපේ රට වගකිව යුත්තන් බවට පත් කිරීමට උත්සාහ කරන බව පෙනී යයි. ඇතැමුන් මෙම අර්බුදයට හේතුව රුසියාව “යුක්රේනය තුල කළ මැදිහත්වීම්” බවට චිත්‍රණය කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, පවතින යථාර්ථය ඊට සපුරා පටහැනි වන අතර , මෙම වත්මන් ලෝක අර්බුදයේ මූලයන් සහ එහි නියමුවන් පිළිබඳව විස්තීරණ සහ වෛෂයික විශ්ලේෂණයෙන් එය මනාව විදහා දැක්විය හැකිය. හැඟීම්බරවීම් සහ දේශපාලන අගතීන් වලින් තොරව ඒවා නිවැරදිව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් වඩාත්ම හානියට පත් ක්ෂේත්‍ර අතර කෘෂිකාර්මික නිෂ්පාදනය ප්‍රමුඛ වේ. ප්‍රධාන කරුණ නම් ගෝලීය කෘෂිකාර්මික වෙලඳපොල තුල පැන නැගුණු ගැටලු බහුවිධ සම්භවයන් ඇති අතර දිගුකාලීන ආර්ථික අස්ථාවරභාවය තුළ එම ගැටලු ගැඹුරට මුල් බැස ඇති බව පැහැදිලි වේ. එම සම්භවයන් කොවිඩ්-19 වසංගතය සහ ඒ ආශ්‍රිත කැළඹීම් ඇතුළු සාධක ගණනාවක් සමඟ ගැටගැසී පවතී.

ලෝක ආහාර වෙළෙඳපොළේ වත්මන් ගැටලු සහගත තත්වය මේ වසරේ මාස දෙකක් තුල පැන නැගුනු හේතු මත ඇතිවූ ප්‍රතිඵලයක් නොව, අවම වශයෙන් පසුගිය වසර දෙකක් තුල ඇතිවූ ස්ථාවර ප්‍රවණතාවයකි. 2020 වසරේ මැද භාගයේ සිට ආහාර මිල ඉහළ යාමට පටන් ගත් අතර එම මිල ගණන් 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේදී මෙතෙක් ලෝක ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයට ළඟා විය. මෙය පශ්චාත් කොවිඩ් කාල සීමාව තුළ භාණ්ඩ ප්‍රවාහනයේ සිදුවූ ගාස්තු ඉහළ යාමද ඇතුළුව ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම , අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන සේවාවල මිල ඉහළ යාම වැනි හේතු නිසා වෙළෙඳපොළ ඇති වූ සැබෑ කම්පනයකි.

ලෝකයේ කොටස් හුවමාරු වෙළෙඳපොලවල දත්ත වලට අනුව තහවුරු වන්නේ ආහාර වෙළඳපොලේ වත්මන් තත්ත්වය මේ වසරේ මාස දෙකක කාලයක ප්‍රතිඵලයක් නොව, අවම වශයෙන් පසුගිය වසර දෙකක් තුල සිදු වූ ස්ථාවර ප්‍රවණතාවයක් බවයි. 2021 වසරේ තිරිඟු මිලෙහි වාර්ෂික වර්ධන වේගය 25% කි. 2022 වසරේ පෙබරවාරි වන විට, එම මිල ගණන් 2017-2021 කාල පරාසය තුල තිබූ සාමාන්‍ය මිල ගණන් වලට වඩා 31%-62% කින් වැඩී වී ඇති බව වාර්තා තහවුරු කරයි. 2020-2021 කාල පරාසය සඳහා බඩ ​​ඉරිඟු සඳහා පිරිවැය 162% කින්ද රැප්සීඩ් (ආහාරයට ගන්නා තෙල් ලබා ගැනීම සඳහා යොදා ගන්නා ශාඛයක්) සඳහා එම අගය 175% කින්ද වැඩි විය. 2020 දී සහ 2021 දී ලෝක ආහාර වැඩසටහන (World Food Program) නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ ලෝකය කොරෝනා වෛරස් වසංගතයෙන් ගැලවීමට පොර බදන විට, “දරුණු ව්‍යයසනයකට” තුඩු දිය හැකි “කුසගින්න වසංගතයක අද්දරටම” පැමිණ ඇති බවයි. එපමණක් නොව 2021 වර්ෂයේදී උපරිම බලශක්ති මිල ගණන්ද වාර්තා විය.

(2022 මාර්තු 31 වන විට, ආහාර මිල ගණන් පහත පරිදි විය: තිරිඟු මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 375 , බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 295 , බාර්ලි මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 422 සහ රැප්සීඩ් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 1027 .)

ලෝක කෘෂිකාර්මික වෙළඳපොළ තුළ මෑත වසරවල පැණ නැගුණු අර්බුදකාරී සංසිද්ධි මෙන්ම පළමු කොටම සාර්ව ආර්ථික (මූල්‍ය හා වෙළඳාම ඇතුළුව), බලශක්ති (දේශගුණය ඇතුළුව) සහ සංවර්ධිත රටවල ආහාර ප්‍රතිපත්ති මත හිඳිමින් කළ වැරදි ගණනය කිරීම් සහ පද්ධතිමය වැරදිද මේ සඳහා දායකත්වය සැපයුවේය. කොවිඩ් වසංගතය, සැපයුම් සහ බෙදාහැරීමේ දාමයන් බිඳවැටීම මෙන්ම භාණ්ඩ ප්‍රවාහන හා රක්‍ෂණ ගාස්තු ඉහළ යාම ද මෙම ප්‍රවණතාවය තීව්‍ර කෙරුණි.

2020-2021 වසර වලදී සංවර්ධිත රටවල ආර්ථිකයට සපයන මූල්‍ය ආධාර පරිමාව තියුනු ලෙස වැඩි වී ඇත (එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 5 ක්, යුරෝපා සංගමයේ ට්‍රිලියන 1 ක්, ජපානයේ ට්‍රිලියන 2 ක්). වර්ධනය වන අයවැය හිඟය, අතිශය මෘදු මූල්‍ය ප්‍රතිපත්තිය සමඟ සම්බන්ධ කර ඉල්ලුම වේගවත් කළ අතර එය උද්ධමනය (ආහාර මිල වැඩිවීම ඇතුළුව) ඉහළ යාමට හේතු විය. වර්ධනය වන ආරක්ෂණවාදය, වෙළඳ යුද්ධ, කෘෂිකාර්මික වෙලඳපොලවල් නියාමනය කිරීමේදී පැන නගින නොනවතින උග්‍ර ප්‍රතිවිරෝධතා, රජයේ සහයෝගය සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට සහනාධාර සැපයීමවැනි ගැටළු ඇතුළුව මෙම ප්‍රවණතාවය උග්‍ර විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ආහාර තොග පසුගිය වසර 5 ත් 10 ත් අතර කාලය සමඟ සැසඳීමෙදී අඩුම මට්ටමට පැමිණවීමට හේතුවී තිබේ.
බටහිර රටවල් ගනනාවක් “හරිත බලශක්ති” වෙත වේගවත්ව සංක්‍රමණය වීම, සම්ප්‍රදායික ඉන්ධන වලට හානියක් වන පරිදි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීම මත පමණක් රඳා පැවතීම, ඛනිජ තෙල් හා ගෑස් සැකසුම් සඳහා අඩු ආයෝජන කිරීම මෙන්ම න්‍යෂ්ටික බලශක්තිය අත්හැරීම ආදී කරුණු බලශක්ති මිල ඉහළ යාමට හේතු විය. විශේෂයෙන්, 2020-2022 වර්ෂ වලදී තෙල් මිල 22% ට වඩා ඉහළ ගියේය. ස්වභාවික ගෑස් මිල 2021 දී ඉහළ ගිය අතර එහි උච්චතම අවස්ථාවෙහි තුන් හතර ගුණයක වැඩිවීමක් සිදුවිය.(පෙබරවාරි අග වන විට ගෑස් ඝණ මීටර් 1,000 සඳහා ඩොලර් 1,000ක්වූ අතර ශීත සෘතුවේදී 2021-22 මිල ගණන් ඩොලර් 2,500 දක්වා වාර්තාගත ඉහළ අගයක් දක්වා ඉහළ ගියේය). එහි ප්‍රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් මාසයේදී පොහොර සඳහා පෙර නොවූ විරූ ලෙස මිල ඉහළ යාමක් සනිටුහන් විය. යූරියා සහ වෙඩි ලුණු වල මිල 3ත් 4ත් ගුණයකින්, අනෙකුත් පොහොර වර්ග සඳහා 2ත් 3ත් ගුණයකින් මිල ඉහළ ගියේය. ජාත්‍යන්තර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සීමා කිරීම්, භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවන ක්‍රමවේදයන් උල්ලංඝනය කිරීම් සහ කොවිඩ් මර්ධනයේදී ගනු ලැබූ පියවර හේතුවෙන් ඇති වූ අඩු භාණ්ඩ පිරිවැටුම හේතුකොටගෙන ප්‍රවාහන වියදම් විශාල ලෙස වර්ධනය විය. මෙම හේතුව නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු දෙගුණයකට ආසන්න ප්‍රමානයකින් ඉහළ ගියේය.
“කොරෝනා වසංගතය” පැවැති කාල පරිච්ඡේදය තුළ, බටහිර ආණ්ඩු දුර්ලභ භාණ්ඩ ප්‍රවාහයන් අත්හිටවූ අතර ඒ හේතුවෙන් ආහාර ආනයනය මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙමින් සිටි දුෂ්කර තත්වය නරක අතට හැරුණේය. ආහාර සැපයුම් අඩු මට්ටමක පැවතීම, අයහපත් කාලගුණික තත්ත්වයන් (විශේෂයෙන්, උතුරු ඇමරිකාවේ දිගු නියඟය) සහ කාර්මික අංශතුළ සාමාන්‍යයෙන් කෙරුණු අඩු ආයෝජන මගින් තත්වය වඩාත් නරක අතට හැරෙන්නට විය. ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාම මධ්‍යයේ ගොවීන් ලෝකය පුරාම වගා බිම් අඩු කරමින් සිටී.ඒ අනුව කෘෂිකාර්මික නිෂ්පාදන සැපයුම දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට ප්‍රමානවත් වන්නේ නැත.
රුසියාවට එරෙහි බටහිර ආර්ථික බලහත්කාරකම් ගෝලීය ආහාර වෙළඳපොලේ, බලශක්ති ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනටමත් පවතින සෘණාත්මක ප්‍රවණතා උග්‍ර කළේය. ආහාර බෙදා හැරීමේ කොන්ත්‍රාත්තු යටතේ මූල්‍ය හා ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දුන් කෘෂිකාර්මික සමාගම් ඇතුළු සියලුම ආර්ථික ක්‍රියාකරුවන්ට ගෙවීම් සීමා කිරීම නිසා සැපයුම් දුෂ්කරතා බලපෑවේය. වර්තමාන අවිනිශ්චිතතාවය අනුව කෘෂිකාර්මික ව්‍යාපාර පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට හේතුවක් තිබේදැයි ගොවීන් සැක කරමින් සිටී.

වියළි භාණ්ඩ ප්‍රවාහන නැව් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමේ තර්ජන සහ රුසියාව “ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සඳහා සමාජය (SWIFT)” වෙතින් ඉවත් කිරීම මගින් රුසියානු ආර්ථික ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ඇතිව සැපයුම් සහ මූල්‍ය දාමයන් කඩාකප්පල් කිරීමට දායක කෙරුණි. ප්‍රවාහන අංශයේ සීමා කිරීම් (රුසියානු නැව් වරායන්ට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළුව) ආහාර සැපයුම්වලට බාධා පමුණුවන අතර රුසියානු සහ බෙලෝරුසියානු පොහොර කෘෂිකාර්මික නිෂ්පාදකයින්ට සැපයීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් ආහාර බෝග නිෂ්පාදනයේ සැලකිය යුතු පහත වැටීමක අද්දරට පැමිණ සිටී.

රුසියානු සමූහාණ්ඩුව, ගෝලීය ආහාර වෙළඳපොලේ වගකිවයුතු සහභාගිවන්නෙකු ලෙස, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර, බලශක්තිය සහ අනෙකුත් වැදගත් නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳීම් යටතේ සිය වගකීම් අඛණ්ඩව ඉටු කිරීමට උත්සුක වෙමින් සිටී. ලෝකයේ ඇතිවිය හැකි ආහාර අර්බුදය පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින අතර ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැදපෙරදිග රාජ්‍යවල සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැදගත්කම පිළිබඳව අපි හොඳින් දනිමු. ආහාර බෙදාහැරීම් , ආහාර සුරක්ෂිතතාවයේ සාර්ථක ජයග්‍රහණයන් සහ ධරණීය සංවර්ධනයේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සඳහා ද සම්බන්ධ වීමටද අපේක්ෂාවෙන් සිටී.

කෘෂිකාර්මික හා අමුද්‍රව්‍ය අපනයනයට බලපාන රුසියානු සමූහාණ්ඩුවේ ඇතැම් සීමාකාරී ආර්ථික ක්‍රියාමාර්ග තාවකාලික වන අතර ඒවා සම්බාධක පීඩනයේ ප්‍රතිවිපාක අවම කිරීම සහ ජාතික ආර්ථිකයන් සහ ව්‍යාපාර බාහිර සීමාවන්ගේ කොන්දේසි වලට අනුවර්තනය කිරීම සඳහා පමණක් යොමු කෙරේ.

වත්මන් තත්ත්වය සියලු රටවල් ඔවුන්ගේ අත්‍යවශ්‍ය ජාතික අවශ්‍යතා පිළිබඳ කාචයෙන් බැලිය යුතුය. එබැවින් සියළුම පාර්ශවකරුවන්ට ඔවුන්ගේ ස්ථිර ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන් ඉවත් කිරීම මගින් ප්‍රවාහනයට සම්බන්ධ, සැපයුම් සහ මූල්‍ය අංශවල ආතතීන් සැලකිය යුතු ලෙස පහත හෙලීම, බාධාවකින් තොරව බෙදාහැරීම් සහතික කිරීම සහ ගෝලීය කෘෂිකාර්මික, බලශක්ති සහ මූල්‍ය වෙලඳපොලවල ස්ථාවරත්වය ආර්ථිකය ආපසු හැරවීම මගින් පිළිතුරු සෙවීමට හැකිය. ගෝලීය ප්‍රතිවිපාක සමඟ ගැටලු පිළිබඳ අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවනීය සහ නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය වේ. මෙය හදිසි ආකාරයකින් සිදු නොකළහොත්, එහි ප්‍රතිවිපාක සෑම කෙනෙකුටම ව්‍යසනකාරී විය හැකිය.

(ජූනි 11 වෙනිදා ෆයිනෑන්ෂියල් ටෛම්ස් පුවත් පතට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති තානාපති ගරු යුරි මැට්‍රෙරි මහතා විසින් ලියන ලද ලිපියෙහි සිංහල පරිවර්තනයයි.)