විශේෂාංග


Share now!

දුම්කොළ භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ පාරිසරික බපලෑම පිළිබද ජනතාව දැනුවත් කිරීමටත් එම අහිතකර බලපෑම්වලට රජයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑමක් ඇති කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්ෂිකව මැයි 31 වන දින ලෝක දුම්කොළ නිවාරණ දිනය සමරනු ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2022 ලෝක දුම්කොළ නිවාරණ දිනය“දුම්කොළ: අපගේ පරිසරයට තර්ජනයක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇත. දුම්කොළ වගාව, නිෂ්පාදනය, බෙදා හැරීම සහ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පාරිසරික බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම තේමාවේ අරමුණයි.

දුම්කොළ කර්මාන්තය සෑම අතකින්ම හානිකර වුවද, දුම්කොළ කර්මාන්තය පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්කොළ නිසා ලොව පුරා සෑම වසරකම මිලියන 8 ක් පමණ මිනිසුන් මිය යන අතර දිනකට ශ්‍රී ලංකකයන් 50කට ආසන්න ප්‍රමාණයක් ආකලයේ මරණයට පත්කරයි.

දුම්කොළ භාවිතය මාරාන්තික වන අතර රටක් තුළ සෞඛ්‍ය ගැටලු සඳහා විශාල වශයෙන් දායක වන අතර, දුම්කොළ වාතය, ජලය සහ භූමිය දූෂණයට ලක්කරමින් පරිසරයටද වැඩි හානියක් සිදු කරයි.

මෙගාටොන් 84ක කාබන්ඩයොක්සයිඩ් සමාන වාර්ෂික හරිතාගාර වායු දායකත්වයක් සහිතව, දුම්කොළ කර්මාන්තය දේශගුණික විපර්යාස සඳහා දායක වන අතර දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව අඩු කරයි, සම්පත් නාස්ති කිරීම සහ පරිසර පද්ධතිවලට හානි කරයි. 2020 වර්ෂයේදී දුම්වැටි මිලියන 2,300ක් භාවිතා කර ඇති අතර පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ දුම්වැටි මිලියන 35,000කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇත. මෙම සෑම සිගරට්ටුවකම ෆිල්ටරය පරිසරයට මුදා හැරීම නිසා පරිසරයට අතිදැවැක්ත හානියක් සිදු කර ඇත. සිගරට් ෆිල්ටරය, ආහාර දවටනවලට පසු ලෝකයේ දෙවන වැඩිම අපද්‍රව්‍යය පරිසරයට මුදාහරිමින් විෂ රසායනික ද්‍රව්‍ය කිහිපයක් සහ බැර ලෝහ සහ අවශේෂ පරිසරයට එකතු කරනු ලබයි. මේ හේතුවෙන් වාතය, ගොඩබිම සහ ජලය දූෂණය විමට බලපානු ලබයි.

දුම්කොළ වගාව දැඩි පාංශු ඛාදනය සහ ජල සම්පත් ක්ෂය වීම හේතුවෙන් වගාබිම්වල ඵලදායිතාවයේ අඩුවීමක් ඇති කරයි. අනෙකුත් භෝග හා සසඳන විට දුම්කොළවල පාංශු ඛාදනය ඉහළම අගයක් ගනී. දුම්කොළ වගාව සදහා අධික රසායනික යෙදීම නිසා පරිසර දූෂණයට ලක්වන අතර, දුම්කොළ මගින් පසේ ඇති පෝෂ්‍ය පදාර්ථ වේගයෙන් ලබා ගැනීම නිසා පාංශු පෝෂක ක්ෂය වේ. එබැවින්, දුම්කොළ වගාව පසෙහි සාරවත් බව අඩුවීමට සෘජුවම බලපාන අතර, අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර භෝග වගා කිරීමට ඇති භූමිය අඩුවේ.

ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වීම, විවිධ වෘත්තිකයන් සමාජ ක්‍රියා ක්‍රියාකාරීන් සහ නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම තුළින් අප රටේ සිගරට් භාවිතය අවම කිරිමේ වැඩ සටහන සාර්ථකත්වය නිසා දුම්වැටි භාවිතයේ අඩු වීමක් දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA), සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන එක්න සිදුකරනු ලැබූ Global Adult Tobacco Survey (GAT Survey) මගින් දුම්පානය 9.1% දක්වා අඩු වී ඇත. ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙ අවම වෙමින් යන ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත් වී ඇත.

සිගරට් භාවිතය අවම වෙමින් යන ප්‍රවණතාවයක පැවතියත් අප තවමත් දුම්වැටි සඳහා දිනකට රුපියල් මිලියන 40 ක් වැය වන අතර එය රටේ ආර්ථිකයට විශාල බරක් බවට පත්ව ඇත. අප රට තුළ දුම්වැටි අලෙවිය කරනු ලබන්නේ, ලාංකා දුම්වකාළ සමාගම (CTC) නමින් වපනීසිටින කොටස් අයිතියෙන් 84% බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) අයත් බහුජාතික සමාගමක් මගිනි. එනම් මෙම දිනපතා සිගරට් සදහා වියදම් කරන මිලියන 40ක මුදලේ ලාභයෙන් 84%ක් සතුවන්නේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමටය.

ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින්, රාජ්‍ය මූල්‍ය අංශයේ ගැටලු විසඳීම සඳහා රජයට තීරණාත්මක ප්‍රතිපත්තිමය විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

පසුගිය වසර 10 තුළ සිගරට් නිෂ්පාදනය 45% කින් අඩු වී ඇති නමුත් ලංකා දුම්කොළ සමාගම (CTC) උපයා ඇති ලාභය 121% කින් වැඩි වී ඇත. එය පහත වගුවෙන් මනාව විද්‍යමාන වේ.

නිෂ්පාදන මට්ටම අඩු වූ විට අනෙකුත් බොහෝ කර්මාන්ත අලාභයකට මුහුණ දෙන නමුත් දුම්කොළ සමාගමේ ලාභය දිනෙන් දින ඉතා වේගයෙන් ඉහළ යයි. දුම්වැටි සම්බන්ධයෙන් තවමත් අප විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් අනුගමන නොකරන බැවින් රජයට හිමිවිය යුතුව තිබූ විශාල බදු මුදල් ප්‍රමාණයක් දුම්කොළ සමාගමේ ලාභ බවට පත්වීම මෙම තත්තවයට හේතුවී ඇත.

එමෙන්ම අධික උද්ධමනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල විශාල ලෙස ඉතා ඉහළ ගොස් ඇති අවදීයක දුම්වැටි මිලෙහි පනතින ස්භාවය පුදුම සහගතය.2021, 2022 වසරවල් සංසන්දනය කිරිමේදී සහල් මිල 109%කින්, තිරිගු පිටි 204%, පරිප්පු 201%, ඩීසල් 230% සහ පෙට්‍රල් 250% වැඩි වී ඇති නමුත් සිගරට් මිල වැඩි වී ඇත්තේ 8% කින් පමණි. මද්‍යසාර මිල වැඩි වී ඇත්තේ 23%කිනි.

දුම්කොළ සහ මද්‍යසාර බදු ඉහළ දමා එමගින් ලබා ගන්නා ආර්ථික වාසිය අතවශ්‍ය භාණ්ඩවලට සහනාධාරයක් ලබා දීමට රජයට හැකියාවක් පවතින නමුත් තවමත් ඒ් සදහා ක ක්‍රියාත්මක වීමක් මුදල් අමාත්‍යංහය හො මුදල් ඇමතිතුමා කටයුතු නොකිරීම පුදම සහගත කණගාටු දායක තත්වයකි.

2021 සැප්තැම්බර් මාසයේදී මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් කරන ලද සමීක්ෂණයක දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 89.3% ක් රජයේ ආදායම වැඩිදියුණු කිරීම සඳහා දුම්කොළ බදු වැඩි කිරීමේ පියවරකට සහාය දෙන බව සඳහන් කර ඇත.

ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ (IPS) අධ්‍යනයකට අනුව රුපියල් විස්සකින් සිගරැට් මිල වැඩි කිරීම තුළින් රජයට රුපියල් බිලියන 5 ක අමතර බදු ආදායමක් උපයා ගත හැක. රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය ආයතනය වන මුදල් අමාත්‍යාංශය නිසි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් රජයට ලැබෙන ආදායම ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. අවාසනාවකට මෙන්, පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ උපාය මාර්ග දුම්කොළ සමාගමට වාසිදායක වන අතර එමඟින් රටට විශාල බදු ආදායමක් අහිමි වූ අතර දුම්කොළ සමාගම මෙම මුදල ලාභයක් ලෙස රැස් කර ගත් බව නිරීක්ෂණය විය.

දුම්වැටිවල බදු වැඩිවීම නිසා දුම්වැටිවල මිල වැඩි වන අතර එමඟින් පාරිභෝගිකයින්ට එය ලබා ගැනීමේ පහසුව අඩු වී භාවිතයද අවම කර ගත හැක. මෙමගින් දුම්පානය සහ එහි අහිතකර සෞඛ්ය ප්‍රතිවිපාක අඩු කිරීම සඳහා බෙහෙවින් ඵලදායී වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි ලෙස බර පටවා ඇති අවස්ථාවක, දුම්වැටි බදු වැඩිකිරීම හරහා මිල වැඩි කිරීම මගින් දුම්කොළ පරිභෝජනය අඩු කිරීම, දුම්කොළ නිසා ඇතිවන රෝග අවම කිරීම සහ සෞඛ්‍ය පද්ධතියට එල්ල වන පීඩනය ලිහිල් කරනු ඇත. එබැවින් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ක්‍රියාත්මක කළ යුතු හොඳම උපාය මාර්ගය වන්නේ දුම්වැටි සඳහා බදු වැඩි කර රජයට උපරිම ආදායමක් ලබා ගැනීමයි.

අභිනව අග්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු පුද්ගලයන් රජයට ආදායමක් ගෙන ඒම සඳහා විකල්ප ක්‍රියාමාර්ග සකස් කිරීමට උත්සාහ දරමින් සිටින අතරම, රටට සැලකිය ආදායමක් ගෙන දෙන දුම්කොළ නිෂ්පාදන සඳහා විධිමත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරන්නෙමු.

පසුගිය වසරවල්වල මෙම තත්වය නිවැරදි කිරීමට ගත්තා වු විවිධ ධනාත්මක උත්සාහයන් මුදල් අමාත්‍යංශය හරහා ක්‍රියාත්මකවූ විවිධ බලවේග නිසා ක්‍රියාත්මක නොවනු තත්වයක් දැකගත හැකිවිය. මෙම මාෆියාව පරාජය කරමින්,

අභිනව අග්‍රාමාත්‍ය සහ මුදල් අමත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාත් මුදල් අමාත්‍යශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහාතා සහ මහබැංකු අදිපති නන්දලාල් වීරසිංහ මහතාගේ මැදිහත්වීම තුලීන් මේ රටට අවාසි දුම්කොළ බදු ප්‍රතිපත්තිය වහාම නිවරදී කිරීමට කයයුතු කරනු ඇතැයි අප බලාපෙරොත්තු වෙමු. එමගින් පවතින ආර්ථික අර්බුදයට සතුටුදායක විසඳුමක් ලබා දීමට හැකි වෙතයි අප විශ්වාස කරන්නෙමු.

පුබුදු සුමනසේකර,

විධායක අධ්‍යක්ෂ

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)