නවතම පුවත්

මහ සෑයේ චූඩා මාණික්‍යය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුවන් වින්ඩ්සර්

මේ දිනවල අනුරාධපුර රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සමඟ නැවතත් සංවාදයක් ඇති වී තිබෙන මාතෘකාවක් ලෙස රුවන්වැලිසෑයේ චූඩාමාණික්‍ය හඳුන්වා දිය හැකිය. මේ වන තෙක් අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ, රුවන්වැලිසෑ චෛත්‍යරාමාධිකාරී නාහිමියන් වහන්සේ,අටමස්ථාන කමිටුව හෝ රජයේ පාර්ශවයේ වෙනත් වගකිවයුතු නිලධාරියකු මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා නොමැත. නිලනොලත් ආරංචී මාර්ග වලට අනුව විශ්ව පාරමී හා ධර්ම පාරමී යන බෞද්ධ සමිති සමාගම් වල පූර්ණ ධන පරිත්‍යාගයෙන් කොතෙහි රන් ආලේප කිරීමේ කටයුතු සිදු කෙරෙන බව අපට දැනගන්නට ලැබී තිබේ. ඒ සදහා කිලෝ කිහිපයක රත්‍රන් ප්‍රමාණ අවශ්‍ය වන බවට තව දුරටත් අපට දැන ගැනීමට ලැබුනි.

ශ්‍රී ලංකාවේ නිර්මිත මුල් කාලීන දාගැබ් වල කොත් කැරැල්ලක් හෝ චූඩාමාණික්‍ය නොවූ අතර ඒ වෙනුවට ස්ථාපිත කර තිබුනේ ඡත්‍රයක් සහිත යූපයකි. පසු කාලීනව විවිධ රජවරුන් විසින් අකුණු වලින් දාගැබ් ආරක්ෂා වීම උදෙසා වජ්‍ර චුම්බටක තනවා පූජා කළ බව වංසකතාගත මුලාශ්‍රයන්හි සඳහන් වේ. එසේ සදහන් වන වජ්‍ර චුම්බටක යන්න චූඩාමාණික්‍ය ලෙස හදුනා ගත හැකිය. පළමුවන සංඝතිස්ස රජු ප්‍රථමයෙන් ම රුවන්වැලි සෑයට වජ්‍ර චුම්බටක පූජා කරන ලද අතර ඉන් අනතුරුව ධාතුසේන , මහානාග යන රජවරු ද වජ්‍ර චුම්බටක පූජා කරන ලදී.

සතුරු ආක්‍රමණ නිසා රජරට රාජධානිය බිද වැටීමත් සමඟ රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අඩාල විය. මෙසේ වල් බිහි වී තිබූ චෛත්‍යය 1884 දී නාරන්විට සුමනසාර නාහිමියන්ගේ මැදිහත් වීමෙන් රුවන්වැලිසෑ චෛත්‍ය වර්ධන සමිතිය ද ඇති කොට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.

මෙසේ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන අතර කොත් පැලදීම සදහා අවශ්‍ය චූඩාමාණික්‍යක් සෙවූ නමුත් අවශ්‍ය ප්‍රමාණයේ චූඩාමාණික්‍යයක් සොයා ගත නොහැකි වූ තැන චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීහු දෙමටගොඩ මහා මකුටාරාමාධිපති යූ.විනයාලංකාර බුරුම නාහිමියන් හමු වී උපකාර පැතූහ. උන්වහන්සේ ඒ කර්තව්‍ය ඉටු කර දීමට පොරොන්දු වී චූඩාමාණික්‍යයක් සෙවීම පිණිස 1933 මැයි 17 වැනිදා කොළඹ වරායෙන් නැව් නැග බුරුමයට වැඩම කොට තිබේ. ප්‍රථමයෙන් ම රැන්ගූන් නුවරට වැඩම කොට මේ සදහා සුදුසු පලිගුවක් සෙවූ නමුත් උන්වහන්සේට එය හමු නොවූ නිසා අමරපුරය නම් ඉහළ බුරුමයේ මැණික් වලට ප්‍රසිද්ධ මෝගොක් නම් නගරයට වැඩම කොට තිබේ.
එහිදී මැණික් වෙළෙන්දන්ට තමන් වහන්සේ වැඩම කළ කාරණය පැහැදිලි කළ පසු යූ. ටෝ , දෝනන්ටේ , ෂන්ඨිදස්, යූ.මට් යන ව්‍යාපාරිකයන් සිව් දෙනා සතුව පැවති පලිගුවක් ඒ සඳහා සුදුසු බව තීරණය කෙරුනි. ලංකාවේ පලිගුවලට වඩා එම පලිගුව දීප්තියෙන් අධික වූ අතර එම නිසාම එහි වටිනාකම අධික විය.එකල එම පලිගුව රුපියල් හයදහසක වටානාකමින් යුතු විය. 1938 අගොස්තුවේදී එය ලංකාවට ගෙනවිත් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන්ට පෙන්වූ පසු ඔවුන් මහත් සේ සතුටට පත් වූ බව කියැවේ.
එහෙත් පලිගුව සුදුසු පරිදි කැපීමට තාක්ෂණය මෙරට නොවූ නිසා එම නිලධාරීන් පලිගුව කැපීම වගකීමද නැවත නාහිමියන්ට පවරන ලදී.
පලිගුව බුරුමයට ගෙනගොස් කැපීමේදී නොසිතු ලෙස එක් දිශාවක ආනතයක් පිහිටි නිසා එම පලිගුව අත්හැර දැමීමට සිදු විය.එහිදී තවත් ධෛර්යට පත් වූ බුරුම නාහිමියන් තවත් පලිගු සොයන්නට විය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසාම පෙර පලිගුවටත් වඩා අති විශාල පලිගුවක් හමු වූ අතර එය එකළ මුදලින් රුපියල් අටදහසක වටිනාකමකින් යුතුවිය. මෝගොක් නගරයෙහි පලිගු පතල් වලින් එවැනි පලිගුවක් මින් පෙර කිසි කළෙක ලැබී නොතිබුනු අතර එහි බර රාත්තල් 66 කි. උස අඟල් 18 ද වට ප්‍රමාණය අඟල් 26 ක් ද විය.
චූඩාමාණික්‍ය කැපීමෙන් පසුව එය රන් හා රිදී වලින් බැඳ මැණික් ගල් අල්වා විචිත්‍ර කළ අතර එහි මුදුනෙහි ධාතු මඤ්ජුසාවක් තනවන ලදී. මේ කටයුත්ත සඳහා ගත් අවම මිල සහිත මැණික් පවා රුපියල් 25 වටිනාකමකින් යුතු වූ අතර රත්‍රන් රාත්තල් 12 රිදී රාත්තල් 144 මේ සදහා භාවිත විය. මිල වැඩිම මාණික්‍ය රුපියල් පහලොස් දහසක වටිනාමකින් යුතු වූ අතර චුඩාමාණික්‍යයේ මුදනෙහි තැන්පත් කිරීම සදහා ධාතුන් වහන්සේලා නමනමක් බුරුම නාහිමි විසින් සූදානම් කොට ගෙන තිබුනි.
චූඩාමාණික්‍යයේ ධාතු මඤ්ජුසාව තැම්පත් කිරීමට අදහස් කළ දවසෙහි කටයුතු අධික වූ නිසා එය තැන්පත් කිරීමට නොහැකි වූ හිමියන් එය සුදුසු ස්ථානයක තැම්පත් කොට තබා පසු දා පැමිණ බැලීමේදී එම මඤ්ජුසාව තුළ ධාතුන් වහන්සේලා අනූ අට නමක් වැඩ හිදිනු දැක උන්වහන්සේ මහත් සේ සතුටට පත් ව පූජා පවත්වා ඇත.
මෙසේ නිම කෙරුණු චූඩාමාණික්‍ය මෝගොක් නුවර සිට රැන්ගූන් වෙත විශේෂ දුම්රියකින් වැඩම කළ අතර එහිදී බුරම බෞද්ධයන් මහත් පුද පූජාවන් පවත්වා ඇත. ඉන් පසු ස්වල්ප කාළයක් ස්වේදගෝන් චෛත්‍ය අසල තැම්පත් කොට තබා 1940 මාර්තු 04 වැනිදා චූඩාමාණික්‍ය ලංකාවට වැඩම කරවන ලදී.
ඉන් අනතුරුව චෛත්‍යට පැලදවූ චූඩාමාණික්‍ය ඉන් බොහෝ කල් ගත වීමෙන් පසු පිපිරීමට ලක් වී තිබෙන බව විවිධ පාර්ශව විසින් හෙළි කිරීමෙන් අනතුරුව ඒ සඳහා නව චූඩාමාණික්‍යයක් සෙවීමේ කර්තව්‍ය ආරම්භ විය. මේ සඳහා කොළඹ ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඤානිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේ මෙරට ප්‍රධානපෙලේ ව්‍යාපාරිකයකු වූ ආතර් සේනානායක මහතා ද සම්බන්ධ කොට ගෙන සහසම්බන්ධ විය. එහි ප්‍රතිපලයක් ලෙස රුපියල් කෝටි දහයකට වඩා වැඩි වටිනාකමකින් යුතු චූඩාමාණික්‍යයක් හමූ වූ අතර එහි බරපැන ආතර් සේනානායක මහතා සම්පූර්ණයෙන් දරණ ලදී. එය ලංකාවට වැඩම කොට ගංගාරාමයෙහි මද කළක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව රුවන්වැලිසෑ විහාර මන්දිරයෙහි තැන්පත් කෙරුණු නමුත් චෛත්‍යයට පැලදවීමක් සිදු නොවීය.

මෙවර රන් ආලේප කිරීමේ ප්‍රතිසංස්කරණය සමඟ එම චූඩාමාණික්‍ය මහාසෑයට පැලදවීමට හැකි වේද ? එතෙක් අපි බලා සිටිමු.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?