නවතම පුවත්

මාලිංග සමුගත් දිනයේ මෛත්‍රිට වු අකරතැබ්බය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් තරගය දේශපාලනික කතාබහක පෙරළුනේ පසුගිය සිකුරාදා රාත්‍රියේය. මාලිංගගේ අවසන් තරගය නැරඹීමට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එදින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රැසක් එක්ව සිටියහ.
මෙම තරගයේ ප්‍රභූ ආරාධිතයන්ට අසුන් වෙන්වී තිබුණේ President Box හිය. ඇත්තටම ජනාධිපතිවරයාගේ නැරඹුම් මණ්ඩපය වැනි හැගීමක් ඇතිවුවද එහි නියම අර්ථය වුයේ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ ක්‍රීඩා මණ්ඩපය හා ඔහුගේ ආරාධිතයන් යන්නයි.
හිටපු ක්‍රිකට් සභාපතිවරුන්, වර්තමාන නිලධාරින්, පමණක් නොව ජනාධිපති, අගමැති හෝ විපක්ෂ නායක මේ කවුරුන්වුවද මාලිංගගේ අවසන් තරගය නැරඹීමට ආරාධනා ලැබුවේ නම් ඒ මේ මණ්ඩපයටය.
එජනිස මන්ත්‍රි තිලංග සුමතිපාල කල් තබාම මෙම තරගය බැලීමට පැමිණ සිටියේය. ක්‍රිඩා ඇමැති හරින් ප්‍රනාන්දු සහ හරින්ගේ නියෝජ්‍ය ඇමැතිවරයා මෙන් පෙනෙන මන්ත්‍රි මනුෂ නානායක්කාරද මාලිංගට අවසන් ගෞරව දැක්වීම සදහා මෙම මණ්ඩපයට පැමිණ සිටියහ. හරින් සහ මනුෂ සිටියේ එකටමය. එජාප මන්ත්‍රි හර්ෂණ රාජකරුණාද හරින් සමග එක්ව බොහෝ වේලා තරගය නැරඹුවේය. තිලංගගේ මිතුරකු වන උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකායකද ඒ අතර සිටියේය.
ඇත්තටම මීට යාබද නැරඹුම් මණ්ඩපය Ministers box ය. නමුත් President Box තරම් එහි සැප පහසුකම් නොවීය. මධුර හමුවීම් අඩුය. රජ බොජුන්ද සීමිතය.
බොහෝවේලා President Box හි සිට තරගය නැරඹූ හරින් විටින් විට Ministers box වෙත ගියේය. එහි ඇත්තේ අඩු සැලකිල්ලක් බව දුටු හරින්ට යක්ෂාරූඩ විය. හරින්ගේ ප්‍රතිවිරෝධය එකහෙලා එල්ල වුයේ තිංලගටය. හරින් පළමුව ශ්‍රි ලංකා ක්‍රිකට් නිලධාරින්‌ ගෙන්වමින් තරගය අතරවාරයේම ඇතැම් ප්‍රශ්න තෝරාබේරා ගැනීමට උත්සාහ කළේය.
නරඹන්නන් සමග තරගය නරඹමින් සිටි රෝහිත ටට්යානා යුවල මෙම මණ්ඩපයට පැමිණියේ කිසිවකුත් අපේක්ෂාවෙන් නොසිටි මෙහොතකය. ඔවුන් මාලිංගට උපහාර දැක්වීකමක් ලෙස තරගය නැරඹීමට පැමිණ තිබුණේ ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනයවන පරිදි එම ටී-ෂර්ට හැදගෙනය. රෝහිත කොට කලිසමක් හැද සිටියේය. ටට්යානා එතැන සිටි පිරිස සමග කතා කළාය. ඔවුහු නැවත හැරී නරඹන්නන්ගේ මණ්ඩපයකට ගියේ සුළු මොහොතක් එතැන රැදී සිටීමෙන් අනතුරුවය.
තරගයේ දෙවැනි භාගය වනවිට මේ උණුසුම වැඩිවුයේ President Box වෙත පැමිණි විශේ ආරාධිත අමුත්තන් ගොන්නේ සිටි මන්‍ත්‍රිවරුන් නිසාය. ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, නිරෝෂන් ප්‍රේමතිලක, පද්ම උදයශාන්ත, ඇතුළු මන්‍ත්‍රිවරුන් රැසක් ඒ අතර වුහ. වරක් Ministers box සිට President Box දක්වා පැමිණි හරින් මේ පිරිස දැක හැරී නැවත Ministers box වෙත ගියේය.
බංගලදේශපිල පන්දුවට පහර දෙමින් ඉදිරියට පැමිණියද ඔවුන්ගේ කඩුලු එක පිට එක වැටෙන්නට වුයේය. තිංලංගගේ ජංගම දුරකථනය බොහෝ වෙලාවට නාද වන්නට වුයේ ප්‍රභූ පිළිගැනීම් සදහාය. තරගයේ උණුසුම වැඩිවන්නට වැඩිවන්නට President Box උණුසුම වැඩිවුයේ එතැනට පැමිණි හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිසාය.
මහින්දට ඉදිරියෙන්ම වු අසුනක් වෙන් කළ තිලංග ඔහු සමග හිදගෙන කතා කරන්නට වුයේය. මේ අතරවාරයේ අගමැති රනිල් වික්‍රමසිංහද පැමිණියේනම් හොදයැයි ඇතැමෙක් හරින්ට යෝජනා කළහ. නමුත් රනිල් ඒ වනවිට සිටියේ තිරුපති පුද පුජාවකට ඉන්දියාව බලා ගොස්ය.
අගමැතිතුමා ලංකාවේ නැහැ යැයි හරින්ගෙන් අගමැතිවරයා කොහිදැයි ඇසුවෙකුට හරින් පිළිතුරු දුන්නේය. මද වේලාවක් ගිය පසු හරින් මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණියේය. නමුත් තිලංග මහින්ද අසල අසුන ක්‍රිඩා ඇමැති හරින්ට දීමට නැගී සිටියේ නැත. මේ නිසා සිදුවුයේ හරින්ට තිලංග අසල හිද ගැනීමට සිදුවීමය. හරින් තිලංගට එහා අසුනේ සිටි මහින්දට සුහදව කතා කළේය.
හරින් නැගිට ගිය පසු ඒ අසන ඇතුළු අසුන් පෙළම පිරීගියේ ඩලස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙනි. ඒ පැත්තේ ඉඩ මදි නිසා නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් අනිත් පැත්තේ වාඩි වුහ. ඒ අතර මහින්දට වම් පැත්තෙන් වු කුඩා මේසය පන්නා ප්‍රධාන අසුනක් ඉතිරිවී තිබිණි.
ඒ දැන් නැතිවට දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහි පැමිණෙනු ඇතැයි පැතිර ගිය ආරංචිය නිසාය. මේ අතර යුවලක් පැමිණ මහින්ද රාජපක්ෂ හමුවී ඔවුන්ගේ කුඩා දරුවා මහින්ද අත තබා ඡයාරූප ගත්තේය. මහින්ද ඒ අත දරුවා දෑතින්ගෙන දකුණ අතට වන්නට තබාගෙන ඡායාරූපවලට පෙනී සිටියේය.
මෛත්‍රි පැමිණෙන නිසා මහා ආරක්ෂක බලඇණියක් එහි පැමිණෙනු ඇතැයි උපකල්පනය වුවද එවැන්නක් සිදුවුයේ නැත. ඒ වනවිටත් මහින්ද සමග පැමිණි ආරක්ෂකයෝ එහි ආරක්ෂක මායිම දමාගෙන සිටියහ. හරින් එකවරම නැගිට නැරඹුම් මණ්ඩපයෙන් ඉවතට යන්නට වුයේය. ඒ මනුෂටද පැමිණෙන්නැයි කියමිනි. හරින් මනුෂ ගොස් තිබුණේ ජනාධිපතිවරයා පිළිගෙන President Box වෙත කැදවාගෙන ඒමටය. හරින් ඒ වැඩය කළේ ක්‍රිඩා ඇමැතිවරයා ලෙසය.
මෛත්‍රි පැමිණ වාඩිවන්නට වුයේ මහින්දටද සිනහවක් පළකරමිනි. මෛත්‍රිගේ යාබද අසුනේ වාඩිවුයේ හරින්ය. වාඩිවනවාත් සමගම බංගලදේශයේ නව වැනි කඩුල්ල ලෙස ශපිවුල් ඉස්ලාම් දැවී ගියේය. මෛත්‍රි ශපිවුල්ලා දැවී යනවා නොදුටු අතර ඔවු වාඩිවනවිට ක්‍රිඩා ලෝලීන් නැගිට උද්යෝගයෙන් කෑ ගසනවා දුටුවේය.
මෛත්‍රි සිතුවේ ඔහුට ආචාර කරනවා යැයි කියාය. මෛත්‍රිත් අත ඔසවාගෙන දේශපාලන වේදිකාවක මෙන් අත වනන්නට වුයේය. තිලංග මහින්දට එහා අසුනේ සිට මෙය බලා සිටියේය. මෛත්‍රි මද වේලාවක් යත්ම අත පහතට ගත්තේය. ඉන් පන්දු කිහිපයකට පසු මෛත්‍රි ක්‍රීඩාංගණයට පැමිණ සිටින බවට සජීවී විකාශයේ පෙන්වන්නට වුයේය. ඒ සමග ඇතැම් ක්‍රිඩා ලෝලීන්ගෙන් ඊට ප්‍රතිචාර ලෙස ලැබුණේ හු සංග්‍රහකි.
නමුත් President Box වෙත ඒ ගැන වැඩි අවධානයක් නොවීය. මේ අතරවාරයේ හරින් යා බද අසුනේ සිටි නිරෝෂන් සමග වැඩි වේලාවක් කතා කරමින් සිටියේ මෛත්‍රි සමග කතාව අඩුවෙන විධියටය. මෛත්‍රි-මහින්ද මේසයක පරතරයක සිටියද දෙදෙනා ඉතා සිහින්ව අදහස් හුවමාරු කර ගත්හ. තිලංග නැගිට හරින් අසලට පැමිණ යම් මතභේදයක පැටලුනේ මෙම අවස්ථාවේදීය. නිරෝෂන් මෙම ගැටුම නොදැක්කා මෙන් සිටියේය.
හරින් මද වේලාවකින් නැගිට ගිය අතර එතැනට නැවත පැමිණ වාඩිවුයේ තිලංගය. කලින් මහින්ද අසල සිටි තිලංග දැන් මෛත්‍රි ළග සිටිමින් ඔහු හා නිසොල්මනේ කතාබහක නිරතවුයේය.තරගය අවසන් වුයේ මේ අතරය. සියලුදෙනාම නැගිට ශ්‍රි ලංකා කණ්ඩායමට සුභ පැතූහ. අනෙක් අතට මාලිංගට සුබ පතන්නට වුයේය. මාලිංග ඈත සිට හස්ත සංඥාවෙන් වැඩියෙන්ම කතා කළේ නිරෝෂන් සමගය. නිරෝෂන් උඩ සිට අවසන් විකට්ටුව ගත් මාලිංගට කමොන් මාලි යැයි මහ හඩින් කෑ ගැසුවේ ජනාධිපතිවරයා ළග සිටින බවත් අමතකවය. තිලංග අතින් සන් කරමින් නිරෝෂන්ට ඒ බව ඒත්තු ගැන්නුවේය.

ක්‍රිඩාංගණයේ ක්‍රිඩා ලෝලීන්ට ආචර කරන ගමන් මාලිංග ඈත President Box සිටි මහින්ද දෙස බලමින් අත් දෙක එකතුකොට මාපට ඇගිලි දෙක ඔසවා ෆිට් එකක් දුන්නේය. මාලිංගට මහින්ද ප්‍රතිචාර දැක්වුයේ අත් දෙකම සවිමත් කරමින් ඉහළට ඔසවා හයිය පෙන්වමිනි.
අනතුරුව යෙදී තිබුණේ ත්‍යාග ප්‍රදානෝත්සවයයි. හරින් පැමිණ මෛත්‍රිට හා මහින්දට මාලිංගගේ ත්‍යාග ප්‍රදානොත්සවයට එන්නැයි ආරාධනා කළේය. මම නෙමෙයිනේ මේ ජනාධිපතිතුමා ඉන්නවනේ. යැයි කියමින් මහින්ද මෛත්‍රිට හරින්ගේ යෝජනාව ගැන දිරිමත් කළේය. මෛත්‍රිත් නෑ නෑ මට එන්න ඔන නෑ ඔයා යන්න යැයි කීවේය. හරින් ඊට අදිමදි කරද්දි මහින්ද හරින්ව අතින් තල්ලු කරමින් තදින් කීවේ පියෙක් පුතෙකුට අණ කරන්නාක් මෙනි.
හරින් ඒ අවසරයෙන් ක්‍රිඩාපිටියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීමට ගියේය. මනුෂත් සිටියේ ඔහු සමග ක්‍රීඩාංගණයේය. හරින් යනතුරු සිට තිංලග මෛත්‍රි ළගින් වාඩිවුයේය. තිලංග මෛත්‍රි රහසින් කතා කළේය.
මාලිංග සිය සමුගැනීමේ කතාවේදී සිය ජීවිත කඩඉම් ගැන මතක් කළේය. 2004 ජාතික කණ්ඩායමට එන්න මාව අදුනගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්ති ධර්මප්‍රිය සර්. හික්කඩුව තිරාණාගම විද්‍යාලය, ඊට පසුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළත්වුණා. එහිදී තමයි මම තරග කීපයක් ක්‍රීඩා කරන්න ක්‍රිකට්වලට අවතීර්ණ වුණේ. ඒ අවතීර්ණ වෙලා ඒ පාසලෙන් මහින්ද පාසලට යන්න අවස්ථාව ලබා දුන්නේ මානෙල් මිස්. ඒ ගිය ගමන තමයි මේ වගේ ලොකු ගමනක් යන්න උදව් වුණේ. කීර්ති සර් දැකපු දේ පසුව චම්පක රාමනායක සර් දැක්කා. ජාතික කණ්ඩායමට යන්න මග පෙන්වීම ලැබුණේ චම්පක සර්ගෙන්. මව මුලින්ම කණ්ඩායමට ගත්තෙ මාවන් අයියා. 2008දි මගේ පාදෙ ආබාධයක් ඇතිවුණා.කවුරුවත් මම ගැන බලන්නෙ නැති කාලෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ( ක්‍රිඩාංගණයම ඔල්වරසන් දෙයි) මට ඒ කකුලෙ ආබාධය හොද කරගන්න ඩොක්ට ඒලියන්ත වයිට් හදුන්වා දුන්නා.ඉතිං මම අදටත් හෙටටත් මින් ඉදිරියටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම පිං දෙනවා මමත් මගේ පවුලේ හැමෝමත් යැයි කීමාලිංග කීවේය.
දැන් අපි යමු යැයි මෛත්‍රි මහින්දට කීවේ මාලිංගගේ කතාවෙන් අනතුරුවය. ඔව් දැන් ගියා නම් හරි යැයි කී මහින්ද ද ඊට උනන්දු කළේය.මෛත්‍රි සමග මහින්ද එකවර පිටව යාමට මෙන් නැගිට්ටද මෛත්‍රි කඩාගෙන බිදගෙන යද්දි එකමග නොගිය මහින්ද මොහොතක් වාඩි වුයේය.
ඒ අවසරයෙන් මහින්ද නැවත නැගිට ගියේ කෙළින්ම ගියේ ක්‍රිඩාංගණයටයි. ඒ මාලිංගට ගෞරවය පුදකර පිටව යාමටය. නිරෝෂන්, තිලංග ඇතුළු කිහිප දෙනෙක්ම මහින්ද සමග සිටියහ. මාලිංග තමන්ගේ මව පියා බිරිද ඇතුළු පවුලේ සියලුදෙනා මහින්දට අදුන්වා දුන්නේය. තරගය නැරඹීමට පැමිණිම ගැන මහින්දට ස්තුති කළ මාලිංග මහින්දගේ කරට අත තබමින් සර්ව ඉදිරි දිනෙක හමුවීමට අවශ්‍ය බවද පැමිණෙන බවද කීවේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී