විශේෂාංග


Share now!

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව විදේශ සංචිත ශුන්‍ය මට්ටමට ළඟාවීමට ආසන්නය. එනම්, වියදම් කළ හැකි විදේශ සංචිත නොමැති තරම්ය. මේ තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ආනයන සඳහා වන ගෙවීම් සිදු කිරීම දුෂ්කර වී ඇත. අපනයන සහ විදේශ සංක්‍රාම හරහා ලැබෙන විදේශ විනිමය හැරුණුවිට ආනයනවලට අවැසි මුදල් සපයා ගන්නේ සංචිතවලිනි. එහෙත් තවදුරටත් ඒ වෙනුවෙන් නිදහස් කිරීමට තරම් ප්‍රමාණවත් සංචිත අප සතුව නොමැත.

ශ්‍රී ලංකාවේ දැන් තිබෙන ආර්ථික අර්බුදයේ නිමිත්ත ගෙවුම් ශේෂයේ පවත්නා හිඟයයි. එය මුදල් අර්බුදයක් වශයෙන් ද හැඳින්විය හැකිය. අයවැය හිඟය විශාල වශයෙන් වැඩි වී එය ගෙවුම් ශේෂ හිඟයකට පරිවර්තනය වී තිබේ. මෙවැනි අර්බුදවලට මැදිහත්වීම සඳහා ලෝකයේ තිබෙන ප්‍රධානම ආයතනය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි.

ශ්‍රී ලංකාව මේ වන විට එහි විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එසේම මේ වන විටත් ලබා ගත හැකි සියලුම මූලාශ්‍රවලින් ණය ගෙන ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 10 ක පමණ ණය ගෙන ඇත. 2016 වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය මුදල ඩොලර් බිලියන 1 ඉක්මවීය. ඊට අමතරව ලෝක බැංකුවෙන් සංවර්ධන ණය ගෙන තිබේ.

චීනය සහ ඉන්දියාව හැර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහතිකයක් නොමැතිව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කිසිදු රාජ්‍යයක් ඉදිරිපත් වන්නේ නැත. මෙවැනි ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණපාන රාජ්‍යයන්හි ආර්ථික පිළිබඳව යම් ආකාරයක සහතිකයක් ලබා දෙනු ලබන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසිනි.

ඉකුත්දා ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මගින් අවධාරණය කර තිබුණේ ද අප රටට තවදුරටත් මුල්‍යමය සහාය ලබාදීමට නම්, නිශ්චිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතුය යන්නය. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කරන තෙක් ලංකාව සඳහා මුල්‍ය සහයෝගය ලබා දීමට අපේක්ෂා නොකරන බවය.

ශ්‍රී ලංකාව නිශ්චිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළකට එකඟ වී ඇති බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැකිය යන සහතිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබිය යුතු බවත් මේ ලෝක බැංකු නිවේදනයෙහි හරයයි. එම සහතිකය ලබා දුන් පසු ලෝක බැංකුව වැනි ආයතන ණය ලබා දීමට ඉදිරිපත් වේ.

ලංකාවේ ආර්ථිකයේ බරපතළ සාර්ව ආර්ථික ප්‍රශ්නයක් තිබේ. එහි මූලය තිබෙන්නේ අයවැයෙහිය. 1970 ගණන්වල සිට මේ දක්වා සියයට 5කට වැඩි අයවැය හිඟයක් පවතියි. අයවැය හිඟය යන්නෙන් අදහස් කරන්නේ ආණ්ඩුවේ ආදායම ඉක්මවා වියදම් කිරීමෙන් ඇති වන පරතරයයි. එම හිඟ මුදල සොයා ගැනීමට සිදු වන්නේ ණයවලිනි. කෙසේවෙතත් ලංකාවට තවදුරටත් ණය ලබා ගත නොහැකිය.

වාර්තා වන තොරතුරුවලට අනුව, සාර්ව ආර්ථික වැඩපිළිවෙළට අදාළ තාක්ෂණික මට්ටමේ යෝජනාවලිය මේ වන විට සම්පූර්ණ කර අවසන්ය. නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවීම සඳහා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කුමක්ද යන්න එහි අන්තර්ගත විය යුතුය.

අයවැය හිඟය අඩු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්නත් පැහැදිලි කිරීම අවැසිය. වෙසෙසින්ම රාජ්‍ය අයභාරය වැඩි කර ගැනීම අරබයා ගන්නා ක්‍රියාමාර්ගත් (බදු ඇතුළත්ව) රාජ්‍ය වියදම් අඩු කිරීම පිණිස ගන්නා ක්‍රියාමාර්ගත් විස්තර කළ යුතුය. එහිදී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග එනම්, ඒවා පෞද්ගලීකරණය කරන්නේද නැතිනම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද යනාදියත් ප්‍රකාශිත විය යුතුය.

එසේම වසරක කාලයක් ඇතුළත හිඟයක් නැති තත්ත්වයට එනම්, මූලික ශේෂ තත්ත්වයක් ඇති කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම වැදගත්ය. අවම වශයෙන් වර්තන වියදවම්ලට සමාන වන රාජ්‍ය අයභාරයක් ඇති කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය. නැවත අයවැය හිඟයක් ඇති නොවන බවත් එබැවින් යළි ණය ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් අප ස්ථාවරව එම අරමුදල වෙත පැවසිය යුතුය.

තවද ස්ථාවර විනිමය අනුපාතිකය අනුව, විනිමය අනුපාතිකය ස්ථායීකරණය කළ නොහැකි හෙයින් ආනයන බාධක පැනවීමකින් තොරව ගෙවුම් ශේෂ හිඟය අඩු කරීමට පියවර ගත යුතුය. අයවැය හිඟය අවම කර ගැනීමෙන් ගෙවුම් ශේෂයේ හිඟය ද ඉබේම අඩු වනු ඇත. මුල්‍ය නීතිය මගින් මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුවට ස්වාධීන බලයක් හිමි වී තිබේ. එයින් අපේක්ෂා කරන්නේ උද්ධමනය පාලනය කිරීමය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, මේ වන විට උද්ධමනය සියයට 60 ඉක්මවා ඇත. එහෙත් යේල් විශ්වවිද්‍යාලය පවසන පරිදි, මෙරට උද්ධමන අගය සියයට 113 අබිබවයි. සංඛ්‍යාත්මක අගය කවරක් වුවත් නිල උද්ධමන අනුපාතිකය සියයට 20 ට අඩු අගයකට ගෙන ආ යුතුය. මේ අවස්ථාවේ එය කළ හැක්කේ භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුම පාලනය කිරීමෙන් පමණි. දිගුකාලීනව සැපයුම වැඩි කිරීම මගින් ඒ සඳහා කටයුතු කළ හැකිය.

මගේ අදහස අනුව ගෙවුණු මාස තුනක කාලයේදී මහ බැංකුව ඉතාම ඥානාන්විතව මුල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීය. දැඩි මුල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. මෙරට ඉතිහාසයේ ඉහළම පොලී අනුපාතිකය මේ වන විට මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ. එහි අර්ථය නම්, රට ඇතුළත සංසරණය වන මුදල් මගින් ඉල්ලුමට ඇති වන බලපෑම අඩු කිරීමය.

අප ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව පැවසීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා ණය හිමියන් එකඟකරවා ගත යුතුය. ලංකාවේ විදේශ ණය හිමි පාර්ශව අතර සිටින ජපානය, චීනය, ඉන්දියාව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි පාර්ශව ඊට එකඟකරවා ගැනීම දුෂ්කර යැයි මම නොසිතමි. එහෙත් යුරෝපයේ ඇතැම් බැංකුවලින් ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පහසු කර්තව්‍යයක් නොවේ.

නිදසුනක් ලෙස ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගත් එක්තරා අමෙරිකානු බැංකුවක් ඒ සඳහා යොදවා තිබෙන්නේ එරටේ විශ්‍රාමික අරමුදල්ය. එහිදී එම බැංකුවට විශ්‍රාමිකයන්ගේ මුදල් ආපසු ගෙවීම සම්බන්ධ ප්‍රශ්නයක් මතු වීමට ඉඩ තිබේ. එබැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා අදාළ තාක්ෂණික යෝජනාවට ඇතුළත් කිරීමේදී මේ තත්ත්ව ගැනද සැලකිලිමත් විය යුතුය.

ඉහත සාකච්ඡා කළ කරුණු ඒකාබද්ධ කළ යෝජනාවලියක් සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් ලෙස හැඳින්වේ. ඒවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත භාර දෙන තාක්ෂණික යෝජනාවෙහි ඇතුළත් විය යුතුය. එම අරමුදලේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම යනුවෙන් හඳුන්වන්නේ ද එම යෝජනාවලියයි. අදාළ තාක්ෂණික යෝජනාවලියට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහ භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු ඊට අදාළව පත් කර සිටින විශේෂඥයන් සහ මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එකඟ වූ පසු මීළඟ අදියරට පැමිණේ. එහිදී එම යෝජනාවලියට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අපේක්ෂා කෙරේ. තාක්ෂණික යෝජනාවලිය ක්‍රියාත්මක කරන බවට වන සහතිකය බලයේ සිටින ආණ්ඩුව ලබා දිය යුතුය.

ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතුව තිබුණේ 2020 දීය. මම ඒ බව මීට පෙරදීත් අවධාරණය කළෙමි. ඒ, මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වන බවට ආර්ථික විද්‍යාඥයන් වශයෙන් අප පුරෝකථන ඉදිරිපත් කර තිබූ නිසාය. ණය ගෙවීම නතර කිරීමට සිදු වන බව අප කල් ඇතිව ණය හිමියන් වෙත දැනුම් දිය යුතුව තිබිණි. එහෙත් අපි එවැනි දැනුම්වත් කිරීමක් නොකෙළෙමු. එසේම ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශ්වසනීයභාවයක් නැති රාජ්‍යයක් වශයෙන් නාමකරණය වී තිබේ.

ණය ගෙවීම පැහැර හරිමින් දේශපාලන අර්බුද අඛණ්ඩව නිර්මාණය කරගන්නා රටක් ගැන කිසිදු රාජ්‍යයකට විශ්වාසයක් ඇති වන්නේ නැත. එවැනි පසුබිමක ලංකාවට ණය ලබා දීමට කිසිදු රටක් හෝ සංවිධානයක් හෝ ඉදිරිපත් වෙතැයි සිතිය නොහැකිය.

වත්මන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ආරම්භ කළ ක්‍රියාවලිය යථාවත් වන ආකාරයක් ද පෙනෙන්නට නැත. එම ක්‍රියාවලියට අනුව මේ වසරේ ජූනි මස 30 වන විට යථොක්ත සාර්ව ආර්ථික වැඩසටහනට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟත්වය ලැබීමට නියමිතව තිබිණි. දේශපාලන අර්බුදය හේතුවෙන් එය කළ නොහැකි විය. 2020 දී කළ යුතුව තිබුණු අදාළ කර්තව්‍යය 2022 වසරේ මේ දක්වාවත් අවසන් නොකර අපි මාස හතරක පමණ කාලයක් නාස්ති කර දැමුවෙමු.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් එම අරමුදල ලංකාව වෙනුවෙන් වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් එබැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලට යොමු වන ලෙසත් මෙරට ණය හිමි සංවිධාන සහ රාජ්‍යයවලට ආමන්ත්‍රණය කරනු ඇත. එහෙත් පවතින වියවුල්කාරී තත්ත්වය හමුවේ එය කළ හැකිද යන්න ප්‍රශ්නසහගතය. පාර්ලිමේන්තුව ඇතුළත දේශපාලන ස්ථාවරභාවය සඳහා එකඟතාවක් නොතිබීමත් රටේ විරෝධතා පැවතීමත් නිසාය. එබැවින් වහාම මේ දේශපාලන අර්බුදය අප විසින් විසඳා ගනු ලැබිය යුතුමය.

ආර්ථිකයේ මෙවැනි අර්බුදයක් උද්ගතවූ විට එය විසඳාගත යුත්තේ ආර්ථික විද්‍යා විසඳුම්වලිනි. ඒ සඳහා වෙනත් විසඳුම් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් හෝ මේ ආකාරයේ ව්‍යුහාත්මක අර්බුද නිරාකරණය කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය වන අතර ඉහතදී සාකච්ඡා කළ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරමින් එය ක්‍රියාත්මක කරන බව ස්ථාවරව පැවසිය යුතුය. එවිට එම අරමුදලට ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයට සහතිකයක් ලබා දිය හැකිය. ලෝක බැංකුව සිය නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ ද එම පණිවුඩයයි.

මෙම ලෝක බැංකු නිවේදනය හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලට සහ මුල්‍යකරණ කටයුතුවලට විශාල බලපෑමක් සිදු වනු ඇත. මේ අවස්ථාවේ ලංකාවට උපකාර කිරීමට අපේක්ෂා කරන පාර්ශව වෙත එයින් යම් සන්නිවේදනයක් සිදු වේ. එනම්, ලංකාව තවමත් සාර්ව ආර්ථික වැඩපිළිවෙළකට ප්‍රවිෂ්ට වී නැති බැවින් ලංකාව ගැන විශ්වාසය තැබිය නොහැකිය යන පණිවුඩය එහි ගැබ්ව තිබේ.

එසේම මෙරටේ ආණ්ඩුවටද එමගින් අනතුරු ඇඟවීමක් සිදු කෙරේ. එනම් සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් නොකළහොත් රට තවත් අගාධයට වැටෙන බවය. මා සිතන හැටියට නිවැරදි සාර්ව ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව යොමු කරවීම අරබයා යම් බලපෑමක් සිදු කිරීම මෙම නිවේදනයෙහි අරමුණයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ගිවිසුමකින් තොරව ලබා ගත හැකි එකක් නොවේ. එම වැඩසටහන මේ අවස්ථාවේ සිට නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් 2022 වසරේ දෙසැම්බර් වන විට එය අවසන් කළ හැකි වනු ඇත. එම කාලය ඇතුළත ආර්ථිකය පවත්වා ගෙන යෑම සඳහා අපට කෙටි කාලීන ණය අවශ්‍ය වේ. එය මුල්‍ය අරමුදලෙන් ලබා ගත නොහැකිය.

මේ වසරේ දෙසැම්බර් දක්වා කාලය ඇතුළත අත්‍යවශ්‍ය ආනයනවලට ගෙවීම් සිදු කරමින් ආර්ථිකය පවත්වා ගෙන යෑමට නම් ඩොලර් බිලියන තුනක පමණ මුදලක් අවශ්‍ය වේ. එහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, චීනය සහ ඉන්දියාව යන පාර්ශව කෙටි කාලීන ණය ගැනීමේදී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. ලෝක බැංකුවේ මෙම පණිවුඩය චීනය වැනි රටක් පිළිනොගෙන සිටීමට ඉඩ ඇත. එබැවින් දිගුකාලීන ගිවිසුම්වලට එළැඹ චීනය ලංකාවට උපකාර කිරීමට ඉඩ ඇත. එහෙත් කලින් දැනුම් නොදී ණය ගෙවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ගැන චීනය පසුවන්නේ අසතුටිනි.

මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් නොකළහොත් ශ්‍රී ලංකාව ඉතාම ඛේදනීය අගාධයකට ඇදවැටීම වැළැක්විය නොහැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූලිකත්වය ඇතිව ලෝක බැංකුව, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළත් වන හවුල හරහා ගොඩනගා ගන්නා විශ්වසනීය වැඩසටහනකින් හැර අපට මෙම අර්බුදයෙන් ගොඩ යා නොහැකිය.