නවතම පුවත්

අම්මයි පුතයි එකතුවෙලා ගෝඨාගේ සිංදුව හදපු හැටි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙසින් තේරී පත්වූ , ගෝඨාභය රාජපක්ෂ මහතා , පසුගියදා පැවතී ජනාධිපතිවරණයෙන් ලත් එම සුවිශේශී ජයග්‍රහණයේ උණුසුම තවමත් මැකී ගොස් නැත .

පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම රටේ කොයි කවුරුත් තවමත් කතාවන්නේ එම ජයග්‍රහණය ගැනයි .

ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම සුවිශේෂී ජයග්‍රහණය ගැන කතා බහ කරන විට, ඔහුගේ ආකර්ශනීය හා ආදර්ශමත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ගැනද කතා නොකරම බැරිය .

එම ප්‍රචාරන ව්‍යාපාරය පුරා රැව් පිළිරැව් දුන් එක් ගීතයක්ද අපට මෙහිදී නිතැතින්ම මතකයට නැගේ . පසුගිය ජනපතිවරණ සමයේ එම ගීය එතරම්ම ජනප්‍රිය විය .

“වැඩ කරන අපේ විරුවා , මව්බිමට පෙමින් සැමදා “…… යන දෙපදය දකින විටම ඔබට එම ගීතය පමණක් නොව එහි රූප රචනය පවා මනසට නැගෙනු නොඅනුමානය .

ජයග්‍රාහී ජන්ද ව්‍යාපාරයක තේමා ගීතය වූ මෙහි නිර්මාණකරවා හමුවී එහි බිහිවීම පිලිබඳ කරුණු සොයා බැලීමට කොලොම්බෝ එක්ස්ප්‍රස් අප තීරණය කලේ ඒ නිසාමය .

තවමත් නව යොවුන් වියේ පසුවන මෙම නිර්මාණකරුවා , නමින් පසන් ලියනගේ ය . නවීන තාක්ෂණය හා සංගීතය එකට මුසු කොට නූතන ලොවට ගැලපෙන නිර්මාණ කාර්යයක නිරතවන ඔහු දැනටමත් මෙරට තරුණ පෙළ අතර අතිශය ජනප්‍රිය වූ ගීත රැසකම හිමිකරුවෙකි. “ආශාවරී ” , “විසේකාරී ” වැනි ගීත ඊට නිදසුන් කිහිපයක් පමණි.

වැඩ කරන අපේ විරුවා ගීතයේ නිර්මාණ කාර්යය ඔබ අතට පත්වූ අකාරය ගැන පැහැදිලි කලොත් .

ඔව් , මම මීට පෙරත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙවැනි සංගීත නිර්මානයක් කර තිබුනා. එසේම මගේ සහෝදරයා දැන්වීම් ප්‍රචාරණ අංශයේ සිටින කෙනෙක්. ඔහුත් රාපක්ෂ මහතාගේ ජන්ද ව්‍යාපාරයට අදාළ වැඩකොටසක් භාරව කටයුතු කළා. රෝහිත රාජපක්ෂ මහතාගේත් ගීත කිහිපයක් මා නිර්මාණය කර තිබුනා , ඒ අනුව ඒ සියලු සම්බන්ධකම් හරහා , තමයි මෙම ගීතය නිර්මාණය කිරීමට මට ආරාධනා ලැබුනේ.

මේ ගීතය රචනා කරන්නේ ඔබේ මව. එයත් විශේෂත්වයක් .

ඔව් . මේ ගීතය රචනා කලේ මගේ මව , ඇය නමින් මාලනී ලියනගේ . වැඩි වශයෙන් ගීත නොලියුවත් ඇය දක්ෂ ගී පද රචිකාවියක් . මීට පෙර මා මහින්ද රාජපක්ෂ මහතා වෙනුඑන් කල නිර්මාණයද රචනා කලේ ඇය විසින්මයි . මේ ගීතය මෙතරම් ජනප්‍රිය වෙන්න අගේ රචනා ශෛලියත් බෙහෙවින් බලපෑවා . අපි ගීතයට අඩංගු විය යුතු කරුණු ගැන සාකච්ජා කළා. ඊට පසු පැය දෙකක් වගේ සුළු කාලයකින් ඇය මේ සම්පූර්ණ ගීයම රචනා කර අවසන් කළා.

පසන් මව සමග

මේ ගීතය ගායනා කිරීම සඳහා ඔබ යොදාගෙන ඇත්තේ නවකයෙක් . එය අවදානම් සහගත තීරණයක් නොවේද ?

ඔව් , නවකයකු මෙවැනි ගීයක් සඳහා භාවිතා කිරීම තුල යම් ආදානමක් තියෙනවා. නමුත් මේ ගීතය ගායනා කරන චතුල ඉන්ද්‍රචාප පිළිබඳව විශ්වාසයක් මා තුල තිබුනා . ඔහු මගේ වෙනත් නිර්මාණ කිහිපයකටත් දායක වී තිබුන. ඔහුගේ හැකියාව මා හඳුනාගෙන තිබුනා, මේ ගීතයට ඔහුගේ හඬ නිවැරදිව ගැලපේවි යයි මා විශ්වාස කළා . මා සිතු පරිදිම ඔහුගේ ගායනයත් ගීතයට විශාල ආලෝකයක් වුනා. ඒවගේම ටෙහානිත් මෙම ගීතයට ගායනයෙන් දායක වුනා . අගේ දායකත්වයක් මෙහිදී අගය කල යුතුමයි .

දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරයක තේමා ගීතයක් නිර්මාණය කිරීමට භාරගැනීමම විශාල අභියෝගයක් . ඒ හරහා මල් වගේම ගලුත් එකවගේ ලැබෙන්න පුළුවන්, මේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද ?

ඔව් , ඇත්තෙන්ම මෙවැනි ගීතයක් නිර්මාණය කිරීම හරහා දේශපාලනමය වශයෙන් යම් හන්වඩුවක් වැදෙන්න පුළුවන් . ඒ වගේම යම් දේශපාලන පක්ෂයකට කොටු කිරීමක් සිදුවන්න පුළුවන් . ඒ සියලු අවදානම් ගැන දැනගෙන තමයි මම මේ නිර්මාණය කරන්න භාර ගත්තේ .

වාසනාවකට මගේ රසික පිරිස බුද්ධිමත් . මම දේශපාලනය හා කලාව පටලව නොගන්න බව ඔවුන් දන්නවා. එම නිසා ඔවුන් මාව එලෙස පක්ෂයකට කොටු කලේ නැහැ. සියලුම පක්ෂවලට අයත් ය මගේ රසිකයෝ අතර ඉන්නවා. තමන්ගේ දේශපාලන දර්ශනය වෙනස් වුනත් මේ ගීතය හොඳ නිර්මාණයක් බව ඇතැමුන් මට ඍජුවම ප්‍රකාශ කළා, ඒ ගැන මට සතුටුවන්න පුළුවන්.

මගේ දේශපාලන දැක්මට අනුව , සියයට සියයක්ම හිතට එකඟවයි මම මේ නිර්මාණය සිදුකලේ . මේක මම කලේ තවත් “ජොබ් ” එකක් කරන විදියට නෙවෙයි . මෙවැනි ගීතයක් නිර්මාණය කරන විට හදවතින්ම ඊට සම්භන්ධ විය යුතුයි . නමුත් මම දේශපාලනය හා කලාව කියන දෙක සමබර කරගන්න දන්නවා . ඒවා එකිනෙක පටලවා ගන්නේ නැහැ.

මෙවැනි තේමා ගීතයක් නිර්මාණය කිරීම , සාමාන්‍ය ගීතයක් නිර්මාණය කිරීමට වඩා වෙනස් අත්දැකීමක්. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිල්ලක් දැක්වූ කරුණු මොනවාද ?

ඔව් . දේශපාලන ජන්ද ව්‍යාපාරයකට තෙම ගීතයක් සැකසීමේදී , කරුණු කිහිපයක්ම විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනේ . හැමදෙනාටම පහසුවෙන් මතක හිටින ගීතයක් වෙන්න ඕනේ . ඒවගේම කාටත් පහසුවෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ . ඒවගේම හදවතට දැනෙන ගීතයක් වෙන්න ඕනේ . ගීතයේ පදරචනය වගේම සංගීතයත් හදවතට දැනුනේ නැත්නම් මෙවැනි ගීත සාර්ථක වන්නේ නැහැ.

මේ ගීතය බාල මහලු සියලුම දෙනා අතර ජනප්‍රිය වුනා . සංගීත සංදර්ශන වල , ප්‍රිය සාද වල විතරක් නෙවෙයි මංගල උත්සව වල පවා මෙම ගීතය වාදනය කෙරුණු අවස්ථා ගැන මට දැනගන්නට ලැබුනා . ඊට හේතුව වුනේ ඉහත මා කියූ ගුණාංග එම ගීතයේ ඇතුලත්ව තිබීමයි.

මේ ගීතය නිර්මාණය කිරීමෙන් පසු ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මෙම ගීතය රස විඳින්න දෙන්න ඇති . එහිදී ඔහු මුලින්ම දැක්වූ ප්‍රතිචාරය කොයි වගේද ?

ඔව් ඇත්තටම ඔහු කලාව ගැන හොන අවබෝධයක් තියෙනවා. මුලින්ම ඔහුට මෙම ගීතය අසන්නට දුන් අවස්ථාවේම මට ඒ බව වැටහුනා . මෙම ගීතයේ වෙනස් විය යුතු ස්ථාන කිහිපයක්ම නිවැරදිව ඔහු පෙන්වා දුන්න . ඔහුගේත් පූර්ණ කැමැත්ත පරිදි තමයි අවසානයේ මෙම නිර්මාණය එලියට ආවේ. . ඔහු පමණක් නොවේ මහින්ද රාජපක්ෂ මහතා පවා මේ ගීතය අසා බෙහෙවින් සතුටුවුණා , ඔහුත් ගීතය වඩාත් සාර්ථක කරගන්න ගුරුහරුකම් පවා ලබාදුන්නා .

ඔබ මේ තේමා ගීතය නිර්මාණය කලේ ” ජනපති අපේක්ෂක , ගෝඨාභය රාජපක්ෂ ” වෙනුවෙන් . නමුත් දැන් ඔහු රටේ ජනාධිපතිවරයා වී අවසන්. මේ ගැන සිතන විට ඔබට එන හැගීම් විස්තර කලොත් .

ඔව් . ඒ ගැන සිතන විටනම් විශාල සතුටක්. ඔහුගේ ජයග්‍රහණයට මගේ ගීතයත් , සුළුවෙන් හෝ දායකත්වයක් සපයන්න ඇතැයි සිතනවිට හිතට ආඩම්බරයකුත් දැනෙනවා . රට වෙනුවෙන් යුතුකමක් ඉටු කළා යන හැගීමක්ද දැනෙනවා.

වැඩ කරන අපේ විරුවා.. ගී පද

විශ්වය පුරා විහිදී ගියා
පොදුජන ජය රාවේ
අපි වෙනුවෙන්
අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ…

ජන හද දිනූ මහින්ද නම්
උතුම් සොයුර ඇසුරේ
ගුණ දම් පිරූ අභිමන් දැරූ
ගෝඨාභය නාමේ…

වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා…

විස්මිත ලෙසින් විස්කම් මවා
හෙළයේ අභිමානේ
පෙන්වා දෙමින් මුළු ලොව දිනා
අප හා යන ගමනේ
ලොව නන් දෙසින් ආවත් මෙසේ
බාධක හැම වේලේ
ඉන් නොනැවතී මව් බිම අපේ
රැක දෙන විරුවනණේ…

වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා…

විදුණැන බලෙන් ලොව පරදනා
මිනිස් පවුර සදනා
රට දැය සදා මවිත කරන්නට
දුර දැක්මෙන් සිතනා
බිය සැක නැතී යුගයක් මවා
නැවුම් හෙටක් ගෙනෙනා
වෙනකෙකු නැතී ඔබ හැර අපේ
අනාගතේ සදනා…

වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා…

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි