නවතම පුවත්

ආර්ථික අර්බුදයෙන් බැටකන අධ්‍යාපනය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ අනාගත පරපුර පලදායි පුරවැසියන් බවට පත් කිරීමට නම් ඔවුන් නව දැනුමෙන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කුසලතා ඔප්නැංවීම සහ නිපුණතා සංවර්ධනය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු වේ. එබැවින් රජයේ සහ අනිකුත් අදාළ බලධාරීන්ගේ වගකීම වන්නේ දරුවන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මංමුළා නොවන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම යි. ඒ උදෙසා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීයික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි මාර්ග සැලැස්මක් සකස් කිරීම ද බලධාරීන්ගේ වගකීම වේ.

පන්ති කාමරයක් –  www.dailynews.lk

කෙසේ වෙතත් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පසුගිය කාලය පුරාවට ම අඩු වැඩි වශයෙන් විවිධ ගැටලු තිබූ බව අපි දනිමු. ඒ අතර කාලයෙන් කාලයට විසඳුම් ලබා දුන් ගැටලු මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ බලධාරීන්ගේ අවධානය යොමු නොවූ ගැටලු ද තිබේ. රාජ්‍ය නායකයන් සහ අනිකුත් දේශපාලනඥයන් සිය මැතිවරණ ව්‍යාපාරවලදී අධ්‍යාපන ක්ෂේත්‍රය ද ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පවත්නා ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුවත් ඒ පොරොන්දු අතරින් බොහොමයක් ‘කඩවුණු පොරොන්දු’ ලෙස ඉතිහාසයට එක් වේ.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය

නවීන ලෝකයේ සිසුන්, ගුරුවරුන් සහ මව්පියන් මත අසීමිත ලෙස බර පැටවෙන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට ඇත්තේ සීමිත ආයු කාලයක් පමණි. මේ තත්ත්වය තුළ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි විභාග පදනම් කර ගත් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව බොහෝ පාර්ශව වරින් වර පෙන්වා දී ඇත. එබැවින් ලෝකය පුරා දිනෙන් දින නිර්මාණය වන අතිමහත් දැනුම් සම්භාරයට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි, නවීන තාක්ෂණය කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු කාලය දැන් එළැඹ තිබේ.

විභාගයකට පෙනීසිටින සිසුවියන් පිරිසක් – www.dailynews.com

අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමට සැලසුම්

අධ්‍යාපන ක්‍රමය විශ්වීය ප්‍රවණතාවන්ට අනුව යාවත්කාලීන කිරීමේ දී පාසල් විෂය නිර්දේශයන් ද ඊට ගැළපෙන අයුරින් සකස් කිරීම ඉතා වැදගත් ය. මේ සම්බන්ධ ව පාර්ලිමේන්තුවේ දී පසුගියදා සාකච්ඡාවට ලක් වූ අතර එහිදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ රටවල් කිහිපයක අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇති ආකාරය ද සැලකිල්ලට ගනිමින් මෙරට අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ වැඩසටහනක් මේ වන විට සැලසුම් කර ඇති බව යි.

ගුරු හිඟය

ඉදිරියේ දී යම් යම් වෙනස්කම් විය හැකි නමුත්, දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ වැදගත් ම සාධක අතරින් එකකි- ගුරුවරු. වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නම් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් සිටීම ඉතා වැදගත් කරුණකි.  කෙසේ වුවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති කිහිපයක් මෑතකාලීන ව පෙන්වා දී ඇත්තේ මේ වන විට පාසල් ගණනාවක පවතින ගුරු හිඟය ඉදිරියේ දී තවත් උග්‍ර විය හැකි බව යි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පසුගිය දිනෙක සඳහන් කළේ රජය කඩිනමින්, පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරු බඳවා ගැනීමට පියවර නොගන්නේ නම් ඉදිරි වසර කිහිපය තුළ විශාල ගුරු හිඟයක් නිර්මාණය වනු ඇති බව යි. මෙම වසර තුළ ගුරුවරුන් 50,000කට ආසන්න පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිත බව පැවැසූ ඔහු සඳහන් කළේ ඊට අමතර ව මේ වන විට ගුරු සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 25,000කට ආසන්න බව යි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සහ වතු ආශ්‍රිත පාසල්වලට ගුරු හිඟයෙන් විශාල බලපෑමක් එල්ල වී ඇති බව ද ඔහු පැවැසීය.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු – Facebook- Ceylon Teachers’ Union

ගුරුවරු නිසි පරිදි ස්ථානගත නොකිරීම

 දැනට සේවයේ නියුතු ගුරුවරුන් නිසි පරිදි ස්ථානගත වී නොතිබීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටලුවකි. සමහර ප්‍රධාන පෙළේ පාසල්වල එක් විෂයයක් ඉගැන්වීම සඳහා ගුරුවරුන් කිහිප දෙනෙක් සිටින නමුත් ඉංග්‍රීසි වැනි විෂයයන් ඉගැන්වීම සඳහා එකදු ගුරුවරයෙක් හෝ නොමැති පාසල් ද තිබේ. විශේෂයෙන් ම වතුකරයේ සහ ගම්බද ප්‍රදේශවල පිහිටි පාසල්වල මේ තත්ත්වය වැඩිපුර දැකිය හැකි ය. මේ තත්ත්වයට විසඳුමක් ලෙස ගුරු වෘත්තීය සමිති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ දේශපාලන අතපෙවීම් වැනි විවිධ බලපෑම්වලින් තොර ව ගුරු ස්ථානමාරු ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව යි.

විභාග පැවැත්වීමේ දී ඇති වූ දුෂ්කරතා

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා පාසල්වල ඉගැන්වීම් කටයුතුවලට මෙන් ම විභාගවලට ද විශාල බලපෑමක් එල්ල විය. වරින් වර පැනවූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වයන් නිසා අවස්ථා කිහිපයකදී ම පාසල් වසා දැමූ බැවින් බොහෝ පාසල්වල ඒ ඒ ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට නොහැකි විය.

දීර්ඝ කාලයක සිට පවතින ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලු සඳහා විසඳුමක් ලබා දෙන ලෙස රජයට බල කරමින් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති ගුරු-විදුහල්පති අඛණ්ඩ වැඩ වර්ජනය ද ඊට හේතු විය.

ගුරු උද්ඝෝෂණයක් –  www.dailynews.lk

මේ හේතුවෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය අවස්ථා කිහිපයක දී ම කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ ය. පසුගිය වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත ව තිබූ ශිෂ්‍යත්ව විභාගය මෙම වසරේ ජනවාරි මාසයේත්, පසුගිය වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි මාසයේත්, පසුගිය වසරේ දෙසැම්බර් පැවැත්වීමට නියමිත ව තිබූ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මැයි මාසයෙත් පැවැත්විණි.

විභාග පැවැත්වීම ප්‍රමාද වීමත් සමඟ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනවලට සිසුන් බඳවා ගන්නා කාල වකවානුව ද වෙනස් වේ. පසුගිය කාලය පුරාවට ම විද්‍යාපීඨ සහ විශ්වවිද්‍යාලවල පැවැත්වෙන විභාග සහ වෙනත් ප්‍රයෝගික පරීක්ෂණ වැනි දෑ නියමිත කාලයට නොපැවැත්විණි. ඒ හේතුවෙන් සිය ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා අවසන් කිරීමට ගත වන සාමාන්‍ය කාලයට වැඩි කාලයක් උසස් අධ්‍යාපන ආයතන තුළ ගත කිරීමට සිසුන්ට සිදු වී තිබේ.

ආර්ථික අර්බුදය සමග ඇති වී ඇති ගැටලු

දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට අමතර ව තවත් ගැටලු ගණනාවක් ඇති වීමට හේතු වී ඇති කරුණකි- වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදය. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර මාලාව සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය වැනි හේතු නිසා මෑතකාලීන ව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය වූ අර්බුදකාරී තත්ත්වය, මේ වන විට පවතින ආර්ථික අර්බුදය නිසා දෙගුණ තෙගුණ වී ඇත.

ප්‍රාථමික පන්තිකාමරයක් තුළ/ www.dailynews.lk

ප්‍රවාහන පහසුකම් හිඟ වීම

විදේශ විනිමය සංචිත හිඟය නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ආනයනය කිරීම පෙර පරිදි සිදු නොවන බව සහ පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල ගණන් විශාල අගයන්ගෙන් ඉහළ ගිය බව අපි දනිමු. එවැනි හේතු නිසා සතියකට දින පහක් පාසල් වෙත යන ගුරුවරුන්, අනිකුත් කාර්ය මණ්ඩලය සහ සිසුන් දැඩි දුෂ්කරතාවට පත් වී තිබේ.

මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ගුරු වෘත්තීය සමිති කිහිපයක් පසුගිය දිනවල පෙන්වා දුන්නේ ඉන්ධන හිඟය, ධාවනය වන බස් රථ සංඛ්‍යාව අඩු වීම සහ බස් ගාස්තු විශාල ලෙස ඉහළ යාම වැනි හේතු නිසා පාසල් සිසුන්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව යි. උතුරුමැද පළාත වැනි සමහර පළාත්වල පාසල්වල සිසුන් සතියට ම පාසල් පැමිණෙන්නේ දිනක් හෝ දින දෙකක් බව ඔවුහු සඳහන් කළ හ.

සිසුන් පමණක් නොව ගුරුවරුන් ද පවතින ඉන්ධන හිඟය නිසා දැඩි අපහසුතාවයට පත් වී තිබේ. බොහෝ ගුරුවරු සේවයේ කරන්නේ සිය නිවෙස්වල සිට කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි පාසල්වල බැවින් පවතින තත්ත්වය තුළ ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ඔවුන්ට බොහෝ සෙයින් අපහසු ය. යතුරුපැදි සහ මෝටර් රථ වැනි පෞද්ගලික වාහන තිබෙන ගුරුවරුන් ද ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වීම සහ ඉන්ධන මිල ගණන් වරින් වර විශාල ලෙස ඉහළ යාම වැනි හේතු නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

ඉන්ධන පෝලිමක රැඳී සිටින සිසුවෙක් –  www.aljazeera.com

ලිපිද්‍රව්‍ය මිල ඉහළ යාම

ආර්ථික අර්බුදය හමුවේ පොත්, පෑන්, කඩදාසි සහ වෙනත් ලිපිද්‍රව්‍යවල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එම නිසා බොහෝ පාසල් සිසුන්ට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිල දී ගැනීමේ හැකියාවක්වත් නැති බව පසුගිය දිනවල වාර්තා විය. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති වීම නිසා බස්නාහිර පළාතේ පාසල්වල වාර විභාග පවා කල් දැමීමට බලධාරීන් කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ අවශ්‍ය කඩදාසි සපයාගෙන අදාළ වාර විභාග පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකි විය.

ලිපිද්‍රව්‍ය මිල ඉහළ යාමට පිළියමක් වශයෙන් සිසුන්ට අවශ්‍ය ලිපිද්‍රව්‍ය සහන මිලට මිල දී ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යංශයෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි. ඔවුන් පෙන්වා දී තිබුණේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යන වර්තමානයේ විශාල මුදලක් ගෙවා දරුවන්ට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිල දී ගැනීමට බහුතරයක් මව්පියන්ට හැකියාවක් නොමැති බව යි.

විදුලිය කප්පාදුව

විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා දිනකට පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් අතර ඒ හේතුවෙන් සිසුහු සහ ගුරුවරුන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙති. විදුලිය කප්පාදු කිරීම නිසා පාසල්වල කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇත. විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය තුළ සිසුන්ට නිවසේ දී සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ද නොහැකි ව ඇත.

දුෂ්කර පාසලක් – www.sundayobserver.lk

ගැටලු විසඳීමට යෝජනා

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා ගත යුතු පියවර කිහිපයක් පිළිබඳ දැනුම්වත් කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක් පසුගිය දා යොමු කර තිබිණි.

එහි සඳහන් වූයේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දැනට පාසල් සිසුන් සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමේ දී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් දැනට ක්‍රියාත්මක වන සිසුසැරිය බස් රථ සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව යි. සිසුසැරිය බස් රථයක් සඳහා කිලෝමීටරයකට රුපියල් 62ක් වශයෙන් ගෙවන ගාස්තුව ඉහළ දැමිය යුතු බව ද එම ලිපියේ සඳහන් විය.

සිසු සැරිය බස් රථයක් – www.dailynews.lk

මෙම යෝජනාවට ප්‍රතිචාරයක් වශයෙන් දැනට ධාවනය වන සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර ඇති බව පසුගිය දිනෙක වාර්තා විය.

 දැනට පාසල් පැවැත්වෙන උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා වන කාල සීමාව දීර්ඝ කර පාසල් පැවැත්වෙන දින ගණන සීමා කළ යුතු බව ද එහි සඳහන් විය. දැනට පාසල්වල ක්‍රියාත්මක වන කාලසටහන් සංශෝධනය කර ගුරුවරු සහ සිසුන් පාසලට පැමිණෙන දින ගණන සීමා කළ යුතු බව ද ඔවුන් යෝජනා කර තිබිණි.

අධ්‍යාපන අමාත්‍යංශය/ www.egenuma.moe.gov lk

“ගුරුවරු මුහුණදෙන ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳ ව සලකා බලා යතුරුපැදි සහ පාපැදි මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ඔවුන්ට සැලසිය යුතුයි. ඊට අමතර ව, ප්‍රධාන මාර්ග නොවන මාර්ගවල කුලී රථවලින් ගමන් කරන ගුරුවරුන් වෙනුවෙන් යම්කිසි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි” යනුවෙන් එම ලිපියේ සඳහන් විය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැනට රාජ්‍ය සේවයේ පවත්නා සංකීර්ණ ස්ථානමාරු ක්‍රියාවලිය සංශෝධනය කළ යුතු බව ද ලංකා ගුරු සේවා සංගමය පෙන්වා දී තිබිණි. එම ලිපියේ සඳහන් වූයේ ඒ අනුව ජාතික පාසල් සහ පළාත් සභා යටතේ අධීක්ෂණය වන පාසල්වල ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ දී ඔවුන්ගේ ස්ථිර පදිංචි ලිපිනය සැලකිල්ලට ගනිමින් ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටි පාසලකට ස්ථාන මාරුව ලබා දීම සුදුසු බව යි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු ගුරු සංගම් නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා හමු වූහ. එම හමුව අතරතුර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ව අමාත්‍යවරයා දැනුම්වත් කළ ඔවුහු ඒවා විසඳීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද අමාත්‍යවරයාට භාර දුන්හ.

වර්තමාන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත – www.onlanka.com

 ”මෙම හමුව අතරතුර ඉදිරිපත් නව යෝජනා සහ අදහස් සියල්ල සලකා බලා, කඩිනමින් විසඳිය යුතු ගැටලු සහ ප්‍රතිපත්තිමය තීරණ මත නිරාකරණය කළ යුතු ගැටලු පිළිබඳ ව කඩිනමින් අවධානය යොමු කිරීමට අමාත්‍යවරයා එකඟතාව පළ කළේ ය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ව අවබෝධයක් තිබෙන සහ ඒවා නිරාකරණය කිරීම සඳහා ඉතා උනන්දුවකින් ක්‍රියාකරන අමාත්‍යවරයෙකු ලෙස ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිති සහ වෙනත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ ය.” අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ඒ අයුරිනි. 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි