නවතම පුවත්

ඉන්දීය සාගරයේ බල අරගලය හා ශ්‍රී ලංකාව

අසංක

අසංක

ලෝකයේ විවිධ රටවල් අතර පවතින ද්විපාර්ශවික හා බහුපාර්ශවික සබඳතා , එනම් ජාත්‍යන්තර සබඳතාවන්හි වැදගත්කම හා වටිනාකම කලින් කලට වෙනස්වේ. ඊට සමාජ , ආර්ථික දේශපාලනික මෙන්ම භූ විද්‍යාත්මක සාධක පවා ප්‍රබලව බලපාන බව නොරහසකි.

උදාහරණයක් ලෙස කලකට ඉහතදී ලෝකයේ වැදගත්ම සාගරය වූයේ අත්ලාන්තික් සාගරයයි. පසුව කෙමෙන්වි එම තත්වය වෙනස්සි විය . පසුව ,විසි වෙනි සියවස පමණ වන විට ලෝකයේ වැදගත්ම සාගරය බවට පත්වූයේ පැසිෆික් සාගරයයි, නමුත් මේ වනවිට එම තත්වයද බොහෝ සෙයින් වෙනස් වී ඇත. , අද වනවිට ඉන්දියානු සාගරය ලෝකයේ වැදගත්ම සාගරය බවට පත්ව ඇත.

එලෙස ඉන්දියන් සාගරය ලෝකයට වැදගත්වීමට ප්‍රධාන හේතු කිහිපයකි. අද ලොව ප්‍රබල රටවල් බොහොමයක් තම වෙළඳ කලාප තුල උපරිම වර්ධනයකට පැමිණ සිටී. එම නිසා අද එම බලවතුන් තම වෙළඳ හා වානිජ්‍ය කටයුතු ව්‍යාප්ත කර ගැනීම සඳහා වෙනත් බාහිර කලාප වෙත යොමුවීමට උත්සාහදරමින් සිටී.

අද වන විට එම නිෂ්පාදන බලවතුන්ට වෙළඳාම සඳහා හොඳම අවස්තාව ඇත්තේ අප්‍රිකානු කලාපය තුලය. යුරෝපානු ඇමෙරිකානු බලවතුන්ට මෙන්ම චීනය ඇතුළු පෙරදිග බලවතුන්ටද අප්‍රිකාව හා සම්භන්ධවීමට , ඉන්දියන් සාගරය අතිශයෙන් වැදගත්ය .ඉන්දියානු සාගරයේ බලය අල්ලාගන්න සියලුදෙනාම පොරකන්නේ ඒ හේතුව නිසාවෙනි .

මෙම බලපොරයේ ඉදිරියෙන්ම සිටින්නේ චීනයයි. ඉන්දියානු සාගරයේ භූගෝලීය පිහිටීම අනුව එම කලාපයේ ප්‍රභලයා වන්නේ ඉන්දියාවයි . නමුත් ඉන්දියානු සාගරයේ බලය ස්ථාපිත කරගෙන ඇත්තේ චීනයයි, මේ අනුව මෙම රටවල් දෙක අතර සීතල ද්වන්ද ගැටුමක් හටගෙන ඇත.

එම රටවල් දෙක පිටුපස ලෝකයත් පෙළ ගැසී ඇත. ඉන්දියාව පිටුපස ඇමෙරිකාව , ජපානය මෙන්ම අඩුවැඩි වශයෙන් යුරෝපයද පෙළ ගැසී ඇත. චීනය පිටුපස රුසියාව හා “බ්‍රික්ස්” සංවිධානයට අයත් බ්‍රසීලය ,දකුණු අප්‍රිකාව , ඇතුළු රටවල් පෙළ ගැසී සිටී. මේ අනුව ඉදිරියේදී ඉන්දියානු සාගරයේ බලය අල්ල ගැනීම සඳහා මෙම රටවල් සියල්ල පුළුල් සීතල යුද්ධයකට එළැඹීමේ යම් අවදානමක්ද ඇත.

මෙම ඉන්දියානු සාගරයේ කේන්ද්‍රයේ පිහිටා තිබීම හේතුවෙන් මෙම බලරගලය තුල ශ්‍රී ලංකාවටද විශේෂ ස්ථානයක් හිමිව ඇත්තේ නිතැතිනි. මෙම භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් , ඉන්දියානු සාගරයේ බලය ඇල්ලීමට වෙර දරන සියලුම රටවල් ශ්‍රී ලංකාව වෙත ” කෙල හලමින් ” , “තලු මරමින්” සිටිති. මේ තත්වය හේතුවෙන් , උදාවී ඇත්තේ ශ්‍රී ලංකාවට වාසි හා ප්‍රතිලාභ මෙන්ම අවාසි හා පාඩුද සිදුවිය හැකි අවදානම් සහගත හා අතිශය සංකීර්ණ තත්වයකි. මෙම සංකීර්ණ තත්වය අප නිවැරදිව අවබෝධ කරගත යුතුව ඇත. විශ්ලේෂණය කරගත යුතුව ඇත.

මෙම වාතාවරණය මත ඉහත කී බලකදවුරු දෙකම ශ්‍රී ලංකාව තම සේවාදායකයෙක් බවට පත්කරගැනීමේ වෑයමක යෙදේ. මේම බල අරගල හේතුවෙන් ලංකාව තුල “ප්‍රොක්සි වෝර් ” තත්වයක් මතුවීමේ අවදානමක්ද ඇත. එනම් අනුන් වෙනුවෙන් මෙම රට තුල අරගල හටගැනීමේ තත්වයයි.

දැනටමත් එහි ඇතැම් ලක්ෂණ මෙරට තුල දක්නට ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයින් චීනය වෙනුවෙන් පෙනීසිටිමින් ඇති අතර ,ඔහුට විරුද්ධ පාර්ශව ඉන්දියාව වෙනුවෙන් පෙනීසිටිමින් ඇත. මෙම දෙපාර්ශවය අතර මේ වනවිට එම කරුණ මුල් කරගනිමින් වාචික ගැටුම්ද නිර්මාණය වී ඇත. චීන ගැති හා ඉන්දීය ගැති කණ්ඩායම් දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව ව්‍යාපාරික ඇතුළු විවධ වෘත්තීය ක්ෂේත්‍ර තුලද ගොඩනැගෙමින් ඇත. එය රටේ ඉදිරි ගමනට අහිතකරය .

ශ්‍රී ලංකාව තම සේවා දායකයෙක් බවට පත්කරගැනීමට වඩාත් දැඩි උත්සාහයක නිරතව ඇත්තේ චීනයයි. විශාල ණය මුදල් ලබාදී , එම ණය මත අප යැපෙන විට , අවසානයේ චීනය හැර අන් විකල්පයක් මෙරටට නොමැතිවී යයි. චීනයේ සැලැස්ම එයය. මෙරට චීනයේ සේවාදායකයකු බවට පත්වන්නේ එලෙසය .

චීනය මෙම සැලසුම් දියත්කරන විට , ඉන්දයාව , ඇමෙරිකාව ප්‍රමුඛ අනෙක් කඳවුරද ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වේ. ඇමරිකාව ඉන්දියාව වැනි රටවල් , චීනය මෙන් විශාල ආධාර හා ණය මෙරටට ලබනොදුන්නද , ඔවුන් ඊට වඩා වෙනස් දේශපාලනික උපක්‍රම හා කුමන්ත්‍රණ හරහා ශ්‍රී ලංකාව “නම්මවා ” ගැනීමට උත්සාහ දරමින් සිටී.

කෙසේ වෙතත් මෙහිදී ලෝක බලවතුන්ගේ මෙම ආකර්ෂණය හේතුවෙන් අපට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලැබෙන බවද මේ මොහොතේ අමතක නොකළ යුතුය . විශාල ණය ආධාර , ව්‍යාපෘති මෙන්ම විවිධ දේශපාලනික ආධාර උපකාර පවා මේ හරහා මෙරටට ඇදී ඒම දැකිය හැක. නමුත් ඒ සමගම ,අපගේ පුංචි රට , මෙම “තෝරු , මෝරු ” සටනට මැදිවී විනාෂවීයාමේ අවදානමක්ද ඇත .

එබැවින් මේ මොහොතේ ලංකාවේ විදෙස් ප්‍රතිපත්ති සැකසිය යුත්තේද , ජාත්‍යන්තර සබඳතා ඇතිකරගතයුත්තේද ඉහත කරුණු හා තත්වයන් පිළබඳව නිවැරදිව හා පුළුල්ව සැලකිල්ලට ගෙනය . මෙම බලකඳවුරු දෙකම ප්‍රතික්ෂේප කර තනිව ගමනක් යාමටද අපට නොහැක. එය ප්‍රයෝගික තලයේදී අපට මුහුණ දීමට වන යථාර්ථයයි.
ඒ අනුව අප මේ මොහොතේ අවධානය යොමුකලයුත්තේ උද්ගතව ඇති තත්වයන් නිසි ලෙස කලමනාකරනය කල හැක්කේ කෙසේදැයි සොයා බැලිම පිලිබඳවය . වගකිවයුතු සියලු පාර්ශව ඒ පිළිබඳව මැදිහත්ව සිතා බලා කටයුතු කල යුතුය .

චීනය අපට බොහෝ උදව උපකාර කරමින් සිටී . මේ අවස්ථාවේ ඔවුන් මගහැර යාමටද අපට නොහැක . එසේම අපගේ අසල්වැසි ඉන්දියාව අතහරීමටද අපට කිස්සේත්ම නොහැක. දෙපාර්ශවය සමගම පවතින සබඳතා රැකගැනීම අතිශයෙන් වැදගත්ය .

ඒ අනුව චීනය හා ඉන්දියාව අතර සමතුලිත ප්‍රතිපත්තියක් අනුගමනය කරනුයේ කෙසේද යන්න , අද දවසේ අප රට ඉදිරියේ ඇති අභියෝගයයි . මේ සඳහා අපට ආදර්ශයන් ගත හැක්කේ “නොබැඳි පිලිවෙතිනි” . බණ්ඩාරනායක අගමැතිවරයාගේ යුගයේදී අප රට නොබැදි පිළිවෙතට යොමුවූ අතර එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කල රටක් ලෙසද මෙරට සැලකින. යලි අප එම අභාෂය ලබාගතයුතුව ඇත. ඒ හරහා චීනය හා ඉන්දියාව යන දෙපාර්ශවයම “අතේ දුරින්” ආශ්‍රය කිරීමට අප පියවර ගත යුතුය . ඒ සඳහා බුද්ධිමත්ව සැලසුම් සැකසිය යුතුය.

මේ අනුව අප චීනය හා ඉන්දියාව සමග මෙහිදී ” සාපේක්‍ෂ වාසිය” යන කරුණ මුල් කරගනිමින් කටයුතු කල යුතුය. ඒ අනුව ඉන්දියාව හා චීනය මෙරට ආර්ථික ආයෝජනයක් සඳහා තරඟ කරන විට අප බැලිය යුත්තේ ඉන් අපට සාපේක්‍ෂ වාසියක් ලැබෙන්නේ කුමන රටෙන්ද යන්න පිලිබඳවය. එසේ නොමැතිව , එම බල කඳවුරු දෙකේ බල අරගල පිළිබඳව සිතා බලා කටයුතු නොකළ යුතුය. අප එම බල අරගලයේ කොටස් කරුවෙකු නොවිය යුතුය .

උපරිම සාපේක්‍ෂ වෙළඳ වාසිය ලබාගැනීම අරමුණු කරගත් , තාර්කික ප්‍රවිෂ්ඨයක් මත පිහිටා සිට අප ඉදිරියේදී චීනය හා ඉන්දියාව යන රටවල් සමග ගනුදෙනු කල යුතුය . දෙරට සමග ආර්ථික ආයෝජන සම්භන්ධව කටයුතු කිරීමේදී මෙහිදී අප ගත යුත්තේ ආර්ථික තීන්දු තීරණ මිස දේශපාලන තීන්දු තීරණ නොවේ.

චීනය සතුටු කිරීම හෝ ඉන්දියාව සතුටු කිරීම අරමුණු කරගමිනින් ආර්ථික ප්‍රත්පත්ති සැකසීම නොකළ යුතුය. එසේම ඉන්දීය ගැති හා චීන ගැති දේශපාලන කණ්ඩායම් හා සිවිල් කණ්ඩායම් බිහිවීමද රටේ ඉදිරි ගමනට බාධාවක් බව අවබෝධ කර ගතයුතුය. මහා බලවතුන්ගේ ආකර්ෂණය හා අවධානය හරහා ලැබෙන වාසි නිවැරදි ලෙස ආයෝජනය කිරීමට අප කටයුතු කල යුතුය. එසේ කටයුතු කිරීමෙන් දියුණුවූ රටවල් රැසක් පිළිබඳව ලෝක ඉතිහාසයෙන් අපට උදාහරණ ලබා ගත හැක.

පැතුම් වික්‍රමරත්න



How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්