නවතම පුවත්

ඉන්දු -පකිස්තාන ගැටුම් හා කලාපීය ආරක්‍ෂාව

අසංක

අසංක

අළු යට ගිනි පුපුරු මෙන කලක් යටපත් ව තිබූ ඉන්දු පකිස්තාන ගැටුම් යලිත් වරක් කරලියට පැමිණියේ පසුගිය පෙබරවාරිය මුලදී කාශ්මීරයේ ඉන්දීය පාලිත භූමිය මත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි.

එම ප්‍රහාරයට ගොදුරු වූ ඉන්දීය සන්නද්ධ භටයන් 40 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය.ප්‍රහාරයේ වගකීම භාරගත්තේ පාකිස්තානයේ ක්‍රියාත්මක ‘ජයිෂ්-ඊ-මොහොමඩ්’ නමැති සන්නද්ධ කැරලි කණ්ඩායමයි.

ඊට ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව ද පමා වූයේ නැත. දේශ සීමාවෙන් ඔබ්බට තම ප්‍රහාරක ගුවන් යානා පියාසර කරවා කාශ්මීරයේ පකිස්තාන පාලන කලාපයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ඉන්දියාව එහිදී පකිස්තානය වෙත එල්ලකළ ප්‍රධානතම චෝදනාව වූයේ , පකිස්ථානය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක ත්‍රස්ත කල්ලි මර්ධනයට එරට රජය නිසි පියවර නොගැනීමයි.

කෙසේ වෙතත් තම ගුවන් කලාපයට ඇතුළු වන ඉන්දීය ප්‍රහාරක යානාවලට වෙඩි තැබීමට පකිස්තාන හමුදාව ද කිසිසේත්ම පසුබට වූයේ නැත

ඉන්දීය ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමට පාකිස්තානුවෝ සමත් වූහ. එක් ඉන්දීය ගුවන් නියමුවෙකු ඔවුන්ගේ ග්‍රහණයටද හසු විය. පසුව එම ගුවන් නියමුවා නම් යලි ඉන්දියාව වෙත භාරදීමට පකිස්තානය කටයුතු කලද කාශ්මීරය තවමත් උණුසුම් ව ඇත .

මෙම උණුසුම දෙරට අතර මහාපරිමාණ යුධ ගැටුමක් බවට පරිවර්තනය වේවිද ? එය මේ වනවිට අපද අයත් දකුණු ආසියානු කලාපයේ රටවල්වල වෙසෙන බහුතරයක් දෙනා අතර ඇතිව ඇති සැකයකි. බියකි. විශේෂයෙන්ම පකිස්තානය හා ඉන්දියාව යන රටවල් දෙකම න්‍යෂ්ඨික අවිවලින්ද සමන්විත බවට තොරතුරු පලවන බැවින් එම දෙරට අතර යුද්ධයක් ආරම්භ වුවහොත් අනිවාර්යයෙන්ම එය න්‍යෂ්ඨික යුද්ධයක් කරා යොමුවීමේ විශාල අවදානමක් පවතී.

දෙරටක් යුද වදිද්දී අසල්වැසි රටවලට නිරායාසයෙන් ම ඉන් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරයි.

ඇත්තවශයෙන්ම ඉන්දියාව හා පකිස්තානය අතර එවැනි න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වුවහොත් එය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයට පමණක්ව නොව මුළු මහත්ලොවට ම තර්ජනයක් විය හැක.

එසේම ඉන්දියාව හා පකිස්තානය යන රටවල් දෙක පිටුපසින් ලෝක බලවතුන්ද පෙළගැසී සිටින බව අප අමතක නොකළ යුතුය.

ඒ අනුව මෙම දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් චීනය , ඇමෙරිකාව වැනි සුපිරි බලවතුන් ඒ යුද්ධය වටා කඳවුරු බැඳ ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත.

සරලවම පැවසුවොත් , ඇමෙරිකාව වැනි සුපිරි බලවතෙකු ඉන්දියාවට සහයෝගය දීමට පෙළඹුණහොත් ඊට එදිරිව චීනය වැනි සුපිරි බලවතෙකු පකිස්තානු හිතවාදී වනු ඇත.

සිරියානු යුද්ධය හමුවේ ද ලොව සුපිරි බලවතුන් මේ අයුරින්ම පිල් බෙදී කටයුතු කල අකාරය අපට මතකය .

විශේෂයෙන්ම ආසියානු කලාපයේ තම බලය තහවුරු කර ගැනීම සඳහා මේ දිනවල වෙර දරමින් සිටින චීනය සහ ඇමරිකාව මෙවැනි අර්බුදයක් මතුව්වුවහොත් අනිවාර්යයෙන්ම ඊට ඍජුවම මැදිහත් වනු ඇත. එවැනි තත්වයක් මත ඉන්දු – පකිස්ථාන යුද්ධයක් , ලෝක යුද්ද්ධයක් මට්ටමට පවා පරිවර්තනය වීමේ අනතුරක් පවතී.

මේ සමගම යුධමය වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වටිනා ප්‍රදේශයක ස්ථානගත වී ඇති හෙයින් , අප කෙරෙහි ඇමරිකාවේ සහ චීනයේ බැල්ම මෙහිදී තවදුරටත් තීව්‍ර විය හැක.

එසේම යුදමය තත්ත්වයකදී කලාපීය වශයෙන් ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ථාන කෙරෙහි ඔවුන්ගේ අවධානය වැඩි විය හැක.

“උදාහරණයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ. කලාපීය වශයෙන් ආරක්ෂාව තහවුරු කර ගැනීමට වැදගත් විය හැකි ස්ථානයකි . ඒසේම මෙවැනි යුධමය තත්වයකදී මෙරට ස්වභාවික වරායන් සහ තෙල් ටැංකි වැනි දේ කෙරෙහි ඉන්දියාවේ අවධානය වැඩිවීමට හැක . යුධමය වශයෙන් එවැනි දේට ඉහල වැදගත්කමක් ඇත.

මෙලෙසම බංගලිදේශය , නේපාලය වැනි රටවලද යුධ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන කෙරෙහිද ඉන්දු පකිස්තාන මෙන්ම ඔවුන්ට සහය දෙන බලකඳවුරු වලද අවධානය යොමුවනු ඇත,

මෙහිදී ශ්‍රී ලංකාවද ඇතුළු අනෙකුත් දකුණු ආසියානු රටවල් කිසිවක් ඉන්දු – පකිස්තාන කඳවුරු අතරින් එකදු කදවුරක් හෝ තෝරාගැනීමට පියවර නොගනු ඇති බවනම් පැහැදලිවම කිව හැක. නමුත් “පැත්තක් නොගත්තද ” ඉන්දු පකිස්තාන යුධ ගැටුමක් ආරම්භ වුවහොත් කලාපීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඇතිවන බවනම් ඉතා පැහැදිලිය .

කෙසේ වෙතත් අවාසනාවකට මෙන් ඉන්දීය ජනතාවගෙන් මෙන්ම එරට මාධ්‍ය වෙතින් පවා මේවනවිට යුධ ගැටුමක් ආරම්භ කිරීම සඳහා විශාල පීඩනයක් අගමැති නරේන්ද්‍ර මෝදිට පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇත. එසේම ලොවටම අතිශය භයානක ප්‍රතිඵල අත්කරදිය හැකි මෙවැනි බරපතල ගැටුමක් වැලැක්වීම සඳහා ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විධිමත් හා ප්‍රමාණවත් උත්සාහයක් දරන බවක් පෙනෙන්නට නැත. එසේම බටහිර කේන්ද්‍රගත ඊනියා යුධ විරෝධී රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක්ද මේ මොහොතේ අනුගමනය කරනුයේ අක්‍රිය , අලස හා මන්දගාමී ප්‍රතිපත්තියකි. ජගත් සංවිධනයද ඇතුළු මෙම රාජ්‍ය නොවන සංවිධාන රැසක් කටයුතු කරනුයේ බටහිර බලවතුන්ගේ ඕනෑ එපාකම් අනුව වන බවට මෙය කදිම උදාහරණයක් වන බව ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වාදේ.

බටහිර බලවතුන්ට අවශ්‍යව ඇත්තේ ඉන්දු පකිස්තානු අර්බුදය ඔඩු දුවනු දැකීමටය . ඒ හරහා කලාපයේ කටයුතු වලට මැදිහත් වීමටද , කලාපය තුල බලය පතිරවීමටද ඔවුන්ට අවස්තාවක් ලැබේ.

මේ තත්වයන් කලාපයේ සෙසු රටවල් ලෙස අප නිවැරදිව අවබෝධ කරගත යුතුය ,ඒ අනුව අපද ඇතුළුව කලාපයේ සෙසු සියලු රටවල් මේ මොහොතේ හැකි සැම උත්සාහයක්ම ගත යුත්තේ ඉන්දු පකිස්තාන ගැටුම සමනය කිරීමටය . එවැනි ගැටුමක් වර්ධනය වීම වැලැක්වීම සඳහා කලාපීය වශයෙන් සියලු රටවල්, රාජ්‍යතාන්ත්‍රික ලෙස හැකි සෑම බලපෑමක්ම එම දෙරට වෙත යොමුකලයුතුය.

එසේම බටහිර බලවේගයන්ට යට නොවී කටයුතු කරන යුධ විරෝධී හා සාමයට ලදී කලාපයේ සියලුම රාජ්‍ය නොවන හා ජනතා සංවිධාන මේ මොහොතේ ඉන්දු පකිස්තාන ගැටුමක් වැලැක්වීම සඳහා පෙරමුණ ගත යුතුව ඇත.

එසේම මේ මොහොතේ පාකිස්තානයේ නව අගමැතිවරයාගේ ක්‍රියා පිළිවෙත මතද යම් බලාපොරොත්තුවක් තබාගැනීමට හැකි බව පෙනෙන්නට ඇත.

පකිස්තාන හමුදාව අතට පත් වූ ඉන්දීය ගුවන් නියමුවා නැවත ඉන්දියාවට භාර දීමට අගමැති ඉම්රාන් ඛාන් ගත් තීරණය පවා සාමයට ලදී කාගේත් ප්‍රසංශාවට ලක්විය .

ඒ අනුව ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ ඉදිරි පියවරයන්ද කලාපයේ සාමය අරාක්ෂා කරගැනීම වෙනුවෙන් අතිශයෙන් වැදගත් වනු ඇත.

පැතුම් වික්‍රමරත්න

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි