නවතම පුවත්

කොරෝනා සාගතයක් නොවේ

අසංක

අසංක

චතුරි මධුවන්ති
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි
කටුවන කොට්ඨාසය

කොරෝනා හෙවත් covid - 19 වෛරසය වාතය මගින් ව්‍යාප්ත වන බව තහවුරු වීමත් සමග මෙම වෛරසයේ ඇති භයානක තත්වය තව තවත් වැඩි වෙමින් පවතී.  

මෙවන් මොහොතක මෙම වෛරසය සමාජය තුල ව්‍යාප්ත වීම වලක්වා ගැනීම අප කාගේත් පරම යුතුකම සහ වගකීම බව විශේෂයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත. මෙම ව්‍යාප්තිය වලක්වා ගැනීමට අප සියලු දෙනාගේ සහයෝගය මෙන්ම ඇප කැප වීම නොලැබුන හොත් වෛරසය මුලු මහත් සමාජයම ආක්‍රමණය කරනවාට කිසිදු සැකයක් නැත. දැනට සිදුකර ඇති වෛද්‍ය පර්යේෂණ වලින්  තහවුරු කර ඇති අන්දමට වෛරසය වාතයේ පැය 3 කට ආසන්න කාලයක් ජීවත්වන අතර මෙය විනාශ කිරීමට අපහසු ශක්තිමත් වෛරසයක් බවද තහවුරු වී තිබේ. මේ හේතුවෙන් මෙම වෛරසය ව්‍යාප්ත වීමට ඇති හැකියාව  උපරිම වන අතර එම ව්‍යාප්තිය වලක්වා ගැනීමට මිනිසා විසින් අතිශය ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙතක් අනුගමනය නොකළහොත් එය මුලු ජාතියේම මළගම වීම වනවා නොඅනුමානය.

ශ්‍රි ලාංකික අපි ආගන්තුක සත්කාරයට සහ අසල්වැසියන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගනිමින් ජීවත් වීමට පුරුදු වී සිටින්නෝය. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව නාගරික ජනතාවටත් වඩා මෙම ආගන්තුක සත්කාරයන්ට සහ එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගනිමින් ජීවත් වීමට පුරුදු වී සිටිති. නිවසේ වැට කඩුල්ල අද්දරට පැමිණෙන්නකු නිවසට කැඳවා බත බුලතින් සංග්‍රහ කොට සතුටු සාමිචියේ යෙදී පිටත්කර හැරීම ශ්‍රී ලාංකික ග්‍රාමීය ජනතාවට ආවේනික ලක්ෂණයක් ලෙස පෙන්වාදිය හැක. මිනිසාට පමණක් නොව තම මායිමට පැමිණෙන සතා සිව්පාවට පවා  දිය පොදකින් සංග්‍රහ කිරීම හෙළ ගැමියාගේ සිරිතක් වුවද මෙය එසේ සිදුකිරීමට කාලය නොවන බව තරයේ සිහි තබාගත යුතුය. මෙම මොහොතේ අප හැකිතාක් “මට මේ වෛරස ආසාදනය වීමෙන් මා කෙසේ හෝ වැළකිය යුතුය” යන ආත්මාර්ථකාමී අදහස පෙරදැරි කොටගෙන තම අසල්වැසියා, මිතුරා, නෑදෑයා, සහෝදරයා, ගුරුවරයා, මව හෝ පියා යන මේ කවුරුන් හට රෝගය වැළඳුනද මා ආරක්ෂා විය යුතුය නැතහොත් මෙම රෝගයෙන් විඳවන්නට සිදුවන්නේ මා හටය යන අතිශය ආත්මාර්ථකාමී හැගීම පෙරදැරිව මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට සිතාගත යුතුය යන්න මගේ අදහසයි.

මෙහිදී ලක්වාසී සෑම පුද්ගලයෙකු මෙලෙස ආත්මාර්ථකාමීව මෙම රෝගයෙන් ආරක්ෂාවීමට උනන්දුවුවහොත් මෙම රෝගයේ ව්‍යාප්තිය වළක්වා ගැනිම එතරම් අපහසු කරුණක් නොවනු ඇත.  කෙටියෙන් කියතොත් මිනිසා තම සමාජය තුල තම පවුල තුල හෝ තම කුටුම්භය තුල හුදෙකලා වීමේ අවශ්‍යතාවයක් මතු වී තිබේ. කොරෝනා වෛරසය  සමගම කරලියට පැමිණි මීළඟ කාරණය වන්නේ ‘නිරෝධායනය’ යි. මෙම රෝගය සහ නිරෝධායනය යන නම් දෙකම ජනතාවට ආධුනික බවක් පෙන්නුම් කිරීම නිසා ජනතාව තරමක් තැති ගැනීමටකට ලක්ව සිටින බවක් පෙනෙන්නට ඇත.  මහප්‍රාණ අදහසකින් යුතු ක්‍රියාවක් ලෙස නිරෝධායනය නමැති වචනය පෙනුනද මෙය ඈත අතීතයේ පටන් ලක්වැසි ජනතාවට හුරු පුරුදු ක්‍රියාවක් බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි. 

සරම්ප, පැපොල හෝ කම්මුල්ගාය  වැනි අප විසින් දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වනු ලබන සම්ප්‍රේෂණ හැකියාව බහුල රෝගයක් වැළඳුන විට අප  එම පෞද්ගලික නිවස තුලම වෙනම කාමරයක  හෝ නිවසේ අන් අයට ඇස නොගැටෙන ගත නොගැටෙන තැනක රඳවා තබා ගනිමින් සිදු කරන්නේද මෙම නිරෝධායන ක්‍රියාවලියම බව සිහි තබා ගත යුතු අතර  නිරෝධායනය යනු කිසි සේත්ම බිය වීමට කාරණයක් නොවන බව අවබෝධ කර ගත යුතුය. මෙහිදී සඳහන් කළ යුතු දෙය නම්  පැපොල, සරම්ප වැනි රෝගවලදී දින 2 ක් තුල රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් කොවිඩ් 19 වෛරසය අසාධනය වුවකුගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 4 - 5 ක් අතර කාලයක් ගත වන අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන මොහොත වන විට රෝගය 50% කට වැනි ප්‍රමාණයකට රෝගියාට අවාසිදායක වන තත්වයකින් රෝගියා ආක්‍රමණය කර තිබීමයි.  

එම නිසා රෝගය වැළඳී ඇත්ද නැද්ද යන්න නොබලා සියලු දෙනා ස්වයං නිරෝධායනයකට ලක් විමට අවශ්‍ය වේ. 

මෙම වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීමට ගත යුතු තවත් පියවරක් ලෙස දැක්විය හැක්කේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ හැකියාව ලබා දිමයි. මෙම  ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අභ්‍යන්තර හා බාහිර යන දෙයාකාරයකට සිදු කර හැකි බව  ආයුර්වේදයේ සඳහන් වේ. ඉතාමත්ම සුප්‍රකට ප්‍රතිශක්තීකරණ ඖෂධයක් වන වෙනිවැල්ගැට නොහොත් බාංගැට තැම්බූ වතුර පානය කිරිම හා ස්නානය කිරිම ඈත අතීතයේ සිටම පැවත එන ක්‍රියාදාමයකි. මීට අමතරව පෙරුම්කායම් බැඳීම පෙරුම්කායම් කුඩු ස්වල්පයක් ආහාරයට එකතු කර ගැනිම ද කහ දියර ස්නානය හෝ කහ දියර ඇඟ ගැල්වීම ලාංකික ගැමියන් අතර මෙන්ම නාගරික ජනතාව අතර  ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත. මෙලෙස ජනප්‍රියතාවයට පත්වීම නිසාම මෙම ඖෂධ වලට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග මේවායේ මිළ අධිකවීම මෙන්ම සොයා ගැනීමට ඇති අපහසුතාවයන්ද මතු වී තිබේ. 

පෙරුම්කායම්, වෙනිවැල්ගැට (බාංවැල්ගැට) හෝ කහ සොයා ගැනීමට අපහසු වුවද ආයුර්වේදයේ මෙම ප්‍රතිශක්තිකරණය වැඩි කිරිම සඳහා භාවිතා කළ හැකි ඖෂධ ඉතා විශාල ප්‍රමාණයක් ඇති අතර රත කල්කය (දෙසඳුන් කල්කය) සුදර්ශනා චූර්ණය, නෙල්ලි රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි, එළබටු, කටුවැල්බටු, සිරිතේක්කු යන මේවාද භාවිතාකළ හැක.  මෙම ඖෂධ වලින් ප්‍රතිශක්තිකරණය වැඩි වන බව නවීන විද්‍යාත්මකවද ඔප්පු කර ඇත. 

මෙම වෛරසයෙන් ආරක්ෂාවිම සදහා ශරීරය වාතයට නිරාවරණය විම හැකිතාක් දුරට  අඩු කර ගැනිමත්, ශාරීරික පිරිසිදුභාවයත්, නිතර විෂබීජහරණයත් අතිශයින්  වැදගත් වේ. නිතර අත් සේදීම, සබන් හෝ කහ  වෙනිවැල්ගැට තැම්බූ වතුර යොදා ගැනිම, හැකි සෑම අවස්ථාවකම දෙඅත්  සහ මුහුණ සේදිම, නාසය සහ මුහුණ කට ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම, හැකි සෑම අවස්ථාවකදිම  උණුසුම් ජල බඳුනකට ලුණු සහ ගම් මිරිස් යොදා උගුර සේදීම සිදු කිරීම වැදගත් වේ. 

රෝග වාහකයා කොතැනක කොයි මොහොතක කිනම් ස්වරූපයකින් අප වෙත පැමි‍ණෙන්නේද යන්න ස්ථිරව කිව නොහැකි  බැවින් නිවසට අමුත්තන් පිළි නොගැනීමටත් බාහිර ස්ථානයකින්, වෙළඳ පොළෙන්, තැපැල් මගින් හෝ වෙනයම්  ආකාරයකින් හෝ  එන්නා වූ භාණ්ඩ විෂ බීජ හරණයකින් තොරව භාවිතා නොකිරීමටත් වග බලා ගන්නේනම් මැනවි. 

වෙළද සැල්වල ජනී ජනයා  රොක් වී පොරකමින්  එකිනෙකා ස්පර්ශ වෙමින් භාණ්ඩ  තේරීම හේතුවෙන් මෙම වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි අතර රට තුළ පවතින්නේ වෛරස රෝග වසංගත තත්වයක් මිස සාගත තත්වයක් නොවන බව තේරුම් ගෙන හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලට නොයෑමට වග බලා ගත යුතුය. 
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි