නවතම පුවත්

“කොවිඩ් වසංගතය අවසන් කළ හැකියි”- කොවිඩ් එන්නත හැදු විද්‍යාඥයා කියයි

අසංක

අසංක

වසරකට ආසන්න කාලයක් පුරා කොරෝනා වසංගතයෙන් බැටකමින් සිටින කෝටි සංඛ්‍යාත ලෝ වාසීන් සියලුම දෙනා පාහේ මේ වනවිට බලාපොරොත්තුවේ දෑස් දල්වා , නොඉවසිල්ලෙන් මෙන් බලාසිටිනුයේ කොරෝනාව සාර්ථකව මැඩලිය හැකි එන්නතක් නිපදවෙන තුරුය .

දැනටමත් එවැනි එන්නත් කිහිපයක්ම කරලියට පැමිණ ඇති නමුත් ඒ සියල්ලම තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමකය . ඒ අතරින්ද ලොව මේ වනවිට වැඩි වැඩි විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තබා ඇත්තේ ඇමෙරිකාවේ Pfizer සමාගම හා ජර්මනියේ BioNTech ආයතනය එක්ව නිපදවා ඇති එන්නත කෙරෙහිය .

රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත මෙම එන්නත අත්හදා බලා ඇති අතර එහිදේ එහි සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නොමැති බවට තොරතුරු වාර්තාවේ .

එසේම මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කරන බවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ .

කෙසේ වෙතත් කොරෝනා මර්ධනයට .මෙම එන්නත කෙතරම් සමත්කම් දක්වන්නේද ? එහි ප්‍රතිඵල කෙබඳුවේද ? ඒ ගැන අපට කෙතරම් දුරට විශ්වාසය තබා ගත හැකිද ? යන ගැටළු අප තුල තවමත් ඇත .

එන්නත පිලිබඳ ඒ සියලු සැකසංකා හා ගැටළුවලට , පිළිතුරු අසා දැනගැනීම සඳහා අපට සිටින සුදුසුම පුද්ගලයා වන්නේ , එම එන්නතේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ජර්මනියේ BioNTech ආයතනයේ ප්‍රධාන විධායක , විද්‍යාඥ උගුර් සහීන් ය .

ඒ අනුව උගුර් සහීන් , බ්‍රිතානයේ ගාර්ඩියන් පුවත්පතට ප්‍රථම වරට සාකච්ජාවක් ලබාදෙමින් , මෙම ගැටළුවලට අදාළ පිළිතුරුද සපයමින් එන්නත පිළිබඳව සාර්ථක පැහැදිලි කිරීමක් කර තිබිණ .

” කොරෝනා වෛරසයේ ඔලුවටම පහරක් දෙන්න , අපේ මේ එන්නතට හැකිවේවි යයි මා විශ්වාස කරනවා.” යයි මෙම සාකච්ජාව ආරම්භයේදීම උගුර් සහීන් අවධාරණය කර ඇත .

2020 වසර පුරා ලෝකයම අත්අඩංගුවට ගෙන සිටි කෝරෝනා වසංගතයට තිත තැබීමට මෙම එන්නත සමත්වේවි , ඒ ගැන මට පැහැදිලි විශ්වාසයක් තිබෙනවා යයිද උගුර් මෙහිදී සඳහන් කලේ සූම් තාක්ෂනය ඔස්සේ ගාර්ඩියන් පුවත්පත සමග එක්වෙමිනි .

“මෙම එන්නත මගින් , කොරෝනාවට එරෙහි ශක්තිමත් ප්‍රතිශක්තීකරණ ශක්තියක් මනුෂ්‍ය ශරීරය තුල ගොඩනගනවා. එය මෙතෙක් කරන ලද පර්යේෂණ වලින් අනාවරණ වී තිබෙනවා .” යයිද ඔහු මෙහිදී පැහැදිලි කර ඇත . .

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කෙරෙන බවත් උගුර් ගාර්ඩියන් පුවත්පතට සඳහන් කර ඇත

එන්නතට අදාළ විද්‍යාත්මක කරුණු පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කරමින් උගුර් මෙසේද පවසා ඇත

“මෙය RNA ගණයට අයත් නව එන්නත් වර්ගයක් . ඒ සඳහා භාවිත කෙරෙන්නේ වෛරසයේ ජාන කේතයෙන් වෙන් කර ගත් ඉතා කුඩා කොටසක් පමණයි . එම කොටස මිනිසාගේ සිරුර තුළ ක්‍රියාත්මක වීමෙන් වෛරසයේ කොටසක් තනනු ලබන අතර එය පිටස්තරයෙකු ලෙස හඳුනා ගනිමින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට එරෙහිව සටන් කරන්නට පටන් ගන්නවා .

මෙම එන්නත මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන අතර එම මාත්‍රා දෙක අතර සති තුනක කාල පරතරයක් තබා ගැනෙනවා .මූලික අත්හදා බැලීම්වලින් දනන් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත ලබා දුන් පිරිසෙන් 90%කට වැඩි දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවන බවයි “.

උගුර් සහීන් ප්‍රධානත්වය දරන BioNTech ආයතනය පිහිටුවන ලද්දේ 2008 වසරේදී වන අතර එහි සමාරම්භයටද මුල් වූයේ උගුර් සහීන් හා ඔහුගේ බිරිඳ වන ඔස්ලෙම් ටුරේසිය .

“ඇමෙරිකාවේ Pfizer සමාගම සමග එක්වීම නිසා මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු වේගවත් වුනා .
එසේම නියාමන ආයතන වෙතින් ලැබුණු සහයෝගයත් නිසා වසරක කාලයකට සැලසුම් කර තිබු මෙම ව්‍යාපෘතිය මාස දහයක් වැනි කෙටි කාලයකින් අවසන් කරන්නට හැකිවුනා ” යයි උගුර් සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතුකාරක වූ කරුණු සිහිපත් කරමිනි.

මෙම එන්නත තුලින් කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැංවීම පමණක් නොව , වෛරසය සම්ප්‍රේෂණය වීමද පාලනය කල හැකි බව මේ වනවිට තහවුරු වෙමින් ඇති බව උගුර් සහීන් මෙහිදී අනාවරණය කර ඇත .

මෙම එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන තවදුරටත් විස්තර කරන මෙම සුවිශේෂී විද්‍යාඥයා සඳහන් කර සිටියේ මෙවැන්නකි ,

” මෙම එන්නත ආකාර කිහිපයකින්ම කොරෝනාවට එරෙහිව ක්‍රියාත්මක වනවා . මෙම එන්නත හරහා , කොරෝනා වෛරසය මිනිසුන්ගේ සෛලවලට ඇතුළුවීම වලකාලීමට පියවර ගන්නවා . නමුත් කොරෝනාව කෙසේ හෝ සෛලය තුලට ඇතුළුවීමට සමත් වුවහොත් ,කොරෝනාව සමග සටන් කර එය විනාශ කිරීම සඳහා , මිනිස් ශරීරයේ ටී සෛල මෙහෙයවීමට , එන්නතට හැකියාවක් තිබෙනවා . මෙලෙස මිනිස් ප්‍රතිශක්ති පද්ධතිය දෙආකාරයකින් ශක්තිමත් කිරීමට මෙම එන්නතට හැකියාව තිබෙනවා . අපේ එන්නතේ මෙම සංකීර්ණ හා ද්විත්වාකාර යාන්ත්‍රණයට මුහුණ දීමට කොරෝනා වෛසරයට ශක්තියක් නැහැ .”

කෙසේ වෙතත් මෙම එන්නතට අදාළ ඇතැම් පර්යේෂණ වල ප්‍රතිඵල මෙතෙක් සම්පූර්ණයෙන් නිකුත්වී නොමැත ,

මෙම එන්නත විවිධ වයස් ඛාණ්ඩ වලට අයත් හා ජාතීන්ට අයත් ජන පිරිස් වෙත බලපාන අකාරය පිලිබඳ කල පර්යේෂණ වල වාර්තා ඉදිරි සති කිහිපය තුල නිකුත්වීමට නියමිතව ඇත .

එසේම මෙම එන්නත හරහා ඇතිවන ප්‍රතිශක්තිය බලපවත්වන කාලසීමාව පිළිබඳව කෙරෙන පර්යේෂණ වල අවසන් වාර්තාද තවම නිකුත්ව නොමැත . , නමුත් දැනට එම පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ , එන්නත මගින් ලබාදෙන ආරක්ෂාව වසරකට ආසන්න කාලයක් බලපැවැත්වෙනු ඇති බවයැයි උගුර් මෙහිදී ගාර්ඩියන් පුවත්පතට සඳහන් කර ඇත .

මෙම වසර අවසානය වනවිට මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවටද උගුර් විශ්වාසය පළකර ඇත ,

එන්නත පිලිබඳ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග උගුර් සහීන්ගේ .BioNTech ආයතනයේ කොටස් මිල සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති අතර , එන්නත වෙළඳ පලට ඇතුලත් වූ පසු BioNTech හා Pfizer ආයතනවෙත ලැබෙන ආර්ථික ප්‍රතිලාභය අතිවිශාල වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය දැනටමත් අනාවැකි පළකර ඇත . එක්සත් රාජධානිය මේවන විටත් එන්නතින් මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර ඇත

කෙසේ වෙතත් මෙම ආර්ථික ප්‍රතිලාභ ගැන අදහස් දක්වමින් උගුර් සඳහන් කර ඇත්තේ මෙවැන්නකි .

“එන්නතෙන් ලැබෙන සුවිශාල මුදලට කුමක්ද කරන්නේ කියා තවම හිතා නැහැ , නමුත් අපි අලුත් දේවල් නිර්මාණය කරන අය . ඒක තමයි අපේ ජීවිතය , ඒ අනුව මේ ලැබෙන මුදල්ද බොහෝ විට තවත් අලුත් නිර්මාණයක් ,ලොවට බිහිකිරීමට යොදවාවී .

අපට වෙනත් විනෝදාංශ නැහැ , මමත් මගේ බිරිඳත් විද්‍යාඥයින් . අපි අපේ ජීවිතයම කැප කර ඇත්තේ විද්‍යාව වෙනුවෙන් , විද්‍යාව හරහා ලොවට සේවයක් කිරීම අපගේ අරමුනයි . ඒ නිසා අපේ ජීවිත ඉදිරියටත් මේ විදියටම තියේවි , අපි ඉදිරියටත් මේ වගේ අලුත් නිපැයුම් ලොවට ලබාදෙමින් ගත කරාවි .”

උගුර් තවමත් තම ආයතනයට පැමිණෙන්නේ පාපැදියකිනි , එය ඉදිරියටත් වෙනස් නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත .

මෙම එන්නතේ සාර්ථකත්වය තහවුරු වීමේ ආරංචිය උගුර් තම බිරිඳද සමග සමරා ඇත්තේද සුවිශේෂී ආකාරයකටය ,

” අපේ හිත්වලට විශාල සහනයක් දැනුනා , ඒ නිසා අප දෙදෙනා සියලු වැඩ රාජකාරි නවත්තල , තේ කෝප්ප දෙකක් බොමින් නිදහසේ අපේ මේ ජයග්‍රහණය සැමරුවා ” යයි උගුර් පුවත්පතට සඳහන් කර තිබිණ .

“එන්නත නිපදවීමේ යාන්ත්‍රනය සාර්ථකව සම්පූර්ණ කිරීම සඳහා තවත් පියවරයන් කිහිපයක් සම්පූර්ණ කල යුතුව තිබෙනවා , නමුත් එම පියවරයන්ද ගැටලුවකින් තොරව සම්පූර්ණ කල හැකි බවට වන විශ්වාසය දැන් අපට ලැබී තිබෙනවා . කොරෝනා නම් ගෝලීය සෞඛ්‍ය අර්බුදය අවසානය කරා ගෙන ඒමට, අවශ්‍යවම තිබූ සොයා ගැනීම අප සිදුකර තිබෙනවා , එය ලොව පුරා ජනතාව වෙත සම්පාදනය කිරීමේ සුවිශේෂී පියවරටද අප ආසන්න වී සිටිනවා . විද්‍යාව හා මානව හිතවාදය එක්තැන් කල සුවිශේෂී නිපැයුමක් ලෙස මෙම එන්නත හැඳින්විය හැකියි , එය සමස්ත ලෝකයටම අයිති ජයග්‍රහණයක්. “යයි උගුර් හසීන් තම සංවාදය අවසානයේ පුවත් පතට සඳහන් කර ඇත .

ගාර්ඩියන් පුවත්පත ඇසුරෙන්

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී