නවතම පුවත්

කොළඹ තර්ස්ටන් විද්‍යාලය 71 වන සංවත්සරය සමරයි

අසංක

අසංක

ලොවක් මවිත කළ, රටක් ඒකළු කළ, දැයක් පුබුදු කළ පුතුන් රැසකට තෝතැන්නක් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය ජනවාරි මස 11වන දින සිය 71 වන සංවත්සරය අභිමානයෙන් සමරයි.

එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය ඊ. ඒ. නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1950 ජනවාරි එකොළොස් වන දින ආරම්භ කෙරුණු මෙම පාසලේ ප්‍රථම කණ්ඩායම ලෙස සිසුන් 26 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

මීට අමතරව රාජකීය විද්‍යාලයේ ද්වීතික කොටසට සුදුසුකම් නොලැබූ සිසුන් 112 දෙනෙක්ද පාසැලේ 6, 7 සහ 8 වසර වලට සුදුසුකම් ලැබීය.

තර්ස්ටන් පාරේ ද්විතීක පාසල ලෙස ආරම්භ කළ මෙම පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ඩී. පී. ඒ. ෂොක්මන් මහතා පත්කෙරිණි. ත්‍රිත්ව විද්‍යාලයේ දී ඔහු ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම විද්‍යාලය ඉතාමත් කෙටි කලකින් දිවයිනේ ප්‍රමුඛ පෙලේ පාසල් අතරට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණි. මේ අනුව වර්ෂ 1953 මාර්තු මස 26 වන දින තර්ස්ටන් පාරේ ද්වීතීක පාසැල කොළඹ තර්ස්ටන් විද්‍යාලය නමින් නම් කෙරිණි.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වන ජනාධිපතිවරයෙකු මෙන්ම යුද, ගුවන්, නාවික හමුදාවල ඉහලම නිළයන් ගෙන්ද පොලිස්පති ධූරයන් ද පිදුම් ලද වීර පුතුන් විශාල ප්‍රමාණයක් තර්ස්ටන් මව් කුසින් බිහිවී ඇත බවට සැකයක් නොමැත. ඒමෙන්ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, අග්‍රගන්‍ය කලාකරුවන්, මාධ්‍යවේදීන්, දෙස් විදෙස් පතළ ව්‍යාපාරිකයන් වැනි දහසකුත් ඒකක් ලොවට වැඩ ඇති පුතුන් තර්ස්ටන් මවගේ රුහිරෙන් පෝෂණය ලැබූහ.

කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් අතර තර්ස්ටන් විද්‍යාලයට ඉතා ඉහල තැනක් හිමිවන අතර අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ද තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් ඉතාමත්ම ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය.

ඒ සඳහා වර්තමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ගේ මෙන් ම විද්‍යාලයේ පරිපාලනයට එදා මෙදා තුර දායක වූ එම්. ඩී. ගුණවර්ධන පි. එම්. ජයතිලක පී. එස්. ගුණසේකර එච්. ඩී. හර්මන් පෙරේරා ආර්. ඩී. එම්. පී. වීරතුංග යන විදුහල්පති තුමන්ලාගෙන් ලැබුණු දායකත්වය අපමණය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ද්වීතික පාසලක් ලෙස වසර 71 ඉතිහාසයක් සනිටුහන් කළ ද, තර්ස්ටනය 1859 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.

එනම් වර්ෂ 1859 දී ඉංග්‍රීසි ජාතික දේවගැතිවරයකු වන ඒ. ජේ. තර්ස්ටන් පියතුමා විසින් තම පෞද්ගලික ධනයෙන් වත්මන් තර්ස්ටන් විද්‍යාලය පවතින ස්ථානයේදී කාර්මික විද්‍යාලයක් ආරම්භ කොට පවත්වාගෙන ගොස් තිබිණ.

කෘෂිකර්මය සහ අත්කම් පිළිබඳව දැනුම බෙදා දීම සඳහා පවත්වාගෙන ගිය මෙම පාසැල පසුකාලීනව වැසී යන අතර වර්ෂ 1884 දී ඉංග්‍රීසි රජය විසින් මෙම ස්ථානයේ කෘෂිකාර්මික පාසැලක් ආරම්භ කරණ ලදි.

මෙලෙස ආරම්භ වන කෘෂිකාර්මික පාසැල වර්ෂ 1910 දී වැසී යන අතර පාසැලේ ගොඩනැගිලි උපයෝගී කරගනිමින් ප්‍රදේශවාසී දරුවන් සඳහා ප්‍රාථමික පාසලක් පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබේ.

රාජකීය විද්‍යාලය 1923 දී රීඩ් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ආරම්භ කිරීමත් සමඟ මෙම ප්‍රාථමික පාසැල ද එම පරිශ්‍රයට රැගෙනයාමෙන් හිස් වූ මෙම ගොඩනැගිලි සහ භූමිය රජය විසින්ගුරු අභ්‍යාස විද්‍යාලය සඳහා උපයෝගී කර ගන්නා ලදී.

මෙම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම නේවාසික පහසුකම් සැලසුණු අතර Denham Hostel ලෙස හැඳින්වුණු මෙම ගොඩනැගිල්ල 80 දශකයේ අග භාගය වන තෙක්ම කොළඹ නගරයේ සුප්‍රකට බිම් සලකුණක් ලෙස විරාජමාන විය.

කෙසේ වෙතත් 1949 මෙම ගුරු අභ්‍යාස ආයතනය මහරගම වර්තමාන ගුරු අභ්‍යාස ආයතනය පවතින ස්ථානයට ගෙන යෑමෙන් පසු හිස් වූ මෙම ගොඩනැගිලි සහ අක්කර පහමාරක පමණ භූමිය 1950 දී තර්ස්ටන් පාර ද්වීතික විද්‍යාලය බවටත් 1953 දී එය කොළඹ තර්ස්ටන් විද්‍යාලය බවටත් පත් වී, මේ වන විට ලක්ෂ සංඛ්‍යාත දරු කැලක් නැණයෙන් පුබුදන්නටත් විනයෙන් සරසන්න ටත් ඇප කැප වූ බව නොරහසකි.

මේ වන විට තුන්දහස ඉක්මවූ ලාංකීය පුතුන් පිරිසකගේ නැණ ආලෝකයෙන් පෝෂණය කර දෙස ඔසවා තබන්නට සැමවිටම කැපවී සිටින තර්ස්ටන් විදු මවගේ පාසලේ ප්‍රෞඩත්වය පිළිබිඹු කෙරෙන ඉතා පැරණි ගොඩනැගිලි පද්ධතිය දීර්ඝ කාලයක් භාවිත කිරීමෙන් දැඩිව අබලන් තත්ත්වයකට මුහුණ දෙමින් තිබුණි සිසු දරුවන්ට ඒ තුළ අධ්‍යාපනය ලැබීමට පවා අපහසු සහ අවදානම් තත්ත්වයකට පත්ව තිබුණි.

මෙම ගොඩනැගිලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න වර්තමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ උදාරතර සංකල්පයකට අනුව 2020 අගෝස්තු මස විසි වන දින සුබ මොහොතින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී.

රට තුළ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමග මෙම කටයුත්තට දැඩි බාධා එල්ල වුණු නමුත් විදුහල්පතිතුමාගේ නොපසුබට උත්සාහයත් දැඩි කැපවීමත් තුළින්ම මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව සාර්ථකත්වය කරා ගෙනයාමට හැකිවිය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන මොහොතේ ගොඩනැගිලි තුළ අධ්‍යාපනය කටයුතු සිදුකරමින් සිටි සිසු දරුවන් ඉතාමත් සැලසුම් සහගත ලෙස විකල්ප ස්ථාන වෙත යොමුකරමින් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව බාදාවකින් තොරව පවත්වාගෙන යාමට විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය විසින් ගත් උත්සාහය මෙහිදී ඉතාමත් අගය කළ යුතුය

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙහිලා දිවා රෑ වෙහෙසෙමින් ගත යුතු සෑම පියවරක්ම කලට වේලාවට නිසි අයුරින් ක්‍රියාත්මක කළ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය, විවිධ මට්ටමේ නිලධාරීන්, ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන්, නන් අයුරින් අනුග්‍රාහකත්වය සැපයූ සුභ පතන්නන්, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, පාසල් සංවර්ධන සමිති නියෝජිතයන් යන මේ සියලු දෙනාගේ කැපවීම තුළින් ප්‍රතිසංස්කරණය කර ඔප නැංවුණු අභිමානවත් ගොඩනැගිලි පද්ධතිය තර්ස්ටන් මාතාවගෙ 71වන උපන්දිනයට පීදෙන උත්කෘෂ්ට තිළිණයේ පංගු කරුවෝ වෙති.

මෙලෙස නවීකරණය වන ගොඩනැගිලි පද්ධතිය තර්ස්ටනයේ දීප්තිමත්ම ආදිශිෂ්‍ය යාවන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 11 වන දින උදෑසන සිසු අයිතියට පැවරීමට කටයුතු යොදා තිබේ. ඒදින රාත්‍රියේදී පාසලටත් ලක්වැසි ජනතාවටත්සෙත් පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුදින මහා දංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිනාවක්ද පිරිනැමීමට නියමිතය.

දශක හතක් පුරා බස රැස රකිමින් දේශයට අභිමානවත් පුතුන් දායාද කළ තර්ස්ටන් මාතාවනි ඔබට සුභ උපන්දිනයක් වේවා!

නුවන් රයිගමගේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්