නවතම පුවත්

තරග 5ක් පරාජය වූ ගාල්ල ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වඩා වැදගත් වන්නේ ආරම්භය නොව අවසානය යයි කදිමට කියා දුන් ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතිශය තියුණු අවසන් පූර්ව තරගයකින් අනතුරුව ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. තරගාවලියේ පළමු තරගයත් ජයගනිමින්, මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කොළඹ කිංග්ස් කණ්ඩායමේ සියලු උත්සාහය අවසන් ඕවරයේදී ගිළිහුණු උඩපන්දුවේ සැඟව, නොපෙනී ගියේය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (13 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ ‍කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩකයෝ බදාදා (16 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේ ස්ථානය වෙන්කරවා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම කඩුලු 8 ක් දැවී අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. 10 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන්, තමා මුහුණදුන් පළමු පන්දුවම මිඩ් ඕෆ් කළාපය ඔස්සේ හතරේ සීමාව වෙත යවමින් ගාල්ල කණ්ඩාමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඉසුරු උදාන යැවූ අවසන් ඕවරයේදී තරගය ජයගැනීම සඳහා ගාල්ල කණ්ඩායමට ලකුණු 15 ක් රැස්කිරීමට සිදුවිය. ඒ වන විට ලකුණු 20 ක් ලබා සිටි ධනංජය ලක්ෂාන්, ‍එම ඕවරයේ පළමු පන්දුවේදීම ලබාදුන් උඩ පන්දුවක් මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ක්වායිස් අහමඩ් අතින් ගිළිහී යෑම ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණයට මහත් අස්වැසිල්ලක් විය.

ලැබුණ අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත් ධනංජය ලක්ෂාන්, පළමු පන්දු 2 දී ලකුණු 2 බැගින් ලබාගත් අතර තෙවැනි පන්දුවට ලෝන් ඕෆ් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් ගැසුවේය. සිවුවැනි පන්දුවේදී ලකුණක් සඳහා පැති මාරුකරගත් ධනංජය, අවසන් පන්දු දෙකේදී ලකුණු 4 ක් රැස්කිරීමේ වගකීම ලක්ෂාන් සඳකැන්ට පැවරීය.

නායක භානුක රාජපක්ෂ පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක්ද, අසාම් ඛාන් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද, ෂෙහාන් ජයසූරිය පන්දු 24 කදී හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව අවසන් වරට පැවැති තරගයේදී ආබාධයකට ලක්වූ ‍එංගලන්ත ජාතික ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් මෙම තරගය සඳහා සහභාගි නොවීය. ‍මෙම තරගයේ පන්දු රැකීමේදී ආබායකට ලක්වීම නිසා ඔන්ඩ්‍රි රසල්ට එක් ඕවරයක් හෝ යැවීමට නොහැකි විය.

පන්දු යවමින් සිටියදී කළවේ ආබාධය යළිත් ඉස්මතු වීම හේතුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්ටද පන්දු යැවීම අතරමග නතර කිරීමට සිදුවූ අතර ඔහු පන්දු රැකීමෙන්ද ඉවත්ව ක්‍රීඩ‍ාංගණයෙන් ඉවත සිට උප නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම මෙහෙයවීම සඳහා උපදෙස් ලබාදුන් අයුරු දැකගත හැකි විය. ඉසුරු උදාන අවසන් ඕවරය යැවීම සඳහා පැමිණියේද පන්දු රැකීමේදී සිදුවූ ආබාදයකට ප්‍රතිකාර ලබාගැනී‍මෙන් පසුවය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් ලබාගත් අතර කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ එංගලන්ත ජාතික ඩැනියෙල් බෙල් ‍ඩ්‍රමන්ඩ්, පන්දු 53 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 ක් රැස්කළේය.

අසන් අලීගේ සහායද ඇතිව ආරම්භක පිතිකරු ළහිරු උදාරගේ ඉනිම ලකුණකට සීමා කළ නුවන් තුෂාර, තරගය ආරම්භයේදීම කොළඹ කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කළේය. පිට ඉන්නෙන් පිටත පතිත වූ ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් දිනේෂ් චන්දිමාල්‍ගේ පා ඉන්නේ දැවටීමත් සමග එම පීඩනය තවත් වැඩි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ෂාන් සඳකැන්, කොළඹ කණ්ඩායමේ මැද පෙළ සුනුවිසුණු කර දැමුවේ නායක ඇන්‍ජලෝ මැතිව්ස් (6), ඔන්ඩ්‍රි රසල් (11) සහ අෂාන් ප්‍රියන්ජන් (5) අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. දක්ෂ ලෙස පන්දුවට පහර‍දෙමින් සිටි බෙල් ‍ඩ්‍රමන්ඩ්, ෂෙහාන් ජයසූරියගේ පන්දුවක් හමුවේ ගැසූ වේගවත් පහරක් උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට නායක භානුක රාජපක්ෂ සමත් වීමද කොළඹ කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ඉන් අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ ධනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර පිළිවෙලින් තික්ෂිල ද සිල්වා (6) සහ ක්වායිස් අහමඩ් (8) දවාගනිමින් කොළඹ කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය තවත් අඩාල කළහ. කෙසේ වුවත් නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉසුරු උදාන පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් රැස්කරමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 ක් දක්වා ඔසවා තැබීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි