නවතම පුවත්

දකුණට පමණක් විශේෂ ‘සුදදේ පෝය’ ගැන දැනගන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සෑම මාසයකටම පුර පසළොස්‌වක දිනයක්‌ උදාවීම සිදුවන හෙයින් එදින සිය ආගමික කටයුතු වලට යොදා ගන්නට කල්තියාම සූදානම් වීම අප රටේ බෞද්ධයන්ගේ ක්‍රියා පිළිවෙතයි. මේ අනුව දුරුතු මාසයේ නමින් පටන් ගන්නා පොහොය දිනය උඳුවප් මාසයෙන් අවසන් වේ. ඉඳහිට ලබන අධි පොහෝ දිනයක්‌ ලැබූ විට වසරේ පොහොය දින ගණන 13 ක්‌ බවට පත් වේ. නමුත් මේ රටේ සිටින ඇතැම් අයට සෑම වසරකටම පොහොය 13 ක්‌ම ලබන බව ඇසුවොත් එය අසත්‍යයක්‌ කොට ඉවත දමනවා නොඅනුමානය. නමුත් එය සත්‍යයකි. අනාදිමත් කාලයක්‌ තිස්‌සේ සිදුවන මේ පොහෝ උදාව පිළිබඳ ලියන ලද අය ද කියන ලද අය ද ඉතා අල්ප වූ හෙයින් මෙම පොහොය පිළිබඳ අප රටේ බොහෝ පිරිස්‌ තුළ තිබෙන දැනුම අල්ප බව නොකීව මනාය. එබැවින් එම පොහොය පිළිබඳ සැඟවුණු කරුණු ඔබ හමුවේ තබන්නට මම අදහස්‌ කළෙමි.

ඈත අතීතයේ සිට මෙරටෙහි බ්‍රාහ්මණ වංශිකයන් පදිංචිව සිටි බවට බොහෝ තොරතුරු සොයා ගන්නට හැකියාවක්‌ ඇත. විජය රජුගේ මරණයෙන් පසු රජෙකු තෝරා ගන්නා තුරු මෙරට පාලනය කළ දෙවැනි පාලකයා වන්නේ බ්‍රාහ්මණ වංශික උපතිස්‌ස බමුණාය.

දෙවනුව සිරිමා බෝධි ශාඛාව ලක්‌දිවට වැඩමවා දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට වැඩම කරවන විට එම පෙරහැර පිළිගෙන එයට සම්බන්ධ වූ බමුණුගම තිවක්‌ක බමුණගම ලෙස හඳුන්වයි. එම බමුණුගමෙහි විසූ “තිවක්‌ක” නම් බමුණා එය රෝපණය කරන රාජ්‍ය උත්සවයටද සම්බන්ධවූ හෙයින් ඔහුට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූ දේවානම්පියතිස්‌ස රජු එම බෝධි රෝපණ අවස්‌ථාවේදී පැන නැංගාවූ අෂ්ඨඵලරුහ බෝධියෙන් එක්‌ අංකුරයක්‌ පිරිනමන ලද්දේ මෙම තිවක්‌ක බමුණාටය. ඔහු එය රැගෙන ගොස්‌ රෝපණය කළ බෝධිය තන්තිරිමලය විහාරයේ තිබෙන බෝධිය ලෙස විශ්වාස කෙරේ. එදා තිවක්‌ක බමුණාගම අද තන්තිරිමලය ලෙස හඳුන්වන බව පෙනීයයි.

පොළොන්නරු යුගයේදී පළමුවන විජයබාහු රජුගේ ඔටුණු පළන්දන මංගල්‍ය සඳහා දඹදිව රාජ්‍යයෙන් බමුණන්ද ගෙන්වූ බව සඳහන් වේ. ඒ අනුව විජයබා රජුගේ අභිෂේකය සඳහා ඉන්දියාවේ සිට පැමිණි බමුණන් සත් දෙනකු බේරුවල වරායේ සිට අනුරාධපුරයට ගෙන ගොස්‌ රජුට නියමිත සිරිත් විරිත් අනුව ඔටුණු පළඳවා ඇත. ඔවුන් සත් දෙනාගේ නම් සහ ඔවුන්ට මෙරටින් විවාහ කර දුන් කුලකාන්තාවන් සත්දෙනා පිළිබඳව හෙළදිව් බමුණවතෙහි සඳහන් වන්නේ මෙසේය.

කප්පින බමුණ සහ නම්බුදිරි බමුණා

වීරසිංහ හා වීරක්‌කොඩි බමුණා

ඉදිරිමුණි ද සහ වලිමුණි නම් බමුණා

එදිරිසිංහ යන මේ නම් සතින් මුණා

තෙදැකි සාමි සහ කොම්බි සාමි ද

මැණික්‌ සාමි සහ බපලි සාමිව ද

නිමල් සාමි සහ රංසාමි ලද ද

දිල්ලි සාමි නම් කුමරින් මෙනම්ල ද



නෙක පෙරහරින් කැඳවාගෙන මෙසත් දෙන

එකවිට පැමිණි රජවාසල සිටිය තැන

දැක රජතුමා කුමරින් සතුටුව සෙ දින

එක එක කුමරි බමුණන් හට පාව දුන

මේ අනුව පෙරසිටි බමුණු පිරිස්‌ සමගද මිශ්‍රවූ මෙම බමුණු පිරිසද කුරුණෑගල, වැලිතර, හලාවත, පොළොන්නරුව ආදී ප්‍රදේශවල දඹදෙණිය, ගම්පොළ සහ සතර කෝරළේ යන ප්‍රදේශවල පදිංචි වී ඇත. මේ අනුව ලක්‌දිව ව්‍යාප්ත වූ නව බ්‍රාහ්මණ පවුල් බුදු දහමට එක්‌වූවද සිය දේවාගම්ද ගරුකර පුද පූජා දක්‌වන්නට විය. ඔවුන් අතර තිබුණු සිවදෙවි වන්දනය, පත්තිනි වන්දනාව, කතරගම දේව වන්දනාව ශ්‍රී විෂ්ණු වන්දනය ආදී දෙව් පුද සිරිත්ද ඔවුන් විසින් දිගටම සිදුකරන ලදී. මෙසේ ව්‍යාප්ත වුණු බ්‍රාහ්මණ වංශික පෙළපතෙහි ප්‍රධාන අමාත්‍යවරු දෙදෙනකු වූයේ දඹදෙණි යුගයේ විසූ දේවප්‍රතිරාජ අමාත්‍යවරයා සහ සබරගමු ප්‍රදේශයේ ක්‍රියා කළ ආර්ය කාමදේව බ්‍රාහ්මණ අමාත්‍යවරයාය. කලිකාල ශ්‍රී සර්වඥ පණ්‌ඩිත දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඇමැතිවරුන් වූ මෙම දෙදෙනා බෞද්ධයන් වුවද දෙවියන් කෙරෙහි අචල භක්‌තියක්‌ විශ්වාසයක්‌ ඇතිව ක්‍රියාකළ පාලකයන්ය. ආර්ය කාමදේව බ්‍රහ්මණයා සුමණ සමන් දෙවියන්ට වූ බාරයක්‌ ඉටුකිරීම සඳහා සබරගමු සමන් දේවාලය තනවා පූජා කරන්නට යෙදුණි. දෙවප්‍රතිරාජ අමාත්‍යවරයා දකුණුලක පාලනය කළ අතර පැරකුම් රජුගේ අගමැතිවරයා ලෙසත් ශාසන භාර අමාත්‍යවරයා ලෙසත් ක්‍රියා කළේය. ඔහු විසින් සිදුකළ වැලිතර කේරළ සංහාරය නිසා වැලිගගේ ජලය ලේ පැහැ ගැන්වූ බව සිදත් සඟරාවේ සඳහන් වේ. රත්ගම කොස්‌ගොඩ ප්‍රදේශය මුල්කරගෙන ඔහු විසින් ක්‍රිsයාත්මක කළ ප්‍රාදේශීය සංවර්ධන විධි අද ද පුළුල් පරීක්‍ෂණයකට යොමුකර යළි ක්‍රියාවට නංවන්නේ නම් එය රටම ස්‌වයංපෝෂිත කිරීමට හේතුවන බව කිව යුතුය.

දේවපතිරාජ අමාත්‍යවරයා බෙන්තර ගඟ ළඟ සිට ගිංගඟ ප්‍රදේශය සිය ඇල්ම බැල්ම විශේෂයෙන් යොදවා සංවර්ධනය කර ඇති බිම් කඩකි. විශේෂයෙන් මෙහි වාසය කළ බ්‍රාහ්මණ වංශික ජනයාට සිය දේව ඇදහිලිද පවත්වාගෙන යන්නට බොහෝ සෙයින් දිරි දී ඇත. ඒ අනුව ඔහු විසින් එම ප්‍රදේශවල සාදවන ලද දේවාල ප්‍රමාණය මහත් රාශියකි. ඒ අයුරින් ඈත අතීතයේ සිට කොස්‌ගොඩ බළපිටිය ප්‍රදේශයේ බිහිවූ දේවාල කෝවිල් ප්‍රමාණය 35 ක්‌ පමණ වේ. විහාරස්‌ථාන 68 ක්‌ තිබෙන මෙම ප්‍රදේශයේ දේවාල 35 ක්‌ වෙනම තැන් තැන්වල සාදවා තිබීමෙන් සිදුවූ දේව වන්දනය කොපමණ දුරට ව්‍යාප්තව තිබෙන්නට ඇත්දැයි සිතාගත හැක. මේ අනුව ඇසළ උළෙල යෙදෙන මේ කාලයේදී මේ සියලු දේවාල කෝවිල් මුල්කරගෙන සිදුකරන පුද පූජා විධි විශාල ප්‍රමාණයකි. ඒ අනුව අප රටේ බොහෝ ප්‍රදේශවල ජනයා නොදන්නා පෝය දිනයක්‌ මෙම ඇසළ මාසයේ යෙදෙන ඇසළ පෝය දිනයට මෙරට බ්‍රාහ්මණවංශික ජනයාට උදාවෙනු ඇත. එම පෝය හඳුන්වනු ලබන්නේ සුද්දෙ පෝය ලෙසය. මෙය ලෝකයේම දෙවියන් වෙනුවෙන් ලබන එකම පෝය දිනය විය හැකිය.

කතරගම දෙවියන් උදෙසා වෙන් වෙන මෙම සුද්දෙ පොහොය දිනය නිමිත්තෙන් මෙම බ්‍රාහ්මණ වංශික නිවෙස්‌ සියල්ල පොහොය දිනයට පෙර දිනයෙහි ඉතා පිරිසිදු කිරීම් වලට ලක්‌ කරයි. වත්තපිටියද පිරිසිදු කරන අතර අතීතයේ ගොමමැටි ගෑ ගෙවල්වල අවුරුදු දිනයට පසු සුද්දෙ පෝය වෙනුවෙන් යළි ගොම මැටි ගානු ඇත. මෙම සුද්දෙ පෝය දිනයේදී (ඇසළ පෝය) බොහෝ පන්සල්වල සීල සමාදාන පින්කම් නොපැවැත්වේ. එයට හේතුව සියලු දෙනාම මෙදින දෙවියන් උදෙසා ගෙදර දොරේ කටයුතු වල යෙදීමයි. මුහුදෙන් ගෙනෙන කරදිය වලින් සෝදා පවිත්‍ර කළ නිවෙස්‌ යළි කහ දියෙන් සෝදා දමයි. කඩ මණ්‌ඩියට ගොස්‌ කාන්තාවන් අලුත් වළං, ඇතිළි කළගෙඩි සහ පොල්කටු හැඳිරු ගෙන එයි. පොහො දින සවස තම නිවෙස ඉදිරිපිට මිදුලේ ගොක්‌ අතු වියා තනන ලද පහන්පැල අවට මුහුදු වැලි අතුරා පිරිසිදු කරයි. ගෙයි සාලයේ තිබෙන සියලු පුටු මේස ඉවත්කර ගල්ලැහ පැදුරු, පන් පැදුරු අලුතෙන් ගෙනෙන ලද ඒවා හෝ පැරැණි ඒවා නම් සෝදා පවිත්‍රකර එළාතබනු ලබයි.

ගමෙන් පිටව රැකියා කරන අය සිටිත්නම් අවුරුද්දෙන් පසු යළි ගෙදරට එන්නේ සුද්දෙ පෝයටය. නොඑන අයෙක්‌ ඇත්නම් ඔහු ලෙඩෙක්‌ හෝ බොහෝ දුර ඈතක සිටින පැමිණීමට අපහසුව අයෙක්‌ විය හැක. ගෙදර වැඩිමහල් කාන්තාවන්ට මෙදින පැවරී ඇති කටයුතු අධිකය. ඔවුන් කලින්ම කැකුළු හාල් දියේ දා පොඟවා කැවුම් තැනීමට මෙන් හාල් කොටා පිටි සකස්‌ කරගනු ලබන්නේ රාත්‍රියට හාල්කිරි හදන්නටය. මෙයට කියන නමක්‌ද ඇත. එය “කිරිකැකෑරුම්” ලෙසද හඳුන්වයි. සීනි, පැණි හකුරු දියකර ගින්නෙන් උණුකර ගම්මිරිස්‌ ඇට, මුද්දරප්පලම් එනසහල් කරාබු නැටි මිශ්‍රකර උණුවී ගිය පැණි වලට හාල්පිටි යොදා හදාගන්නා මෙම හාල් කිරි පදමට ආපසු ලිපෙන් බා තරමක්‌ හයිවූ පසු කෑලි කපන්නට පුළුවන් තලපයක්‌ බඳුය. පොහෝ දින රාත්‍රි 7.00 වන විට අලුත ගෙනා කළ ගෙඩියට ළිං වලින් පෙරාගත් ජලය ගෙන අවුත් කිරිබත් පිසීම අරඹයි. අලුත් හට්‌ටි මුට්‌ටි වල උයන පිසින කිරිබත, හාල්කිරි ආදියට අලුතෙන්ම පොල් ගසකින් කඩවා ගන්නා පොල් ඉඳුල් නොකර ගාගෙන කිරිබතට ගා හාල්කිරි වලට යොදාගනී. සමහරුන් මෙම ආහාර පිසීමට පොල් ගැනීම සඳහා වෙනම පොල්ගස්‌ අතීතයේ සිට වෙන්කර ගෙන තිබිණි. හැන්දෑවේම ගස්‌ වලින් කඩාගෙන එනු ලබන රතුපාට කහපාට මල් වර්ග, ගෙදරම සිඳගන්නා ලද සුවඳවත් වූ පොල්තෙල්ද ඉරටු දෙකක්‌ මැදිකර බඳින තරමක පුංචි පන්දමද අලුත් මැටි පහනක පුරවාගත් පොල්තෙල්ද දානයට කිරිගන්න පොල්වල කටු දෙක තුනක්‌ පුළුස්‌සා ගත් පොල් කටු අඟුරු සහ කට්‌ටකුමංජල්ද මේ සියල්ල සූදානම් කරගෙන දැන් සැරසෙනුයේ මිදුලේ පහන් පැලේ නියමිත පූජාව තබන්නටය.

ඒ අනුව මඳ ගින්නෙන් තවා ගත් කෙසෙල් කොළයකින් සාදාගත් ගොට්‌ට අලුත් වළංවල පිසින ලද කිරිබත් බෙදා ඊට උඩින් හාල්කිරිද යොදයි. ඒ මත සැකසූ පුංචි පන්දම දල්වා සවිකර ගෙදර සියලු දෙනාම පිරිසිදු සුදු වස්‌ත්‍ර ඇඳගෙන අවුත් ඒවාට අතගසා මිදුලේ ඇති ගොක්‌ පහන් පැලේ සියල්ල තැන්පත් කරනු ලබයි. ගෙනා විවිධ පාටැති මල් පහන් පැල තුළ තැන්පත් කර පොල්තෙල් පහන්ද දල්වා තබයි. කට්‌ටකුමංජල් දුම් අල්ලා අවට සුවඳවත් කරන අතර හඳුන්කූරුද දල්වා තැන තැන සවිකර සියලුදෙනා පහන් පැල අබියස බිම වාඩිවී නමස්‌කාරය කියා තෙරුවන් වැඳ පන්සිල් ගෙන කතරගම දෙවියන් උදසා දේවදානය සහිත ගොටුද මල් පහන් සුවඳ දුම්ද පූජාකර සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරයි. දෙවියන්ට කියන ශ්ලෝක ආදිය ද ඇති අතර ඒවා දන්නා පැරැණි අය ශබ්ද නඟා ඒවා කියනු ලබයි. පසුව කතරගම දෙවියන් උදෙසා මෙම යාදින්න කියා පහන් පැල අබිසය කටයුතු නිමාකරයි.

උතුම් වූ කතරගම ස්‌කන්ධකුමාර මහාසේන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, අප වෙසෙන ශ්‍රී ලංකාද්වීපයේ රුහුණ දනව්වට දක්‍ෂිණ දේශයට බැල්ම හෙළාගෙන තෙද බළ පතුරුවාගෙන වැඩ වාසය කරන ඔබ වහන්සේ සත්‍යයි. ඔබ වහන්සේට මෙම නිවසේ සිටින අහිංසක අප සියලු දෙනා විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් භක්‌තියෙන් යුතුව නොඉඳුල්ව පිරිසිදුව සකසා පූජා කරන මෙම දේව දානය පූජා කරමි පූජා වේවා අප වෙත අනුකම්පා වෙන් මේ දේවදානයද අපි අනුමෝදන් කරන සියලු පින් කුසල්ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. උතුම් දිව්‍ය රාජෝත්තමායාණන් වහන්ස, අද මේ සුද්දෙ පෝය දවසේ අප පරම්පරා ඥාති සමූහයා විසින් ඈත අතීතයේ සිට ඔබ වගසේම ගරු සැලකිළි කරනු වස්‌ සිදුකරන මේ උත්තම දේව පූජාව අපිද නොකඩවා පවත්වාගෙන එමින් ඔප්පු කරමු. දෙව් මහා රජාණන් වහන්ස ඔබ වහන්සේ මේ සියල්ල පිළිගෙන ඔබ වහන්ස දිව්‍ය ශ්‍රී සම්පත් වර්ධනය වී ප්‍රාර්ථනා කියා බෝධියකින් නිවන් සුව අවබෝධ කර ගන්නා සේක්‌වාෘ

උතුම් වූ දිව්‍ය රාජයාණනි, ඔබ වහන්සේ විසින් අප පවුලේ සියලු දෙනාත් දූ දරු කිරි සප්පයනුත් ගෙවල් දොරවල් හරකා බානද වෙළෙහෙළඳම්කර මාන්නද ඉඩ කඩම් දෙල් පොල් කොස්‌ ආදී පලතුරු ගස්‌ද විවිධ ලෙඩ රෝග අතුරු ආන්තරාවලින් බේරා ගෙන තව තවත් වැඩ වඩන්නට අපට ශක්‌තිය ලබාදෙන සේක්‌වා එමෙන්ම අප ගම් කොරටුවද වෙහෙර විහාර පන්සල බෝධියද පැවිදි පිරිසද ගුරුවරුන් හා වැසියන් ඇතුළු රුහුණු දනව්වත් මුළු ශ්‍රී ලංකා ද්වීපයත් දිවැස්‌හෙළා රක්‍ෂා කරදෙන සේක්‌වා ෘ සාදු ෘ සාදුෘෘ සාදු ෘෘෘ

යනුවෙන් දේවකන්නලව්ව සිදුකරන්නේ ඉමහත් භක්‌තියෙන් යුතුවය. ගෙදර මූලිකයා විසින් සිදුකරන මේ කන්නලව්ව සියලු දෙනාම වැඳගෙන අසා සිටින අතර අවසානයේ සියලු දෙනා එක්‌ව හඬ නඟා සාදුකාර පවත්වා සිය ප්‍රණාමය පුද කරනු ඇත. නමුත් අද එවැනි කන්නලව් කිරීම් අඩුවෙන් පවතී. එය අපගේ පුරාණ සිට පැවත එන සිරිතක්‌ නොසලකා හැරීමක්‌ යෑයි සිතිය හැක.

මෙම දේව කන්නලව්වෙන් පසු ගෙතුළට යන පිරිස සාලයේ අතුරා ඇති පැදුරු මත වාඩිවේ. එවිට සිය නිවසේ මව හෝ වැඩිහිටි කාන්තාව විසින් ගෙදර සිය පවුලේ සිටින සියලු දෙනාගේ ප්‍රමාණයට කෙසෙල්කොළ වාඩිවී සිටින අය ඉදිරියේ තබයි. නිවසේ සිටින නමුත් ඒ වේලාවේ නොසිටි අයෙක්‌ වේ නම් ඔහු ඇය වෙනුවෙන්ද කොළයක්‌ තබා සියල්ලටම කිරිබත් සහ හාල් කිරි බෙදාගෙන යනු ඇත. සියල්ල බෙදා අවසන්වූ පසු නිවසේ ප්‍රධානියා විසින් පැදුර මත තබා ඇති කුඩා පිත්තල පහන දල්වා ඒ මත කිරිබත් හාහාල්කිරි ගුලි දෙකක්‌ තබා කතරගම දෙවියන් සිහිකර සාදුකාරයක්‌ දී ආහාර අනුභවය ආරම්භ කරයි. අන් අයද සිය දේවදානයේ කොටසින් කිරිබත් සහ හාල්කිරි ගුලි සාදා වෙනම කෙසෙල් කොළයක තබා ආහාර අනුභවය සිදු කරනු ඇත. යළි දානය බෙදන විට තමාට එය අනවශ්‍ය නම් “එපා” යෑයි නොකියා “කරුණාවයි” යනුවෙන් කීම සිරිතය. දානය වළඳා අවසන් වූ පසු නැවුම් කළයේ වතුර පොල්කටුවෙන් රැගෙන බීමට ගනී. පහනේ සහ කෙසෙල් කොළයේ තැබූ බත් ගුලි ගෙනගොස්‌ කපුටන් සඳහා ගසක්‌ හෝ උස්‌ තැනක තබන්නේය. එම කිරිබත්, හාල්කිරි, බල්ලන්ට බළලුන්ට කෑමට නොදීම සිරිතය. බල්ලන්ට හා පූසන්ටද කෙසෙල් කොළ මත තබා දානය දීම සිදු නොකරනු ඇත. මෙම දානය අවස්‌ථාවේදී සිදුකරන තවත් වැදගත් කාර්යයක්‌ වන්නේ සිය නිවෙස්‌වල ඉඳුල්කට නොගෑ දරුවෙකු බත්දෙන වයසට පැමිණ සිටීනම් එම දරුවාට ප්‍රථම ඉඳුල්කටගෑම සිදුකරන්නට මෙම දිනයද යොදා ගැනීමට පුරාණයේ සිට කටයුතු කර ඇති බව පෙනීයයි. මේ අනුව දෙවියන්ට දාන ගොටුව තබා ඇවිත් කෙසෙල් කොළයකට කිරිබත් හාල්කිරි ආදිය තබා සුබ දිසාවක්‌ බලා එම දේවදානය දරුවාගේ කටේ තබයි. මේ දානයට කිසිම විට බත් ව්‍යාංජන සාදා නොගනී. එදින ගෙදරට අමුත්තෙක්‌ පැමිණ සිටියද ඔහුට ලැබෙන්නේද මේ ආහාරය මිස වෙනත් බත් වෑංජන නොවේ.

පසුදින උදයේ කිරි රොටි සහ හාල් කිරි ආහාරයට ගැනීම ඉපැරැණි සිරිතයි. දැන් එයද අඩුවී ගෙන යන සිරිතකි. දහවල් 12.00 ට පෙර අසල පිහිටි කතරගම දේවාලයකට පඬුරු යෑවීමෙන් පසු එතැන් සිට නිවසේ මාළු පිනි උයාගන්නට ඉඩකඩ ඇත. සමහර අය දහවල් උයන බතින්ද දේවදානය ගොට්‌ටක්‌ තබා රාත්‍රියෙන් පසු මාළු පිනි උයන්නට ගනී. තවත් අය තුන් වේලක්‌ම මාළු පිනි ආහාරය නොගනු ඇත. දිනතුන කට පසු ගෙමිදුලේ ඇති පහන් පැල ගලවා ඉවත් කරයි. මේ අනගි සිරිත අනාදිමත් කාලයක්‌ තිස්‌සේ ගෙයින් ගෙට සිදුවූයේ නිරායාසයෙනි. රාත්‍රියේදී සියලු නිවෙස්‌ වල සිදුවන මෙම උත්සවය බලන්නට ආසා හිතෙන සිරිතකි. මේ ගැන සුද්දෙ පෝය යනුවෙන් සුදුවැලි තලාවේ ගුම් නැගෙන සෙල් ගී යන ග්‍රන්ථයට කවි පන්තියක්‌ සපයන පණ්‌ඩිත විමල් අබයසුන්දර මහතා මෙසේ කියයි.

සිහිපත් කරවමින් පෙර සුර – අසුර යුද

ගම්මානයට පායන විට ඇසළ සඳ

වැලිතොට විසූ බමුණන්ගේ සිරිත ලෙද

ඇරඹෙයි සුද්දෙ පෝයට කඳ සුරිඳු පුද



ගෙය දොර මිදුල වතුපිටි සැම කල් ඇතිව

මැනවින් සුපිරිසිදු කොට ගෙන දැනුමැති ව

කුල දෙවියන් පුදනු සඳහා හද බැති ව

සැරසෙනු සිරිනි කිසි පසු බැස්‌මක්‌ නැති ව



කළයක්‌ පුරා කරදිය ගෙන වගුල බිම

ඉසිමින් කහදියර අහුමුළු නොනක හැම

පොල්තෙල් පහන් දී අල්ලා සුවඳ දුම

පිළිවෙත් පවත්වති ලෙස කුල සිරිත තම



ගොක්‌කොළ වලින් මල්පැල අලුතින් සාදා

කිරිබත් ගොටුව වෙසෙසින් තුන්සිත පාදා

දල්වා විලක්‌කුවආලෝකය වීදා

දෙවියන් පුදති පළමුව සුද්දේ පෝදා



සුද්දේ පෝය ඇසළෙහි පුණු පොහොදා ට

පිළිහඩු නුමුසු කිරිබත සැපයෙයි රෑට

හකුරුද කිරි කැකෑරුම් මුසුවෙයි ඊට

දෙවි පුද මහා උළෙලකි ගැමි ජනයා ට



පවතින කතරගම උළෙලට උචිත ලෙස

වතු කොළවල බෙදා කිරිබත හොඳට පිස

වැඩිහිටි පිළිවෙළට නිවසෙහි පිරිමි පස

හිඳගෙන පැදුරු මත පළමුව විඳිති රස



ඇසළ පොහොය දිනය “සුද්දේ පෝය” ලෙස සලකාගෙන සිදුකරන මෙම දේව වන්දනා හා පූජා ක්‍රමය කවදා සිට කුමන යුගයක ආරම්භ වුණා දැයි කිමට කිසිවෙක්‌ නොදනී. සමහරවිට දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේa කාලයේ සිට සිදුවුණාදැයි සැකයක්‌ පවතී. දේවප්‍රතිරාජ අමාත්‍යවයාණන්ද දේවත්වයෙන් සලකා ඉදිවුණු දේවාලයක්‌ කොස්‌ගොඩ ප්‍රදේශයේ පවතී. අවුරුදු සිය ගණනක්‌ පැරැණි මෙම දෙවොල කොස්‌ගොඩ ගහ කෝවිල ලෙස හඳුන්වයි. එහි වැඩ වාසය කරන බවට විශ්වාස කර දෙවියන් “කොස්‌ගොඩ දෙවියන්” හෙවත් “ගහ දෙවියන්” ලෙස නම්කර ඇත. ගහකෝවිල ආසන්නයේම ඇති කොස්‌ගොඩ කෝවිල නම් ස්‌ථානයේ දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ සොහොන් කොතද පිහිටා ඇත. මෙම දේවාල දෙකම සම්බන්ධ විස්‌තරයක්‌ පණ්‌ඩිත මැද උයන්ගොඩ විමලකීර්ති හිමියන් විසින් ලියන ලද “සිංහල ආණ්‌ඩුව” නමැති ග්‍රන්ථයෙහි ඇතුළත්ය.

පූජාවලිය නම් දහම් පොත ලියෑවූ දේවප්‍රතිරාජ අමාත්‍යවරයා සිය දේවියද දන්දී බුදුබව පැතු බෝධිසත්වයෙකි. එතුමා ජීවත් වූ ප්‍රදේශ රැසක්‌ වැලිතොට රත්ගම ආදී ප්‍රදේශවල ඇත. දේවප්‍රතිරාජ ඇමැති තුමන්ගේ විශිෂ්ටත්වයට දෙස්‌ දෙන කවි කිහිපයකි මේ.

දැය හා සමය නංවා ලක කෙරුව සරූ

නියලුන පිනෙහි දම් දැන එහි එහි රසය ඉරූ

විය තෙකුඩුව මහතෙද බල මහිම දැරූ

දියසුරු දේව පතිරාජ මහ ඇමැති ගරූ



ගම්වැසියනට ඇති තෙන කරුණාව පෙනී

සම්පත සමඟ පොළවෙන් පලදාව ගනී

දොම්නස දිළිඳු කම මෙහි ඇති රහස දැනී

නම මා සිරස මැතිඳුට අත්දෙසත විනී



බුදුබව පතා මැති සිටවෙව් නෙරළු පල

සේ ඇස්‌ වලින් එවෙලම නැගි තුනකි පැල

මේ මැති සඳුගෙ අනුහස තෙද මහිමි බල

මින් පැහැදිලිය ඇති හැම කෙනෙකුටම මොළ

දේවප්‍රතිරාජ අමාත්‍ය වරයාගේ සමයේ සිට මෙම ප්‍රදේශවල ව්‍යාප්ත වූ දේව වන්දනය නිසා එතුමා විසින් තනවන ලද දේවාල කෝවිල්වලට අමතරව වෙනත් අය විසින්ද තනවා ව්‍යාප්තව ගිය දේවාල කෝවිල් 36 ක්‌ මෙසේ හැදින්විය හැකිය.

1. කොස්‌ගොඩ දූවේමෝදර දේවාලය, 2. කොස්‌ගොඩ ගණේ කොවිල, 3. කොස්‌ගොඩ මානියන්ගොඩ දේවාලය, 4. කොස්‌ගොඩ ගොඩගම පුරාණ දේවාලය, 5. කොස්‌ගොඩ ගහකෝවිල, 6. වැලිකන්දේ අල්ලිය, 7. උස්‌ වැලිකන්දේ දේවාලය, 8. ගල්වෙහෙර මීගහකෝවිල, 9. නෙල්ලිගොඩ කෝවිල, 10. හෑගල්ලේ කෝවිල, 11. පොල්වතුකන්දේ දේවපතිරාජ දේවාලය, 12. ගල්වෙහෙර වලේකෝවිල, 13. මාකුඹුරේ මරදානේ දේවාලය, 14. වතුරේගම සුදුමල් දේවතා කෝවිල, 15. වතුරේගම මානියාම්කඩේ දේවාලය, 16. වතුරේගම තිලකමුණි දේවාලය, 17. පාතේගම කෝවිලවත්තේ අල්ලිය, 18. ගොඩගෙදර කෝවිල, 19. ගොඩගෙදර ගිනිකුරුම්බර දේවාලය, 20. මාදුවේ දේවාලය, 21. නුරුගල කෝවිල, 22. වැලිවත්තේ ශ්‍රී පතිරාජදේව පත්තිනි කෝවිල, 23. බ්‍රාහ්මණවත්තේ දොඹගහ පත්තිනි කෝවිල, 24. බ්‍රාහ්මණවත්තේ මෝදර දේවාලය, 25. ගල්මත්ගොඩ දේවාලය, 26. ගල්මත්ගොඩ හාරඹ කෝවිල, 27. ගල්මන්දුවේ දේවාලය, 28. ගොරකගොඩ කෝවිල, 29. වඳදුවේ කෝවිල, 30. මහකරාවේ කීර්ති කෝවිල, 31. බළපිටි මෝදර නිවාරණ කෝවිල, 32. වලගෙදර සිරිමල් අල්ලිය, 33. හෙප්පු මුල්ලේ කෝවිල, 34. රන්දොඹේ දේවගේ කෝවිල, 35. රන්දොඹේ පුරාණ දේවාලය, 36. මාදුගඟ පිහිටි සතපහේ දූවේ දේවාලය.

මෙම දේවාල සහ කෝවිල් වෙන වෙනම පිහිටා ඇති අතර ඒවා පාරම්පරික කපු පවුල් වලින් පාලනය වේ. වාර්ෂිකව ඇසළ මාසයේදී මෙම දේවාල විවෘත කොට කප් සිටුවා පුද පඬුරු බාර ගැනීම්, දේව තොවිල්, කන්නලව්, දේවදානයේ, පේලි පෙරහැරවල්, ගිනි පෑගීම් සහ කතරගම වන්දනාවේ යැම් පිළිවෙළින් සිදුකරනු ලබයි. ඒවාගේම අංඇදීම, පොර පොල් ගැසීම් වැනි ජනක්‍රීඩා විදි පූජාවන්ද සිදුකරයි. සියයට අනූනවයකට වඩා බෞද්ධයන් සිටින වැලිතොට බළපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන මෙම බමුණුපුද සිරිත් නෂ්ඨාවශේෂව ගිය බමුණු සමාජය තුළ ඉතිරිව ඇති සම්ප්‍රදායන් ගෙන් එක්‌ ලක්‍ෂණයක්‌ වේ. මෙය තවත් වසර සිය ගණන් අඛණ්‌ඩව පවතිනවා නොඅනුමානය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්