නවතම පුවත්

නාගානන්ද ගෙන් විතැන්වන ලාංකීය දේශපාලනයේ විකල්ප සිහිනය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතිහාසය පුරා පැවත ආ දේශපාලන තට්ටු මාරු ක්‍රමය හේතුවෙන් ලාංකීය සරු පස ක්‍රමිකව මුඩු බිමක් බවට පත්විය. එනයින් එකී නිසරු පස මත පෝෂණය වූයේ අසරණ මහජනතාව විසින් ම ඔසවා තබන ලද දේශපාලන පක්ෂදෙකක් පමණි. එකී දේශපාලන පක්ෂ අරක් ගත් කුල වාදී හා පවුල් වාදී නායකයන් තම පැලැන්තිය එසේත් නැතිනම් තම පවුල් ගැබෙන් ඔබ්බට ලාංකීය දේශපාලන බලය හෝ අවමවශයෙන් ඉන් අත්වන සුබසාධනය නිසිආකාරයෙන් තමන්ව රජ පුටුවට ඔසවා තබන ලද මහ ජනතාව වෙත කාන්දු වීම සිතාමතාම වළකාලූහ.  දිගු කලක් මුළුල්ලේ තමන්ව දේශපාලනිකව බලවත් ලෙස රවටන ලද බව සිවිල් සමාජය විසින් හදුනාගෙන බොහෝ කල්ය. එසේම මෙකී මුඩු පස පෙරළා එහි නැවුම් බීජයක් පැල කරගන්නට ඔවුනට බලවත් වුවමනාවක කලක පටන් පැවතියද එය කරන්නේ කෙසේදැයි හරිහැටි අදහසක් නොතිබූ බැවින් ඔවුහු ඉහත කී දේශපාලන පක්ෂ දෙක වෙත තවදුරටත් විශ්වාසය තැබූහ. විශේෂයෙන්ම විටෙක සෘජුවද තවත් විටෙක වක්‍රවද මහා පක්ෂදෙකෙහි බලය පවත්වා ගැනීම අරබයාම දේශපාලන මුක්කුවක් බවට පත්වූ ජ.වි.පය කෙරෙහි වූ සුළු විශවාසයද ලාංකීය ජනයා කෙරෙන් දියවී ගිය මොහොතක මින් දෙවසරකට මත්තෙන් රොහාන් පල්ලෙවත්ත හා නාගානන්ද කොඩිතුවක්කු ගේ දේශපාලන ආගමනයන් කැපී පෙනෙයි.

මේ අතරින් නාගානන්දගේ දේශපාලන ප්‍රවේශය වෙත ලාංකීය සිවිල් වැසියාගේ විශේෂ අවධානයක් යොමු වූයේ ඔහු නීතියේ පරමාධිපත්‍ය හා දේශපාලනික වරදකරුවන් නීතිය ඉදිරියේ දණ ගස්වන අයුරු මනරම් ලෙස චිත්තරූප මැවීම හේතුකොටගෙනය. විශේෂයෙන්ම විදෙස්ගතව සිටින ලාංකීය වැසියන් අතර නාගානන්ද නම් වූ රැල්ල ඉතා ශීග්‍ර ලෙස වර්ධනය වූ හෙයින් ඔස්ට්‍රේලියාවේ පසුගියදා ඔහුගේ මූලිකත්වයෙන් පැවති ජන හමු කිහිපයක්ම ඉතා ඉහල ජන සහභාගීත්වයක් ගැනීම කැපී පෙනුනි. එසේම විදෙස්ගත ලාංකීය වැසියන් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය වෙත නොමසුරුව මූල්‍යමය දායකත්වය ලබා දීමටද උත්සුක වූහ. කොටින්ම ඔවුන්ගේ මුවග නිබදව “නාගා” නම් වචනය රැව් දෙන්නට විය. කෙසේ වුවද නාගානන්දගේ ප්‍රමුඛ දේශපාලන සටන් පාඨයන් වූ “ප්ලේටෝවාදී සුපිරිසුදු දේශපාලනය” හා “ජනරජ ව්‍යවස්ථාව” නම් වූ සංකල්පයන් සාමාන්‍ය ලාංකිකයාගේ හද බැද ගත්තද දේශපාලනිකව සබුද්ධික ජනයා මෙකී සංකල්පයන් ප්‍රායෝගික නීතිය හා දේශපාලනය සමග ගළපා ගැනීමෙහිලා සියුම් අරගලයක නිරත වූහ.

කාලන්තරයක් දේශපාලනයේ තෙම්පරාදු වූ මෙන්ම මන බැදගන්නා තවත් බොහෝ විකල්ප දේශපාලන ප්‍රවාහයන් පැවතියද නාගානන්ද වැනි දේශපාලන අධුනිකයකු වටා ලාංකීය ජනයා විශ්වාසයෙන් විකල්පයක් උදෙසා රොද බැදෙන්නට වූයේ පවතින මජර දේශපාලන පක්ෂයකට මුක්කු නොගැසූ නිර්පාක්ෂික නායකයකු වටා රොක්වී කෙසේ හෝ රට පවතින දේශපාලනය අගාධයෙන් බේරා ගත යුතුය යන අදහසිනි. කෙසේ වුවද නාගානන්ද ගේ දේශපාලන කාහල නාදය තවදුරටත් ලාංකීය ජනයා හට මෙවර ජනපති මැතිවරණයේදී නොඇසෙනු ඇත. ඔහුගේම වචනයෙන් පැවසුවහොත් ඔහු දේශපාලනිකව රැවටීමට ලක්ව සිටියි. එයට හේතුව වන්නේ ඔහු හට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා සුදුසු ලියාපදින්චි දේශපාලන පක්ෂයක් සොයා ගැනීමට නොහැකි වීමය. තවද ඔහු සමග ඉදිරිපත් වීමට සුදානමින් සිටි පක්ෂයද ඔහුව රවටා ඇත. ඔහුගේ නීතිමය තර්ජන ගරජන හමුවේ මුව පොව්වන් මෙන් යටත් වන අහින්සක දේශපාලනඥයින් ලාංකීය දේශපාලනයේ නොමැති බව නාගානන්ද මූලිකවම හදුනා ගතයුතුය. එසේම උදැල්ල ගෙන කොටන්නට පෙර පස හදුනා ගත යුතුය, උදැල්ලෙන් කෙටෙන්නේ නැතිනම් පස පෙරළීම සදහා වෙනත් ආයුධ ආදේශ කර ගත යුතුය. එසේ නොමැතිවූ කල නාගානන්දට මෙන් කරන්නට ගිය කාර්යය ලත් තැනම ලොප් වනු ඇත. නාගානන්ද පළමුව උගත යුතු පාඩම වන්නේද එයය.

කෙසේ වුවද නාගානන්ද ගේ අනපේකෂිත බිදවැටීම මේ වන විටත් ඡන්ද පත්‍රිකාවේ අගල් විසි හයක් දක්වා විහිදී සිටින සෙසු දේශපාලන විකල්ප කෙරෙහි කෙසේ බලපානු ඇත්දැයි විමසා බැලීම වැදගත් වේ. එය වෙනත් කොලමක් තුලින් දීර්ඝව හා විශ්ලේෂනාත්මකව සිදු කළ යුතු අතර එතෙක් දැනට ඡන්ද පත්‍රිකාවේ ශේෂව සිටිනා ජෙනරාල් මහේෂ්, ආචාර්ය අජන්තා, ආචාර්ය රොහාන් හා සෙස්සන් විසින් මූලික වශයෙන් සිදු කළ යුතුව ඇත්තේ තමන් ගෝඨාගේ පොහොට්ටුවට හෝ සජිත්ගේ හංසයා සමග සිතින් හෝ සහය නොදක්වන බව ජනතාව හමුවේ ඔප්පු කර පෙන්වීමයි. නාගානන්දගේ බිද වැටීම හමුවේ දෙස් විදෙස් හි ජීවත් වෙමින් දේශයේ අභිවෘද්ධිය අපේක්ෂාවෙන්ම පෙලෙන ලාංකිකයා ගේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්නය වන්නේ දේශපාලනිකව රැවටුනු “නාගා” මෙන් විකල්පය හඹාගොස් තමන්ද තවත් එක් සිවිල් මෝඩයකු වේ දැයි යන බලවත් සැකයය.  

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා මෙල්බොන් සිට ලියයි

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා මෙල්බොන් සිට ලියයි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි