නවතම පුවත්

පවුල් ප්‍රශ්නයකදී නීතිය කැඳවන්න බලන් ඉන්න අයට බැරිද?

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනප්‍රිය තරුණ නිළියක හා නිරූපිකාවක වන පියුමි හංසමාලි හට පිරිමියෙකු විසින් පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල වේගයෙන් හුවමාරුවෙමින් ඇත.

කිසිවෙකු විසින් ඇයව බිම පෙරළමින් පහර දෙන ලදුව අදාළ පුද්ගලයා සිය පාදයෙන් ඇයගේ ගෙළ තද කරන අයුරු එම වීඩියෝවෙහි දැක්වේ. මෙසේ පහරදෙන පුද්ගලයා ඇගේ පෙම්වතා වන බවටත් සමාජ මාධ්‍ය වල තොරතුරු පළවේ.

මෙම සිද්ධිය සම්භන්ධව සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් විවිධ මත සටහන් කර ඇති අයුරුද මේ දිනවල අපට දැකගත ගත හැක.
කුමන හේතුවක්, කුමන තත්වයක් යටතේ වුවද කාන්තාවකට මෙසේ පහරදීම සිදුනොකළ යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇති බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මෙය “පවුල් ප්‍රශ්නයක් ” වන බැවින් කිසිවකු ඊට මැදිහත් විය යුතු නැති බවටද අදහස් දැක්වූ තවත් විශාල පිරිසක්ද සමාජ මාධ්‍ය තුල අපට හමුවිය . එසේම මෙම සිද්ධිය සධාරනීයකරණය කරන අකාරයේ අදහස් දැක්වූ පුද්ගලයින් කිහිපදෙනෙකුද මෙහිදී අපට හමු නොවුවා නොවේ.

කෙසේ වෙතත් පියුමි හන්සමාලිගේ මෙම සිදුවීම රටේම අවධානය දිනාගත් සිදුවීමක් වූයේ ඇය ප්‍රසිද්ධ නිලියක් , නිරූපිකාවක් වූ නිසාවෙන් බව නම් පැහැදිලිය. නමුත් ස⁣මාජයට නොදැනී නොපෙනී මෙලෙස පිරිමින්ගෙන් ‘ ගුටිකන’ තවත් කොපමණ ගැහැණුන් අප අතර සිටීද ? අපගේ අවධානය යොමුවූයේ එම ගැටලුව වෙතය .

ඇත්තෙන්ම මෙවැනි අවස්තාවකදී ගත හැකි නීතිමය පියවරයන් මොනවාද ? අප ඒ ගැන සොයා බැලීමු. පියුමිගේ සිද්ධිය සම්භාන්ධවම සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඇතැමුන් ප්‍රකාශ කර තිබුනේ ” වින්දිත පාර්ශවය ම මේ සිදුවීම ගැන පැමිණිල්ලක් නොකළහොත් නීතිමය පියවර ගත නොහැකි” ය යන්නය , ඒ අනුව අප මුලින්ම අවධානය යොමුකළේ මෙම කරුණ වෙතය.

. ඇත්තෙන්ම ගුටිකෑමට ලක්වන කාන්තාවට හැර වෙනත් කෙනෙකුට මේ සම්භන්ධයෙන් මැදිහත්වීමක් කල නොහැකිද ? කාන්තාවක් තම ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් අමානුෂික ලෙස පහරකෑමකට ලක්වන අවස්තාවක , පිටස්තර පුද්ගලයෙකුට ඊට මැදිහත්විය නොහැකිද ? නීතියේ සහය පැතිය නොහැකිද ?

මෙවැනි නීතිමය තත්වයන් පිලිබඳ මනා පළපුරුද්දක් ඇති තරුණ නීතීඥවරියක වන ගෞරී පීරිස් මහත්මියගෙන්, The Colombo Express අප මේ පිළිබඳව අදහස් විමසීමු.

‘ඇත්තෙන්ම මෙවනි අවස්තාවක පිටස්තර පුද්ගලයෙකුටද මැදිහත්වීමට නීතිය තුල ප්‍රතිපාදන තියෙනවා’ ඇය ‘ The Colombo Express’ වෙබ් අඩවිය වෙත විස්තර කළාය.

පියුමි ගේ සිද්ධියේදී නම් අයට පහර දෙන්නේ අගේ සැමියාද, පෙම්වතාද නැත්නම් වෙනත් අයෙකුද යන්න පැහැදිලි නැහැ. එම නිසා එහිදී දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක විය හැකියි.

ගෘහස්ත හිංසනය වලක්වීමේ පනත පිලිබඳ තවදුරටත් පැහැදිලි කල හැකිද ? අප ඇගෙන් විමසීමු ,

ඔව්ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත යටතේ ඕනෑම කාන්තාවකට තමන්ට පහරදීමක් කරන තම සැමියා හෝ සමීප සහකරුවෙකුට එරෙහිව නීතිය ඉදිරියට යන්න පුළුවන්. ‘ ගෞරි පීරිස් මහත්මිය පැවසුවාය .

එවැනි පහරදීමක් ගැන පැමිණිලි කල හැක්කේ පහරකෑමට ලක්වූ කෙනාට පමණද ? අප ඇගෙන් විමසීමු .

‘නැහැ . එවැනි ගෘහස්ත හිංසනයක් , පහරදීමක් දුටු කෙනෙකුටත් ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන් , ‘මුල් තොරතුරු සපයන්නා ලෙස හඳුන්වන්නේ එලෙස පැමිණිලි කරන පුද්ගලයාටයි. එවිට එම පැමිණිල්ල මත පොලිසිය ක්‍රියාත්මක වනවා

. පහරකෑමට ලක්වුණු , එසේත් නැතිනම් අගතියට පත් පාර්ශවයම මෙම පැමිණිල්ල කල යුතු නැහැ. එවැනි දේ ඇතැමුන් පවසන්නේ නීතිය පිලිබඳ නොදැනුවත්කම නිසයි .’ ගෞරි පැහැදිලි කලාය .

ගෞරිගේ පැහැදිලි කිරීමට අනුව , මෙවැනි ගෘහස්ත හිංසනයක් දකින අප සියලුම දෙනාට ම ඊට එරෙහිව නීතියට පැමිණිලි කිරීමේ හැකියාව ඇත. නමුත් අද කාලයේ බොහෝදෙනෙකු සමාජ මාධ්‍ය හරහා එවැනි සිදුවීම් නරඹමින් විවිධ අදහස් මත පළකරමින් සිටිනවා හැරෙන්නට , එවැනි සිදුවීම් වලක්වන්නට සක්‍රීය ලෙස ක්‍රියාත්මක වනු පෙනෙන්නට නැත.

‘ඇත්තටම සමාජයේ වැඩි කතාබහට ලක් නොවන කාරණයක් වුව ද, කාන්තාවන් තම පුරුෂයාගෙන් හෝ සහකරු අතින් පහර කෑම නිතර සිදුවන දෙයක් බවද ගෞරි පීරිස් මහත්මිය අප වෙත පැවසීය.

“අපේ සමාජය තුළ මේ ගැන නිසි අවධානයක් යොමු වන්නේ නැහැ. නමුත් මගේ ගාවටත් මසකට කාන්තාවන් කිහිප දෙනෙක් හෝ එනවා තමන්ට සිදුවූ පහර දීම් ගැන පැමිණිලි කරන්න.”

“පියුමිගේ වීඩියෝව සත්‍ය අසත්‍ය තාව ගැන මම දන්නේ නැහැ , එසේම ය තවම මේ ගැන නීතියෙන් පියවරක් ගෙන නැහැ , නමුත් එමගින් මතු වන ගෘහස්ථ හිංසනය පිළිබඳ කාරණය ගැන අපි මීට වඩා සංවේදී වෙන්න ඕනේ,” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ හිංසනයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇති 2005 අංක 34 දරන පනත මගින් බිරිඳ සහ ස්වාමි පුරුෂයා යන පාර්ශ්ව දෙක ම ආවරණය වේ. දැනට මෙම පනත යටතේ වැඩිපුර ම නඩු පවරා ඇත්තේ කාන්තාවන්ය. නමුත් අප රට තුල වැඩිපුර සිටින්නේ පහර දීමකට හෝ හිංසනයට ලක් වූ පසු නීතියෙන් පියවර ගැනීමට ඉදිරිපත් නොවන කාන්තාවන්ය

“එකට සිටින සහකරුගෙන් සහකාරියට හෝ සහකාරියගෙන් සහකරුට සිදුවන ශාරීරික හෝ මානසික පීඩාවලට එරෙහිවත් මෙම පනත අනුව කටයුතු කරන්න පුළුවන්” යැයි ගෞරි පවසයි .

ඇය පවසන පරිදි ගෘහස්ත හිංසනය සිදු විය හැකි ආකාර කිහිපයක්ම වේ,

ශාරීරික හිංසනය – අතින් හෝ ආයුධයකින් පහර දීම, තල්ලු කිරීම, තුවාල සිදු කිරීම ශාරීරික හිංසන ගණයට අයත් වෙනවා.

වාචික හිංසනය – බැණ වැදීම්, අපහස කිරීම්, නම් පට බැඳීම් සහ නින්දා කිරීම් වාචික හිංසන ගණයට අයත් වෙනවා.

ලිංගික හිංසනය – දෙදෙනා විවාහකයන් වූවත්, එක් අයෙකුගේ අකමැත්තෙන් සිදු කරන ලිංගික ක්‍රියාවන් ලිංගික හිංසා ගණයට අයත් වෙනවා. බලහත්කාරයෙන් සිදු කෙරෙන සහ යමෙකු අකමැති ගණයේ ලිංගික ක්‍රියාවන් වල යෙදීමත් හිංසනයකි.

මානසික හිංසනය – අප කාටත් තමන්ගේ ආත්ම ගෞරවය ඉතාමත් වටිනවා. පවුලේ සාමාජිකයන් විසින් අයෙකුගේ ආත්ම ගෞරවයට හානි වන සේ හැසිරෙනවා නම්, එය මානසික හිංසනයක් වෙනවා. බොහෝ විට මේ හිංසනය වයස්ගත මව්පියන්ට සිදු වනු දැකිය හැකියි.

මුල්‍ය හිංසන – පවුලේ සාමාජිකයන්ගේ අත්‍යවශ්‍ය කාරනා වලදී මුදල් ලබා දීමෙන් වැලකි සිටීම මේ ගණයට අයත්ය. එමෙන්ම ඔහුට්/ ඇයට මුදල් ලබා ගැනීමේ මාර්ග අවහිර කරනවා නම් එයත් හිංසනයකි (රැකියාවක් කිරීමට ඇති අයිතිය වලක්වාලීම සහ අවශ්‍ය කාරනා වලදී මුදල් ලබා නොදීම).

දේපල විනාශ කිරීම – පවුලේ සාමාජිකයෙකු සතු දේපල විනාශ කිරීම මේ ගණයට අයත් වේ. මහලු මව්පියන්ගේ ඇඳුම් පැළඳුම් විසි කිරීම, ආරවුලකදී සැමියාගේ හෝ බිරිඳගේ වාහන වලට හානි සිදු කිරීම උදාහරණ ලෙස දැක්විය හැකියි.

එසේම අප කලින් කියූ පරිදි ගෘහස්ත හිංසනයට ලක් වන්නේ ගැහැණිය පමණක් නොවේ. සැමියා අතින් බිරිඳටත්, බිරිඳ අතින් සැමියාටත් මේ හිංසනය සිදු විය හැකියි. දරුවන් ඉදිරියේ සැමියාගේ හෝ බිරිඳගේ අඩුපාඩු පවසමින් ආත්ම ගරුත්වයට හානි පැමිණවීම, ආදරය අහිමි කරවීම, පහර දීම හා බැණ වැදීම සිදු විය හැකියි.
මව්පියන් අතින් දරුවන්ට හිංසනය සිදු විය හැකියි. ඉගෙන ගැනීමට දුර්වල දරුවෙකුට බොහෝ විට මෙය සිදු වීමේ අවදානමක් පවතිනවා. අන් දරුවන් අතර කොන් කිරීමකට ලක් කිරීම, නොසළකා හැරීම, පහර දීම, බැණ වැදීම සිදු විය හැකියි.
දරුවන් අතින් මව්පියන්ට හිංසනයන් සිදු වේ. වයස්ගත මව්පියන්ට නොසළකා හැරීම, පහර දීම, බැණ වැදීම සිදු විය හැකියි. මෙවැනි හිංසනයන් දරුවන් අතින් හා දරුවන් විවාහ වූ බෑණා හෝ ලේලි අතින් වුවද විය හැක.
දරුවෙකු ඥාතී නිවසක නැවැත්වූ විට, ඥාතීන් අතින් දරුවාට මානසික හා කායික හිංසා සිදු විය හැක.

නමුත් මෙම ගැටලුව බරපතල ලෙස බලපාන්නේ කාන්තාවන්ටය . මෙරට 60%ක් පමණ කාන්තාවන් කුමන හෝ ගෘහස්ථ හිංසනයකට ලක්වන්නේ යැයි පර්යේෂණවලින් මේ වනවිට අනාවරණය වී ඇත.

2005 අංක 34 දරන පනත යටතේ ගෘහස්ථ හිංසනයකට නඩුවක් දැමූ විට එම හිංසනය පිළිබඳව අධිකරණය සෑහීමට පත්වේ නම් පීඩාවට පත් පාර්ශ්වයට ඉදිරියේදී හිංසා පීඩා නොකරන ලෙසට එහි වගඋත්තරකාර පාර්ශ්වය වෙත ආරක්ෂක ආඥාවක් (Protection Order) නිකුත් කරනු ලබයි.

එය කඩ කළහොත් වැරදිකරු අවුරුද්දක් දක්වා කාලයකට සිරගත කළ හැකිය.

එසේම ගෘහස්ථ හිංසනයට අදාළ ගැටුමකදී යමෙකුට ශාරීරික තුවාල සිදු වුවහොත් ඊට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩුවක් පැවරීමට නීති ප්‍රතිපාදන තිබේ.

“මෙවැනි සිදුවීමකට ඉහත පනත් දෙක ම යටතේ එකවර කටයුතු කළ හැකියි” යනුවෙන් නීතීඥ ගෞරි පීරිස් පැවසුවාය .

අතීතයේදී නම් කාන්තාව සැමියාගේ හිංසනය ඉවසිය යුතු යැයි වැරදි මතයක් ඇති වී තිබුණා. නමුත් ගෘහස්ත හිංසනය පිළිබඳව පවතින පනත් වලින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් නොවී සිටීමේ අයිතිය ඔබ වෙත හිමි කර දී තිබෙනවා.එම අයිතිය පිළිබඳව දැනුවත්වීම තමයි වැදගත් වන්නේ , ය වැඩිදුරටත් අප සමග පැවසුවාය .


නීතීඥ ගෞරි පීරිස්

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී