නවතම පුවත්

පොලීසියේ සිට පාර දෙස නොබලා පාරේ සිට පොලීසිය දෙස බලන නව පොලිස්පති

අසංක

අසංක

සටහන – ගයාන් කුමාර වීරසිංහ

මහජනතාවගේ පොලීසියක් ගොඩනැගීම අරමුණුකරගත් “පොලීසියේ සිට පාර දෙස බැලීම වෙනුවට පාරේ සිට පොලීසිය දෙස බැලිය යුතුය” යන සංකල්පය පෙරදැරි කරගත් ශ්‍රී ලංකා පොලීසියේ 35 වෙනි පොලිස්පතිවරයා වන්නේ චන්දන වික්‍රමරත්න මහතාය. ඒ සම්බන්ධයෙන් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයට පාර්ලිමේන්තු සභාවද එකගවන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ඔහු තරම් පොලිස්පති ධුරය දැරීමට වෙනත් සුදුස්සෙන් නොවන බැවිණි. ඊට හොදම උදාහරණය වන්නේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී පාස්කු ප්‍රහාරය එල්ලවීම සම්බන්දයෙන් 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමත් සමග වසරකුත් මාස හතක කාලයක් පොලිස්පතිධුරයේ කටයුතු පොලීසිය කිසිදු අර්බුදයකට ලක්නොවන ආකාරයට කරගෙන යාමෙනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙතරම් දීර්ඝ කාලයක් වැඩ බලන පොලිස්පතිධුරය කිසිදු නිලධාරියෙක් හොබවා නැත. එබැවින් චන්දන වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙකි. එසේම පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාව සිටියදී ඔහු රෝගී ව රෝහල්ගතව සිටි සහ විදෙස් සංචරයන්වල නිරතව සිටියදී පොලිස්පතිධුරයේ වැඩ බලන්නට පත්කරනු ලැබුවේද චන්දන වික්‍රමරත්න මහතාවය. එසේ ඔහු වැඩ බලන පොලිස්පතිධුරය හොබවා ඇති වාර ගණනද 13 කි. එයද වාර්තාවකි. එනම් මෙතරම් අවස්ථා ගණනක් එකම නිලධාරියෙක් පොලිස්පතිධුරයේ වැඩ බලා නැති බැවිණි. එසේම චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙසිණි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහසෙයේ බුද්ධි අංශයේ නිලධාරියෙක් පොලිස්පතිධුරයට මෙතෙක් පත්ව නැත. ඒ අවස්ථාවද හිමිව ඇත්තේ චන්ද වික්‍රමරත්න මහතාටමය.

පොලිස් ඉතිහාසයයේ වාර්තා ගොන්නකටම මේ වන විටත් සිය නාමය ඇතුලත්කරගෙන සිටින නව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිධුරයට පත්වීම වලකන්නට ද පොලීසියේම ඇතැම්හු උත්සහ නොදැරුවාම නොවේ. ඒ අසූ දහසක් පමණ වූ පොලිස් බලකායෙන් දෑතේ ඇගිලි ගණනටත් අඩු නිලධාරීන් පිරිසකි. ඒ ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙනි. ඒ අය අඩුම තරමින් චන්දන වික්‍රමරත්න මහතාගේ ජ්‍යෙෂ්ඨත්වයට කිට්ට්වටත් සිටියේද නැත. එම නිලධාරීන් දෙතුන් දෙනා චන්දන වික්‍රමරත්න මහතාගේ කකුලෙන් නොඅදින්නට ඔහු පොලිස්පතිධුරයට පත්ව බොහෝ කල්ය.

චන්ද වික්‍රමරත්න මහතා නිහඩ චරිතයකි. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැත. වසර තිහකට අධික පොලිස් ජීවිතය තුළ ඔහු මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්තේද අතේ අගිලි ගණනටත් අඩුවෙනි. වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පවා ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත්තේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහාය. ඒ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමගිනි. ඒ ඔහු වැඩ කරන හැටිය. පොලීසියේ අප්‍රසිද්ධ චරිතයක් බවට වික්‍රමරත්න මහතා පත්ව සිටින්නේ එබැවිනි. එහෙත් පොලීසිය තුළ වැඩ කරන්නට ඔහු තරම් දක්ෂයෙක් නැති තරම්ය. ඊට හොදම උදාහරණය කහවත්ත කොටකෙනන ග්‍රාමයේ සිදුවුණු කාන්තා ඝාතන රැල්ලය. එකල ඔහු සේවයේ නිරතව සිටියේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිණි. 2008 වසරේ ජූලි 21 වෙනිදා 56 හැවරදි සෙල්ලයියා මාරියාගේ ඝාතනයෙන් ඇරඹි කොටකෙතන කාත්තා ඝාතන රැල්ල දකුණේ සිට අධ්‍යනය කළ චන්දන වික්‍රමරත්න මහතා එය දාම ඝාතකයෙකුගේ වැඩක් බව ඇස්තමේන්තු කළේය. එහෙත් එකල සිටි ඉහළ පොලිස් නිලධාරීන් පිළිගන්නට කැමැත්තක් නොදැක්වූයේ විදේශයන්වල මෙන් අපේ රටේ දාම ඝාතකයින් නොමැති බව සදහන් කරමිනි. ඒ අනුව විටෙන් විට කාන්තා ඝාතකයින් බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් තරගයට විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා විට චන්දන වික්‍රමරත්න මහතා කලේ ඒ ගැන අධ්‍යනය කිරීමය. ඒ ඔහුගේ මතය පිළිගන්නට පොලිස් ලොක්කන් මැළිකමක් දක්වන්නට වූ බැවිණි. අවසානයේදී කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මැඩලීමේ කටයුත්ත පැවරෙන්නේද චන්දන වික්‍රමරත්න මහතාටමය. ඒ 2015 වසරේ සැත්තැම්බර් 11 වෙනිදා කොටකෙතන ඕපාතවත්තේ දී නාගන් පාප්පු නැමැති කාන්තාවගේ අභිරහස් මරණයත් සමගිනි. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පොලිස් ස්ථාන කිහිපයකින් තෝරාගත් නිලධාරීන් කිහිප දෙනෙක්ද යොදවා සකස් කළ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයවමින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කොටකෙනත කාන්තා ඝාතනයයේ සැබෑ අපරාධකරුව නීල් ලක්ෂමන් නැමැත්තාව අත්අඩංගුවට ගන්තේය. ඒ 2015 වසරේ දෙසැම්බර් 11 වෙනිදාය. ඒ වන කොටකෙතනේ සිදුව තිබුණු කාන්තා ඝාතන ගණන 19 කි. එම ඝාතන අතරින් ඝාතන 15 කටම වගකිව යුත්තා බවට සාක්ෂි සහිතව හදුනා ගන්නේ මෙම සැකකරුවය. ඔහු විසින් කරන්නට සූදානම්ව සිටි තවත් කාන්තා ඝාතන රැසකම තොරතුරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණු අතර ඒ සියල්ලක්ම වැලකෙන්නේ චන්ද වික්‍රමරත්න මහතාගේ සියුම් විමර්ශන මෙහෙයවීම් නිසාය. කොටකෙතන ජනතාව අද බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නේ ද එබැවිණි.

චන්දන වික්‍රමරත්න මේ අකාරයෙන් මාධ්‍ය සංදර්ශනවලින් තොරව කළ වැඩ ගොන්නකි. යුද සමයේදී ඔහුගේ දායකත්වය යුද්ධය නිමා කිරීමට ලැබෙන්නේ යාපනයේ සිටය. 2005 වසරේ සිට 2007 වසර දක්වාම ඔහු යාපනයේ සිට කළ සේවය අති මහත්ය. එසේම යුද්ධය නිමවීමත් සමග ඔහු පදවියේ සිට එකල මායිම් ගම්මාන ලෙස සැලකූ උතුරට මායිම්ව පිහිටි උතුරුමැද පළාතේ ගම්මාන නගා සිටුවීමට පවා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඒ සියල්ලක්ම ඔහු කළේ නිහඩවය. ඒ ඔහුගේ හැටිය.

චන්දන වික්‍රමරත්න මහතා මෙලොව එළිය දකින්නේ 1963 වසරේ මාර්තු 26 වෙනිදාය. ඒ කොළඹදීය. පියා සමාගම් කළමනාකරුවෙකි. සාමාන්‍ය පවුලක උපන් වික්‍රමරත්න මහතාගේ මව ගෘහණියකි. චන්දන වික්‍රමරත්න මහතා මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයෙනි. හතරවැනි පංතිය දක්වා මහනාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු අනතුරුව ඇතුලත් වන්නේ මහනාම විද්‍යාලයටය. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මහනාම විද්‍යාලයේදී මුහුණ දෙන චන්දන වික්‍රමරත්න මහතා ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් හයවැනි ශ්‍රේණියට ඇතුලත් වන්නේ කොළඹ ආනන්දයටය. එකල රගර් ක්‍රීඩාවට ඇළුම් කරන්නට වූ බැවින් ආනන්දයේ රගර් කණ්ඩායමද නියෝජනය කරන්නට විය.

ආනන්දයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වන චන්දන වික්‍රමරත්න මහතා උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇතුලත් වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයටය. රගර් ක්‍රීඩාවට අමතරව මල්ලව පොර ක්‍රීඩාවටද ඔහු යොමු වන්නේ විශ්ව විද්‍යාලයේදීය. එකී ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ඔහු වර්ණ ලාභියෙක්ද වේ.

චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිටවීමත් සමගිනි. පොලීසිය කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නේ පොලිස් සේවයේ නිරතව සිටි තම සීයාගේ වීර වික්‍රමයන් ගැන සිය මව කුඩා කාලයේ සිට පවසන දෑ ඇසීමෙනි.

විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව සිය ආශාව සංසිදුවා ගැනීමට පොලීසියට අයදුම්පතක් ඉදිරිපත් කර මූලික සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තුරු ඔහු නිකරු‍ණේ කාලය ගත කරන්නට ගියේ නැත. පුද්ගලික ආයතනයක කළමනාකාරුවෙක් ලෙස සිය හැකියාවන් ප්‍රගුණ කළේය.

එදා පොලිස් සේවයට අයදුම්පත් යොමුකළ චන්ද වික්‍රමරත්න මහතා සමග සම්මුඛ පරීක්ෂයට ඉදිරිපත්ව සිටි ගණන 76 දෙනෙකි. එම සම්මුඛ පරීක්ෂනයන් පැවැත්වෙන්නේ අද රාජ්‍ය බුද්ධි සේවය ලෙස හදුන්වන එකල ජාතික රහස් තොරතුරු කාර්යාංශයට නිලධාරීන් බදවා ගන්නටය. එදා ඒ පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගැනෙන්නේ තිදෙනෙක් පමණි. ඒ තිදෙනාගෙන් අවසාන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්නේ චන්දන වික්‍රමරත්න සහ තවත් එක් අයෙක් පමණි. ඒ දෙවැන්නා මේ වන විටත් පොලිස් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දු මහතාය. අවසාන සම්මුඛ පරීක්ෂණය මග හරින ලද ඔහු අද ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකි.

අවසානයේදී චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බදවා ගැනෙන්නේ 1986 ජුනි 16 වෙනිදා ය.

මූලික පොලිස් පුහුණුවෙන් පසු 1987 වසරේ සිට 1995 වසර දක්වා වසර 08ක්ම චන්දන වික්‍රමරත්න මහතා සේවය කරනුයේ බුද්ධි අංශයේය. පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු උසස් වීම් ලබන්නේද බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි 1993 වසරේ මාර්තු 02 වැනිදාය. බුද්ධි අංශ නිලධාරීයෙක් ලෙස සිය මූලික පොලිස් ජීවිතය ගත කල ඔහුට සිවිල් ජනතාව සමග කටයුතු කරන්නට 1995 වසරේදී අවස්ථාව ලැබෙන්නේ කෑගල්ල පොලිස් කොට්ඨාශයෙනි. වසරක පමණ කාලයක් ඔහු කෑගල්ලේ සේවයේ නිරතව සිට ත්‍රිකුණාමලේයේත් කන්තලේත් සේවයේ නිරතව සිටියේය. අනතුරුව 1997 වසරේදී ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ පොලිස් මූලස්ථානයටය. ටික කලකට පසුව චන්දන වික්‍රමරත්න මහතාට මහනුවරට ස්ථාන මාරුවීමක් ලැබෙන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ මහනුවර සේවයේ නිරතව සිටි 1998 වසරේ මාර්තු 02 වෙනිදාය.

මහනුවරින් ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ මොණරාගලටය. කොට්ඨාශභාර පොලිස් ප්‍රධානියා ලෙස 2001 වසර දක්වාම සේවයේ නිරතව සිටි චන්දන වික්‍රමරත්න මහතාට නැවතත් පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබුණේය. මාස කිහිපයකට වඩා ඔහු පොලිස් මූලස්ථානයේ රැදී සිටියේ නැත. මාතරට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ කොට්ඨාශභාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. 2005 වසර දක්වාම ඔහු කොට්ඨාශභාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නරතව ස්ථාන මාරුවීමක් ලබන්නේ යාපනයටය. 2007 වසර දක්වාම ඔහු යාපනයේ සේවය කළේය. 2004 වසරේ දෙසැම්බර් 09 වෙනිදා පෙරදාතම කරමින් චන්දන වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීම් ලබන්නේද යාපනයේ සිටියදීමය. යාපනයේ සිට 2007 වසරේදී නුවරළියටත් 2008 වසරේදී පොලිස් මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ඔහුට ලැබුනේය. පදවියට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ අනතුරුවය. 2009 වසරේ සිට 2010 දක්වා පදවියේ ඔහු සේවයේ නිරතව සිටියේය. අනතුරුව ත්‍රිකුණාමලයට ස්ථාන මාරුවීමක් ලබන ඔහු 2011 වසර දක්වාම එහි සේවය කර නැවතත් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත වන්නේ කෙටි කාලයකටය. රාජ්‍ය බුද්ධි සේවයට ලද ස්ථාන මාරුවීම සමග 2011 වසර තුළ පමණක් ඔහුට ලැබෙන ස්ථාන මාරුවීම් ගණන 04 කි. ඒ පුත්තලම, යාපනය,උතුරුමැද යන ප්‍රෙද්ශවල පොලිස් ප්‍රධානී තනතුරු සදහාය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීම් ලබන්නේද ඒ අතර තුරදීය. 2011 මැයි 20 වෙනිදා පෙරදාතම කරමින් 201 වස‍රේ අගෝස්තු 01 වෙනිදා උසස් වීම් ලැබීමෙන් පසු චන්දන වික්‍රමරත්න මහතා උතුරු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙසත් උතුරු මැද පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසත් 2011 වසරේ සේවය කළේය. 2012 වසරේදී ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. එම වසරේදීම නැවතත් ඔහුට ස්ථාන මාරු කෙරෙන්නේ දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. ඔහු 2016 වසර දක්වාම දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ වරින් වර සබරගමුව පළාත් භාරව වැඩ බලන පොලිස් ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරමිනි. 2016 වසරේ පූජිත් ජයසුන්දර මහතා ශ්‍රී ලංකා පොලීසියේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු පොලිස් මූලස්ථානයට කැදවමින් චන්දන වික්‍රමරත්න මහතාට පවරන්නේ පොලිස් පරිපාලන අංශයයි. පොලිස්පතිවරයාගෙන් පසු පොලීසියේ ඉහළලම තනතුර වන්නේ පරිපාලන අංශයේ ප්‍රධානී තනතුරය. පොලිස්පතිධුරය දක්වා ගෙවී ගිය සිව් වසර තුළ චන්දන සේවය කළේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙසිණි.

ශ්‍රී ලංකා පොලීසියට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස එක්වූ දින සිට මේ දක්වා ගෙවි ගිය වසර තිස් හතරක කාලය තුළ චන්දන වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව,බ්‍රසීලය, මියන්මාර්කය, යන රටවලදී මානව සම්බත් කලමනාකරණය, බුද්ධි, මහජන පොලීසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය,මත්ද්‍රව්‍ය ,ආදී විෂයන් සම්බන්ධයෙන් එම පාඨමාලා හදාරා ඇති ඒ මහතා පශ්චාත් උපාධි පාඨමාලාව හදාහරා ඇත්තේ බ්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයෙනි.

සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2023 වසරේ මාර්තු 25 වෙනිදාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි