නවතම පුවත්

මකවා හෝ යහමගට ගත යුතු සමාජ මාධ්‍යයේ සිගිති පාතාලය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තුන් මුල්ලෙ පද්මෙ කියූ සැණින් ලාංකීය ජන සමාජය ඔහුව හදුනා ගන්නේ දානපතියෙක්, සමාජ සේවකෙයෙකුට වඩා පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනෙක් වශයෙනි. පද්මෙ යනු තමන්ගේ ප්‍රතිවාදියා සමග මුහුණට මුහුණ සටන් කළ නොම්මර එකේ චණ්ඩියෙකි, ඔහු සමග හැප්පී ජය ගත නොහැකි වූ ඔහුගේ සමකාලීනයන් ඔහුව මරා දමන්නේ වෙස්වලාගත් සූක්ෂම ඝාතකයකුගේ වෙඩි උණ්ඩයකිනි, ඒ මිරිහාන පොලිස් ස්ථානය තුලදීමදීය. හදිසියේම තුම්මුල්ලේ පද්මේ සිව්කොණ කොලමට අද කඩා වදින්නේ සුවිශේෂී හේතුවක් කරණකොටගෙනය. එනම් දැන් දැන් පදුරු අස්සෙන් එළි බසින සමාජ මාධ්‍ය සිගිති පාතාලයින් ගේ ගෝඩ් ෆාදර්ලා වන නධීර මැක්ස්, සෙල්ලක්කාර මලියා හා නිකවැරටියෙ සහන්ලාගේ ද්වන්ධ වාග් අරගලය සමාජ මාධ්‍ය හරහා නෙත ගැටීම හේතු කොටගෙනය. ඔවුන්ගේ පැටි වයසත් සමග ඔවුන් බිම හෙළූ මිනි මරු වදන්, මරණ තර්ජන හා වදුරු කුණුහරප හේතුකොට ගෙන එම රංගන දුටු ක්ෂණයෙන් ලාංකීය සමාජය කම්පනය වුවද ඔවුන් නීතියේ ග්‍රහනයට ගත් පසු හෙළි වූයේ, මෙකී ෆේස්බුක් කාඩ්බෝර්ඩ් වීරයන්ගේ රංගනයන්ගේ පරම චේතනාව වී ඇත්තේ සිය සමාජ ජාලයන්හි වීව්ස් හා ලයික්ස් වැඩි කර ගැනීම පමණක් බවය. එනයින් මොවුන් තුම්මුල්ලේ පද්මේලා වන් අභීත පාතාල චණ්ඩින් වනවාට වඩා මල්වෙඩි ශබ්දයටත් අම්මගේ චීත්තය අස්සේ සැගවී ගන්නා නොමේරූ කිරි සප්පයින් බව කිසි විටකදී අප පටලවා නොගත යුතුය. වඩාත් වැදගත් කාරණය වන්නේ ඔවුන්ව අනාගත පාතාලයෙන් ගළවා ගන්නවාට වඩා බොල් හා ගොබ්බ පිළිම බවට පත් කරමින් තිබෙන සමාජ මාධ්‍යයෙන් ගළවා ගැනීමය.

 

මත්ද්‍රව්‍ය දරුවෙකු අතට අහසින් පාත්වන්නේ නැත, උණ්ඩ පිරවූ පිතෝලයද එසේමය, එවන් ආයුධයක් නවයොවුන් තරුණයෙකු අතට සිය කොට්ටය යටින් එක්වර ලබා ගත නොහැකිය, මෙම ප්‍රපංච ද්විත්වයම සිදුවන්නේ තවත් කල්ලියකගේ මග පෙන්වීම හා දිරිදීම හේතුකොටගෙනය. එසේම කුමන හෝ ජඩ ක්‍රියාවක් මගින් ලයික්ස් හා වීව්ස් පමණක් අපේක්ශාවෙන් හය හතර නොතේරුණු කිරි සප්පයෙකු හට සමාජ ජාල ගිණුමක් සදහා දිරිදීම වදුරාට දැලිපිහිය දුන්නාට වඩා එහා ගිය බරපතල හානිකර ප්‍රතිථල උරුම වන්නාවූ ක්‍රියාවකි. උපුල් ශාන්ත සන්නස්ගල මහතා පසුගිය දා “පාතාලය” යන වචනයට අපූරු අර්ථකථනයක් එක් කරනු දක්නට ලැබුණි, එනම් පාතාලය යනු “පා තැබූ තාලය” යනුවෙනි. සන්නස්ගල මහතා පැවසූයේ සත්‍යකි, ඔබ තාලයට පා තබමින් කුඩා කල සිට ගමන් කරන ලාස්‍ය හා දිසාව අනුව ඔබ අනාගතයේ පය ගසන ව්‍යුහය තීරණය වීම ලෝක ස්වභාවයයි. නමුත් මෙම අසරණයන්ගේ ගමන් මගේ දිශානතිය කුමක්ද.

වත්මන් තරුණ සමාජය උපකල්පනය කරනුයේ ජීවිතය ජය ගැනීම වස් ඇති පහසුම මර්ගය සමාජ මාධ්‍ය තරුවක් වීම බවය. එක් අතකට එහි වරදක්ද නැත, දැන් දැන් එය ගෝලීය ප්‍රවණතාවක් බවටද පත්ව හමාරය. එසේම ලාංකීය, යූ නාල තාරකාවන් වන ඉරාජ්, වස්ති, රැට්ටා වැන්නවුන් අද ගමන් ගන්නේ මිල අධික සුකෝපභෝගී මෝටර් රථවලය, සුරතලයට ඇති කරන්නේ රුපියල් ලක්ෂ ගණන් ලංසු තැබූ බලු පැටවුන්ය. මින් ඉරාජ් හැරෙන්නට සෙස්සන් මේ ගෙන්දගම් පොළොවට පා තබන්නේ මධ්‍යම පාන්තික හෝ පහළ මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ දරුවන් ලෙසටය. නමුත් වත්මන් සමාජ ජාල විජ්ජාවන් හේතුකොටගෙන ඔවුන් සිය සමාජ පන්තිය දැති කිහිපයකින් ඉහලට සුසර කරන්නට සමත් වී තිබේ. නමුත් මෙකී යූ නාල කරුවන් වත්මන් තත්වයට තමන්ව ඉහළට ඔසවාගන්නේ යම් නිර්මාණාත්මක කුසලතාවයකින් මිස කරන්නන්වාලේ සමාජ ජාල තුල කරක් ගැසීමෙන් නොවන බව සමාජයේ වෙසෙන නොමේරූ දරුවන් හට වටහා දිය යුතුය. එසේ නොමැතිකල ඔවුනට මූලික අධ්‍යාපනයද මග හැරී සමාජ ජාල අතරේ මංමුලා වීමට සිදුවනු ඇත.

සමාජයක් යනු යහපතම පමණක් උරුම වූ ප්‍රපංචයක් නොවේ, යහපතට අභියෝග කරමින් අයහපතද යම් මට්ටමකට ඉස්මතු වීම ස්වභාවික සංසිද්ධියකි. නමුත් වැඩිහිටියන්ගේ ඇස් පනාපිට කිරි දරුවන් නොමගට යන්නේ නම් උන් මකවා හෝ යහ මගට ගැනීම සමාජය විසින්ම සිදු කළ යුතුය. මෙහි කතා නායකයින් වන නිකවැරටියෙ සහන් මන්නය ඔසවාගත් වීඩියෝව පටිගත කරන්නේ සිය මව කොස් කපන්නට මන්නය සොයන අතරතුරදීය,එසේම සෙල්ලක්කාර මලියා හා නධීර මැක්ස් ද සිය වීඩියෝව පටගත කරනුයේ තමන්ගේ වීඩියෝවට පසුබිම කොට ගත් යන්තමින් අඩක් පමණක් ඉදිකොට දහසකුත් අපහසුකම් සහිතව ගෙවැදුනු නිවසේ කපරාරු නොකළ ගඩොල් බිත්ති ඉදිරි පස සිටය. මෙම දරුවන් තිදෙනා වටහා ගතයුතු වැදගත්ම කාරණය වන්නේ සිය දෙමාපියන්ගෙන් සොරාගත් රුපියල් සියයකින් දමාගත් ඩේටා කාඩ්පතෙන් අන්තර්ජාලයට පිවිස සමාජමාධ්‍ය තුල කුමක් හෝ ජවුසමක් නටා කෙරුමෙකු වන්නට ගොස් හත් පොලේ ගා ගන්නවාට වඩා සමස්ත ලාංකීය මාතාව දහසකුත් කැපකිරීම් කොට නුඹලා වෙත සතයක් හෝ අය නොකොට ලබා දෙන අධ්‍යාපනයේ මූලික හරය හෝ හැකි පමණින් උකහා ගන්නය වෑයම් කිරීමය.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?