නවතම පුවත්

මිනිස්කම වෙනුවෙන් ටයිපටිය ඉවතලා මුට්ටෙට කරගැසූ ගලිගමුවේ ප්‍රා.ලේකම් The Colombo Express වෙත කතා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා (Covid-19) වසංගතය මුළු ලොවටම කියාදෙන පාඩම් බොහෝය. වසංගතය අමිහිරි ඛේදජනක එකක් වුවද කාර්ය බහුලයැයි තනාගත් ලෝකයක බලහත්කාරයෙන් අමතක කරවා දැමු මනුස්සකම් මේ වසංගතය සමග යලි පිබිදීමට පටන් ගෙන තිබේ. නමුත් අද අපේ කතා නායකයා සුසන්ත හේරත් කොරෝනා වසංගතය නිසා මනුස්සකම් උපදවාගත්තකු නම් නොවෙයි. කුඩා කල පටන් ඔහු ගැන දන්නා බොහෝ දෙනා ඔහුගේ මනුස්සකම ඉහළින් අගය කර තිබෙන අවස්ථා බොහෝය.


මේ සුවිශේෂි චරිතය පසුගියදා නැවත කරළියට ආවේ මනුස්සකම් හමුවේ මුට්ට කරගහන ගලිගමුවේ ප්‍රාදේශිය ලේකම් ලෙසය. ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට නම් ඔහුව හුරු පුරුදු වුයේ සුසන්ත හේරත්ට වඩා මාවෝ සහෝදරයා නැතිනම් මාවෝ අයියා ලෙසය. එකල ඔහු ශිෂ්‍ය සටන් ව්‍යාපාරවල කැපී පෙනෙන චරිතයකි.


මා පළමු වසරට පා තබන්නේ මාවෝ සහෝදරයා අවසන් වසරේ සිටියදීය. මතකයන් ඈතට දිව යයි. එය වෙනත් දිනයකට තබා ගලිගමුවේ ප්‍රාදේශිය ලේකම්තුමාගේ දුරකථන අංකය සොයා ගත්තේ තවත් ජපුර සොහොයුරෙකුවු ජනක අලුත්වල (බොහොඩඅයියා) ගේ උදව්වෙනි. ඔහු දැන් බද්දේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරයි.


ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත් මහතාට මා පළමු ඇමතුම දෙන විටත් ඔහු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ දෙවැනි මෙහෙයුමේ නිරතව සිටියේය. මල්ලි මම මේ වැඩේ ගොඩ දාපු ගමන් ගන්නම් යැයි ඔහු කීවා මෙන් ඒ කටයුතු අවසන්වු වහාම ඔහුම ඇමතුමක් ගත්තේය.


මා ඔහුගෙන් ඉල්ලා සිටියේ මිනිත්තු කිහිපයකි. ඊට හේතුවුයේ රට සහ ජනතාව වෙනුවෙන් බැරෑරුම් කාර්යවල නිරතවී සිටින ඔවුන්ගේ කාලය රන් හා වටින නිසාය. සුසන්ත හේරත් ප්‍රාදේශිය ලේකම්තුමාගේ පියා එච්.එම්.ආර්.ඩී හේරත්ය. ඔහු විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. මව මල්ලිකා විජේතුංගයි. ඇය ගුරුවරියකි. සුසන්ත හේරත්ගේ ගම මාවනැල්ල, මාකෙහෙල්වලය. අදටත් ඔහුට ගම නැතිව බැරිය. ගමට සුසන්ත හේරත් නැතිව බැරිය.


මම ඔහුගේ පවුලෙ විස්තර ගැන ඇසුවෙමි. ?

මට අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා. අයියා නිතිඥයෙක්, අක්කා පෙර පාසලක් පවත්වාගෙන යනවා. එතකොට ඔයාගෙ කැදල්ල ගැනත් කියන්න යැයි මම ඇවිටිලි කළෙමි.


මගේ බිරිද විජානි රත්නසේකර. ඇය සබරගමු පළාත් කර්මාන්ත අධ්‍යක්ෂිකාව ලෙස සේවය කරනවා අපි දෙන්නට දුවලා දෙන්නෙක් ඉන්නවා. හසලි විහංසා දැන් පළමු ශ්‍රේණියේ, මනුලි ෂෙහංසාට වයස අවුරුදු හතර හමාරයි.

පාසල් කාලය ගැන සිහිපත් කළොත් ?


මම පළමු ශ්‍රේණියේ ඉදන් පස්වැනි ශ්‍රේණියට ‌ඉගෙනුම ලැබුවේ මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ, පසුව පහේ ශිෂ්‍යත්වය සමත්වෙලා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වෙනවා. 2000 අවුරුද්දෙදි මම උසස් පෙළ සමත්වෙලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙලා භූගෝල විද්‍යාව පිළිබද විශේෂ උපාධිය හැදැරුවා. වසර දෙකක කාලයක් සහය කථිකාචාර්යවරයෙක් වශයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේම සේවය කළා.
ජපුර ඔබව දන්නවා. ඒ මාවෝ විධියට ?


මට විශ්ව විද්‍යාලයට යනවිට ද්‍රරිද්‍රතාවෙන් පෙළුනෙක් නෙමෙයි. ඇතමෙක් කියනවානේ එහෙම අයයි ශිෂ්‍ය සටන්වලට එන්නෙ කියලා.මම ශිෂ්‍ය සටන්වලට සහය වුණේ මට තිබුණ අවබෝධයෙන්.අදටත් මට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. නමුත් එදා රටේ අධ්‍යාපනය, සරසවි සිසුන්ගෙ අයිතින් වෙනුවෙන් මම හඩ නැගුවා. ඒක ඇත්ත. උදාහරණයක් කිව්වොත් මහපොළ රැකගන්න වීථි සටන්වලට මම ගියෙ මට මහපොළ හෝ ශිෂ්‍යත්ව දීමනාවක්වත් තිබිලා නෙමෙයි.

හැබැයි එහෙම ඉදලා 2009දි ජීවිතේ තව කඩඉමක් පසුකරනවා නේද ?


ඔව් මම 2009 පරිපාලන සේවා විභාගය සමත්වෙනවා. එතැන් පටන් මගේ ජීවිතය තවත් වෙනත් පැත්තකට යොමුවෙනවා. මට 2010 මුල්ම පත්වීම ලැබුණේ කලවානේ සහකාර ප්‍රාදේශිය ලේකම් විධියට, ඇත්තෙන්ම ඒ කාලේ ඒ ප්‍රදේශය අති දුෂ්කරයි. පසුව 2012 රත්නපුර දිස්ත්‍රික් සමුද්‍රි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න ලැබෙනවා. අපේ රටේ දහඩිය හෙලන මිනිස්සු ළගට වඩාත් සමීපවීමට ලැබුණේ ඒ ඔස්සේයි.

සමාජශීලි කම පවුලෙන් ආවද, නැත්නම් ගමෙන්ද, පාසලෙන්ද, සරසවියෙන්ද ?


ඔය හැම තැනදිම මට දේවල් ලැබිලා තියෙනවා. නමුත් පොඩි කාලේ ඉදන්ම මම ගමේ මළ ගෙයක් තියෙනවා නම් නයිටත් ගහනවාමයි. අදටත් මම එහෙමයි. ඒ නිසා පුංචි කාලේ ඉදන් දඩබ්බරකමකුත් තිබුණා.හැබැයි අනෙක් කාරණය යන යන තැන මට යාලුවො ඉන්නවා. ජපුරෙන් ඊට මාර හයියක් ආවා.


ගලිගමුවේ ප්‍රාදේශිය ලේකම් වෙන්නෙ කොයි කාලයේද ?


2018 සැප්තැම්බර් 17 වැනිදා තමයි මම ගලිගමුවේ ප්‍රාදේශිය ලේකම් විධියට වැඩ භාරගන්නෙ, එදා මෙදාතුර මෙම ප්‍රදේශයට අපි හැමෝම එකතුවෙලා හැකි උපරිමයෙන් සේවය කරමින් සිටිනවා.


මේ දක්වා ඒ කරන කාර්ය ගැන කෙටියෙන් මතක් කළොත් ?


නිවාස නොමැති පවුල් 60කට අපි මේවනවිට නිවාස හදලා ප්‍රදානය කරලා තියෙනවා. ඒවාට අධාර උපකාර කළේ ප්‍රදේශයේම ව්‍යාපාරිකයන් ඇතුළු පරිත්‍යාගශීලි ජනතාව. අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යලයට වසම් 51ක් තියෙනවා. මේ හැම වසමකටම අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඔස්සේ වසර පුරා ක්‍රියාත්මකවන වැඩසටහන් රාශියක් තියෙනවා. මේ හැමදේම කරන්නෙ අපේ ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින්, ග්‍රාම නිලධාරින්,සමෘද්ධි නිලධාරින්,ආර්ථික සංවර්ධන නිලධාරින්, ඇතුළු සියලුම දෙනා එක්වයි. කොටින්ම කිව්වොත් අපි සියලු දෙනා කණ්ඩායමක් විධියට වැඩකරනවා.


ප්‍රාදේශිය වශයෙන් සමාජශීලිත්ය වෙනුවෙන් ළමුන්ද ඇතුළත්වන සත්සර අභිමන් කියලා කලා උළෙලක් කරනවා. කාර්යාලයේ අයට අහස් වියන් යට කියලා එවැනිම කලා උළෙලක් පවත්වනවා. පාසල් ළමුන් 1000කට පමණ අපි පොත්පත් සහ පාසල් උපකරණ බෙදා දී තිබෙනවා. ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු දීලා තියෙනවා. රැකවරණ පදනම කියලා අපි සද්කාර්යන් ක්‍රියාත්මක කරන පදනම ඔස්සේ වසම් 51ට පොත් 500 පුස්තකාල 51 හදලා. ඒ හැම වසමකම ළමා සමාජ නියෝජනයවන පරිදි මත් උවදුරෙන් ඔවුන්ව වළක්වා ගැනීමටත්, සමාජ හා ලෝක දැනුම එකතුකර දීමට සිනමා පට පෙන්වීමේ වැඩසටහනකුත් දැනට සැලසුම් කරගෙන යනවා. ඒ සදහා මේ ලිපිය කියවන අයටත් දායක වෙන්න පුළුවන්. අපට ලැප්ටොප් පරිගණක සහ ප්‍රොජෙක්ටර් තමයි අවශ්‍ය වෙලා තියෙන්නෙ.


අවසන් වශයෙන් එන්නේ කොරෝනා භීතිකාවත් සමග ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වැඩ කොටසට ?


රජයේ සියලුම දැනුම්දීම් අපි නිසියාකාරව යාවත්කාලීන කර තිබෙනවා. ජනතාව අපගේ වෑයමට හොද සහයෝගයක් දෙනවා. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල ඔස්සේ බෙදා දීම ඇදිරි නීතිය සමග අපහසු වු නිසා අපි කල්තියාම ඊට සුදානම්වෙලා වැඩිහිටියන් 1800කට රු.2000 වැඩිහිටි දීමනාවයි, ආබාධිත පුද්ගලයන් 200කට රු.5000 දීමනාවයි ලබා දෙන්න කටයුතු කළා. ඇත්තටම මේ මුදල් නැවත බෙදා දෙන්න, ලංකා බැංකුවේ කළමනාකාරතුමා මම නිසාම බැංකුව ඇරලා, රුපියල් ලක්ෂ 50ක් අරන් දුන්නා, ඒ නිසා අපේ කාර්ය මණ්ඩය යුහුසුලුව වැඩ කරලා ඒ මුදල් බෙදා දුන්නා. සමෘද්ධි හිමි ජනතාවට බෙදා දෙන්න රු.2000 වටින පැක් 2000 ක් හැදුවා. මේ දෙවන අදියර. මේ එක පැක් එකක හාල් කිලෝ 10යි, සැමන්, සොයා මීට්, අල,ලූණු,ලුණු,මිරිස්,තුනපහ,නූල්ඩ්ස්,සීනි, පිටි ඇතුළු අත්‍යවශ්‍ය අහාර දව්‍ය තිබෙනවා. ඊට අමතරව සමෘද්ධි නොමැති අග හිගකම් තිබෙන පවුල් 500කටත් අපි බඩු මලු සුදානම් කළා. අපි එකතුවෙලා අපේ මිනිස්සුව කොහොම හරි රැකබලා ගන්නවා.

දැන් මුට්ට කරගහව ඡායාරූපය ? මේක එළියට ආවේ කොහොමද ?


ඒක මම දැනුවත්ව සිදුවුණ දෙයක් නෙමෙයි. මේ ඡයාරූපය අරගෙන තියෙන්නෙ සමෘද්ධි සංවර්ධන නිලධාරි ගාමිණි ජයසිංහ මහත්මයා, එතුමා ඒක අපේ ෆේස්බුක් පිටුවට දාලා තියෙනවා අනෙක් පින්තූරත් එක්කම. ඇත්තටම මම වැඩ කරන කොට නිලතල තියාගෙන වැඩකරන්නෙ නැහැ. මමත් ඒ අය එක්ක වැඩකරනකොට තමයි ඒ අයටත් හැගීමක් එන්නෙ තමන් කරන වැඩේ ගැන. හැබැයි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්‍රාදේශිය ලේකම් කියන්නෙ තනතුරක්, ඔහු දැනගන්න ඔන මිනිස්සු දාලා වැඩේ කරවන්න කියලා.

ඒ අයට මොකද කියන්නෙ ?

නියෝග දීලා නායකයෙක් වෙන්න මට උවමනා නෑ. මට අවශ්‍යය එකිනෙකා අතර තියෙන බැදීම ඇතිකර ගනිමින් අපි කියන හැගීමෙන් ඉදිරියට යන්නයි.


මම ඔහුට සුබ පැතුවෙමි! ගලිගමුවෙ ජනතාව මෙවන් රාජ්‍ය නිලධාරින්ගේ නායකත්වය ලැබීමට වාසනාවන්ත වී ඇතැයි සිතට දැණිනි.

සාකච්ඡාව සහ සටහන
රමේෂ් වරල්ලේගම
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි