නවතම පුවත්

මීළගට බෝම්බ පිපිරෙන්නේ කවදාද ?

අසංක

අසංක

ආරක්ෂක තොරතුරු වාර්තාකරු රමේෂ් වරල්ලෙගම විසිනි.

සුදු ඇඳුම් කතාවේ දැන් හෙළිවන ඇත්ත

සහරාන්ගෙ මිත්‍රයා සෞදිය නොදෙන්නෙ ඇයි?

ලංකවට ආපු දේශකයො හැංගුනාද රටින් පිටමන් කළාද ?

පොලිස්පති එක්ක පොලිස් ලොක්කො අපරාධ නීතියට කොටුවෙයිද ?

සන්නද්ධ බුද්ධි අංශයේ  වගකීම ඉටු වුණාද ?

අපි කළ යුත්තේ කුමක්ද ?

දස වසරක විජයග්‍රහණයේ සැමරුම

සාමයට කැමැති බොහෝ දෙනා මෙයට වසර දහයකට පෙර අදවැනි දවසක කොටි ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීමේ ප්‍රීතිය සැමරූහ. එතෙක් පැවැති බිය තුරන් කිරීමට මෙන් පාරට පැන රතික්ඥාකඥා දල්වා කිරිබත් කෑවෝය.

එදින සිවු වැනි ඊළාම් සටන මෙහෙයවු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන්ට ඊළම අහිමිවුවා පමණක් නොව ඔවුන්ගේ ජීවිතයෙන්ද ඊට වන්දි ගෙවන්නට සිදුවුහ.

කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ජය ගැනීමට එකල ප්‍රධාන සාධකය වුයේ දේශපාලන ස්ථාවරභාවයයි. යුද්ධය දේශපාලන විසදුමකි. යුද නායකත්වයන් එකිනෙකට ගැලපෙමින් රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රි ලංකා දේශය ත්‍රස්තවාදයෙන් මුදා ගත්හ.

මෙම විජයග්‍රහණයෙන් දස වසරක් ගතවන තැන නැවත මේ රටේ අයි.එස්.අයි.එල් ගෝලීය ත්‍රස්තවාදය ගැන කතා කිරීමට තරම් අප අවාසනාවන්ත වී සිටි. ඊට හේතුව දේශපාලන අස්ථාවරභාවය සමස්ත රට තුළ ත්‍රස්ත බියතුරන් කිරීමට තරම් ප්‍රමාණවත් පරිසරයක් ගොඩනගා නොතිබීමය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ

තවත් දින තුනක් ගතවනව විට පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයට මාසයක කාලයක් ගතවේ. මේ වනවිට ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට පුද්ගලයන් 80කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ඇතමෙක් අධිකරණ කටයුතුවලට යොමු කර ඇති අතර තවත් අයෙක් රදවාගෙන ප්‍රශ්න කරති.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු එන්.ටී.ජේ නායකයා බව කියන සහරාන් හසීම්ගේ බිරිද සහ දියණියද මේවනවිට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.

මෙසේ අත්අඩංගුවට ගත් ඇතමෙක්ට අදාලව ත්‍රස්තවාදීන්ට සම්බන්ධ  ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් හමුවී නැත. පසුගියදා එන්.ටී.ජේ හා ජේ.එම්.අයි සංවිධාන ත්‍රස්ත සංවිධාන ලෙස හදුනාගනිමින් ඒවා තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කළේය.

ඒ සමග නිකුත්වු අති විශේෂ ගැසට් පත්‍රයක කියැවුණේ මුහුණු ආවරණයට අදාල රෙගුලාසි සහ අන්තවාදී දේශකයන්ට මෙරට තුළ ඉගැන්වීම් කටයුතු තහනම් කිරීමයි. නමුත් දෙවැනි රෙගුලාසියට මාධ්‍යයේ වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ නැත. ඩෝනා යානා පියාසර කරවීම තහනම් කරමින් තවත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් විය.

සහාරන්ගේ බිරිද පොලිසියට කියන කතාව

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් හසීම් ඇතුළු පිරිස දිවුරුම්දුන්නේ කොතනද යන්න ගැන මෙයට පෙර විශාල සංවාදයක් තිබිණ.

සමන්තුරේ නිවසේදී හමුවු අයි.එස්.අයි.එල් කොඩිය තිබු ස්ථානයේ මෙම දිවුරුම දෙන්නට ඇතැයි මුලින් සැක කළද සහරාන්ගේ බිරිදගේ ප්‍රකාශ අනුව මෙම පරීක්ෂණ මුළුමනින්ම වෙනතකට හැරී තිබේ.

අදාල ගිවිසුම ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ නිවසක හෝ කොල්ලුපිටියයේද යන සැකයද දුරුකරමින් කොල්ලුපිටිය ලකී ප්ලාසා තට්ටු නිවාස සංකීර්ණයේ ඔවුන්ට අයත් නිවසක මෙම දිවුරුම දුන් බව සහරාන්ගේ බිරිද මොහොමද් හාදියා හෙළි කළාය.

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිගේ නිවස ඇතුළු ප්‍රභූ නිවාස කිහිපයක්ම ලකී ප්ලාසා නිවාස සංකීර්ණයේ පිහිට ඇත්තේ මෙම සැකකටයුතු නිවසට නුදුරිනි. අදාල ගිවිසුම සිදුවන අවස්ථාවේ අයි.එස්.අයි.එල් කොඩිය එල්ලා තැබු තැන පොලිස් පරික්ෂකයන් විසින් මේ වනවිට නිශ්චිතවම හදුනාගෙන තිබේ.

මෙම ගිවිසුමට පෙර මීගමුව කටුවාපිටිය කුලී නිවසේ ගත කර ඇති ඔවුන් බෝම්බ සියල්ල නිෂ්පාදනය කරගෙන ඇත්තේ එම නිවසේය. බෝම්බවල බැටරි කප් සහ ටයිමර් සවි කොට ඇත්තේ 18 වැනිදා පානදුර කරික්කමුල්ල කුලී නිවසේය. පරිපථ ක්‍රියාත්මක නොවුණහොත් කාල බෝම්බයක් ලෙස පුපුරායන ලෙස මෙම බෝම්බ නිෂ්පාදනය කර තිබිණි.

19 වැනි සිකුරාදා  සහරාන්ට සමුදෙන්නට පෙර සහරාන් හාදියා වැළදගෙන හැඩු කදුලින් තමන් මෙම මෙහෙයුමට සුදානම්බව පවසා තිබේ. මෙම කතාවෙන් පසු පිටව යන හාදියා, මඩකළපුව සහ කොච්චිකඩේ දේවස්ථානවල ප්‍රහාරකයන්ගේ බිරින්දෑවරුන් සමග සුදු ඇදුම් ගැනීමට අතරමග සිංහල වෙළද සැලකට ගොඩවුහ.

සිකුරාදා දිනයක් වු නිසා අදාල වේලාවේ විවෘත කර තිබු කඩයකින් සුදු ඇදුම්ගත් බව ඇය සදහන් කරන්නීය. අදාල සුදු ඇදුම් කට්ටල 9ක් ලබා ගත්තේ තම ස්වාමියන් මිය ගිය පසුව මාසයකට වැඩි කාලයක් සූදු ඇදුම් ඇදගෙන සිටිමේ සම්ප්‍රදායට බව හාදියා පවසා තිබේ. නමුත් සුදු හැට්ට සහ සාය හැද මුස්ලිම් කාන්තාවන් නිවාස තුළ සිටිනවාද යන සැකය ආරක්ෂක අංශවලට මතුනොවන්නේ නම් පුදුමය.

කෙසේ වෙතත් සොයාගත් සුදු ඇදුම් කට්ටල අතර තවත් දෙකක් නොමැතිබවට පැතිර ගිය ආන්දෝලනයටද මේ වනවිට හාදියා පිළිතුරු දී තිබේ. ඒ මඩකළපුව හා කොච්චිකඩේ ප්‍රහාරයට සම්බන්ධ ස්වාමියාගේ බිරින්දෑවරු සයින්තමරුතු නිවසේ පිපිරීමට පෙර එම ඇදුම් හැද සිටි බවයි.

ප්‍රහාරය සදහා පානදුර නිවසින් මිනිස් බොම්බකරුවන් පිටව ගොස් ඇත්තේ අප්‍රේල් 20 වැනිදාය. මඩකළපුව බෝම්බකරු අදාල බෝම්බ බෑගය රැගෙන පිටව ගොස් තිබුණේ එදින රාත්‍රියේය.

රිල්වාන්ට ප්‍රතිකාර කළ කොළඹ රෝහල

සහරාන්ගේ සොයුරු රිල්වාන් බරපතල තුවාල ලැබු‌වේ ඔවුන්ම නිෂ්පාදනය කළ බෝම්බයක් පරික්ෂා කිරීමට යාමේදිය.

පසුගිය ඔක්තොම්බර් මාසයේ අග දිනක කාත්තන්කුඩිය නූර් පල්ලිය අසල බෝක්කුවක අටවන බෝම්බය පුපුරා නොයාම ගැන පරික්ෂා කිරීමට රිල්වාන් බොක්කුවට එබුනේය. අදාල බෝම්බය පුපුරාගියේ ඒ මොහොතේය.

සියලු දෙනා සිතුවේ රිල්වාන් මියගොස් ඇති බවයි.නමුත් ඔවුගේ දිවි රැකුණේය. බරපතල තුවාල ලැබු රිල්වාන් පියාගේ නිවසේදී ප්‍රථමාධාර දී සහරාන්ගේ උපදෙස් පරිදි රජයේ රෝහලකට ඇතුළත් නොකොට කොළඹට ගෙනාවේය.

ඒ කොටා පාරේ වෙස්ටර්න් රෝහලටයි. සහරාන්ගේ හා ඔහුගේ සමීපතයන්ගේ වෛද්‍ය ආධාර මත වෙස්ටර්න් රෝහලේදී  රිල්වාන්ට ප්‍රතිකාර සිදුවුයේ ගෑස් ටැංකියක් පුපුරා ප්‍රතිකාර ලබන්නකු ලෙසයි. අදාල ප්‍රතිකාරවලින් පසුව අතේ ඇගිලි කිහිපයක් මෙන්ම ඇසක් හා මුහුණේ කලින් පැවැති ස්වරූපය රිල්වාන්ට අහිමිවිය.

එන්.ටී.ජේ සන්නද්ධ අංශය මෙහෙයවු මිල්හාන්

සහරාන් සහ රිල්වාන් ලගින්ම ඇසුරකරිමින් සිටි මිල්හාන් එන්.ටී.ජේ සන්නද්ධ අංශය මෙහෙයවමින් සිටියේය. රිල්වාන්ගේ සිද්ධියෙන් පසු ඒවනවිටත් සකසා තිබු බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය කාත්තන්කුඩියෙන් මුහුදු වෙරළේ වළදමන්නට පෙරමුණ ගත්තේ මිල්හාන්ය.

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියට සම්බන්ධ මිල්හාන් ගැන මුලින්ම පොලිසියට ඔත්තුව දී තිබුණේ කබීර් හෂීම් ඇමැතිවරයාගේ ලේකම් මොහොමඩ් නෆ්ලිම්ය. මිල්හාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති වනාතවිල්ලුවේ පුහුණු කදවුර ගැන මුලින්ම පොලිසියට තොරතුරු ලැබුනේද කබීර්ගේ ලේකම් හරහාය. මේ බව දැනගත් මිල්හාන් කබීර්ගේ ලේකම්වරයා මරා දැමීමට මාවනැල්ලේදී වෙඩි තැබුවේය. නමුත් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි වැන්නවුන්‌ගේ බලපෑම් ඇතිව සැකකරුවන් දෙදෙනෙකු මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ පරික්ෂණ අතරවාරයේ මුදා හැරිනි.

කාත්තන්කුඩි යන මිල්හාන් නැවත සිය ගමන සෞදි අරාබිය දක්වා යොදාගන්නේ මක්කම වන්දනාවකට යන බවද දන්වමිනි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සමග මෙසේ පැනගිය මිල්හාන් සෞදි රජය මගින් අත්අඩංගුවට ගත්තේය. ලංකාවේ රහස් පොලිස් කණ්ඩායම් දෙකක් සෞදිය බලා ගියේ මිල්හාන්ව කුදලාගෙන ඒමටය. නමුත් සෞදි රජය මුලින් එකගවී සිටි කරුණු පසුව ප්‍රතික්ෂේප කරමින් මිල්හාන් භාරදීමට කර ඇද්දේය. මේ නිසා සෞදි ගිය ශ්‍රි ලංකා රහස් පොලිස් කණ්ඩායමක් හිස් අතින් මෙරටට පැමිණියහ. අනෙක් කණ්ඩායම තවමත් මිල්හාන් භාර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් එරට රැදී සිටියි.

පොලිසියේ ලොක්කො හරිද ?

ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට පොලිසිය අභ්‍යන්තරයේද පරික්ෂණ කිහිපයක් ක්‍රියාත්මක වේ. ජනපති කොමිසමේ වර්තාව අතට ගත් නීතිපතිවරයා සති දෙකක් ඇතුළත අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් සිදු කරන්නැයි පොලිසියට උපදෙස් දී තිබිණි.

මේ වනවිට කලින් සෘජුවම පොලිස්පති  පුජිත් ජයසුන්දර යටතේ පැවැති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (ටී.අයි.ඩී) වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් පරිදි රහස් පොලිසිය (සී.අයි.ඩී) යටතේ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව අදාල පරීක්ෂණ සදහා සහය දෙමින් කලින් ලැබුණු ප්ලෑන් ඇටෑක් ලිපියට අදාලව තමන් ක්‍රියාත්මකවු ආකාරය පිළිබදව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් රැසක්ම ප්‍රකාශ ලබා දී තිබේ.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු නිලධාරින් පිරිසක්ම ඒ අතර සිටිති. මුලික පරික්ෂණවලදි අදාල නියෝජ්‍ය පොලිස්පතිවරු හා විවිධ අංශ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කළ කාර්යන් මොනවාද යන්න ගැනද සොයාබලමින් සිටියි.

ඇමැති ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් කළ කාර්ය පැහැදිලි කර ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර විසින් සහරාන්ගේ ෆේස්බුක් පිටුව අවහිර කිරීම ඇතුළු කාර්යන් පැහැදිල කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් ඒ වනවිට විදෙස්ගතව සිට තිබේ. ඒ අනුව අදාල පණිවුඩයට ක්‍රියාත්මක වු ආකාරය වැඩ බැලීම ආවරණය කළ නිලධාරින්ගෙන් විමසීමට නියමිතය.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ප්‍රහාරයට පෙර දිනයේද පොලිස්පති පුජිත් ජයසුන්දරට මේ අනතුරු ඇගවීම ගැන දුරකථනය ඔස්සේද දැන්වු බව පවසයි. ඔහු අදාල තොරතුරු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහට දන්වන්නැයි පවසා ඇත.

කෙසේ වෙතත් රටම දැනුවත් කිරීමේ හෝ අඩුම තරමේ මඩකළපුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමටවත් ක්‍රමවේදයක් පොලිසිය තුළින් ක්‍රියාත්මක වී නැත. එය කොතරම්ද කියනවා නම් වෙනදාට කොච්චිකඩේ පල්ලිය අසල සේවය කරන රථවාහන යතුරු පැදිය හෝ එදින තිබී නැති බව කියයි. මෙහි තවත් තොරතුරු සති දෙකක් ඇතුළත හෙළිදරව්වනු ඇත.

මීළගට බෝම්බ පිපිරෙන්නේ කවදාද ?

පාස්කු ඉරිදා මිනිස් බෝම්බ ප්‍රහාරයේ කම්පනයේ සිටින බොහෝ දෙනෙක් විමසන්නේ මීළගට බෝම්බ පුපුරන්නේ කවදාද යන්නයි. දරුවන් පාසල් නොයවන්නේ එවැනි දිනයකදී සිය ආදරණීයන් ආරක්ෂා කර ගැනීම සදහාය.

ඇතමුන් පසුගිය කාලයේ ඊට විවිධ දින යොදා ගනිමින් උපකල්පනවල නිරතවුහ. 13 වැනිදා රට තුළ ඇති කළ කම්පනයද එවැන්නකි. ප්‍රදේශ කිහිපයක සිංහල මුස්ලිම් කෝලහාල ඇති කිරීමට ඇතමෙක් පියවර ගත්ත. අදාල සිද්ධිවලට කිසියම් පදනමක් සකසා තිබුණේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල කුඩා ඒකක මෙහෙයවන්නන්ය. නැතිනම් ප්‍රධාන දේශපාලන පක්ෂවලට මුක්කු ගැසු කුඩා පක්ෂවල අන්තගාමීන්ය.

මහ පක්ෂවල නායකයන්ගේ ආශිර්වාදයක්ද නොමැතිව ඔවුන් මෙවැනි අන්තගාමී පියවරයන්හි නිරතවී ඇති බව බුද්ධි අංශවලට නිරීක්ෂණය වී තිබේ. එවැනි අවස්ථාවාදී කටයුතුවල නිරත ප්‍රසිද්ධ පුද්ගලකුගේ වීඩියෝ සාක්ෂියක් පවා ඉදිරියේදී රටට හෙළිදරව් වීමට නියමිතය.

ඇත්ත කතාව මීට වඩා ගැඹුරුය. අයි.එස්.අයි.එල් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩාඩි වසර පහකට පසුව නැවත කරළියට ආවේ ලංකාවේ පාස්කු ඉරිදා 4-21 ත්‍රස්ත ප්‍රහාරයත් සමගය. ඔහු එම ප්‍රහාරයෙන් අලුත්ම පිබිදීමක් ලැබුවා මෙන්ය. ඊට හේතුවී තිබුණේ ඇමෙරිකාව කලින් මිය ගිය බව පවසා තිබු අබු බකර්ගේ නැවත පැමිණිම ලොව ඔත්තු සේවා පවා මවිත කළ නිසාය.

ඒ නිසා අදාල වීඩියෝ පටයේ කතා කරන්නේ අබු බකර්මදැයි විදෙස් ඔත්තු සේවා විමසිලිමත් වුයේය. ඊට තර්ක දෙකක් ඉදිරිපත්ව තිබු අතර වෙනත් අයෙකුගේ හඩක් ඊට යොදා ඇතැයි ඇතමෙක් කල්පනා කළහ. නමුත් මේ වනවිට ලොව පුරා බුද්ධි ඒකකවල තහවුරුව වී ඇත්තේ සියයට අසුවක්ම අදාල හඩ පටය අබු බකර්ගේම හඩ ඇතුළත් සජීවි දර්ශනයක් බවයි.

අනෙක් කාරණය අයි.එස්.අයි.එල් සිරියාවේ පරාජය කළ බව ප්‍රකාශ වීමෙන් පසුව ප්‍රංශය,එංගලන්තය, ශ්‍රි ලංකාව වැනි රටවල ඉලක්කවලට අයි.එස්.අයි.එල් අනුගාමිකයන් ක්‍රියාත්මක වීම පිළිබදව ඇතිවු උද්යෝගයයි.

අයි.එස්.අයි.එල් සංවිධානයට එක්ව සිරියාවේදී  මරුමුවට පත්වු පළමු ශ්‍රි ලාංකිකයා බව කියන නීලාම්ගේ වයෝවෘද දෙමාපියන් සිරියාව බලා ගොස් තිබුණේ 2015 ජනවාරි 15 වැනිදාය.

එම සංවිධානයට පසුව එක්වු ඔහුගේ සොහොයුරු ඉෂාක්ගේ අවශ්‍යතාව අනුව ඔහුටත් නොදැනෙන්නට 2016 ජනවාරි 29 වැනිදා ඔවුන්ගේ වයෝවෘද දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය සමත්වුයේ නම් ඉන් ඔබ්බට වු මෙහෙයුම් සදහා නෛතික පසුබිම සකසා දෙන්නැයි කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත්තේ රජයෙනි.

ඒ වනවිට ලංකාවෙන් අයි.එස්.අයි.එල් සංවිධානයට එක්වීම සදහා 41 දෙනෙකු සිරියාවට ගොස් සිටි බව බුද්ධි අංශ තහවුරුකරගෙන ඔවුන්ගේ නම් ගම්ද ඇතිව රජයට ඉදිරිපත් කර තිබිණි. නෛතික රාමුවක් සකස් කර ගැනීමට නොහැකි තැන බුද්ධි අංශ මේ තොරතුරු පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්වන තැනට පත් කළේය.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා එදා මෙම තොරතුරු පාර්ලිමේන්තුව හමුවේ තැබුවේ අදාල අයි.එස් සාමාජිකයන්ගේ සියලු තොරතුරු තමන් සතුව තබාගෙනය. හෙළිදරව්වක් ලෙසිනි. නමුත් සිදුවු දෙයක් නැත. දැන් ප්‍රශ්න කිහිපයක් මතුවෙයි. එකක් සිරියාවට ගොස් අයි.එස්.අයි.එල් සංවිධානයට එක්වු කණ්ඩායමේ 41 දෙනාට සිදුවුයේ කුමක්ද යන්නයි.

ඇමෙරිකානු ප්‍රහාරවලින් මරුමුවට පත්වු සංඛ්‍යාව අත්හළවිට තවත් බොහෝ පිරිසක් දැන් කුමක් කරන්නේද යන්න ගැන ප්‍රශ්නයක් මතුවේ. ඒ 41 දෙනාට පසුව තවත් අය සිරියාවට නොගියා කියන ඌණ මනසකින් බැලුවිටය. නමුත් තත්ත්වය තවත් වෙනස්වන්නට පුළුවන.

බැලු බැල්මටම සහරාන්ලාගේ ත්‍රස්ත කල්ලියට එක්ව සිටි බොහෝ දෙනා ශාරීරිකව  අයි.එස්.අයි.එල් ක්‍රියාකාරකම් සමග සිරියාවේදී එක්වුවාට වඩා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ අයි.එස්.අයි.එල් මුලධර්මවාදය අදහමින් එම කණ්ඩායම් සමග ගොඩනැගුනු බවට බුද්ධි අංශවල අධ්‍යනයන්ගෙන් පැහැදිලි වී තිබේ.

මෙරට ක්‍රියාත්මක වු බොහෝ එන්.ටී.ජේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සමාජ මාධ්‍ය මෙවලමක් වී තිබුණේ ඉන්ස්ටර්ග්‍රෑම්ය. ඔවුන් ඒ ඔස්සේ අයි.එස්.අයි.එල් මුලධර්මවාදී අදහස් තිබෙන කණ්ඩායම් සමග සමීප සබදතා ගොඩනගා ගත්තේය.

නීලාම්ගේ පටන් මෙරට අයි.එස්.අයි.එස් සාමාජිකයන් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේදී පැහැදිලිවන්නේ ෂරියා නීතිය, ඉස්ලාම් අන්තවාදය ගැන පකිස්ථානයේදී, එංගලන්තයේදී, ඔස්ට්‍රේලියාවේදී හෝ ඉන්දියාවේදී උවද ඔවුන් අධ්‍යනය කර ඇති බවයි. ඒ ඒ රටවලට එන සෞදි, පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන හෝ වෙනත් රටවල ජිහාද් හෝ වහාබ්වාදීන් සමග අන්තර් සහයෝගීතාවක් ගොඩනගාගෙන ඇති බවයි.

එසේ ගත්කළ 2004-2007 කාලයේ පකිස්ථානු ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු නීලාම්ගේ කාලයේ පටන් මේ වනතෙක් මේ ආකාරයේ අධ්‍යාපනය ලැබු කී දෙනෙක්නම් ශ්‍රි ලංකාවේ සිටිත්ද ? ඔවුන් ගැන අධ්‍යනයක් අප රට සතුව තිබේද යන්න ගැටලුකාරීය.

මේ සියල්ලට මුලිකවම මග පාදා ඇත්තේ පිටස්තරයෙන් රටට පැමිණෙන දේශකයන්ගේ මුස්ලිම් මුලධර්මවාදයයි. අසල්වැසි ඉන්දියාවේ බහුතර මුස්ලිම්වරු ඉන්දියාව ගැන සිතන්නෙ ඔවුන් ඉන්දියානු මුස්ලිම්වරුන් ලෙසයි. ඔවුන්ට හින්දුස්ථානයද ගැටලුවක් නොවේ. නෛතිකවද ඒ බැදීම ඇතිකර තිබේ.

ශ්‍රි ලංකාවේ ගැටලුව ශ්‍රි ලාංකේය මුස්ලිම්වරුන් නැමැති ගෞරවය අත්පත්කර නොගැනීමයි. ඊට ප්‍රධාන හේතුව සෞදිය ඇතුළු රටවල ආධාර මත යැපෙමින් ඔවුන්ගේ මුලධර්මවාදය ප්‍රචලික කිරීමේ මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්ව තිබීමයි.

මේ බව අධ්‍යනය කළ යුද හමුදා බුද්ධි අංශය 2013 වසරේදී කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුර්ණ මැදිහත්වීමෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්භාවය අනුව 2013 වසරේදී සංචාරක වීසාමත පදනම්ව මෙරටට පැමිණ වෙනත් සේවාවල නිරතවීම, ඉගැන්වීම විදේශිකයන්ට තහනම් කෙරිණි.

අදාල දේශකයන්ගේ පැමිණිම ජමෙයිතුල් උලමා සංවිධානය විසින් මෙහෙයවු අතර 2013 වසරවනවිට සෞදිය, පකිස්ථානය, ඉරාකය ඇතුළු රටවලින් වසරකට එසේ පැමිණෙන මුලධර්මවාදී දේශකයන් ගණන 600කට ආසන්න වී තිබිණි. ඔවුන් මෙරට 300කට අධික මද්‍රසා විද්‍යාලවල ඉගැන්වීම් කළේය. සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනැමුවේ ඔවුන්ය.

2013 වසරේදී සංචාරක වීසාමත පැමිණ සිටි එවැනි දේශකයන් මෙරටින් පිටුවහල් කෙරිණි. නමුත් ආණ්ඩුමාරුවීමත් සමග ඒ සම්බන්ධයෙන් තිබු අවධානයද පාස්කු ඉරිදා ප්‍රහාරය තෙක්ම බිද වැටී තිබිණි. ලංකාවේ සංස්කෘතියට හුරුවී සිටි මුස්ලිම් වැසියා ෂරියා නීති ඉල්ලුවේද, අන්තවාදී පෝෂණය ලැබුවේද මෙවැනි දේශකයන්ගෙනි. නැවත ඔවුන්ගේ පැමිණීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්වුයේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය.

ජිහාද් අන්තවාදියාගේ සිතුවිල්ල

අනෙක් ත්‍රස්තවාදීන්ගෙන් වෙනස් වෙමින් මුස්ලිම් අන්තවාදියා අධ්‍යාපනය ලබමින් උපාධි ලබාගනිමින් මිල මුදල් හම්බු කරමින් මුලධර්මවාදයට නැඹුරුවෙයි. ඔවුන් පවසන්නේ අපට මොනවද අඩුපාඩු. අපි මේ සියල්ලෙම තියෙනවා ඇත්ත දැක්කා. ඒ නිසා අපි අපගේ මුස්ලිම් ආගමට දෙවියන්ට ඉටු කළ යුතු යුතුකම ඉටුකිරීමට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ හෝ ප්‍රහාර සදහා යොමුවන බවයි. ඇමෙරිකාව අයි.එස්.අයි.එල් බිහිකිරීමත් ඉන් බලාපොරොත්තුවු පරමාර්ථයන්ගෙන් ඔබ්බට ගොස් දෙවියන් වෙනුවෙන් ඔවුන්ටම පාඩමක් ඉගැන්වීම අයි.එස්.අයි.එල් මුලධර්මවාදය අදහන්නාගේ ඉලක්කයයි. ඉස්ලාම් රාජ්‍යයක් නිර්මාණයවන තැනක ප්‍රධාන කොට ක්‍රිස්ත්‍රියානි ආගමක් හෝ අනෙක් ආගම්වල පැවැත්මක් නොතිබිය යුතුය.

අන්තවාදය මැඩලීම

ඒ නිසා එවැනි මුලධර්මවාදයකට එරෙහි බුද්ධි මෙහෙයුමකට ශ්‍රි ලංකාව ඒ තාලයෙන්ම සුදානම්විය යුතුය. උගත් බුද්ධිමත් තමන් විසින්ම බෝම්බකරුවන්වීමට පුහුණුවන අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට නම්  අනෙකුත් රටවල් සමග අන්තර් බුද්ධි අංශ සබදතාවක් ගොඩනගා ගනිමින්  නෛතික ව්‍යහුය මෙරට තුළ  සකසා ගැනීමට අවධානය යොමුකළ යුතුය. පාස්කු ප්‍රහාරය නැමැති සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවටගත් පමණින් මේ අනතුර දැන් පහව යන්නේ නැත. අවශ්‍යවන්නේ කෙටිකාලීන,මධ්‍යකාලීන  සහ දිගු කාලීන බුද්ධි ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කිරීමයි. ඒ සදහා මේ රජය සුදානම්ද නැද්ද යන්න ගැන නිශ්චය කිරීම ඔබ සතුය. 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී