නවතම පුවත්

‘විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නම් ජනමත විචාරණයක් ඕනෑ’ – ශ්‍රී ලංකාව ජිනීවාහිදී කියයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ,අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා අද (20) පස්වරුවේ ප්‍රකාශ කර සිටියේය .

කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සෙසු යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්න බවද තිලක් මාරපන මහත මෙහිදී සඳහන් කර සිටියේය.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය සහ ජර්මනිය ඇතුළු පාර්ශව කිහිපයක් සකස් කළ වාර්තාව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත අද පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබුවාය.

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති අපරාධ සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට අනුව කටයුතු කිරීමට හැකියාව නොමැති බව තහවුරු වී තිබියදීත් විදෙස් විනිසුරුවරුන් එම අධිකරණ ක්‍රියාදාමයට සහභාගී කර නොගැනීම විමතියට කරුණක් බව ද මහ කොමසාරිස්වරිය එහිදි ප්‍රකශකර සිටියාය.

ලංකාවේ සිදුවී ඇති අපරාධ පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය ඉතාම මන්දගාමී ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් විශේෂ අධිකරණ යාන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා වන සැලැස්මක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී නොමැති බවත් මහ කොමසාරිස්වරිය මෙහිදී ප්‍රකාශ කලාය.

එමෙන්ම මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණය සදහා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් ස්ථාපිත කල යුතු බව ඇය සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කාලය .

ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධවූවන් සහ එහි ඉහළ නිලතල දැරූ පුද්ගලයින් අපරාධවලට සම්බන්ධ වී ඇති අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බව ද ඇය මෙහිදී සඳහන් කර ඇත.

අමාත්‍ය තිලක් මාරපන මහතා ජිනිවාහිදී කළ සම්පූර්ණ කතාව.

සභාපතිතුමනි,
මහකොමසාරිස්තුමියනි,
නියෝජිතවරුනි,


2017 වසරේ සිට මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් අත් කරගෙන ඇති වැදගත් ප්‍රගතිය බෙදාහදා ගැනීම පිණිස මෙම කවුන්සිල සැසිවාරයට සහභාගී වන්නට ලැබීම මට ඉමහත් සතුටක්. මගේ පාර්ලිමේන්තු සගයකු වන ගරු ආචාර්ය සරත් අමුණුගම මහතා, උතුරු පළාතේ ආණ්ඩුකාර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මා සමඟ එක් වනවා.

මහකොමසාරිස්තුමියනි,
සියලු පාර්ශ්වකරුවන් කෙරෙහි රජය අනුගමනය කරන්නා වූ විවෘත, වැඩදායක සහ සහයෝගී ප්‍රවේශය ඔබගේ වාර්තාව පුරා පිළිගැනීම සම්බන්ධයෙන් අප මුලින්ම ඔබට ස්තූතිවන්ත වනවා. එක් එක් රටෙහි පශ්චාත් යුද ගැටුම් වාතාවරණය එකිනෙකට වෙනස් ය යන්න පිළිබඳව ඔබතුමිය එකඟ වනවා ඇති. වෙනත් අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගැනීමට හැකි වුවත්, සංහිඳියාව කරා යන අපගේම ගමන්මඟ මූලික වශයෙන්ම පාලනය වනු ඇත්තේ රාජ්‍යයේ බැඳීම්වල උත්තරීතරභාවය තහවුරු කරන, අප කටයුතු කරන දේශීය සන්දර්භය මඟිනුයි. සත්‍ය සෙවීමේ කටයුත්ත ගත් විට, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නීතියෙන් ස්ථාපනය කොට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට අවශ්‍ය සම්පත් වෙන්කොට දී තිබෙනවා. සත්‍ය හා සංහිඳිහා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා වූ නීති කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනට සලකා බැලෙමින් පවතිනවා.

• යුක්තිය සම්බන්ධයෙන් ගත් කල, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති නඩු යළි සමාලෝචනය කිරීමද එම නඩු කඩිනම් කිරීමද කර තිබෙන අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමීතීන්ට සහ යහ ව්‍යවහාරයන්ට අනුකූලවීම සහතික වමින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.
• හානිපූරණය පිළිබඳව සලකා බැලීමේදී, හානිපූරණ කාර්යාලයක් නීතියෙන් පිහිටුවා ඇති අතර එයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. දැනටමත් අප්‍රාප්ති සහතිකයක් ලැබූ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500 ක් වෙන් කොට තිබෙනවා.
• ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා සංහිඳියාවේ න්‍යාය පත්‍රය පූරණය කිරීමට අප තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා.

මහකොමසාරිස්තුමියනි,
2019 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මා ප්‍රකාශ කළ පරිදි, මුදා හරිනු ලැබ ඇත්තේ 2009 දී ආරක්ෂක හමුදා විසින් රඳවාගෙන සිටි ඉඩම්වලින් 75% ක් පමණකැයි යන බවට මහකොමසාරිස්වරියගේ වාර්තාවේ 35 වැනි ඡේදයේ සඳහන් වී ඇති දත්ත සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වෙනස් බව අවධාරණය කිරීමට මා කැමැතියි. 2019 මාර්තු මාසය වන විට රජයේ ඉඩම්වලින් 88.87% ක් සහ පෞද්ගලික ඉඩම්වලින් 92.16%ක් මුදා හැර තිබෙනවා.
මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ 23 වැනි ඡේදයේ සඳහන් මන්නාරමේ “සමූහ මිනීවළවල්” සම්බන්ධයෙන් ගත් කල, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත් පරීක්ෂණ ප්‍රතිඵලවලින් එකී ඇටසැකිළි ශ්‍රී ලංකාව විශාල වශයෙන් යුරෝපීය යටත්විජිත පාලනයට නතු වූ ක්‍රි.ව. 1499-1719 යන කාල වකවානුවට අයත් වූ වග හෙළි වී තිබුණද, “වෙනත් සමූහ මිනීවළවල් අනාගතයේදී හමුවීම අපේක්ෂා කළ හැකි” යැයි වාර්තාව පූර්වකල්පනය කරනවා. මෙවැනි වැදගත් හා බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ වාර්තාවක මේ ආකාරයේ උපකල්පනයක් කිරීම පිළිගත නොහැකිවාක් මෙන්ම මේ වාර්තාවේ සඳහන් සෙසු ප්‍රකාශ සම්බන්ධයෙන්ද ඉන් සැකයක් ඇති වීමට පවා ඉඩ තිබෙනවා.
‘දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමෙහිලා ඇවැසි නීති සම්මත කරගන්නා’ ලෙස ඉල්ලා සිටින මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ (A/HRC/40/23) 68 (සී) ඡේදය සම්බන්ධයෙන් කතා කිරීමේදී, මෙම කරුණ පිළිබඳව අපගේ ස්ථාවරය පහත සඳහන් ආකාරයෙන් පැහැදිලි කරන්නට මා කැමැතියි.
සිය අධිකරණමය ක්‍රියා පරිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා රජය ඉහළම දේශපාලන මට්ටම්වලින් ප්‍රසිද්ධියේත්, වර්තමාන සහ හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරුන් සහ සෙසු සංවාදකයන් සමඟ පැවැති සාකච්ඡාවලදීත් පැහැදිලි කරදී තිබෙනවා. ඉදින් පුරවැසියන් නොවන විනිශ්චයකාරවරුන් එවැනි ක්‍රියා පරිපාටියකට පත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ජනමතවිචාරණයකදී ජනතාවගෙන් ලැබෙන අනුමතියෙන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කිරීමට නොහැකි බව පැහැදිලි කොට දී තිබෙනවා.

අපට ඇති සීමිත කාල වේලාව සැලකිල්ලට ගනිමින්, මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ අඩංගු අදාළ ඡේද සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලෙස ප්‍රතිචාර දක්වන මගේ සම්පූර්ණ ප්‍රකාශය වාර්තාවලට ඇතුළත් කිරීම සඳහා සභාගත කරන්නට මා කැමැතියි.

මහකොමසාරිස්තුමියනි,
දිනෙන් දින ඉහළ යන ත්‍රස්තවාදී ක්‍රියාවලට හා ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණ දී ඇති සමයක, මා මේ කවුන්සිලයේදී පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයට, ගැටුම අතරතුරදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ගත් පියවර ගනු ලැබූයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කොට තිබූ කණ්ඩායමකට එරෙහිව විනා කිසියම් ජන කොටසකට එරෙහිව නොවෙයි. තවද, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ට එරෙහිව නැඟෙන ඔප්පු වූ චෝදනා 2015 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල විමර්ශන (OISL) වාර්තාවේ හෝ ඊට පසුගාමී කිසිදු නිල ලියැවිල්ලක සඳහන් නොවන බව තරයේ කිව යුතුයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ හෝ නිලධාරියකුට, හිමි අයිතිවාසිකම් ලබා නොදීම අසාධාරණයක්.
මේ ප්‍රකාශ, කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයද ඇතුළු සෙසු ජාත්‍යන්තර සංවිධාන විසින් යවනු ලැබූ ස්වාධීන තක්සේරුකිරීම්වලට ඍජුවම පරස්පර විරෝධීයි. මේ සම්බන්ධයෙන්, දැඩි ලෙස වාරණය කරනු ලැබූ වාර්තා 2017 ඔක්තෝබර් 12 වැනි දින එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කළා පමණක් නොවෙයි, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් ලියනු ලැබ ප්‍රසිද්ධියට පත් කළ ලියැවිලිවලත් අන්තර්ගත වනවා.

මහකොමසාරිස්තුමියනි,
මෙම පසුබිම තුළ, සම අනුග්‍රාහකයන්ද ඇතුළු රටවල් සාකච්ඡාවලදී මෙම යථාර්ථයන් පිළිගන්නා අතර එම නොගැළපීම් ලිඛිතවද වෙනස් කළ යුතු වනවා. විශේෂයෙන්ම, 2018 අගභාගයේ ඇතිවූ දේශපාලන සිදුවීම් අතරතුරදී පෙන්වූවාක් මෙන්, අපගේ අධිකරණ, නිලධාරී තන්ත්‍ර හා ආරක්ෂක ආයතන ස්වාධීනත්වය, ප්‍රත්‍යස්ථිතිය, ශක්තිමත්බව හා අධිෂ්ඨාන සහගතබව ප්‍රදර්ශනය කොට ඇති අවස්ථාවක, ජාත්‍යන්තර යහව්‍යවහාරයන් අන්තර්ගත නවෝත්පාදක හා ක්‍රියාත්මක කළ හැකි දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාදාම සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කළ යුතු අතර ඊට සහයද දැක්විය යුතුයි. මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ සඳහන් කොට ඇති පරිදි ‘වින්දිතයන්ගේ සහ පෘථුල සමාජයේ විශ්වසනීයත්වය දිනා ගන්නා’ ආකාරයකින් මෙම සිදුවීම් අවසානයක් කරා ගෙනයෑමට අපට හැකි වන්නේ එවිට පමණයි.
ඉහත පරාමිතීන් මත පදනම්ව, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හා සෙසු හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩවම කටයුතු කරන බව රජය වෙනුවෙන් මා යළිත් ප්‍රකාශ කරනවා.
ස්තූතියි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි