නවතම පුවත්

ස්මාර්ට් කාණු නිසා ජාත්‍යන්තරයට ගිය ගාලු දිරිය දියණිය – ආචාර්ය නදීෂා චන්ද්‍රසේන

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

“කුණු කානු හැදූ නදීෂා නාසා යයි”, “නාසා ගිය ගාලු දිරිය දියණිය”, මේ වගේ ශීර්ෂ පාඨ ඔබට මතක නම් එසේ කතා කළේ ආචාර්ය නදීෂා චන්ද්‍රසේන මහත්මිය ගැනය. ඇය නාසා පර්යේෂණ ආයතනයට, සින්ගියුලරිටි විශ්ව විද්‍යාලයට ගිය නිසා පමණක් විශේෂ නොවන කාන්තාවකි.

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි ප්‍රකට කියමන ඉතා කෙටි කාලයක් තුළ බොහෝ වතාවක් වෙනස් කිරීමට නදීෂා චන්ද්‍රසේන මහත්මිය සමත්වුවාය. ඇය අපට පමණක් නොව ලෝකයටම විශේෂිත වු කාන්තාවකයැයි හැගෙන්නේ කෙටි කාලයක් තුළ ඇය ජීවිතයේ කරන වෙනස්කම් හා අභියෝග වලට මුහුණ දෙන ආකාරය සිතන විටය.

ලෝක මට්ටමේ පිළිගැනීමට ලක්වු ඇයගේ ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායම සදහා වන කාණු පද්ධතිය ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ව්‍යාපෘතිය ගැන මෙයට පෙර බොහෝ ලිපි පළවී තිබේ.

මෙහි ඒ ගැන කතා නොකරයි.
ඒ නිසා ගංවතුර සහ කුණු කාණු ගැන, ඇය ආචාර්ය උපාධිය හැදෑරූ මලයාසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන හෝ වර්තමානයේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයක උපදේශක තනතුරක් හොබවන නදීෂා චන්ද්‍රසේන මහත්මිය කරන සේවයට වඩා මෙම ලිපිය ඇය ආ ගමන් මග ගැන කෙරෙන කෙටි විමසීමකි.

කාර්ය බහුල ජීවිතයෙන් මදකට නැවතී www.thecolomboexpress.com සමග අතීතය මතක් කරන්නට ඇය එක්වුයේ මෙසේය.

ගම ගාල්ලෙද ?
ඔව්. වඩා නිවැරදි හික්කඩුවෙ සීනිගම කිව්වමයි.

ගමයි ගෙදරයි මතක් කළාම ?
ගෙදර ඉදන් බැලුවම පේන්නෙ මූද තමයි. මුද හරියට සීමාව වගේ.

ඒ සීමාවට යන එක ඒ කාලේ තහනමක්ද ?
ඇත්තටම ඔව්. මුහුද පේනමානෙ තිබුණත් මම රැල්ල පාගල තිබෙන්නෙ අතේ ඇගිල ගානටත් අඩුවෙන්. ඒ නිසාම ඇතිවෙච්ච ස්වභාවික බයක් තියෙනවා. ඒ මාව හදපු හා හැදිච්ච හැටි.

මේ තහංචිය දාලා තිබුණේ ගෙදරින්ද ?
මම අපේ පවුලේ-තුන්වැනි පරම්පරාවේ වැඩිමහල් දරුවා. ඒ නිසා මම ගැන හැමෝම වගකීම ගත්තු තත්ත්වයක් තිබුණා. අම්මායි තාත්තායි විතරක් නෙමෙයි. මාමාලා ඇතුළු වැඩිහිටි හැමෝම වගේ. ඒ වගකීම් එක්ක තමයි මේ සීමා වැටුණෙ.

අම්මා තාත්තා ගැන ?
අම්මා ගුරුවරියක් අම්මාගේ නම් විනිශියා ද සිල්වා, තාත්තා, දැඩිමුණි චන්දුසේන, අම්මයි තාත්තයි ළග නෙමෙයි මම ඇත්තටම හැදුනේ අච්චිලා දෙන්නෙක් ළග. එක ආච්චි කෙනෙක් ගිංතොට මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය පියවතී වික්‍රමසිංහ මහත්මිය අනෙක් ආච්චි රත්නාවතී වික්‍රමසිංහ මහත්මිය. ඈ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගණිතය ගුරුවරියක්. ඒ අතරින් මගේ ජීවිතය අමතර බලපෑමක් කළේ පොඩි ආච්චි, පියවතී වික්‍රමසිංහ මහත්මිය.

පොඩි ආච්චි කරපු බලපෑම මොකද්ද ?
තීන්දු ගැනීම. මම යන්න ඔන ස්කෝලෙ මොකද්ද ? ඇතුළු හැම දේම පොඩි ආච්චිගෙ තීන්දු. පොඩි ආච්චි විශේෂ චරිතයක් ඒ මට විතරක් නෙමෙයි. ගම් හතකින්ම ඒ කාලෙ මුලින්ම විශ්ව විද්‍යාලයකට ගිහිං තිබුණෙ පොඩි ආච්චි, ඒක ලොකු කමකට වඩා අපේ මුලු පවුලම වෙනස් කරන්න හේතුවක් වුණා. ඇත්ත කිව්වොත් හික්කඩුවෙ එක පාර්ශවයක්, රත්ගම තවත් පාර්ශවයක් ලෙස මූදු කරේ වෙච්ච අපට තිබුණෙ ඊට අදාල ආරය හා පරිසරය විසින් කරන බලපෑම. හැබැයි පොඩි ආච්චිගෙ විශ්ව විද්‍යාල ගමන නිසා අපේ පවුල අධ්‍යාපනය පැත්තට වඩා යොමු වෙනවා.

නදීෂා චන්ද්‍රසේනව මේ ගමනට ඇය එකතු කරගත්තෙ කොහොමද ?
අර කලින් කිව්ව වගේ පොඩි ආච්චි ලොකේ දැකලා තිබුණා. ඒ නිසා මට පුංචි කාලෙම මගේ වාසනාවට ලොකේ දැකපු ආච්චි කෙනෙක් හිටියා. ළමයි දහස් ගණනක් හිටපු පාසලක විදුහල්පතිනියට වඩා ඇය වඩා ප්‍රසිද්ධ වෙලා හිටියෙ යකඩ කාන්තාව කියලා. ඒ කාලේ අධ්‍යාපන ඇමැති සහ නියෝජ්‍ය ඇමති වගේම කැබිනට් අමාත්‍යවරු, රට පිළිගත් වෘත්තිකයන්ඇයගෙ විශ්ව විද්‍යාලයේ සමකාලීනයන් හෝ කනිෂ්ඨයන්, (ජුනියර්ස්ලා). එවැනි නෙට්වර්ක් එකක් මනුස්සයෙක් ගේ සමාජ ජීවිතයට සෑහෙන්න වටිනවා. එවන් තත්වයක් තිබුණත් ඇයගේ සමාජ හැසිරීම හරිම සාමාන්‍යයි. දැනුම ලොකු ආයුධයක් හෝ ඒක ආබරණයක් නෙමෙයි කියලා ක්‍රියාවෙන්ම මම දැක්කෙ පොඩි ආච්චිගෙන්. මොකද ඒ කාලේ පොඩි ආච්චි එක්ක මම ගමේ ඇවිදිනවා, පොළේ යනවා, මමත් එයාගේ අතේ එල්ලිලා යනවා. සමාජ ජීවිතය හා වෘත්තිමය ජීවිතය ඉගෙන ගන්න හොදම ප්‍රායෝගික අත්දැකීම් මම කුඩා කාලෙම ලැබුවෙ එහෙමයි. ඒ නිසා අවස්තාවන් ලැබීම සහ ජිවිතයේ යම් යම් දේ අත්පත් කර ගැනීම ගැන ලොකුවට හිතට ගන්න මානසිකත්වයක් හෝ ආරෝපණය කරගත්තු සමාජ හැසිරීමක් තියා ගන්න අවශ්‍ය උනේ නැහැ.

පාසල් ජීවිතය පටන්ගත්තෙත් ගාල්ලෙන් ?
ගාල්ල ශ්‍රි හෘදයකන්‍යාරාමයට මම යන්න ඔන කියලා තීරණය කළෙත් මගේ පොඩි ආච්චි.

පාසල් යන්නෙ හික්කඩුවෙ ඉදන්ද ?
නැහැ. රත්නාවතී ආච්චිගෙ ගෙදර තිබුණෙ රත්ගම. මම පාසල් යන්න ගත්තෙ රත්ගම ඉදන්. මුලින්ම ස්කොලෙ යන්නෙ ආන්ටි කෙනෙක් එක්ක. ඇය නැතිව තනියම පාසල් යන්න පුළුවන් බව මගේ වැඩිහිටියන්ට ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න උනා. 2 වසරෙදි මම දවසක් ආන්ටිව මගෑරලා තනියම රත්ගම ආච්චිලගෙ ගෙදර ආවා. ඊට පස්සෙ දවසේ ඉඳන් තමයි තනියම පාසල් යන්න අවසර ලැබුණෙ.

පුංචිම කාලේ පාසල් මතක ?
මම 2 වසරෙදි එවකට පළමුවෙනි වසරට ඇතුළත් වෙන ළමයින් ව පිළිගැනීමේ කතාවක් කරන්න කෙනෙක් හෙව්වා ගුරුමණ්ඩලය.. ඉතිං ඒ කාලෙ ඒ බී සී කියලා පංති 3ක් තිබුණෙ. මේ ගැන ගුරුවරු ඇවිත් විමසනකොට කවුරුත් ඉදිරිපත් නොවුණු නිසා මම බය නැතිව අත ඉස්සුවා, හැබැයි බාගෙට. මට එතකොටත් ඔලුවෙ තිබුණා ආනන්ද හාමුදුරුවන්ගෙ තියරිය. ලැබෙනවා නම් දෙයක් ඒ සුදුස්සාටම ලැබෙනවා කියන එක. ඒ නිසා ඉල්ලලා ගන්න ඔන නෑ කියලා එකක් හිතමින් බාගෙට අත ඉස්සුවේ. නමුත් ආනන්ද හාමුදුරුවන්ගෙ තියරිය එතැනට හරියන්නෙ නෑ. මට ඒක කරන්න පුලුවන්ද කියල ඔවුන් දැනන් හිටියේ නැහැ. අත බාගෙට හරි උස්සපු නිසා තමයි කතා කරන්න අවස්ථාව ලැබුණෙ. එදා ඉදන් හැමදාම සිංහල පිළිගැනීමේ කතා මටම වෙන්වුණා. මට දෙයක් කරන්න පුළුවන් කියන ශක්තිය ඒත්තු ගන්වන්න අවස්තාවක් ලැබුණා.

හැබැයි ඔබ ගාල්ලෙන් කොළඹට එනවා නේද ?
ඔව්. අවස්ථාවන් තිබ්බේ කොළඹ. ඒක තේරුම්ගන්න මට වැඩි කාලයක් ගතවුණේ නැහැ. ආපොස සාමාන්‍යපෙළ වෙනකොට මමම ඒ තීරණය ගත්තා. පොඩි ආච්චිත් ඊට විරෝධය පෑවේ නැහැ. මම ඔබට ඔබ ගැන මතක් කරනවා නම් රමේෂ්, ඒ කාලේ ඔබ මහින්දෙ සහස පත්තරේ ගහන්න දවසට දෙපාරක් කොළඹ ආපු අවස්ථා තිබුණා. ඔබේ ජනමාධ්‍ය සංගමයේ ප්‍රධානී, සහ පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක නැසීගිය මාධව ගනේගොඩ සහෝදරයා ත් මමත් පාසල් කාලේ වරක් කතා කරකර ඉද්දි ඔහු තමයි ඔබ ගැන ඔය කතාව මට කියන්නේ. ඒකාලේ අපට ජංගම දුරකථන පහසුකම් නෑ. හයිවේ නෑ. පණිවිඩයක් යවා ගන්න පහසු නෑ. ගාල්ලෙ ඒ වගේ වැඩ කඩිමුඩියෙ කරගන්න තැන් නෑ. මේවනේ ඇත්ත. බොහෝ දෙනා අකමැතිවුණත් මම තීරණය කළා කොළඹ ගිහිං තමයි ඒ ලෙවෙල් කරන්නෙ කියලා. තනි තීරණයක් විධියට එහෙම කළත් පංතියෙ යාලුවො දෙන්නෙකුත් එදා මා එක්ක අයින් වුණා.

මේ ගමන අභියෝගයක් කියලා හිතුණෙ නැද්ද ?
අම්මත් මගේ තීරණය එක්ක හිටියා. ආච්චිගේ අකමැත්තක් කිබුණෙ නැහැ. ඒ නිසා අපොස සාමාන්‍ය පෙළින් උසස් පෙළට එන්න කොළඹ බාලිකා පාසල් දෙකකට ඇප්ලිකේෂන් දාලා. මම කැමැතිවුණ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුල්වුණා. ඒ කාලේ බාලදක්ෂිකා කදවුරු ආදිය නිසා මාව දන්න අය සිරිමාවො ඒකේ හිටියා.

කොළඹ ඇවිත් නවතින්නෙ?
නුගේගොඩ ,විජේරාමේ තමයි නවතින්නෙ. අනෙක් යාලුවගේ තාත්තා තමයි බොඩිම හොයලා දුන්නෙ. බෝඩිම තිබුණෙ අටේ කණුවෙ. 1999දි. ඒ බොඩිම ගාව තිබුණා පොත් සාප්පුවක්. ඒකෙ නම පරාර්ථ ප්‍රකාශන. ඒකේ අයිතිව තිබ්බේ ජයසිරි අලවත්තට. පොත් කඩේට දිනපතා යන්න එන්න ගන්නකොට ජයසිරි අයියා කිව්වා ඕනෑම පොතක් අරන් ගිහින් කියවල නැවත ගෙනත් දෙන්න කියල. ඔය කාලේ ඔහුගේ ප්‍රකාශන ආයතනයට දේශපාලනය, සාහිත්‍යය, රට ගොඩ ගන්න හැටි ගැන කතා කරන්න බොහෝ දෙනෙක් එකතු වෙනවා. ජනක මහබෙල්ලන, රවි සිරිවර්ධන, සංජය ඈපා සෙනවිරත්න, වගේ තරුණයන් ඒ කාලේ පරාර්ථ ප්‍රකාශන තියෙන තැනට එනවා. ඒ කාලේ ස්කොලෙ ගිහිං ඇවිත් මමත් සාහිත්‍ය ලොකේ සාහිත්‍යමය කතාබහ දිහා කටඋඩ බලාගෙන ඉන්නවා. පොත් කඩේ වැඩවලට උදව් වෙනවා. ජනක මහබෙල්ලන සංජය ඈපා එක්ක “සූදු අන්තුවා” සෝදුපත් හදනවා. ඒ පෲප් ඒක ශබ්ද නගා කියවන්නෙ මම. ඔයාගෙ කටහඩ හොදයි ගුවන්විදුලියේ ඩබින් වලට දාලා දෙනවා වගේ පොරොන්දුත් ඔවුන් ඒ කාලේ දුන්නා.
ජයසිරි අලවත්තගේ පොත් කඩේ කියන්නෙ මගේ ජීවිතේ වෙනම ටර්නින් පොයින්ට් එකක්. එතැනට ආපු සමරකෝන් පතිරාජ මුලිම්ම අවස්තාවක් දෙනවා ත්‍රයි මාසික සඟරාවක ලියන්න. ඒ කැණිමඩල සගරාවේ තනි ආටිකල් ඒකක් අපි තුන් දෙනා එකතු වෙලා ලියනවා. එහෙම මුලින්ම ලිව්වෙ ඒ ලෙවෙල් කරන්න ගමෙන් කොළඹට ආපු ළමයි ගැන. කියවන්න ලියන්න සහ ඒ සාහිත්‍ය ඇසුරකරන්න ලැබෙන්නෙ ජයසිරි අලවත්ත නිසා.
අවුරුද්දක් විතර යනකොට පරාර්ථ ප්‍රකාශන පොත් කඩේ ඔක්කොම පොත් මම කියලා ඉවර කරනවා.

හැබැයි ඔබ කොළඹ එන්නෙ පොත් කියවන්න සාහිත්‍ය ඇසුර කරන ඉලක්කයටද ?
නෑ මම ගාල්ලෙන් කොළඹ එන්නෙ දොස්තර කෙනෙක් වෙන්න කියලා. සිරිමාවො එකේ මම තෝරගත්තෙ විද්‍යා අංශය, පරාර්ථ ප්‍රකාශන සාප්පුවට යන්න ගිහිං ඒ අරමුණ ඔබේම වගේ ක්ෂය වෙනවා. අරමුණක් නැතුව උසස්පෙළ වගේ විභාගයක් සමත් වෙන්න බෑ. උසස් පෙළ ලියන්නෙ නිකම්ම වගේ මුලින්ම එස් 3යි. දෙවැනුව විභාගෙ අපේ කාලේ ළගට (අප්‍රේල්වලට) ගත් නිසා මාස 4යි තියෙන්නෙ සී 3යි. හැබැයි තුන්වැනිපාරත් සයන්ස් කරන්න ඉද්දි අවසාන මොහොතෙ ඒ අදහස වෙනස්කර ගන්නවා.

කලා අංශයෙන් උසස් පෙළ සමත් වෙන්න පුළුවන් කියලා හිතුණද ?
අපේ පොඩි අච්චි ලංකාවේ දේශපාලන විද්‍යා ඇගයීම් කමිටුවේ ප්‍රධානියෙක් විදියටත් කටයුතු කරලා තිබ්බ. ඒක ඇගේ විෂය. ඈ මම එක්ක විෂය කරනු කතා කරනවා ඉස්සරත්. ආච්චි නිසා මම දේශපාලන විද්‍යාව තෝරාගත්තා. අම්මා සිංහල උගන්වන්නෙ. ඒ නිසා සිංහල ආභාෂය ගෙදර නිතරම තිබුණ දෙයක්. අම්මා නිතරම ගුත්තිලයෙ කවි කියවනවා. නව කවි සරණිය ළමයින්ට උගන්වද්දි මා ඒක්ක කතා කරනවා. ඒ විෂයත් මට ගෙදරින්මයි ලැබුණේ. පෞද්ගලික අපේක්ෂිකාවක් විධියට ගාල්ලෙන් උසස් පෙළ ලියන්නෙ. ප්‍රතිඵලය ඒ 3 යි.

සමාජ ජාලා මට්ටමෙන් පවා ඔබ නිතර අවස්ථා ලැබීම සහ අනෙක් මිනිස්සුන්ට අවස්ථාව ලබාදීම ගැන කතා කරනවා. ගාල්ලෙන් සිරිමාවො ආවම අවස්ථාව ලැබුණද ?
ස්කොලෙකට අලුතින් ගියාම මතුවෙන්න දෙන්නෙ නැති ප්‍රශ්න තියෙන පාසල් තියෙනවා. මට ඒ වගේ තත්ත්වයක් සිරිමාවො එකේදී සිදුවුණේ නැහැ. මට සිද්ධවුණේ ඊට හාත්පස වෙනස් දෙයක්. සිරිමාවො ගිහිං සිරිමාවො එකේ පළමුවැනි මීඩියා ඩේ එක කරන්නෙ මගේ මුලිකත්වයෙන්. ඒකට උදව් කරන්නේ ගාල්ලේ මහින්දෙ මිඩියා ක්ලබ් එක. ගාල්ල මහින්දෙන් මාධව ගනේගොඩ ඇතුළු කණ්ඩායමක් සිරිමාවො මීඩියා ඩේ ඒකට එනවා. ෆෙස්බුක්. ෆෝන්. තිබුණෙ නෑ. මෙදා මේ වෙලාවට එන්න කියල ආරාධනාවක්/ ලියුමක් යැව්වම එනවා. සිරිමාවෙ එකේ ප්‍රධාන සිංහල නිවේදිකාවක් වෙන්නෙ මම. ඒ කාලෙ සිරිමාවො හිටපු ළමයි මාව ඔවුන්ගේ යෙහළියක් විතරක් නෙමෙයි ඔවුන්ගෙ අවස්ථාව මට දීලා සතුටුවෙන තැනක හිටියා. 2000 අවුරුද්දෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ නිර්මාණශීලි ලේඛක කවයෙ නිර්මාණ පද්ම සම්මානය ලැබුණෙ මට. ඒ හරහා වෙනම මිත්‍ර පිරිසක් හැදෙනවා චරිත දිසානායක, ප්‍රබෝධ අබේවර්ධන වගේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ උපාධියටයි ඔබ සුදුසුකම් ලැබුවෙ?
අපේ පොඩි ආච්චිට නම් උවමනා වෙලා තිබුණෙ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගිහින් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නවා දකින්නයි. ඇයට මැරෙනතුරු එහෙම මම නොකරපු එකේ අවුල තිබුණා. මට ආස වුණේ වෙනස් දෙයක් කරන්න. මේ වෙනසට මග පෑදුවේ කොච්චියෙදි හමුවුණ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කපල් ඒකක් . දුෂ්‍යන්ත අයියයි.ඒයාගෙ පෙම්වතියයි. ඔයා මොරටුවට ඒන්න මේ කෝස් ඒක කරන්න කියලා. දුෂ්‍යන්ත අයියයි එයාගේ පෙම්වතියයි තමයි මට කිව්වෙ. ඒ විතරක් නෙමෙයි. ඒ දෙන්නම මාව ඒක්කන් ගිහිං මොරටුව විශ්ව විද්‍යාලය පෙන්නුවා. කොර්ස් සිලබි එක අරන් දුන්නා. මට පේරාදෙණියට වඩා මොරටුව අල්ලලා ගියේ එතැනින්. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තට මට මහපොළ බ්ර්සරි දෙකම ලැබුණෙ නැහැ. ඒ නිසා ඉගෙන ගන්න ගමන්ම රස්සාවට යනවා.

විශ්ව විද්‍යාල කාලෙම තෝරාගත්ත ඒ රස්සාව මොකද්ද ?
මුල්ම රස්සාව වෙන්න. පත්තර රස්සාව. ලක්බිම පත්තරේට එන්නෙ. රෑ ඉන්න කොට අපට ගාණක් හමුවෙනා. රුපියල් 75ක්. ආපහු උදේ ලෙක්චර් යනවා. රමේෂ්ටත් මතක ඇති ඒ කාලය ගැන. ඇත්තටම අපි දෙන්න නේ රෑට පත්තරේ ඉතුරුවෙන්නෙ. ඔයා යුද පුවත් ලියනවා.මම ඊට අදාලම විදේශ පුවත් ලියනවා. අපි දෙන්නම රෑට අපේ නිව්ස් එඩිටර් සම්පත් දේශප්‍රියට දෙන ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් එකට සෙට් වෙලා එකේ අන්තිමට බහිනවා. ඔයාට කලින් මම බහිනවා. දිනපතා ලක්බිම පත්තරේ ජටිල වැල්ලබඩ මහතා තමයි මට අලුත් දෙයක් කරන්න මුලින්ම යෝජනා කළේ. ඒ කාලේ ඒක පත්තරවලට අලුත් අත්දැකීමක් වුණා. රටේ තානාපතිවරුන් සමග සෘජුව සම්මුඛ සාකච්ඡා මෙහෙයවලා ඒවා පත්තරේට ලියන්න. ඒතෙක් සිද්ධවුණේ ඔවුන්ගෙ කතා පරිවර්ථනය කොට සිංහල පත්තරවල දැමීම. මම ඒ අභියෝගය භාරගත්තා. ඇමෙරිකාව ඇතුළු ලංකාවේ තානාපති හා මහ කොමසාරිස්වරුන් 28කගේ සම්මුඛ සාකච්ඡා ලිපි පෙළක් ලෙස පත්තරේ පළවුණේ එහෙමයි.

ඔය අතරෙ ඔබ උපාධිය සමත් වෙනවා ?
පත්තරේ වැඩ ඒක්ක උපාධියෙ වැඩ අතපසුවෙනවා. පත්තරේ වැඩවලට මුලිකත්වය දෙනකොට ඒක නිරායාසයෙන් සිදුවන්නක්. නමුත් උපාධිය අතාරින්න ඒපා කියලා මට බලපෑම් කළේ ඉන්දික සෝලිස් සහ ගීත් ප්‍රසන්න පෙරේරා. ඒක හරි තීරණාත්මක බලපෑමක්. ගීත කියන්නේ ඕනෑම බැච් එකක ඉන්න “වැඩ ගොඩ දැමීමේ ප්‍රධානී”. විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට වඩා අපේ උපාධිය නිම කරන්න තීරණාත්මක වන බැචාලා අපිට ඉන්නවා. මේ දෙපළ තමයි මගේ ජිවිතේ ඒ තීරණාත්මක සාධකය. ඔවුන් නිසාම උපාධිය සමත් වෙනවා. ඒ වගේම ඉන්දික කියන්නේ අදටත් කෝල් එකක් දීලා මම හරියට වැඩ කරනවාද කියල හොයල බලන මිත්‍රයෙක්.

මේ අතරෙ තමයි විවාහ වෙන්නෙ. ඒ තීරණය ගැන .
බර්ටි ලොකුලියන, ඔහු තමයි මට ඒ කාලේ ඉඳපු හොදම යාලුවා වෙන්නෙ. අපට එකතු වෙලා ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා හිතුණා නිසා විශ්ව විද්‍යාලේ දෙවන වසරේ ඉද්දීම ඒ වෙලාවේ විවාහ වෙනව. ඔහු නිසා තමයි මම ගොඩ නැගෙන්නේ.

උපාධිය සම්පුර්ණ කරලා යන්නෙ එන්.ඩී.බී බැංකුවට ?
මුලින් 2006 විභාගය සමත් වෙලා රජයේ බැංකුවට තේරෙනවා, නමුත් මාසයයි වැඩ කරන්නේ. මම හිතනවා මම උපාධිය සම්පුර්ණ කල යුතුය කියල.
ඉතිං රැකියාව අතැරලා යනවා.
බැංකු රස්සාව හරිම වෙහෙසකර එකක්. දෙවැනි වතාවටත් මට ඒක තේරෙන්න ගන්නවා. එතැන සේවය කරන මිනිස්සුත් ඊට බලපානවා. හැබැයි රස්සාව අතෑරලා එද්දි තිලාන් කරුණාතිලක, අශාන් ප්‍රනාන්දු වගේ අතාරින්න බැරි තරම් හොද මිනිස්සු හමුවෙනවා. ඒත් රැකියාව ඇතෑරියා.

ඊළගට ඔබ යුද හමුදාවට යන්න තීරණය කළේ ඇයි ?
නගර නිර්මාණ ශිල්පියෙක් විධියට වෘත්තිය ප්‍රායෝගික කරගන්න තමයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ව්‍යාපෘති සඳහා තමයි අපිව බන්දවගන්නේ. තනතුර කපිතාන්. යුද හමුදා ඉංජිනේරු සේවා බළකායේ. හමුදා නිල ඇදුම් ඇන්දා. (2009 ජනවාරි -2013).
ආචාර්ය උපාධියට ඔබ මලයාසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්ව විද්‍යාලයට යන්නෙ ඉන් අනතුරුව. අනාගතය ජය ගන්න ඔබට වගේ අභියෝග එන තරුණ තරුණියන්ට ඔබේ හදවතේ තියෙන ආයාචනයත් කියන්න.
අනාගතය අභියෝගයක් නෙවේ. ඒක ඔබේ ප්ලෑන් එක. අනික් අතට හැමදේම ප්ලෑන් එකකට සිද්ධ විය යුතුත් නෑ.

ඔබගේ අනාගතයට අපේ සුබ පැතුම්. !

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී