නවතම පුවත්

සිගරට් අය වැය

අසංක

අසංක

වෛද්‍ය මනුජා පෙරේරා
ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
කැලණිය වෛද්‍ය පිඨයේ මහජන සෞඛ්‍ය පිළිබද ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය

 

 

සිගරට්… නීත්‍යානුකූල මත්ද්‍රව්‍යයකි… බදු ගෙවන, ලියාපදිංචිවූ බිස්නස් එකක් නිසා “නීත්‍යානුකූල” ලේබලය ඇළවුණද ලෝකවාසීන්ට වැඩිපුරම හානිකරන මත්ද්‍රව්‍ය එය බව සැකයෙන් තොරව ඔප්පුවී ඇති කාරණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලෝකයේ දුම්කොළ නිෂ්පාදන නිසා මියයන සංඛ්‍යාව මිලියන 8කි… එනම් ලක්ෂ 80කි. ඔබට මෙහි බැරෑරුම්කම එක්වර ග්‍රහණය කරගත නොහැකි නම් මුළු ලෝකයම බයෙන් සලිතකර එකතැන නැවැත්වූ කොරෝනා නිසා පසුගිය මාස 11ට මියගිය සංඛ්‍යාව මෙන් එය දළ වශයෙන් 5 ගුණයකි….තවද ඒ කොරෝනා නිසා වැඩිවූ දුම්බොන්නන්ගේ මරණ ගණන ඇස්තමේන්තුවට ඇතුළත් නොකරය…

දුම්කොළ සමාගම් බදු ගෙවන ගමන් හානිකරන්නේ මිනිස් ජීවිතවලට පමණක් නොවේ… ඔවුන් පුද්ගලයාගෙ, පවුලේ සහා රටේ ආර්ථිකයටද හානිකරති…

1 රූපය

පළමු රූපයෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියේ පළකර ඇති ගිය වර්ෂයේ ඔවුන්ගේ අය වැය වාර්තාවෙන් කොටසකි. ඔබට ඔවුන්ගේ ගිය වසරේ අදායම කියවිය හැකිද? එය ඔවුන් සඳහන්කර ඇත්තේ රුපියල් මිලියන වලිනි… මිලියනයකට බිංදු 6කි… ඔව්… මෙය නිවැරදිව ලිවූ විට අංක 12ක ඉලක්කමකි… රුපියල් බිලියන එකසිය හතළිස් එකයි තවත් මිලියන තුන්සිය හතළිස් දෙකකි… මේ 2019 වසරේ දුම්බොන්නන් සහා ඔවුන්ගේ පවුල්වලින් ඔවුන් ඔවුන් වෙත ඇදගත් මුදලයි…

2 රූපය

ඔබට මෙම මුදල් ප්‍රමාණය ගැන අදහසක් ගැනීම අපහසු නම්, මත්තල අප දෙවෙනි ගුවන් තොටුපොළ ඉදිකිරීමට චීනෙන් ලබාගත් රුපියල් බිලියන 35 (USD මිලියන 190) මෙන් පස් ගුණයකි (500%)… අප MCC ගිවිසුම අත්සන් කළොත් අවුරුදු 5කට බෙදී අපට ලැබෙන ඩොලර් මිලියන 490 (රුපියල් බිලියන 88) මෙන් එක හමාර ගුණයකටත් (150%) වැඩි අගයකි… ඔබට දැන් තත්වය ඇති සැටියෙන් පැහැදිළි වේයැයි සිතමි.

එයට පහළ තීරුවෙහි ඔවුන් රජයට එම වසරේ ගෙවූ බදු මුදල සඳහන් කර ඇත. (එම බදු මුදලෙහි විස්තාරණයක් දෙවෙනි රූපයෙහි දක්වා ඇත). ඔවුන් රුපියල් බිලියන සීයකටත් වඩා රජයට බදු ගෙවන බවත්, එය රජයේ බදු ආදායමෙන් 6%ක් පමණවන බවත් මහා උජාරුවෙන් පවසති.. ඔව් එය සත්‍යයකි… එහෙත් එය ඇත්ත වශයෙන්ම සත්‍යයෙන් භාගයකි… මහජන සෞඛ්‍ය කෙරෙහි කර්මාන්තවල මැදිහත්වීම් (industry interference) අධ්‍යයනය කරන ඝවේෂණාත්මක පර්‍යේෂකයින්ගේ (investigative researchers) භාෂාවෙන් කියතොත් “half truth” එකකි…

3 රූපය

එම සත්‍යයේ අත්‍යාවශ්‍යම සැඟවුණු කොටසක් 3වෙනි රූපයේ දක්වා ඇත. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්‍යාලය (WHO Country Office for Sri Lanka), WHO-FCTC ලේකම් කාර්‍යාලය (WHO-FCTC Convention Secretariat) සහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව 2016 වර්ෂයේදී සිදුකළ විද්‍යාත්මක පර්‍යේෂණයක වාර්තාවකි. එයට අනුව එම වසරේ දුම්කොළ භාවිතය නිසා රටට වූ වියදම රුපියල් බිලියන 214කි. එම වියදම බෙදීයන ආකාරය 4වෙනි රූපයේ දැක්වේ.

4 රූපය

ඔව් ඒ අවුරුදු 5ක් පැරණි දත්තය. එය සමඟ ඉලක්කම් සසඳා නිවැරදි අදහසක් ගැනීම පහසුකිරීමට එම වර්ෂයේ දුම්කොළ සමාගමේ අය වැය වාර්තාව 5වෙනි රූපයෙන් දක්වා ඇත.

5 රූපය

මේ අනුව ඒ වසරේ අප රටට ඒ වෙනුවෙන් දැරීමට සිදුවූ වියදම රජයේ බදු ආදායම මෙන් දෙකහාමාර ගුණයක් (250%) බව ඔබට පෙනී යනු ඇත. ඔව්… ඔවුන් බිලියන ගණනින් බදු ගෙව්වද, රජයේ බදු ආදායමෙන් 6%ක් ලෙස කයිවාරු ගැහුවද, සමස්තයක් ලෙස ගත්විට වැඩේ රටට, එනම් රජයට සහා අපට, අතිශයින් පාඩුය. එලෙසම මේ බදු ඇත්තටම ගෙවන්නේ ඔවුන් නොවේ… මේ මුදල් පැමිණෙන්නේ දහඩිය මහන්සියෙන් මුදල් හොයා ඒවා සිගරට් මිලදී ගැනීමට වැයකරන අපගේ පවුල්වල තාත්තලා, මාමලා, අයියලා, මල්ලිලාගේ පොක්ට්ටුවලිනි. දුම්කොළ සමාගම් කරන්නේ එම මුදල් එකතුකරගෙන, ඔවුනුත් ගාණක් තියාගෙන රජයට ලබාදෙන ගමන් ඔවුන්ගේ පාරිභෝගිකයන් 50%ක් මරාදැමීමත්, අනිත් අයගේ ආයුෂ අඩුකර ඔවුන්ව ලෙඩකර දුප්පත් කිරීමත් පමණි.

6 රූපය

දැන් ඔබට සත්‍යයේ වැඩි කොටසක් පැහැදිළි වී ඇත… ඒත් මේ සම්පූර්ණ සත්‍යයම නොවේ. මේ සත්‍යයේ තවත් සැඟවුණු කොටසක් ඇත. මා කලින් කිවූ පරිදි දුම්බොන්නන්ගෙන් එකතුකරගන්නා මුදල්වලින් ඔවුන් තියාගන්නා කොටසට සිදුවන්නේ කුමක්ද? ඔව්… ඔබ නිවැරදිය… එය පොදු සමාගමක් (PLC – Public Listed Company) නිසා එහි කොටස්කරුවන් අතරේ ඔවුන්ගේ ලාභය බෙදී යනු ඇත. කවුද මේ කොටස්කරුවන්? ඔවුන්ගේ අය වැය වාර්තාවේ ඔවුන්ගේ “Top 20” කොටස්කරුවන්ගේ ලයිස්තුවේ කොටසක් අවසාන රූපයේ දැක්වේ. ඔව්… නම “ලංකා” වුනාට කොටස්වලින් 84%ක් බ්‍රිතාන්‍ය ඇමරිකානූ දුම්කොළ සමාගමේය (British American Tobacco). තව 8%ක් ෆිලිප් මොරිස් සිගරට් සමාගමේය… එනම් ඔවුන්ගේ මේ වසරේ ලාබයෙන් 92%ක්, එනම් රුපියල් බිලියන 16ක් පමණ කෙලින්ම යන්නේ ඒ දුම්කොළ සමාගම්වලටය… (එය මත්තල සඳහා අප ලබාගත් ණය මුදලින් භාගයක් බවත්, අවුරුදු දෙකක් එම මුදල් එකතු කළානම් චීනෙට ණය නොවී එය සාදාගැනීමට තිබුණු බවත් ඔබට දැන් පැහැදිළිව පෙනී යනු ඇතැයි සිතමි). එලෙසම එම කොටස්කරුවන්ගේ ලයිස්තුවෙන් අතිබහුතරය විදේශීය ආයෝජකයින් බව ඔබට පෙනෙනු ඇත. අප දුප්පත් රටවැසියන් වසරක් පාසා විදෙස් රටවලට ආධාර සපයන්නේ ඔය ආකාරයෙන්‍ ය… ඉන්පසු ගුවන් තොටුපොළක් සෑදීමට, අධිවේගී මාර්ගයක් සෑදීමට පමණක් නොව රට දුවාගන්නද මුදල් නැතුව හතර අතේ ණයවී රටේ කොටස් උගසට තබන්නේත්, රටේ අනාගත පරම්පරාවන් ලංසුවට තබා අද පරම්පරාවේ බඩගින්න නිවන්න උත්සාහා ගන්නෙත් ඔය ආකාරයෙන් වසරක් පාසා සල්ලි බිලියන ගණනි පිල්ලි යවාගන්න රටක්, රජයක් සහා රටවැසියන්‍ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්