නවතම පුවත්

සිවු කොණ – විකසිත නොවූ “ලෝටස්” සිහිනය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ අහස්කුස වළාකුළු අතර වැජඹෙන එකී ප්‍රතාපවත් නෙළුම් කුළුන දෙස බලමින් තුටු වන ලාංකීය ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්ද? ඇතැමුන් නෙළුම් කුළුනේ උසට නොදෙවැනි සිය බැල්කනියේ සිට උණුසුම් කෝපි කෝප්පයක් පානය කරමින් නෙළුම් කුළුනේ එකී ශ්‍රී විභූතියේ බලයෙන් තම රට දියුණුවෙන් දියුණුවට පත්වනු ඇතැයි සිතති, විදේශීය විනිමය ගළා එනු ඇතැයි සිතති. තවත් සමහරෙක් සියක්වූ පරිවාර භටයන් පිරිවරා මග දෙපස සිටින නර පනුවන් බලහත්කාරයෙන් දෙපසට තල්ලු කරමින් දියවන්නාව දෙසට සිය නවීන බෙන්ස් රථයෙන් වේගයෙන් ඇදෙන අතර මෙවන් නෙළුම් කුළුනු වැනි තවත් කුළුණු සිය ගණනින් මේ අහිංසක මහපොළොව මත බිහිවේවා යැයි පතන්නේ සිය සුදු බැනියමේ වූ ගැඹුරු සක්කුවේ අඩිය සිනිදුවට පිරිමදිමිනි. මේ සියල්ල අතරින් තවත් සමහරෙක් කුළුන දෙස බලමින් සිතන්නේ මේකී ආශ්චර්යයේ මහිමයෙන් සිය වහලයේ තෙමෙන තහඩු ටික නොපමාව ලැබේවා කියාය. එසේම කුළුන දෙස බලාගෙන දුම්‍රියේ පාපුවරුවේ තෙරපෙමින් එල්ලී කොළඹට සැපත්වන මගියා සිතන්නේ එකී ආශ්චර්යයේ බලයෙන් නොපමාව තමාට රාජකාරි අහවරවී සවස ගමට සුවසේ හිදගෙන යාමට සිඛෝපභෝගී පොදු මගී ප්‍රවාහන සේවයක් ලැබෙනු ඇතැයි කියාය.

මීට දශක කිහිපයකට පෙර කොළඹ අහස සිසාරා ඉදිවුනු මහ බැංකු ගොඩනැගිල්ලත්, ලෝක වෙළද සංකීර්ණ ගොඩනැගිල්ලත් ඉනික්බිති ලහිලහියේ කොළඹ අහස වසාගත් සෙසු සුවිසල් ගොඩනැගිලි ඉදිවන වාරයක් පාසා ලාංකීය ජනතාව අහිංසක ලෙස සිතුවේ අප රට ක්ෂණයෙන් නූතනත්වය වෙත ළගා වෙමින් සුබවාදී වූ සමාජයීය-ආරිථික පරිවර්තනයකට ලක් වනු ඇතැයි කියාය. නමුදු ලංකාව නිදහසින් පසු සමාජය ක්‍රමක්‍රමයෙන් ආර්ථික හා දේශපාලනික වශයෙන් අගාධයට ඇද වැටුනා මිස එසේ ඉදිවුනු ගොඩනැගිලි හෝ මහා මාර්ග මතින් රට හෝ සමාජය අගලකුදු ගොඩ නැගුනේ නැත. එසේ ගොඩ නැගුනේ දියවන්නා මහජන පාලක මැදිරියේ රගදෙන දේශපාලන මහමොළකරුවන් කිහිපදෙනෙකුගේ ජීවිත පමණි.

අහිංසක ජනයා නිදහසින් පසු දශක හතකට ආසන්න කාලයක් පුරාවට ලෝකය නොදකිමින් ගමේ පැල්පතේද, ලෝකය ලෙස දුෂිත කොළඹ අග නගරය දකිමින් මුඩුක්කු පැලේද ජීවත් වූ අතර සෑම වසර පහකට වරක් දියවන්නා මහජන පාලක සභාවට තේරී පත්වූ මන්ත්‍රීන් දෙසිය විසිපස්දෙනාද ගැහැනියක පිරිමියකු බවට පත් කිරීමට පමණක් සීමාවූ අතිශය බලසම්පන්න වූ විධායක ජනපතිවරුන්ද මෙකී පුංචි දිවයින වසා ගනිමින් ක්‍රම කරමයෙන් වර්ධනය වූ පිළිකාව මර්දනය කිරීමට නොව ශීග්‍රයෙන් වර්ධනය කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයූහ. අවාසනාවකට මෙන් තම තමන් කළ එකී පාප කර්මයන් එකිනෙකාගේ ශිවේතවර්ණ ජාතික වස්ත්‍රයේ බලපරාක්‍රමයෙන් වසා ගනිමින් ගිළෙන්නට ආසන්න වූ නැවේ කුඹ ගසේ එල්ලීගත් ඔවුහු එකිනෙකාට “හූ” කියා ගනිමින් සිටිති.

මෙතුවක් කල් ලාංකීය සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද දේශපාලන ක්‍රියාවලිය වූ කලී මායාකරුවකු සතු වූ අති ප්‍රබල මායා දුමක් වැනිය. එකී දුමාරයෙන් සමස්ත ජනයාගේ ඇස් කන් හා සෙසු ඒද්‍රීයන් දේශපාලනිකව අකර්මන්‍ය කළ අතර එහි ප්‍රතිථලයක් වශයෙන් ඔවුහු නිල්, කොල හා රතු වශයෙන් වූ වර්ණ කිහිපයකට බෙදී වෙන්වූහ. තවද පාලකයාට අවශ්‍යපරිදි එකී ත්‍රයි වාර්ණික මනාප ක්‍රමය ඔවුන්ගේ දේශපාලන වුවමනා එපා කම් සදහා අබිසරු සේවනයේ යෙදවීමට සමත් විය. එකී දේශපාලනික නිර්වින්දනයෙන් ජනයාහට අවදිවීමට අවශ්‍ය වුවද එකී අවශ්‍යතාවන් පැවති දේශපාලනික පටු අවශ්‍යතා මත පහව ගියේය.

මේ මොහොත වන විට ජනතාව හට තවත් පාලකයකු පත් කර ගැනීමට අවස්ථාවක් හිමිව තිබේ. එහෙත් මෙවර පත් කරගන්නට යන පාලකයා දහ නවවැනි වරටත් සංශෝධනය කරන ලද ව්‍යවස්ථාව මගින් අත් තටු කපා බල හීන කරන ලද්දෙකි. එකී පසුබිමක කඩිමුඩියේ තම ඡන්දය භාවිත කරමින් බල රහිත කටමැත පමණක් දොඩන පාලකයකු අතිශය සුඛෝපභෝගී ජනපති මැදුරට යවා තවදුරටත් හූල්ලනවාද, ඒවෙනුවට ඡන්ද පොළට නොගොස් එකී කාලය මිඩන්ගු කොට වත්තේ නිවිති පැලයක් හෝ වවන්නට වැය කරනවාද, යනුවෙන් ජනයා මෙවර තීරණාත්මකව සිතනු ඇත. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජනයාට මෙකී දේශපාලන විගඩම නරඹා බලවත් සේ තෙහෙට්ටුය.  දේශපාලනිකව අතිශය තීරණාත්මක සමයක් පවතින්නට හෝ නැසෙන්නට නුදුරේදී බිහිවන ලකුණු දැනටමත් මතුවී හමාරය. 

තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි