විශේෂාංග

Share now!

සටහන – ප්‍රියන්ත ජයකොඩි
නියෝජ්‍ය පොලිස්පති

පෙදරේරුවෙකු වූ අප්පුහාමිගේ පදිංචිය වූයේ වැලිමඩ, කැප්පටිපොල ප්‍රදේශයයි. 1912 වර්ෂය වන විට බණ්ඩා‍රවෙල දක්වා ඉදිකර තිබූ උඩරට දුම්රිය මාර්ගයේ අවසාන අදියර ලෙස බණ්ඩා‍රවෙල සහ බදුල්ල අතර කොටස තැනීමේ කටයුතු සුද්දන් විසින් ආරම්භ කර තිබෙන ලදී. දුම්රිය මාර්ගයේ මේසන් වැඩ කටයුතු කිරීම සඳහා පෙද‍රේරුවෙකු ලෙස අප්පුහාමි ද එක්ව සිටියේය. අප්පුහාමි යටතේ මේසන්බාස්වරු හා අත් උදව්කරුවන් කණ්ඩායමක් සේවය කළ අතර, ගෙවීම් කටයුතු කෙරුනේ කොන්ත්‍රාත් ක්‍රමයටය. මේ වන විට බණ්ඩාරවෙල, කිණිගම, ඇල්ල ප්‍රදේශය පසුකර දුම්රිය මාර්ග තැනීමේ කටයුතු දෙමෝදර දක්වා සිදුව පැවතියේය. දෙමෝදර ප්‍රදේශයේදී දුම්රිය පාරේ ප්‍රධාන ඉංජිනේරුවා වූ සුද්දාට මුහුණ පෑමට සිදුවූ‍යේ අනපේක්‍ෂිත කරදරයකටය. මේ වන විට පළමුවන ලෝක මහා සංග්‍රාමයේ උණුසුමින් යුරෝපය කම්පනය වෙමින් පැවතුන බැවින් උඩරට දුම්රිය මාර්ගයේ පාලම් තැනීම සඳහා වෙන්කර තිබූ යකඩ යුද්ධමය කටයුතු සඳහා යෙදවීමට සිදුවීම හේතුවෙන් ලංකාවට යකඩ එවීම බ්‍රිතාන්‍යය තාවකාලිකව අත්හිටුවීය.

ඇල්ල සහ දෙමෝදර කදුවැටි යා කරමින් අඩි 300 දිගට පාලමක් ඉදිකිරීමේ අභියෝගය දුම්රිය මාර්ගයේ ප්‍රධාන ඉංජිනේරුවා වෙත පැවරුණු අතර වඩාත් බැරෑරුම් කාර්යය වූයේ මෙම පාලම අඩි 80 කට වැඩි උසකින් යුතුව නිර්මාණය කිරීමට සිදුවීමය. දැවැන්ත යකඩ කඳන් නොමැතිව මෙවැනි පාලමක සැළසුමක් සකස් කිරීම පවා දුම්රිය මාර්ගයේ ප්‍රධාන සැළසුම්කරුවා වූ බ්‍රිතාන්‍ය ජාතික “Harold Cuthbert Marwood” විසින් ප්‍රති‍ක්‍ෂේප කරන ලදී.

පාලම තැනීමේ ප්‍රශ්නය හිරවුණ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සහයට පැමිණියේ වැලිමඩ අප්පුහාමිය. යකඩ කෑල්ලකවත් භාවිතා නොකරමින් ප්‍රදේශයෙන් සොයා ගත හැකි කළුගල් කුට්ටි හා බදාම යොදා පාලම තමාට නිර්මාණය කල හැකි බව අප්පුහාමි පවසා සිටියේය. අප්පුහාමිගේ කථාව විශ්වාස නොකළ සුද්දා එහි සැළැස්ම ඉදිරිපත් කරන ලෙසට ඔහුට පැවසුවේය. අප්පුහාමි සිය සිතෙහි සඟවාගෙන සිටි පාලමේ සැළැස්ම වසර ගණනාවක් ප්‍රගුණ කර සිටි පෙදරේරු ශිල්පය සමඟ මුසුකරමින් සැළැස්ම සකස් කර ප්‍රධාන ඉංජිනේරු සුද්දාට දුන්නේය. ප්‍රධාන ඉංජිනේරුවා අප්පුහාමිගේ සැළැස්ම දුම්රිය මාර්ගයේ සැළසුම්කරුවන් හා අනෙකුත් උප ඉංජිනේරුවන් සමග පරීක්‍ෂාකර පාලම තැනීමේ කටයුතු සඳහා අප්පුහාමිට අවසර ලබා දුන්නේය.

සිය සහයකයන් සමග අප්පුහාමි වැඩ ඇරඹුවේ හැකි කෙටිම කාලයකින් පාලම නිමවීමේ අභිලාශය පෙරදැරිකොටගෙනය. වසර කිහිපයක් ඇවෑමෙන් අඩි 300 ක දිගින් හා අඩි 25 ක පළලකින් මෙන්ම අඩි 80 ක් උස් වූ ආරුක්කු 09 කින් යුත් දැවැන්ත ශක්තිමත් පාලමක් නිර්මාණය කිරීමට අප්පුහාමිට හැකි විය. යකඩ ඇණයක් හෝ භාවිතා නොකොට කළුගල් හා බදාමයෙන් පමණක් නිර්මාණය වූ අප්පුහාමිගේ අහස් පාලම සුද්දන් මවිතයට පත් කලේය.

1921 අවසන් වූ පාලමේ නිර්මාණය සැමරීම වස් සුද්දන් විසින් සුවිශේෂී උත්සවයක් සංවිධානය කලේ, අහස් පාලම මතින් ප්‍රථම දුම්රිය ගමන සිදුකරන අවස්ථාව නිමිත්තක් කරගනිමිනි. පාලමේ ශක්තිමත්භාවය ගැන සුද්දන් තුල තිබූ සැකය තුරන් කිරීම සඳහා ප්‍රථම දුම්රිය පාලම මතින් ගමන් කරන අවස්ථා‍වේ පාලම තැනීමට සම්බන්ධ වූ තම සගයන් සමග අහස් පාලම යට සිට දුම්රිය ගමන නිරීක්‍ෂණය කිරීම අප්පුහාමි විසින් සිදුකලේ සියල්ලන් මවිතයට පත් කරවමිනි. 1921 පී.කේ.අප්පුහාමි විසින් නිර්මාණය කරන ලද දෙමෝදර අහස් පාලම අද වන විට දහස් ගණනක් වු දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගන්නා ස්ථානයක් වී ඇත. ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2.7 ක් දුරින් පිහිටා ඇති අහස් පාලම නැරඹීම සඳහා ලගා විය හැකි කිට්ටුම මාර්ගය වන්නේ කොළඹ – බදුල්ල මාර්ගයේ කුඹල්වෙල මංසන්දිය පසුකර කිලෝමීටර් 5 ක් බදුල්ල දෙසට වන්නට පිහිටා ඇති ‍දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා විහිදෙන මාර්ගයේ ගමන් කොට නැවත දකුණට හැරී කිලෝමීටර් 1 ක් පමණ ගමන් කල විට හමුවන වාහන නැවතුම්පලේ වාහනය නවතා මීටර් 300 ක් පමණ තද බෑවුමකින් යුත් අසීරු මාර්ගයක ගමන් කර දුම්රිය මාර්ගයට ප්‍රවිශ්ඨ වීමෙනි.

“අප්පුහාමිගේ අහස් පාලම” කොළඹ- බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන දිගින් වැඩිම ආරුක්කු පාලම වන අතර එය වඩාත් සුවිශේෂී වන්නේ පාලම තැනීම සඳහා කිසිදු යකඩ ප්‍රමාණයක් භාවිතා නොකිරීමය. 1921 තනන ලද ආරුක්කු නවයේ අහස් පාලම තව ‍වසර දෙකකින් සිය ජීවිතයේ ශතකය සමරනු ලබයි. වසර සියයකට ආසන්න කාලයක් දස දහස් ගණනක් වූ මගීන් සිය කර මතින් එගොඩ කල අප්පුහාමිගේ අහස් පාලම තවත් සියවස් ගණනාවක් එලෙසින්ම පවතින බව එහි ශක්තිමත් භාවය අපට සාක්‍ෂි දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment