නවතම පුවත්

රට පුරා හිටිහැටියේ මතුවූ අපරාධ රැල්ල

අසංක

අසංක

හිටි හැටියේම දැන් නැවතත් අපේ රටේ අපරාධ වල ඉහළ යාමක් දකින්නට ඇත. ජනතාවට දැනෙන ආකාරයේ මිනිස් ඝාතන කිහිපයක්ද  ගෙවී ගිය සති කිහිපය තුළ සිදුවිය. එබැවින් මේ විමසා බලන්නේ අපේ රටේ අපරාධ සහ මිනිස් ඝාතනවල හැසිරීම ගැනය.

විවෘත ආර්ථිකය මෙරටට හදුන්වාදීමට පෙර 1975 වසරේ අපේ රටේ මිනිස් ඝාතන, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, ගිනි තැබීම්, ඝාතන තැත් කිරීම් බරපතල තුවාල කිරීම්,වැනි දරුණු ගණයේ යැයි සැළකෙන ග්‍රහණ අපරාධ සිදුව තිබුනේ 62548 ති.  ඒ අතර මිනිස් ඝාතන තිබුණේ 996 පමණි. ඝාතන තැත් කිරීම් ගණන 368 කි.

 ඊට අමතරව කොල්ලකෑම් 5041 ක්ද, නිවෙස් බිද දේපොල සොරා ගැනීම් 13252 ක්ද, පැහැර ගැනීම් 123 ක්ද, පහරදී බරපල තුවාල කිරීම් 2702  ක්ද කැපෙන ආයුධවලින් පහරදීම් 7230 ක්ද  ඇතැයි සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි. එකී විශ්ලේෂණයේදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ දිනකට බරපතල ගණයේ අපරාධ 171 ක් එකළ සිදුවන බවය.  පැයකට අපරාධ 07 ක් වත් එකල රටේ සිදුව ඇතැයි ඒ අනුව පෙනී යයි.

විවෘත ආර්ථිකය හදුන්වාදීමට පෙර තත්වය එසේ වූවත් 1975 න් වසර 10 කට පසු, එනම් 1985 වසර වන විට එකී අපරාධ සංඛ්‍යාව වාර්තාවන්නේ  51489 ක් ලෙසිනි. ඒ අනුව දිනකට සිදුවන අපරාධ සංඛ්‍යාව 141 කි. එය 1975 වසරේ පැවැති තත්වයට  වඩා අඩු සංඛ්‍යාවකි.

ඒ තත්වය 1995 වසරේදී තවත් වෙනසකට ලක්වන්නේ සංඛ්‍යාත්මකව අපරාධ තරමක වැඩිවීමක් පෙන්නුම් කරමිනි. එම සංඛ්‍යාව 53062 කි. ඒ අනුව දිනකට සිදුවන අපරාධ සංඛ්‍යාව 145 කි.

රටේ අපරාධවල හැසිරීම 1975 වසරින් පසු 1976 ත් 1979 ත් වසර අතර ගන්නේ ඉතා පහළ අගයකි. මෙතෙක් ඉතිහාසයේ අඩුම අපරාධ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද එකී කාලය තුළදීය. ඒ 1978 සහ 1979 යන වර්ෂයන්වලය.  එහෙත්  2005 වසරින් පසු වසර අටක්ම එක දිගට  රටේ අපරාධවල හැසිරීම වෙනත් වර්ෂ හා සැසදීමේදී ඇත්තේ තරමක් ඉහළ අගයකිනි.  පොලිස් සංඛ්‍යා දත්ත වලට අනුව 2005 වසරේ අපරාධ වාර්තා වී ඇත්තේ 59391 කි.  එහෙත් 2015 වසරින් පසු පෙන්නුම් කරන්නේ රටේ සමස්ත අපරාධ සංඛ්‍යාත්මකව ඉතා පැහැදිලි ලෙස අඩුවීමකි. පැවැති තත්වය හා සාපේක්ෂව සැසදීමේදී පෙනී යන්නේ 2015 වසරින් පසු මේ වන විට සමස්ත අපරාධ වාර්තාවීම් සියයට හතලිකට වැඩි ප්‍රතිශතයකින් අඩුවී ඇති බවය.

එසේ රටේ සමස්ත අපරාධ පැහැදිලි ලෙස අඩුවන විට ජනතාවට මරණ බියද පහව යමින් ඇත්තේ රටේ සිදුවන මිනිස් ඝාතනද ඊට සමගාමීව  පහළ අගයක් ගන්නා බැවිනි. 1975 වසරේදී 996 ක් වූ මිනිස් ඝාතන ගණන 2009 වසර වන තුරුම පැවැතියේ දහසේ සීමාව ඉක්මවා ගොසිනි. 1999, 2000 සහ 2001 වසර වල මිනිස් ඝාතන සංඛ්‍යාව පැවැතියේ  දෙදහසේ සීමාවද ඉක්මවමිණි. යුද්ධමය කටයුතු වලදී සහ භිෂණ වකවානුවේදි සිදුවූ ඝාතන හැරුණු කොට ගෙවී ගිය දසක හතරක කාලය තුළ වැඩියෙන්ම මිනිස් ඝාතන සිදුවූ කාලවකවානුව ලෙස සැළකෙන්නේ එම වර්ෂ තුනය. ඒ අතරින්ද ඉහළම මිනිස් ඝාතන සංඛ්‍යාවක් වාර්තා වන්නේ 2000 වසරේදීය. එම සංඛ්‍යව 2207 කි.

මේ තත්වය දැන් කණපිට පෙරලී හමාරය. 2018 වසරේ අපරාධ සංඛ්‍යා දත්තයන්ට අනුව රටේ සිදුව ඇති සමස්ත මිනිස් ඝාතන ගණන 489 කි. 2017 වසරේ එම සංඛ්‍යාව 486 කි. 2016 වසරේ එය වාර්තාවන්නේ 530 ක් ලෙසිනි. මේ ආකාරයට රටේ සිදුවන මිනිස් ඝාතන ඇතුළු විවිධාකාර අපරාධ සංඛ්‍යාත්මකව අඩුවන විට ගොඩ නැගෙන්නේ බියෙන් සැකෙන් තොර සමාජයකි. මේ වන විට රටේ ගොඩනැගෙමින් ඇත්තේ එම සමාජයයි.

පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන සුවිශේෂී කරුණක් වන්නේ 2010 වර්ෂයට පෙර වැඩිම මිනිස් ඝාතන සංඛ්‍්‍යාවක් සිදු වූයේ උතුරු සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව බවය. රටේ සිදුවූ සමස්ත මිනිස් ඝාතනවලින් සියයට 40 ත් 50 ක් අතර ප්‍රමාණයක් සිදුවූයේ උතුරු සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතවය. 2006 වසරේ එම සංඛ්‍යාව සියයට 50 ද ඉක්මවා තිබුනේය.

එහෙත් දැන් වැඩියෙන්ම මිනිස් ඝාතන සිදුවන්නේ බස්නාහිර සහ වයඹ පළාත් ආශිතවය. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ද වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්ක තුළද මේ වන විට සංඛ්‍යාත්මකව මිනිස් ඝාතන වල වැඩි වීමක් දක්නට ඇත. ඒ සෙසු දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂවය. සමස්තයක් ලෙස ගත් කල සෙසු පළාත් හා සාපේක්ෂව සැසදීමේදී මෙම පළාත් දෙක තුළද මිනිස් ඝාතන ඇත්තේ පෙර වර්ෂයන්ට වඩා ක්‍රමික අඩුවීමකි.

ගෙවී ගිය දසකය තුළ රටේ සිදුව ඇති සමස්ත මිනිස් ඝාතනයන් සිදුව ඇති රටාව අධ්‍යනය කිරීමේදි ඉතා පැහැදිලිවම හෙළිවන කරුණක් වන්නේ වැඩියෙන්ම ඝාතනයට ලක්ව ඇත්තේ රැකියා විරහිතයන් බවය. එම සංඛ්‍යාව 2252 කි. ඊට පසුව වැඩියෙන්ම ඝාතනය වී ඇත්තේ ධීවර, සත්ව පාලන කෘෂිකර්මාන්තයේ නිරත වූවන්ය. එම ගණන 1326 කි. වැඩියෙන්ම ඝාතනය වන වෘර්තීකයන් වන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලීන්ට සම්බන්ධ වෘර්තීයන්වල නිරතවන්නන්ය. එම සංඛ්‍යාව 749 කි. අනතුරුව වැඩියෙන්ම ඝාතනයට ලක්ව ඇත්තේ යුධ හමුදා සාමාජිකයන්ය. එම සංඛ්‍යාව 618 කි. ඊට අමතරව නාවික හමුදාවේ 45 දෙනෙක්ද, ගුවන් හමුදාවේ 36 දෙනෙක්ද, පොලිසියේ 195 දෙනෙක්ද ගෙවී ගිය දසදකය තුළ ඝාතනය වී තිබේ. පුද්ගලික ආරක්ෂක අංශයන්ට සම්බන්ධ වූවන්ද 179 දෙනෙක් මේ කාලය තුළ ඝාතනය වී ඇතැයි ද සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේය.

එකී සංඛ්‍යා දත්තයන්ට අනුව කාර්මික ක්ෂේත්‍රයන්වල සේවයේ නිරතව සිටින්නන් 242 දෙනෙක්ද, වෙළද සේවකයින් 488 දෙනෙක්ද, පිරිසිදු කරන්නන් වැනි සේවා සපයන්නන් 214 දෙනෙක්ද, විශ්‍රාමිකයන් 177 දෙනෙක්ද,ශිෂ්‍යයින් 219 දෙනෙක්ද,  ගෙවී ගිය දසදකය තුළ ඝාතනය වී තිබේ.

එසේම මේ කාලය තුළ අඩුවෙන්ම ඝාතනය වී ඇත්තේ දේශපාලකයන්ය. එම ගණන 35 කි. පරිපාලන සහ විධායක නිලදාරීන් ඊට පසු අඩුවෙන්ම ඝාතනය වී තිබේ. එම ගණන 56 කි. ලිපිකරුවන් සහ ඒ ආශ්‍රිත රැකියාවන්වල නිරතව සිටින්නන්ද අඩුවෙන්ම ඝාතනය වන වෘර්තිකයන් අතර සිටිති. ගෙවී ගිය දසකයේ එකී වෘර්තිකයන් ඝාතනය වී ඇත්තේ 92 දෙදෙනෙක් පමණි.

මේ කාලය තුළ වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වෙඩි තැබීම් වලිනි. එම ගණන 2366 කි. ඝාතන 1269 ක්ම කර ඇත්තේ ටී 56 වැනි ස්යංකීය ගිනි අවිවලින් වෙඩි තබාය. පිස්තෝලවලින් වෙඩි තබා කර ඇති ඝාතන ගණන 673 කි. ඊට අමතරව උල් පිහිවලපින් ඇන පුද්ගල ඝාතන 1258 ක්ද, වෙනත් කැපෙන ආයුධවලින් පහරදී ඝාතන 1929 ක්ද, පොලුවලින් පහරදී ඝාතන 1104 ක්ද මොට ආයුධවලින් පහරදී ඝාතන 746 ක්ද ගෙවීගිය දසකය තුළ සිදුවී තිබේ.

එකී සංඛ්‍යා දත්තයන්ට අනුව මේ කාලය තුළ අඩුම මිනිස් ඝාතන ගණනක් සිදුව ඇත්තේ බදින තුවක්කුවලිනි. එම ගණන 91 කි. ඊට අමතරව පිළිස්සුම්කාරක මගින් ඝාතන 243ක්ද, අතින් පයින් පහරදී ඝාතන 586 ක්ද බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් කළ මිනිස් ඝාතන ගණන 405 කි.

මේ කාලය තුළ අඩුවෙන්ම මිනිස් ඝාතන සිදුව ඇත්තේ කුල බේද මුල්කර ගනිමිනි. කුල බේද හේතුවෙන් මෙකී දසකය තුළම ඝාතනය වී ඇත්තේ එක් පුද්ගලයෙක් පමණි. ඒ 2014 වසරේදීය. ආගමික ගැටුම් මුල්කරගනිමින්ද 2011 වසරේදී දෙදෙනෙක් මියගොස් ඇති අතර ජාතිබේදයන් හේතුවෙන් තිදෙනෙක් මේ කාලය තුළ මියගොස් තිබේ.

ජාති ආගම් කුල බේදයන්ට අමතරව අඩුවෙන්ම ඝාතනයන් සිදුව ඇත්තේ ඊර්ෂයාව හේතුවෙනි. එම ගණන 09 කි. එසේම වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යාවකට මුල්වී ඇත්තේ කාලයක් තිස්සේ පවතින කෝන්තරයන්ය. කොන්තර හේතුවෙන් ඝාතනය වූවන්ගේ ගණන 1460 කි. ඊළගට වැඩියෙන්ම ඝාතන සිදුව ඇත්තේ හදිසි කෝපය යි. එම සංඛ්‍යාව 1071 කි. පවුල් ආරවුල් හේතුවෙන්ද අපේ රටේ සැලකිය යුතු ඝාතන ගණනක් සිදුවන බව සංඛ්‍යා දත්තයන් විශ්ලේෂනයේදී පෙනී යන්නේය. ගෙවීගිය දසකය තුළ පවුල් ආරවුල් මුල්කර ගනිමින් සිදුවුණු ඝාතන ගණන 1003 කි.

ගෙවී ගිය දසකය තුළ සිදුව ඇති ඝාතන 6109 න් ඝාතන 130 ක්ම වාර්තා වී ඇත්තේ සාධාරණ හේතූන් මත සිදුවූ ඝාතන ලෙසිනි. ත්‍රිකෝණ මිතික ප්‍රේම සම්බන්ධතා මුල්කරගනිමින් ඇතිවන ඝාතන ගණන 172 කි. දූෂණයකර කාන්තාවන් ඝාතනය කිරීම් 132 ක් ද  ළමා ඝාතන 136 ක්ද මේ කාලය තුළ සිදුව ඇත. කොල්ලකෑම් අතර තුර සිදුවූ ඝාතන ගණන සටහන් වන්නේ 306 ක් ලෙසිනි. එසේම බීමත්කම නිසා ඝාතන 247 ක් ද මත්ද්‍රව්‍ය මුල්කරගනිමින් ඝාතන 45 ක්ද සිදුව තිබේ. 

පොලිස් සංඛ්‍යා ලේඛණ විශ්ලේෂණයේදී පෙනී යන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ ඝාතකයන් 117 ක් ගෙවී ගිය දසකය තුළ සියදිවි හානිකරගෙන ඇති බවය. එසේම ඝාතකයන් 59 දෙනෙක් හදිසි අනතුරුවලින් මිය ගොස් ඇති අතර 31 දෙනෙක් උන්මන්තකයන් බවට පත්ව ඇත.

මිනිස් ඝාතකයන්ට අධිකරණයෙන් හිමිවන දඩුවම් වලට අමතරව මේ ආකාරයට ස්වභාව ධර්මයෙන්ද දඩුවම් හිමිවන විට අපේ රටේ මිනිස් ඝාතන මෙන්ම සෙසු අපරාධ විසදීමේ ප්‍රතිශතයද මේ වන විට සියයට අසූවකටත් වඩා ඉහළ ගොස් හමාරය. ඒ අපරාධ කරුවන්ට අපරාධයක්කර දැන් සැගව සිටින්නට ඉඩක් නැති බව පසක් කරමිනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි