නවතම පුවත්

ගෝඨාභයගෙ මුල්ම ගුරුවරිය සුරියආරච්චි මැඩම් thecolomboexpress වෙත කතා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වර්ෂ 1953 මාර්තු 01 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ lower kindergarten පංතියකින් ගුරු සේවයට එක්වන සෝමා සුරියආරච්චි ගුරුතුමිය ආනන්ද විද්‍යාලයේ දරුවන් අතර අදටත් මතකයෙන් ඈත් නොවන ගරු තරුවකි. ඇය ගුරු සේවයට එක්වු කාලයේ ආනන්ද දරුවන්ගේ පොඩි ටීචර්ය. පසුකලෙක ඇය ආනන්දෙ දරුවන්ගේ සුරියආරච්චි මැඩම්ය. 86 හැවැරිදි සුරියආරච්චි මැඩම්ගැන කතාවක් මෑතක සමාජගතවුයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුල්ම ගුරුවරිය ඇය වීම නිසාය.
මහින්දයීයකු වුවද ආනන්දයේ මේ ගුරුතරුව මට මුණ ගැසුනේ මෙයට වසර 12කට පමණ පෙර ලක්බිම පුවත්පත නිසාය. ඒවකට කර්තෘ ජටිල වැල්ලබඩ (නැසීගිය) මට ආනන්දයේ සුරියාඅරච්චි මැඩම්ට ඇමතුමක් ගන්නැයි කියන්නේ ආනන්දයීය ආදි ගුරු සංගමයේ කිසියම් කටයුත්තක් උදෙසාය. ගෝඨාභය රාජපක්ෂ මහතාද මා සමග සුරිආරච්චි මැඩම්ව ආදරයෙන් සිහිපත්කර ඇතිවාර අනන්තය.
කුඩා ගෝඨාභයගේ එකල පොඩි ටීචර් thecolomboexpress වෙත මෙසේ කතාබහකුට එක්වුයේ අතීතයේ මතක අතරින් මොහොතකට ගමන් කරමින් මඩ මාධ්‍යයට ඔච්චම් සිනාවක්ද පාමිනි.

ජනමාධ්‍යවල ගෝඨාභය ගැන කතා කළාම සමාජ මාධ්‍යවල මැඩම්ගෙ වයස ගැන සමහරු ප්‍රශ්න කරලා තිබුණා ?

පුතේ මම ගෝඨාභය රාජපක්ෂ පුතා ගැන කතා කළායින් පස්සේ මට ආනන්දෙ පුතාලා වගේම සමාජයේ බොහෝ දෙනා කතා කරලා සුබ පැතුවා. මුළු මහත් සමාජයක්ම ගෝඨාභය රාජපක්ෂ පුතා ගැන බලාපොරොත්තුවකින් ඉන්නෙ. ඉතිං මට එක ඇමතුමක් ආවා හිතවත් කෙනෙකුගෙන් ඇය කිව්වා අන්න ආන්ටි ෂොෂල් මීඩියා එකේ දාලා තියෙනවා ටීචර්ට 74යි ගෝඨාභයට 64 කියලා. (සිනාසෙයි)

උපන්දිනය හා ආනන්දයේ ගුරු සේවයට එක්වුණු කාලය කියන්න පුළුවන්ද ?

පුතේ මම ඉපදුනේ 1932 ඔක්තොම්බර් 17 වැනිදා. ආනන්ද විද්‍යාලයේ lower kindergarten පංතියට ගුරුවරියක් විධියට මාව සම්මුඛ පරීක්ෂණ පවත්වලා බදවා ගන්නකොට අවුරුදු විස්සයි. මෙත්තානන්ද මහත්මය තමයි මාව ගත්‌ෙත. ඒ අනුව 1953 මාර්තු 01 වැනිදා තමයි මම ආනන්ද විද්‍යාලයේ ගුරු සේවයට එකතුවුණේ. ඒ කාලේ සාරියක් පටලාගෙන ඒ ගිය ගමන මම සංතෝසයෙන් ගිය ගමනක්.

lower kindergarten එකෙදි ළමයින්ගේ ආදරණීය පොඩි ටීචර් වුණේ කොහොමද ?

ඒ කාලෙ ආනන්දෙ lower kindergarten, upper kindergarten, Grade 1,2,3,4,5 කියලා බෙදලා තිබුණේ. Upper එකේ හිටපු පීරිස් ටීච ටිකක් විතර ළමයින්ට සැරයි. වැරදිවැඩවලට තරවටු කරනවා. මම ළමයින්ට ගහන්නෙ නෑ. ඔක්කොම කතාවෙන් තමයි මම ළමයින්ව හැසිරුවේ. ඉතිං කුඩා දරුවොනේ. කුඩා මම ඒ අයට අම්මා කෙනෙක් වගේ ආදරෙන් ඉගැන්වීම කළේ. ඒ නිසා මේ දරුවො මට ආදරේට පොඩි ටීචර් කියලා ආමන්ත්‍රණය කරන්න ගත්තා.

ඔබ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මුල්ම ගුරුවරිය ?

ඔව්. ආනන්දයේදී lower kindergarten පංතියට ගෝඨාභය රාජපක්ෂ මහතා මුලින්ම ඇතුළත් වෙන්නෙ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මුල්ම කාලේ මුල්ම මතකයන් සිහි කළොත් ?
ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා මෝටර් රථයෙන් පාසලට එක්කගෙන එන කුඩා ගෝඨාභයව මට තමයි භාර දෙන්නෙ. මේ ගෝඨාභය ඒ කුඩා කාලයේ තාත්තා ඔහුව පාසලට එක්කරගෙන ආවම දුකෙන් අඩනවා. තාත්තගේ අතේ එල්ලිලා ආපහු ගෙදර යන්න අහනවා. ගෝඨාභයට අවශ්‍යය ගෙදර ගිහිං අම්මා එක්ක ඉන්න. මම තේරුම්ගත්තා ගෝඨාභය හුරුතලයට අම්මාගාව හැදුනු දරුවෙක් කියලා. ඉතිං ආපහු කොහොමද ගෙදර යන්නෙ. දැන් අම්මා මම තමයි කියලා ගෝඨාභය මම ළගින් වාඩි කරගන්නවා. ඒත් මේ ඇඩිල්ල නම් නවතින්නෙ නෑ. මම හැමදරුවෙකුටම උගන්වනවා. ඒ පංතියේ ඉතා කුඩා දේවල් ඒ කාලයේ ඉගැන්නුවේ. හැබැයි 11.30-12ට වගේ පංතියේ කටයුතු අවසන් වෙන්න කලින් මම අර එදා උගන්වපුදේවල් අහනවා. අඩ අඩා හිටියට ගෝඨාභය හොදට ඇහුම්කම්දෙන දරුවෙක් කියලා මට මතකයි. විශේෂයෙන් ගෝඨාභය පුතා මට මතක්වෙන්නෙ අර අඩමින් හිටියත් නිවැරදිව එදා දවසෙ උගන්වපු හැමදේම නිවැරදිව කියන්න ඔහුට කුඩා කාලයේ හරි අපුරු හැකියාවක් තිබුණා. හොදට ඇහුම්කන්දෙන අහිංසක දරුවෙක් කියලා මට මතකයි.

ඒ කාලේ උගන්නපුවත් මතකද ?

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ.. වගේ කවි වගේම පංතියේ සරල කවි උගන්වනවා. ඇතැම් කවි මතක් වෙන්නෙ අපුරු සිද්ධි නිසා. දවසක් මම පංතියේ ළමයින්ට

හද මාමා උඩ යනවා
අපෙ මාමා බිම යනවා
හද මාමා සුදු පාටයි
අපෙ මාමා කළු පාටයි කියලා කවියක් පුරුදු කරමින් උන්නා. අනේ මම දන්නෙ නැතිව මගේ මාව මේක මම උග්නවන වෙලාවේ පංතිය ළගින් ගිහිල්ලා. මදකට නැවැතිලා අහන් ඉදලා. මාමා හිතුවේ මම මාමට හදලා කියපු කවියක් කියලා. අනෙක් ඉතිං ඔය ඉංගිරිසි අක්ෂර එක දෙක පොඩි දරුවන්ට ඒ ආරම්භයේදී මම ඉගැන්නුවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කුඩා කාලේ අඩනඑක නැවැත්තුවේ කොහොමද ?

මට මේ දරුවා ගැන එයාගෙ තාත්තට යෝජනාවක් කරන්න අවස්ථාවක් ලැබුණා. මම පුතා ගැන යමක් කියන්න තියෙනවා කිව්වාම ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා මට කතා කළේ කියන්න නෝනා මහත්තයා කියලා. ඒ කාලේ කතා කරන්නෙ එහෙමයි. මම කිව්වා මේ ළමයා කෙටි කාලයට අපේ ගුරුවරියකගෙ ගෙදරක නවත්වමුද කියලා. ඩී.ඒ මැතිතුමා ඒකට කැමැති වුණා. පාමංකඩ පිහිටි ග්‍රේස් පෙරේරා ගුරුතුමියගෙ නිවසේ නැවැත්වුවා. ඔන්න ඊට පස්සෙ දෙවැනි වාරයේ ඉදන් ගෝඨාභය පාසල් එන්නෙ උඩ පැන පැන. ඒ ග්‍රේස් පෙරේරා ගුරුතුමියගෙ පවුලේ මොටර් රථයෙන්. ග්‍රේස් ගුරුතුමියගෙ පුතා චන්ද්‍ර පෙරේරාත් ගෝඨාභය සමගයි පාසල් පැමිණියේ. ඔහු ගෝඪාභයට වඩා පංති කිහිපයක් වැඩිමල් වගෙයි මට මතක. පසු කලෙක තමයි ගෝඨාභය පුතා නේවාසිකාගාරයේ නැවැතුනේ.

බැසිල් රාජපක්ෂ මහත්මයා ගැන මතක නැද්ද ?

මොකද නැත්තෙ. බැසිල් පුතා ඒ කාලේ ඉදන් ඉක්මනට දේකට හුරුවෙලා. මිත්‍ර සමාගම් ඇතිකරගන්න. දගකාර එඩිතරයෙක්. මම එහෙම කියන්නෙ ගෝඨාභයට වඩා බැසිල් පුතා වෙනස්. එයාට ඉක්මනින් දෙයක් සංවිධානය කරගන්න පුළුවන්කම එදත් තිබුණා. අදත් මම දන්න විධියට සැලසුම්කරන්න ඔහු විතර දක්ෂයෙක් තවත් නෑ.

ආනන්දෙ මේ කියන අතීත කාලේ පංතිවල හිටියෙ හොද ළමයි විතරයි ?

(සිනාසෙයි) හැම විධියෙම ළමයි ආනන්දෙට එනවනේ. ව්‍යාපාරිකයොන්ගෙ ළමයි, ආරක්ෂක ප්‍රධානින්ගෙ ළමයි, මැති ඇමැතිවරුන්ගෙ ළමයි. ඒ විතරක් නමෙයි මරියකඩේ ළමයි මේ හැමෝම ආනන්දෙදි ඒකට එක පංතිවල උන්නෙ.
දැන් කවුරුහරි චෝදනා කළොත් ගෝඨාභයලා වගේ අය ගැන විතරයි ටීචර්ටත් මතක මරියකඩේ අය ගැන මතක නෑ කියලා ?
පුතේ ගෝඨාභය පුතාලා වගේම ඒ කාලේ පංතිවල ඉගෙන ගත්ත මරිය කඩේ කොල්ලොත් මට හුගක් ආදරෙයි. පොඩි ටීච පසුව තමයි සුරිආරච්චි මැඩම් වුණේ. මේ කොයි කාලෙත් හිටපු ආනන්දෙ දරුවො ඒ ප්‍රජාවම මට ආදරෙයි. ආනන්දයට මට තියෙන ආදරයත් ඒ වගෙයි. යුද්දෙ කාලේ කියැවුණු කීදෙනෙක් නම් මේජර් ජෙනරාල්වරුන්, රිය අද්මිරාල්වරුන්, එයාර් වයිස් මාර්ෂල්වරුන් මගේ ගෝලයෝද, වෛද්‍යවරු,මාධ්‍යවේදීන්, නීතිඥයන්, ගණකාධිකාරිවරුන්, ක්‍රීඩකයො, ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තිකයන්, ඇයි ගුරුවරුන්, මේ හැමෝම අතරෙ මරියකඩේ පුතාලාත් ඉන්නවා. එක කතාවක් කියන්නම්. පුතා අහපු නිසා. මේවා සුන්දර මතක. මම ඒ කාලෙ ඉදන් කටුපොත මහර ඉදගෙන මරදානේ ආනන්දෙට එන්නෙ බස්එකේ නැගලා. දවසක් මරිය කඩේ දරුවෙක් උන්නා සුනිල් කියලා. ඒ අය මට ආදරේ සමහර දරුවො පාසල් ආවට වැඩි ඈතකට ඉගෙන ගන්නෙ නෑ. එතකොට 5 පංතියට යනකොට අතරමග අධ්‍යාපනය නවත්වනවා. ගරුවරු එයාලට බැන්නට මම බැන්නෙ නෑ. මම බැලුවෙ එයාලට ජීවිතය කියලා දෙන්න. ඒ නිසා මට හරි ආදරෙයි. මරිය කඩේ සුනිල් කියලා දරුවෙක් හිටියා. මේ දරුවා ඒ කාලේ ලොකු මහත්වෙලා මරියකඩේ ටිකක් නමක් තියාගෙන ඉන්නෙ චණ්ඩිකමෙන්. දවසක් ඔන්න මම බස්ඒකේ නගින්න ඉන්නකොට ආපු බස් එක සෙනග පිරිලා. සුනිල් කොහෙද ඉදන් ඇවිත් අපේ සුරියාආරච්චි මැඩම්ට සීට් ඒකක් දීපන් කියලා රියදුරු මහත්මයටයි, කොන්දොස්තරටයි අණ කළා. මට එදා හොදටම ලැජ්ජ හිතුණා. නමුත් සුනිල් පුතාත් කළේ මට ආදරේට. මම නෑ නෑ පුතේ කමක් නෑ කියද්දි මට වාඩිවෙන්න සීට් එකකුත් ලැබුණා. වෙනදටත් ආනන්දෙ ළමයි හෝ දෙමාපියන්ගෙනුත් මට සීට් ලැබෙනවා. නමුත් මම අර කතාව කිව්වෙ මට හුගක් දේ මතකයේ තියෙනවා.

මෙතරම් ඈත සිද්ධි මැඩම්ට මතකයේ තියෙන්න විශේෂත්වයක් තියෙනවාද ?

පුතේ මම හොදට බණ අහනවා. ඔහේ අහණව නෙමෙයි සිහියෙන් අහනවා. එතකොට මතක ශක්තිය වැඩිවෙනවා කියලයි කියන්නෙ. කොහොම උණත් දැන් මට අවුරුදු 86 වෙනවා. වෛද්‍යවරු මට උපදෙස් දීලා තියෙන්නෙ දැන් පොත් පත් කියවන එක නම් තව තවත් නොකෙරුවට කමක් නැහැ කියලා. ඒත් අහන දේට අදටත් බාධාවක් නෑ. මගේ මතකය හොද දෙයක් වෙනුවෙන් විතරයි. දේශපාලනය ගැනත් කියන්නම් මගේ මාමා තමයි එස්.කේ.කේ සුරියආරච්චි ඇමැතිතුමා. ඉතිං අපි මුලින්ම සිරිමාවො මැතිනියට උදව් කළා. චන්ද්‍රිකා මැතිනිය නෙමෙයි සුනේත්‍රා මට කතා කරන්නෙ සෝමා අක්කා කියලා. අපි සිරිමාවෝ මැතිනිය වෙනුවෙන් වැඩ කළේ ඒ කාලේ. මොන දේශපාලන පක්ෂය කියන ප්‍රතිපත්තියට උණත් මම ඇහුම්කම් දෙනවා. එජාප ජවිපෙ උණත් එහෙමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කතා කළේ මගේ ගෝලයෙක් වීම නිසාම නොවෙයි. මේ රට හදන්න නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්නෙ ඒ සංකල්පයේ බවට තේරුම්ගිය නිසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි