නවතම පුවත්

අවුරුදු නවයෙදි නාසා ජයගත් මේඝ විජේවර්ධන කතාකරයි

අසංක

අසංක

පෘථිවියට ආසන්නයේ පිහිටි ‘බෙනූ’ ග්‍රාහකයේ සිට අධ්‍යයනය සදහා නියැදි යළි පෘථිවියට රැගෙන එන නාසා ආයතනයේ OSIRIS-Rex මෙහෙයුමට දැනට සම්බන්ධ වී සිටින ලොව ළාබාළතම සාමාජිකයා වන්නේ මේඝ මහීම විජේවර්ධනයි. ඔහු, ‌මෙරටට පළමු චිත්‍ර කතා පත්තරය හදුන්වා දුන් සුප්‍රකට කලාකරුවකු වූ ලේක්වුස් ආයතනයේ සේවය කළ අනුර විජේවර්ධන මහතාගේ මුනුබුරායි. පුංචි මේඝට ලැබී ඇත්තේ අනුර විජේවර්ධන මහතාගේ ජනප්‍රියතම ‘මේඝ’ චිත්‍ර කතාවෙහි නාමයයි. මේඝ අවුරුදු 09ක් තරම් වයස කුඩා දරුවෙක්.  මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ළාබාළතම ව්‍යවසාකයා ද වන මේඝ, දැනට නාසා ආයතනයේ ඔස්ට්‍රේලියාව සදහා ළාබාළතම අභ්‍යාවකාශ  ව්‍යාපෘති තානාපතිවරයා ලෙස ද කටයුතු කරයි. 

ග්‍රාහකයක සිට සාම්පල පෘථිවියට රැගෙන ඒමින් ග්‍රාහකයේ සිට ද පරීක්ෂණ සිදුකරන අමෙරිකාවේ පළමු ව්‍යාපෘතිය වන්නේ ද OSIRIS-Rex මෙහෙයුමයි. 2023 වසරේදී බෙනූහි මුල්ම සාම්පලය පෘථිවියට ගෙනෙමින් කෙරෙන මෙම මෙහෙයුමේ ඔස්ට්‍රේලියානු  සන්නිවේදන කටයුතු භාරව සිටිමින් ව්‍යාපෘතියේ යාවත්කාලීන පුවත් ජනතාව වෙත ලබාදීමටත් මෙහෙයුමට අදාළ පුහුණු හා සන්නිවේදන අංශයේ සම්බන්ධීකරණ කටයුතු කිරීමත් පැවරී ඇත්තේ පුංචි මේඝටයි. කිසිවකුට අනුමාන කිරීමට හෝ නොහැකි තරමේ කුඩා වයසකදී මෙවැනි දැවැන්ත අභ්‍යාවකාශ මෙහෙයුමකට සම්බන්ධ වී කටයුතු කරන්නට තරම් මේඝ සමත්කම් දක්වන්නේ ඔහු තුළ උපතින්ම ඇති සුවිශේෂී දක්ෂතා නිසාමය.

මේඝ තම පියා හා මව සමග දැනට ජීවත් වෙන්නේ ඔස්ට්‍රෙලියාවේ. පුංචි දෑස් දල්වා අහසේ තරු බලන්නට පටන් ගත්දා සිට  පෘථිවිය හා අභ්‍යාවකාශය අතර සිදුකෙරෙන මෙහෙයුමක් නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම දක්වා මේඝ මහීම විජේවර්ධනගේ ගමන ගැන ඔහුගේම වචනයෙන් දැනගන්නට අපිට හැකියාව ලැබුණි.

පුංචි මේඝට අභ්‍යාවකාශය ගැන අදහසක් මුලින්ම ඇතිවුණේ කෙලෙස ද යන්න ඔහු අපිට කීවේ මෙලෙස ය. ‘මම පුංචි කාලේ දී බයිබලයේ එන ලෝකය මැවූ කතාව මට කියලා දුන්නා. ඒකෙදි මට අහස, තරු, වල්ගා තරු වගේ දේවල් ගැන අහන්න ලැබුණා. මට පුදුම හිතුණා මේ දේවල් ගැන. මම ඒ ගැන අම්මාගෙන් තාත්තාගෙන් නිතර අහන්න ගත්තා. මට හරිම ආස හිතුණා අහස ගැන දැනගන්න. අහස කොච්චර ලොකු ඇත්ද? කොච්චර ගැඹුරු ඇත්ද වගේ ප්‍රශ්න මට හිතෙන්න ගත්තා. මට ඒ ගැන හිතන ඒක නවත්තන්න පුළුවන් වුණේ නෑ. මම නිතරම ඒවා ගැන අහන්න පටන් ගත්තා. ඒ ආසාව දවසින් දවස වැඩිවුණා. මම විස්තර දැනගන්න දැනගන්න මට ඒ ගැන තියෙන උනන්දුව වැඩිවුණා.’

පුංචි මේඝට අහස, සද, තරු ගැන ඇතිවූ නොසන්සිදෙන ආශාව ගැන මුලින්ම තේරුම් ගත්තේ ඔහුගේ පියා වන චරිත් විජේවර්ධන හා  මව වන දොෂන්ත්‍රි විජේවර්ධනයි. මේඝගේ මව අපිට ඒ බව කීවේ මෙලෙසයි.

 ‘ලෝකය මැවූ කතාව අහන්නට ලැබුණට පස්සේ මේඝ අතිශය පුදුමයට පත්වුණා. අහස, තරු, වල්ගා තරු, වළාකුළු මේ හැම දෙයක්ම මේඝට අලුත් දේවල්. ඔහු නිතරම ඒ ගැන සිතන්නටත් සීයා, ආච්චි හෝ අම්මා තාත්තාගෙන් නිතර දෙවේලේ ඒ දේවල් අහන්නටත් පෙළඹුණා. පුංචි වුණත් මේඝ සිතුවේ අහස කියන දේ කොච්චර ගැඹුරු ඇත්ද කියලයි. මේඝගේ නිමක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අපිට සිදුවෙනවා. කාලයත් එක්ක ඔහු අහන ඇතැම් ප්‍රශ්නවලට මටත් මගේ සැමියාටත් පිළිතුරු දෙන්න අපහසු වුණා. මොකද මම සන්නිවේදන උපාධියක් කරලා අලෙවිකරණ සන්නිවේදන අංශයේ කටයුතු කරන නිසාත් මගේ සැමියා ග්‍රැෆික් නිර්මාණ අංශයේ කටයුතු කරන නිසාත් අපි දෙන්නටම විද්‍යා විෂය සම්බන්ධ පසුබිමක් නැති නිසාත් ඒක අපිට අමාරු දෙයක් වුණා.

මගේ තාත්තා අනුර රණතුංග. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂය ධාරාව හැදෑරූ අයෙක්.  ඉතින් අපි මේඝගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔහු මගේ පියාට ස්කයිප් ඔස්සේ සම්බන්ධ කළා. පුංචි මේඝ අවුරුදු 3 විතර ඉදන් තාත්තාගෙන් අභාවකාශය ගැන බොහෝ දේ දැනගත්තා. නිතර තාත්තා හා සම්බන්ධ වී කරුණු දැනගත් මේඝ කියවන්න පුළුවන් වුණු ගමන්ම අභ්‍යාවකාශයේ දේවල් කියවන්න ගත්තා. අපි නිතරම ඔහුට පොත් ගෙනත් දුන්නා. ගේන පොත් හරි ඉක්මණින් ඔහු කියවා අවසන් කරනවා. ඔහු ප්‍රබන්ධ කතා කියවන්න පොඩ්ඩක්වත් කැමති නෑ. පසු කාලෙක පාසලේ පුස්තකාලයේ සියලුම ප්‍රබන්ධ නොවන කතා පොත් ඔක්කොම වාගේ කියවලා ඉවර කළා. ඔහු කියවන පොත් ඔහුට බර වැඩි කියලා. අන්තිමේදී ඔහුට පාසල් පුස්තකාලයෙන් ප්‍රබන්ධ නොවන පොත් කියවීම තහනම් කරලා පවා තිබුණා. මොකද මේඝ තවම පුංචියි. ඔහුගේ න්‍යායාත්මක දැනුම් විතරක් වැඩෙද්දී එය දරුවකුගේ මනසට බලපෑ හැකි ආකාරය ගැන හිතලා. නමුත් මේඝ ඒකට කැමති වුණේ නෑ.’

මේඝගේ මොළය සැකසී ඇත්තේ ඔහුගේ වයසට වඩා අවුරුදු 5කින් වැඩුණු අයකුගේ අයුරින් බව වෛද්‍යවරුන් පවසා තිබේ. සුරතල් හඩකින් කතාකරන පුංචි මේඝ වේගවත්ව කතාකරන දරුවෙකි. එය ඔහුගේ සිතීමේ වේගය හා සමව අදහස් පළකිරීමේ උත්සහයක් වන අතර ඔහුගේ දැනුම සොයායාමේ වේගය ද එලෙසම බව මාපියෝ පැවැසූහ. මේ නිසාම පුංචි මේඝට පුංචි යහළු යෙහෙළියන් නැත. පාසලේ දී පවා ඔහු ඇසුරු කරන්නට කැමති වී ඇත්තේ වයසින් වැඩුණු සොයුරු සොයුරියන්, ගුරුවරුන් ය. මේඝගේ සුවිශේෂී බව නිසාම ඔහු ඇඩ්ලේඩිහි වෙස්ට්මිනිස්ටර් පාසල වෙත මාරු කිරීමට මාපියන්ට සිදුවිය. එම පාසලේදී වැඩි වශයෙන් ඔහුගේ මොළය වැඩෙන ආකාරයට උචිත ලෙස ක්‍රියාකාරකම් කරන්නටත් ඔහු වෙනුවෙන් වෙනම අධ්‍යයන රටාවක් සකස් කිරීමටත් පාසල් බලධාරීන් කටයුතු කර තිබේ.

පුෂ්පා රණතුංග මහත්මිය පුංචි මේඝගේ මිත්තණියයි. කුඩාම කාලයේදී ඇය සමග සිටින්නට මේඝට අවස්ථාව ලැබී තිබුණි. ඔස්ට්‍රේලියාවේ සිටියත් මේඝට ලංකාවේ දරුවන්ට මෙන්ම  මිත්තණිය සමග  නිර්මාණාත්මක දේවල් කරන්නට, ගීත ගයන්නට, වාදනය කරන්නට මේඝට අවස්ථාව ලැබුණි. මිත්තණියගේ මගපෙන්වීමත් පියාගේ නිර්මාණකරණයත් ශක්තියක් වූ නිසාදෝ මේඝගේ මොළය තුළ විද්‍යාව පමණක් අරක්ගෙන නැත. අවුරුදු 3ක් තරම් පුංචි වයසේදී මේඝ professional drum set එකක් වාදනය කරන අපූර්ව වාදකයෙක් විය. අවුරුදු 3 හමාරක තරම් වයසේදී පියානෝ වාදනය ද ඇරඹි ඔහු වාදනය පිළිබද හැදෑරීමට ගිය අවස්ථාවේදී හි සිටි පුංචිම සාමාජිකයා ද විය. පාසල් චෙස්, ක්‍රිකට්, පිහිනුම් කණ්ඩායම්වල සිටින ඔහු කිසිදු අමතර පන්තියකට නොයා තනිවම පාසල් අධ්‍යයන කටයුතු සිදුකරයි. කිසිම විටෙක නිකරුණේ කාලය ගතකිරීමට අකමැති මේඝ නින්දට යන කාලය අපතේ යැවීමක් බව කියයි. ඔහු අලුයම නැගිට පොත් කියවන්න ඔහු නිතරම කුමන හෝ ක්‍රියාවක යෙදී සිටීයි.

මේඝගේ අභ්‍යාවකාශය පිළිබද දැනුම පිපාසය නිසාම මාපියන් ඔහු  Future Problem-solving club එකෙහි අධ්‍යයන සදහා යැවීය. වයස අවුරුදු 4දී මේඝ දකුණු ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබද පාඨමාලාවක් හැදෑරීමට ඇතුළත් කළේය. විශ්වවිද්‍යාල සිසුන් සමග කරට කර සිටිමින් අධ්‍යයන කටයුතු කරන මේඝ ඒම පාඨමාලාව සාර්ථකව අවසන් කළේය. මහන්සියක් නොදැනෙන මේඝ ඉන්පසුව ලොව පුරා අභ්‍යාවකාශ භෞතිකවිද්‍යාව පිළිබද මහාචාර්යවරුන් පැමිණ දේශන පවත්වන ඇඩිලේඩි විශ්වවිද්‍යාලයේ රාත්‍රි දේශන සදහා සහභාගි විය. එහිදී මේඝ අධ්‍යයන කටයුතුවලට සහභාගි වූයේ විශ්ව විද්‍යාල සිසුන්, විද්‍යාඥයින් සමගය.

2017 වසරේදී NASA Space App Challenge ඒක සදහා මේඝ ලියාපදිංචි වනවිට ඔහුගේ වයස අවුරුදු 6 සපිරුණා පමණි. එහි සාමාජිකත්වය ගෙන තිබුණේ ඉංජිනේරුවරු, සරසවි සිසුන් ය. වායුගෝලය  පිළිබද අභියෝග දෙකක් ජයගත් මේඝ එහි ළාබාළතම කණ්ඩායම් නායකයා වූ අතර ඔහුගේ කණ්ඩායම් සාමාජිකයන් වී ඇත්තේ ද ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් කිහිපදෙනෙකි. Airbus සමාගම හා ප්‍රංශ රජය ඒකාබද්ධව කරන Acting Space ව්‍යාපෘතියේ 2018 දී චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර මුහුද මැදදී නෞකා අතුරුදන් වන ක්‍රියාවලිය වළක්වන ක්‍රම සොයාබැලූ අභියෝගය ද ජයගත් මේඝ ඉන්පසුව, වසර 200කින් පමණ පෘථිවිය හා ගැටෙන බෙනූ ග්‍රාහකය වැළැක්වීමේ මෙහෙයුමට 2018 වසරේදී NASA Space App Challenge සමග සම්බන්ධ විය. නාසා ආයතනයත් සමග කරන ලද ඒම කටයුතුවලදී ඔස්ටේ්‍රලියානු නාසා ආයතනයේ OSIRIS-Rex මෙහෙයුමේ තානාපතිවරයකු ලෙස අයදුම් කරන්නට අවස්ථාව මේඝට උදාවේ. අමෙරිකාවේ හෝ කැනඩාවෙන් හැරෙන්නට තානාපතිවරයකු තෝරානොගන්නා ඒම තනතුර මේඝට ලැබෙන්නේ ඔහු පිළිබද සියලුම ආරක්ෂක, සමාජ සම්බන්ධතා, සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබද දීර්ඝ අධ්‍යයනයක් නාසා ආයතනය විසින් සිදුකිරීමෙන් පසුවයි. මෙම තනතුරේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද නාසා ආයතනය මහජන සම්බන්ධතා පිළිබද කටයුතු කරන ආයතන වන ඇරිසෝනා විශ්වවිද්‍යාලය විසින් මේඝට වෙනම පුහුණුවක් ලබාදේ. OSIRIS-Rex මෙහෙයුමේ යාවත්කාලීන තොරතුරු ඔස්ට්‍රේලියාවෙ මහජනතාව වෙත ලබාදීම, සමුළු සදහා තානාපතිවරයකු ලෙස සහභාගී වීම, පුහුණු වැඩමුළු, සන්නිවේදන කටයුතු, නවමු ව්‍යාපෘතියක් වන මේ පිළිබද සමාජයෙන් මතුවන ගැටලු සියල්ලට නාසා ආයතනය නියෝජනය කරමින් ඔස්ට්‍රෙලියාව තුළ පිළිතුරු දීම ළාබාළතම තානාපතිවරයා ලෙස ඔහුට පැවරී ඇති වගකීම් ය. නාසා ආයතනයේ විශේෂ පරීක්ෂණයකට මුහුණ දී ඉහළින්ම සමත්වූ මේඝ දැන් ඒම දීර්ඝ හා අතිශය සංකීර්ණ පුහුණුව ලැබීමට සූදානමින් සිටියි.

විද්‍යාව පමණක් නොව නිර්මාණකරණයෙන් ද දක්ෂතාවෙන් අඩුවක් නොමැති මේඝගේ අරමුණු වන්නේ අවුරුදු 15දී ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමටත් කවදාහෝ නාසා ආයතනයේ රොකට් පිළිබද විද්‍යාඥයෙක් වීමටත් ය. මේඝයක් ලෙසින්ම ගුවන අරා වැජඹෙමින්, දැන් රිදී රේඛා විහිදුවන මේඝ මහීම විජේවර්ධන, මහී තලය ආරක්ෂා කරන්නට දරන වෑයමට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ අපගෙන් සුබපැතුම්!

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී