නවතම පුවත්

අද වැනි දිනෙක යාපනයේ සිරකුටියක අවසන් හුස්ම හෙලූ වාරියපොල සුමංගල නාහිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

1831 පෙබරවාරි 05 දින යාපනයේ සිරගෙදර අපවත් වූ දැයට පණ දුන් වාරියපොල සුමංගල මහ නාහිමියෝ..! දේශය නිදහස්‌ කරගැනීමේ අරගලයට උරදුන්  වාරියපොල ශ්‍රී සුමංගල මාහිමිපාණෝ.

වාරියපොල ශ්‍රී සුමංගල හිමයෝ දේශයේ නිදහස්‌ අරගලයට උරදුන් 19 වැනි ශත වර්ෂයේ ජීවත් වූ මහා සංඝ පීතෘවරයෙකි. දුටුගැමුණු රජතුමාගෙන් පසු 1815 දක්‌වා කාලයතුළ කලින් කල පැවැති නිදහස්‌ අරගලවලදී මහා සංඝ පීතෘවරුන්ගෙන් ලද දායක්‌තවය අතිමහත්ය. වලගම්බා රජු සමයේ පූජ්‍ය තිස්‌ස හිමිපාණන්, රාජසිංහ රජු පාලන සමයේ පූජ්‍ය දීඝ හිමිපාණන්, සීතාවක රජු සමයේ පූජ්‍ය රතනසේකර හිමිපාණන් වැනි පූජ්‍ය පාද ස්‌වාමීන් වහන්සේලා පිළිබඳ ඉතිහාසය කරුණු අනාවරණය කරයි. පූජ්‍ය රඹුක්‌වැල්ලේ රතනජෝති, පූජ්‍ය පොතුහැර රතනපාල, පූජ්‍ය කණුමලේ ධම්මදස්‌සි වැනි හිමිවරුන් නිදහස්‌ සටනේ පෙරමුණ ගත් තවත් ස්‌වාමීන්වහන්සේලාය. මේ සියල්ල අතරින් වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් නිදහස්‌ සටනේ කැපී පෙනෙන මහා හිමි නමකි.

වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් උපත ලබන්නේ කුරුණැගල දිස්‌ත්‍රික්‌කයේ වාරියපොල ග්‍රාමයේය. උන්වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ වේ. ශ්‍රී සුමංගල හිමියන් උපත ලබන්නේ බමුණාකොටුවේ රාළහාමිලාගේ කිරිහාමි යන ගිහි නාමයෙනි. උන් වහන්සේ පැවැදි බව ලබන්නේ වාරියපොල ශ්‍රී සුමංගල නිමිනි. උන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් වන්නේ සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ඉදවලුගොඩ ධම්මපාල හිමිපාණන්ය. වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් පසු කලකදී උපසම්පදාව ලබාගනී. ධර්මය ඉගෙනීමේ උපන් කුසලතාවක්‌ හිමි ඉතා දක්‍ෂ බෞද්ධ භික්‍ෂුවක්‌ වූ ශ්‍රී සුමංගල හිමියන් වාරියපොල ශෛලතලාරාම විහාරයේ මහා සංඝනායක වශයෙන් පත්වේ. මේ විහාරය වර්තමානයේ හඳුන්වන්නේ ශ්‍රී සුමංගල රජමහ විහාර පිරිවෙන වශයෙනි. පසුව උන්වහන්සේ සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ උත්තරීතර තනතුරක්‌ වු අනුනායක තනතුරට පත්වේ.

ගුරු හාමුදුරුවන් වහන්සේ හා සුමංගල සාමනේර හිමියන් මහනුවර ආදාහන මලුව ගෙඩිගේ විහාරයේ පදංචිව සිටි බවට මතකයක්‌ පවතී. මහනුවර මුල්ම රජමහ විහාරය වන්නේ ආදාහන මලුව ගෙඩිගේ මහා විහාරයයි. මුල්ම රජ මහවිහාර වශයෙන් සැලකෙන විහාරස්‌ථාන 10 ට ආදාහන මලුව ගෙඩිගේ විහාරය ඇතුළත් වන්නේ පළමු රජමහා විහාරය වශයෙනි. ගෙඩිගේ රජමහ විහාරය රජවරුන්ගේ සෘජු සම්බන්ධතාවයක්‌ පැවැති, රාජ අනුග්‍රහය ලැබූ රජමහ විහාරයට පූජා කරන ලද විශාල ඉඩකඩම් හිමි විහාරයක්‌ බව ඓතිහාසික විස්‌තර අනුව සඳහන් වේ. බුදුදහමේ ප්‍රවර්ධනය සඳහා ගෙඩිගේ රජමහ විහාරයෙන් සිදුවූ සේවය අතිමහත්ය. මහනුවර ආදාහන මලුව ගෙඩිගේ විහාරය 14 වැනි ශතවර්ෂයේ ඉදිකරන ලද බැව් සඳහන් වේ. මහනුවර ඉදිකළ පළමු සිද්ධස්‌ථානය වන්නේ ද ගෙඩිගේ විහාරයයි.

නිදහස්‌ අරගලයේ උඩරට රාජ්‍යය විදේශ ආක්‍රමණිකයන්ගෙන් බේරාගැනීම සඳහා ඇතිවූ සෑම අරගලයකදීම භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගත්හ. ඒ අතර කැපී පෙනුන සංඝ පීතෘවරයෙක්‌ වූයේ වාරියපොල ශ්‍රී සුමංගල ස්‌වාමීන් වහන්සේය. ශ්‍රී දළදා වහන්සේගේ හා උඩරට වැසියන් ආරක්‍ෂා කර ගැනීම සඳහා භික්‍ෂූන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයන්ට විරුද්ධව මහත් කැපවීමෙන් කටයුතු කළහ. ලන්දේසි ආක්‍රමණයේ දී අස්‌ගිරි පාර්ශ්වයේ පූජ්‍ය ධම්මදස්‌සි හිමියන් දළදා වහන්සේ මහනුවර සඟවා තබා ආරක්‍ෂා කරන ලදී.

උඩරට කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව උඩරට සිංහල නායකයෝ උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට පවරාදීම සඳහා උඩරට ගිවිසුම සකස්‌ කරමින් සිටියහ. 1815 මාර්තු මස 02 වැනි දින උඩරට ගිවිසුම අත්සන් කරන දිනයේ දී ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්‍රිතාන්‍යය සොල්දාදුවකු විසින් ශ්‍රී දළදා මාලිගාවේතිබූ සිංහල කොඩිය පහතට හෙළා බ්‍රිතාන්‍යය කොඩිය එසවීමට ක්‍රියා කළේය. මෙම සිද්ධිය දුටු අනුනායක වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් වහා එතැනට පැමිණ ගිවිසුම තවමත් අත්සන් කර නැති බවත්, ගිවිසුම අත්සන් කරන තෙක්‌ තවමත් උඩරට රාජ්‍ය අයත් වන්නේ සිංහලයන්ට බව පවසා නංවන ලද ඉංග්‍රීසි කොඩිය පහතට හෙළා සිංහල කොඩිය ඔසවන ලදී. උඩරට රාජ්‍යයේ ගෞරවය පිළිබඳ ඉමහත් භක්‌තියෙන් කටයුතු කළ වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ නිර්භීත ක්‍රියාව අදද උඩරට වැසියන්ගේ මතකයේ පවතී. සුමංගල හිමියන් එසේ ඔසවන ලද සිංහල කොඩිය වශයෙන් සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අවසාන රජු විසින් පාවිච්චියට ගන්නා ලද සිංහ කොඩිය වේ. සුමංගල හිමියන් විසින් ඉංග්‍රීසි කොඩිය පහත හෙළා දැමීම බ්‍රිතාන්‍යයන් විසින් සලකන ලද්දේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ලද දරුණු ක්‍රියාවක්‌ හා අනාගතයේ ඔවුන්ට විරුද්ධව අරගල කිරීමේ සංග්‍රාමයක්‌ ලෙසිනි.

1818 වර්ෂයේ දී බ්‍රිතාන්‍යය පාලනයට විරුද්ධව උඩරට වාසීහු කැරලි ගැසීම ආරම්භ කළහ. දේශය මුදාගැනීමේ අරගලයට නායකත්වය දුන්නේ කැප්පෙටිපොල දිසාවේ විසිනි. උඩරට සිංහල රාජ්‍යයේ සම්ප්‍රදාය හා පිළිගැනිම අනුව දළදා වහන්සේ යම් රජ කෙනෙකුගේ භාරයට පත් වන්නේ නම් ඔහු ආරක්‍ෂා වන බවද ජාතියේ ගෞරවය හිමි කර ගන්නා අයෙකු බවට සාම්ප්‍රදායානුකූල පිළිගැනීමක්‌ තිබිණ. මෙය මනාව වටහා ගත් අස්‌ගිරියේ අනුනායක වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන් ඉතා කල්පනාකාරීව සූක්‍ෂමව කටයුතු කරමින් ගන්ධ කුටියේ තිබූ ශ්‍රී දළදා වහන්සේ ඉන් ඉවත් කර හඟුරන්කෙත ප්‍රදේශයට ගෙන ගොස්‌ සඟවා තබන ලදී. පසුව උඩරට කැරැල්ල මෙහෙයවූ හා එයට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාවේ වෙත දළදා වහන්සේ භාරදි ඇත. දළදා වහන්සේ අත්පත් කර ගැනීම සම්ප්‍රදායානුකූලව රට පාලනයේ අයිතියක්‌ ඇති බව සංකේතවත් කරවන්නකි. දළදා වහන්සේ කැප්පෙටිපොල දිසාවේ භාරයට පත්වීමේ ප්‍රවෘත්තිය පැතිර යැමත් සමඟ කැරැල්ලට සහභාගි වූ අයගේ උත්තේජනයක්‌ ඇති වූ අතර කැරැල්ල ඉක්‌මනින්ම ව්‍යාප්ත විය. මෙම කැරැල්ල බ්‍රිතාන්‍යයන් විසින් ඉතාම දරුණු ලෙස මර්දනය කරන ලදී. කැරැල්ලට නායකත්වය දුන් මහා සංඝයා වහන්සේලා ඇතුලු ගිහියන් මරා දමන ලදී. කෙත් වතු නිවාස ගිනි තබමින් හරක බාන විනාශ කරමින් මහජනයා වෙත දරුණු වද හිංසා පමුණුවන ලදී. මේ නිසා ජනතාව සාගින්නෙන් පෙළෙන්නට විය. මෙම දරුණු විනාශය කෙතෙක්‌ද යන්න විනාශ කළ ගොවිබිම්වල නැවත වගා කිරීමට නොහැකි වන සේ සශ්‍රීක නොවීය. උඩරට සමහර නායකයන් බ්‍රිතාන්‍යයන් සමඟ එක්‌ වී සිදුකළ පාවාදීම් හේතුවෙන් උඩරට කැරැල්ල සම්පූර්ණයෙන් අසාර්ථක වී බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට යටත්විය.

1818 නොවැම්බර් මාසයේ දී වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්විය. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ට දළදා වහන්සේ පැහැරගෙන යැම හා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කැරලි ගැසීම පිළිබඳව නඩු පවරා, සිර දඬුවම් පමුණුවා යාපනය සිරගෙදර රඳවා තබන ලදී. සමහර වාර්තා අනුව 1821 අප්‍රේල් මස 21 වැනි දින එවකට ලංකාවේ ආණ්‌ඩුකාරවරයාගේ නියමය පරිදි වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් සිරෙන් නිදහස්‌ කළ බව සඳහන් වේ අවසානයේදී නැවතත් අත්අඩංගුවට පත්වන උන්වහන්සේ 1831 පෙබරවාරි 05 දින යාපනයේදි අපවත් විය

ශ්‍රී දළදා මාළිගාවේ මහමලුවේ ඉදිකර ඇති වාරියපොල සුමංගල හිමියන්ගේ පිළිරුව ලංකා නිදහස්‌ සටනේ අභීත සෙන්පතියකු පිළිබඳ අතීත කථාව අපට පසක්‌ කරදේ. උන්වහන්සේ සිය පැවිදි ජීවිතය කැප කළේ බුදු දහමට පමණක්‌ නොව අප රටේ ස්‌වාධීනත්වය වෙනුවෙනි. උන් වහන්සේගේ ජීවිත කතාන්තරය ආවර්ජනය කර එය අනාගත පරපුරට මතක්‌ කර දීම ජාතියේ වගකීමකි.

උමංග බණ්ඩාර

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි