නවතම පුවත්

අනියම් බිරිඳ පිනවන්න ගිහින් හසුවූ මධූෂ් කොටුකළ මෙහෙයුම

අසංක

අසංක

නාවල නිහාල්ගෙන් පසු පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළට හිමිකම් කී මාකදුරේ මධුෂ් ඩුබායි හීදී එරට පොලිසියට කොටුවීමත් සමග මෙරට පාතාලය හෙල්ලී ගියේය. ඒත් එක්කම මධුෂ්ගේ ප්‍රතිවාදීන් මත්පැන් සාද පවා පවත්වමින් එකී සතුට සමරන්නට වූහ. එවන් සාද හිර ගෙදරදී පවා පවත්වා තිබීම විශේෂත්වයකි.

මාකදුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටුවන්නේ පසුගිය 05 වෙනිදා අලුයම් කාලයේදීය. ඒ සිය අනියම් බිරිදට දාව උපන් දරිවියගේ පළමු උපන්දින සාදය පවත්වමින් සිටියදීය. එකී සාදයට ඩුබායි හී රැදී සිටින මධුෂ්ගේ පාතාල සගයින් ගොන්නකටම ආරාධනාකර තිබුනේය. ඒ අය අතර මත්කුඩු ජාවාරමේ දැවැන්තයෙක් වන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ද, කෙසෙල්වත්තේ දිනුකද, රනාලේ චුට්ටෙද , අලුත්කඩේ අජ්මිද, අලුත්කඩේ ගිල්බ සියාම්ද,මිරිස්සේ සුද්දාද ඇතුළු මෙරට නමගිය පාතාලයේ අපරාධකරුවන් රැසක්ම සිටියහ. මේ සාදයට මාකදුරේ මධුෂ් තමන්ට හෛතෂීයන් රැසකටම ආරාධනාකර තිබුනේය. ඒ අය අතර දකුණේ දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද සිට ඇත්තේය. එහෙත් එකී දේශපාලනඥයන්ගෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනෙක් හැරුණූකොට ඔහුගේ ආරාධිතයන් අතර සිටි ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිදු දේශපාලනඥයෙක් සාදයට සහභාවීමට ඩුබායි පැමිණ තිබුනේ නැත. ඒ වෙනුවට දේශපාලනයට සම්බන්ධකම් ඇති කිහිප දෙනෙක් එකී සාදයට සහභාගිවී සිටියහ. ඒ අය අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස්ගමන් බලපත්‍රයක් සහිත දේශපාලන හිතෛෂීවන්තයෙක් සිටි බව කියති.

මෙකී සාදයට ආරාධනා ලැබූවන් අතර මෙරට කැරොකේ ව්‍යාපාරය හා නිරන්තරයෙන් නම කියැවෙන ව්‍යාපාරිකයෙකුද සිට ඇත. එම ව්‍යාපාරිකයා අවසන් මොහෝතේ ඩුබායි ගමන අවලංගුකර ඇති බව සදහන්ය. මැතිඇමතිවරු මෙන්ම පොලිසියේ ලොකුම තැනේ සිට සියළුම තරාතිරමේ නිළධාරීන් ඉතා ලගින් ඇසුරු කරන එකී ව්‍යාපාරිකයා එකී ගමන අවලංගු නොකරන්නට මේ වන විට සිටින්නේ මධුෂ් සමග පොලිසියට කොටුවී ඩුබායි සිරගෙදරකය.

මධුෂ්ගේ දියණියාගේ පළමු උපන්දින සාදය රසවත් කරන්නට මෙරට කලාකරුවන් කිහිප දෙනෙකුට ආරාධනා කරන්නටද මධුෂ් අමතක කර නැත. ඒ අය අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා,ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, ටෙලි නාට්‍ය නළු රයන් ද සිට ඇත්තේය. මෙරට ජනප්‍රිය ගායිකාවකගේ දියණියක්ද මේ ගොන්නේ සිටි බව සදහන් වූවත් මේ ලිපිය සටහන් තබන මොහොත දක්වාම ඇය ගැන නිෂ්චිත තොරතුරක් නොවීය. සාදය පැවැති ස්ථානය ඩුබායි පොලීසියෙන් වටලන විට රයන් සහ දිනුක, මොහොතකට එම ස්ථානයෙන් බැහැරව ගොස් සිටි බැවින් ඔවුන් පොලීසියට කොටුවී නොමැති බව ද වාර්තා විය.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් මේ සාදය මධුෂ් සංවිධානය කරන්නේ සිය අනියම් බිරිද සතුටු කරන්නටය. ඇය දිලානිය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට 2018 වසරේ මැයි 08 වෙනිදා රාත්‍රියේ පිළියන්දලදී සිය ගෝලයින් යොදා වෙඩිතබා ඝාතනය කරන්නට පවා ඩුබායි සිට මධුෂ් උත්සහ දරන්නේ සිය අනියම් බිරිද සතුටු කරන්නටය. ඇය පාතාලයේ ප්‍රබලයෙක් වන කළු තුෂාරගේ බිරින්දෑය. පාතාල ලෝකයට මධුෂ් අතපොත් තබන්නේද කළු තුෂාර ගුරුකොටගෙනය. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ නොවැම්බර් මාසයේදී හටගත් නොසන්සුන් තත්වයෙන් පසු වෙඩි වැදීම්වලට ලක්ව මරුමුවට පත්වූ රැදවූවන් අතර කළු තුෂාරද සිටියේය. රංගජීව මරා දැමීමට කළුතුෂාරගේ බිරිදට දොලදුකක් ඇතිවන්නේ සිය සැමියා ඝාතනයට ළෙයට ළෙය පළිගන්නය. එකී පළිගැනීම අසාර්ථක වූවත් කළුතුෂාරගේ බිරිදට සිදුවන්නේ මධුෂ්ගේ අනියම් බිරිද ලෙස ඩුබායිහී ගතකරන්නටය. ඩුබායිහී පසුගිය 04 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙන්නේ එකී අනියම් සම්බන්ධයෙන් මධුෂ්ට දාව ඇයට උපන් දියණියගේ පළමු උපන්දින සාදයයි. ඒ මධුෂ්ගේ දෙවැනි දරුවාය. පළමු දරුවා ඔහුගේ නීත්‍යානුකූල බිරිදට දාව උපන්නෙකි. ආබාධිත තත්වයේ පසුවන එම දරුවා ජීවත්වන්නේ මධුෂ්ගේ විවාහක බිරිදගේ රැකවරණයේය. සිය අනියම් බිරිදටත් එකී බිරිදට දාව දරුවාට ඔහු සුරසැප දෙනවිට විවාහක බිරිද ආබාධිත දරුවා සමග ගතකරන්නේ දුක්බර ජීවිතයකි. ඒ ඇය මධුෂ්ගේ ලේගෑවුණු රුපියල් ශතවලට තවමත් වහල් වී නොමැති නිසාය.

මුළු රටේම පාතාල බලය අල්ලමින් මෙරට මත්කුඩු ජාවාරමද සියතට ගනිමින් සිටි මධුෂ් සිය ගෝලබාලියින් සමග පොලිසියට කොටුවීමේ සැබෑ කථාව ද කලම්බු එක්ප්‍රස් වෙත අනාවරණය කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබේ. ඊට අනුව සිදුවී ඇත්තේ මත්කුඩු ජාවාරමේ ආරවුලක් මත ඩුබායි පොලිසියට මධුෂ් කොටුකර දීමකි. එසේ මධුෂ්ව ඩුබායි පොලිසියට කොටුකර දෙන්නේ මොරිල්ය. අපේ රටේ මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුකක් වන මොරිල් කාලයක් තිස්සේ ජීවත්වන්නේ ඩුබායිහීය. ඔහු මුල් කාලයේ ටැක්සි රථ රියදුරෙක් ලෙස ජීවිකාව සරිකරගෙන ඇත. ඒ කාලයේ ඔහු හොර අරක්කු ජාවාරමකද නිරතව සිට ඇත්තේ අමතර ආදායමක් උපයා ගන්නටය. එයද ප්‍රමානවත් නොවූ තැන නැවතත් සුපුරුදු මතුකුඩු ජාවාරමට බසින්නේ ඩුබායි සිට සිය ගෝලබාලයින් මෙහෙයවමිනි. එහිදී මෙරට මත්කුඩු බෙදාරින්නන්ගෙන් රුපියල් කෝටි ගණනක පොලු ඔහුට වැටෙන්නේ නැවතත් හිඟමනට වට්ටවමිනි. එසේ ඔහුට පොලූ තැබූවන් අතර කෙසෙල්වත්තේ දිනුකද ඉහළින්ම සිටියේය.

ඩුබායි හී රැදී සිටි මධුෂ්ව ඔහුට මුණගැසෙන්නේ ඔය අතර තුරදීය. මධුෂ්ගේ නමට ඇති බිය මොරිස් නැවතත් මත්කුඩු ජාවාරම මෙහෙයවන්නට ආශිර්වාදයක් කර ගත්තේය. බෝට්ටු මගින් දකුණු මුහුදු තීරයට කිලෝ සිය ගණනින් මොරිස්ගේ ඇණවුම් අනුව ගෙන එන හෙරොයින් තොග ගොඩබාන්නට වූයේ මධුෂ්ගේ ගෝලබාලයින් හරහාය. එසේ ඉකුත් 2018 වසරේ දෙවුන්දරින් ගොඩබාන හෙරොයින් තොගයක් ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරක් ලැබෙන්න සිය ඔත්තුකරුවෙක් මගිනි. ඔත්තුකරුට අනුව දෙවුන්දරින් ගොඩබාන හෙරොයින් තොගය මධුෂ්ගේය. කිලෝ සිය ගණනක් කුඩා නෞකාවකින් ගෙන එන බවද ඔත්තුකරු කියා තිබුනේය. එම හෙරොයින් තොගය ගෙන එන්නේ මාතර පදිංචි ඩිලයිට් නැමැති මධුෂ්ගේ ගෝලයෙක් බවද ඔත්තුකරු කියා තිබුනේය. එම හෙරායින් තොගය බෙදාහරින්නට කොළඹට රැගෙන එන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සැලේ ව්‍යාපාරිකයෙක් බවද ඔත්තුකරු පවසන්නේ එකී ව්‍යාපාරිකයාගේ සුභෝපභෝගී වාහනයේ අංකයද සමගිනි.

ඒ අනුව එම හොරොයින් තොගය ගොඩබාල විට දෙවුන්දර වෙරලේදීම අත්අඩංගුවට ගන්නට සැළසුමක් සකස්වන්නේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ මූලිකත්වයෙනි. නියමිත දිනයේ දෙවුන්දරට යන කණ්ඩායමේද සජීව මැදවත්ත සිටියේය. ඩිලයිට් ,ගිල්බඩ් ඇතුළු පිරිසක්ම මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත්තේය. එහෙත් ඒ කියූ මත්කුඩු තොගය නම් සොයා ගන්නට නොවීය. මත්කුඩු තොගය වෙරළට ගොඩබාමින් සිටියදී පොලිසිය කඩා වැදුණු බවත් එහිදී මත්කුඩු තොගය අතහැර තමන් පළාගිය බවත් අත්අඩංගුවට ගත්තවුන් ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා තිබුනේය. එහෙත් සැබෑ ලෙසම සිදුව තිබුනේ එදා දෙවුන්දර වෙරළට ගොඩබාන ලද මත්කුඩු කිලෝ 128 ක් පොලිස් වෙසින් පැහැර ගැනීමකි. එය මධුෂ්ගේම වැඩකි. මොරිල් සමග එකට සිටිමින් මධුෂ් මොරිල්ට වැඩක් දුන්නේ එසේය. මොරිල් ඒ බව දැන ගන්නේ සිය මත්කුඩු ජාලයම මධුෂ්ගේ අතට පත්වීමෙන් පසුවය. මධුෂ්ගේ පාතාල බලය හමුවේ අසරණ වන මොරිල්පසුගිය කාලය පුරාම කල්යල් බලමින් සිටින්නේ මධුෂ්ට වැඩක් දෙන්නටය. ඒ අවස්ථාව ලැබෙන්නේ මධුෂ්ගේ දියණීයගේ උපන්දින සාදය හරහාය. එම සාදය සංවිධානය වන්නේ ඩුබායි හී රැදී සිටින දඹුල්ලේ රංග නැමැත්තා හරහාය. මිනිස් ඝාතන සැකකරුවෙක් වන රංග වසර දහයක් පහලොවක් තිස්සේ රැදී සිටින්නේ ඩුබායි හීය. ඩුබායි හී රැදී සිටින අපරාධකරුවන්ට පහසුකම් සපයන්නෙක් ලෙස මෙන්ම ඩුබායි රටට පැනගන්නා අපරාධකරුවන්ට වීසා සකස්කරදීම් වලින් සිය ජීවිකාව සරිකර ගන්නා ඔහු මෙරට කලාකරුවන් රැසක්ම ඉතා සමීපව ඇසුරුකරන්නෙකි. අමල් ,රයන් ඇතුළු මෙරට කලාකරුවන් මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට ගෙන්වා ගැනීමේ සම්බන්ධිකරණය ඔහුගේය.

එම සාදය ඉතා රහසිගතව සංවිධානය වූවකි. සාදය විවෘත වන්නේ හිතෛෂීන්ට පමණි. මොරිල් ඒ අය අතර නොවීය. සාදය ගැන මොරිල්ගේ කණවැකෙන්නේ රංග හරහාය. සැදය ගැන මොරිල් හරහා මෙරට පොලිස් නිලදාරීන් කිහිප දෙනෙක්ම දැනගත්තේය. ඒ අය අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළදාරීන් දෙදෙනෙක්ද සිටියහ. මොරිල් සහ මධුෂ් අතර මත්කුඩු ජාවාරම් හේතුවෙන් ඇතිව තිබුණු හිත් පලදුව ඒ අය වාසියට ඒ වන විටත් රට වෙනුවෙන් හරවාගෙන සිටියේය. උපන්දිව සාදයට සහභාගිවන්නන්ට මත්පැනින් පමණක් නොව මත්ද්‍රව්‍ය වලින් පවා සංග්‍රහකරන්නට මධුෂ් සැළසුම්කරගෙන සිටින බව මොරිල් දැන සිටියේය. මත්ද්‍රව්‍ය භාවිතය ඡාවාරම මෙන්ම සන්තකයේ තබා ගැනීම ඩුබායි නීතියට අනුව මරණිය දණ්ඩනයෙන් දඩුවම් හිමිවන වරදකි. සැළසුම් කෙරෙන්නේ මධුෂ්ව එකී චෝදනාවට කොටුකරවන්නටය. ඒ වෙනුවෙන් එම සාදයට මොරිල් ඔහුගේ ඔත්තුකරුවෙක්ද රිංගුවේය. මත්පැන් වලට අමතරව කොකේන්ද ඇති තරම් සාදයේ ඇතැයි ඒ අනුව මොරිල් දැන ගත්තේය. මේ සාදය ගැන ඩුබායි පොලිසියට ඔත්තුව ලැබෙන්නේ ඒත් එක්කමය.

ඩුබායි පොලිසිය සාදය පැවැති ස්ථානය වටලන්නේත් කොකේන් ග්රෑම් 250 ක් සමගින් එහි සිටි 25 දෙනෙකු පමණ අත්අඩංගුවට ගන්නේත් ඒ අනුවය. ඒ 05 වෙනිදා අලුයම් කාලයේදීය. එසේ අත්අඩංගුවට ගත්තවුන් වෛද්‍ය පරීක්ෂණයකට පවා ලක්කරන්නට එරට පොලිසිය වග බලා ගන්නේ ඔවුන් තාක්ෂණයට මුල්තැන දෙන බැවිණි. එහිදී අමල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙක් කොකේන් භාවිතාකර ඇතැයි රුධීර පරීක්සණයේදී තහවුරුවී ඇතැයි සදහන්ය. කන්ජිපානි ඉම්රාන් කිසිදු මත්ද්‍රව්‍යක් භාවිතාකැර ඇති බවක් රුධිර පරීක්ෂාවේදී පෙනී ගොස් නැත. මාකදුරේ මධුෂ් භාවිතාකර ඇතැයි පෙනී ගොස් ඇත්තේ මත්පැන් පමණි. ඒ ඔහුගේ රුධිර පරීක්ෂාවේදී ඇල්කොහොල් පමණක් ඇති බව පෙනී ගොස් ඇති බැවිනි. ඒ අනුව අමල් පෙරේරාගේත් කන්ජිපානි ඉම්රාන්ගේත් මාකදුරේ මධුෂ්ගේත් ඔවුන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන්ගේත් ඉරණම් ඩුබායි නීතිය කෙසේ විසදයිදැයි තවමත් කිව නොහැකිය.

ගයාන් කුමාර වීරසිංහ

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?