විශේෂාංගසිව්කොණ

Share now!

දිනෙන් දින උණුසුම් වන ලාංකීය දේශපාලන කරලිය වෙත නැවුම් මාතෘකාවක් සම්ප්‍රාප්ත වී තිබේ. එනම් මේ වනවිට කවුරුත් මුමුනන අමෙරිකානු “එම්.සී.සී” ගිවිසුමයි නැතහොත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමයි. පවතින ආණ්ඩුවට එය සුරබිදෙන බදු වුවද ආණ්ඩුබලයට ප්‍රවිෂ්ඨ වීමට සිහින දකිමින් සිටින විපක්ෂයට නම් එය කිසිදා ගැළවිය නොහැකි ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කරන හූනියමකි, ශාපයකි. ඒ කවරකටත් වඩා මේ මොහොතේ කදිම විහිළු සපයමින් සිටින්නේ මෙකී පක්ෂ දෙකේ නාමයෙන් පිල්බෙදී සමාජ මාධ්‍ය තුල සිය අපේක්ෂකයාගේ ජයග්‍රහනය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වී සිටින ඩුප්ලිකේට් පන්නයේ මහෞෂධ “ෆේස්බුකර්” පඩිරුවන්ය විසිනි. ඔවුනට මේ මොහොතේ එම්.සී.සී ගිවිසුමෙන් තොර වෙනත් යමක් නොමැති තරම්ය. මෙකී ඊනියා ගිවිසුමේ මහිමයෙන් සිය ප්‍රසාදය හිමි දේශපාලකයාහට වාසි හෝ අවාසි වන ලෙස ඔවුහු එකිනෙකා සමාජ මාධ්‍ය තුල ගැටෙමින් සිය පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කරමින් සිටිති. ඇතැම්විට ඔවුන් ගේ එකී විදග්ධ අදහස් දකිනු කල අමෙරිකානු රාජ්‍යය ලේකම් කාර්යාලය පවා මවිතයෙන් කම්පනයට පත් වනු නොඅනුමානය.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නම් අමෙරිකානු ආධාර ලබාදීමේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ලොව පවතින දිළිදුකම හා දරිද්‍රතාවයෙන් පෙළෙන රාජ්‍යන් තොරාගෙන ඔවුනට අංශ කිහිපයක් ඔස්සේ සංවර්ධනයවීම සදහා ණයනොවන මූල්‍යාධාර සැපයීමය. මෙම ගිවිසුමේ යටි අරුත කුමක්දැයි මේ මොහොතේ හරිහැටි දන්නේ අමෙරිකාවම පමණි, ලංකාව වැනි සදාකාලිකව දියුණුවෙමින් පවතින අසරණ රාජ්‍යයන් හට මෙවන් ගිවිසුම් හමුවේ කළ හැකිදෑ වන්නේ ගිවිසුමට යටත්ව මූල්‍යාධාර ලබා ගන්නවාද නැතිද යන්න අමෙරිකානු බලපෑම් යටතේ වුවද තීරණය කිරීම පමණි. අන්ධයින් අලියාගේ හැඩහුරුකම් පැවසූ පරිදි මෙකී ගිවිසුමේ සාධනීයත්වය හෝ නිෂේධනීයත්වය තමන් අදහන දේශපාලන දහමට අනුව අහිංසක ජනයා හමුවේ උලුප්පනවාට වඩා ඔවුනට මුග්දයින් සේ දේශපාලනිකව බෙදී නොසිට සිදුකළයුතු ජාතික මෙහෙවරක් වන්නේය. එනම් මෙවන් මූල්‍යාධාර වැඩසටහනක් මාර්ගයෙන් විදේශික රාජ්‍යයන්හට අතපාන්නට තරම් ලංකාව නම් සාරභූමිය පිරිහුනේ මන්දැයි සෙවීමය.

ශ්‍රී ලංකාව නම් ද්වීපයේ ශිෂ්ටාචාර පුරාවෘත්තය වසර දෙදහස් පන්සියවසක් පුරා දිව යන ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන්නකි. කලක් තැප්‍රොබේනය සියලු ජාත්‍යන්තර වෙළද රාජ්‍යන්ගේ සිත් දිනා ගත් “පෙරදිග ලෝකයේ මුතු ඇටය” නම් විය. ලාංකීය සමාජය වීර රජවරුන්ගෙන් පාලනය කෙරුනු බත බුලතින් ස්වංපෝෂිත අතිශය සාර්ථක රාජ්‍යයකි. එහි, දියුණු වාරි කර්මාන්තයත්, ඉංජිනේරු විද්‍යාවත්, වෛද්‍ය විද්‍යාවත් සෙසු ස්වදේශික ශිල්පත් බටහිර ලෝකය පරයමින් ශීඝ්‍රයෙන් වර්ධන්යවී තිබුණි. නමුත් ඒ ඈත අතීතයේ දී පමණි. වත්මන් ශ්‍රී ලංකාව නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ඉතිහාසය පැවසූ තැප්‍රොබාන්, සිලෝන් හෝ පෙරදිග ලෝකයේ මුතු ඇටයෙන් විතැන් වී, තමන්ගේ සරුසාර කුඹුරු පුරන් වන්නට හැර රට වැසියන්ගේ කුස පිරවීමට සමස්ත ලෝකයටම අතපාන අන්ත අසරණ “අමුතු ” ඇටයක් බවට පරිවර්තනය වී හමාරය.   

මෙවන් පසුබිමක ලාංකීය තරුණයා හට හිමිවන්නේ භාරධූර වගකීමකි. තමන්ගේ දෙමාපියන්ගේ පරම්පරාව ප්‍රධාන පක්ෂ දෙකකට පිල් බෙදී කලින් කලට පත් වූ නිල් හෝ කොල පැහැති පාලකයාගෙන් අහඹුවක් සේ ඔවුනට ලැබුනු ටකරම් තහඩුව, සිමෙන්ති කොට්ටය, ගිණිපෙට්ටියක් තරම් වූ නිවෙස හෝ සිය දරුවා ලද අමාත්‍යංශ පියුං තනතුර ගැන සිතා පාලකයන් මෙතෙක් කළ කී සියලු දෑ සාධාරණීකරණය කිරීමට හෝ චෝදනා කිරීමට පමණක් ඔවුහු පුහුණු වූහ. කිසිදු ලැජ්ජා බයක් නැති මෙකී සුදුරෙදි හොරුන් සිය දේශපාලන බලයේ මහිමයෙන් සිදු කරන සියලු ආනන්තරීයපාපකර්මයන්හට සමාජයෙන් හෝ නීතියෙන් තමන් හට අංශුවක හෝ ප්‍රතිරෝධයක් නොමැති කල ඔවුහු සමස්ත රාජ්‍යයම සූරා කමින් තමන්ගේ වපසරිය පමණක් ක්‍රමිකව ගොඩ නගා ගත්හ. නමුත් කරුමයක් මහත, මේ සියල්ල පිළිබදව කදිම අවබෝධයක් ඇති ලාංකීය තරුණයා මෙතෙක් මුමුණමින් සිටි සියලු ප්‍රගතිශීලී මතවාද පසෙකට දමා ඡන්දය ප්‍රකාශයට පත් කළ දිනයේ පටන් ඔවුන්ගේ වැඩිහිටි පරම්පරා විසින් සිදු කළ ඒ වරද නැවත නැවතත් කරමින් සිටියි. එනම් තමන් රිසි දේශපාලන පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් දෙපසකට බෙදී නිල් හා කොළ වශයෙන් ඇණ කොටා ගැනීමයි. 

පරම්පරා ගණනාවක් මුළුල්ලේ ක්‍රමිකව ස්ථාපිත කර මේ දක්වා පවතින වත්මන් සමාජ-දේශපාලන ක්‍රමය තුල ඕනෑම ජාත්‍යන්තර ගිවිසුමක් ජනතාවට නොකියා හොර රහසේ අත්සන් කිරීමට මෙකී පාලකයන් හට ඇත්තේ අපූරු හැකියාවකි. ඔවුන් තමන්ගේ බලය රැකෙන හෝ මඩිය තර වන ඕනෑම මජර දේශපාලන ක්‍රියාවලියකට යෑමට පසුබට නොවන බවද ලාංකීය තරුණ පරපුර නැවත නැවතත් සිහි එළවාගතයුතුය. ප්‍රශනය එසේ තිබියදී මෙම තට්ටු මාරු දේශපාන ක්‍රමයවෙත නැවතීමේ තිත තැබීමට කටයුතු කරනවා වෙනුවට ලාංකීය තරුණයා තමන්ට රිසි අද බාල දේශපාලන පක්ෂ වෙනුවෙන් පිල් බෙදී එකිනෙකා ඇණ කොටා ගැනීම සමස්ත ලාංකීය ජාතියේ අවාසනාවම මිස අන් කවරක්ද.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා මෙල්බන් සිට ලියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment