විශේෂාංගසිව්කොණ

Share now!

බොහෝ ජන සංස්කෘතින් තුළ ආගම නම් සන්දර්භය වෙත හිමි වනුයේ ගෞරවාන්විත ස්ථානයකි. එකී ගෞරවය අනුගාමිකයින්ගෙන් පමණක් හිමිවන්නක් නොවන අතර එය සමස්ත සමාජය වෙතින්ම ආගම වෙත හිමි වන්නකි. අනුගාමිකයා සතුව පවතින ශ්‍රද්ධාව, භක්තිය හෝ අනියත් බිය හේතුවෙන් ප්‍රධාන ධාරාවේ ආගමක් සංස්කෘතියක් වෙතින් ප්‍රතික්ෂේප නොවන තරම්ය. කොටින්ම සංස්කෘතීන් විසින් ආගමක් ඉදහිට හෝ විවේචනයට බදුන් කරනුයේ අතිශය ප්‍රවේශම් සහගතවය. එනයින් ආගම නම් සන්දර්භය සංස්කෘතීන් තුළ ඉතා ප්‍රබල අයුරින් ස්ථානගතව පවතින ප්‍රපංචයක් බැව් අප හදුනා ගතයුතුය.  

ආගම කෙතරම් ශක්තිමත් අඩිතාලමක් සමාජය තුළ ස්ථාපිත කර තිබුණද එය ගෞරවාන්විතව ස්ථානගතව ඇත්තේ සුදුසු සමාජ ස්ථරයේ පමණක් වීම, සිවිල්-දේශපාලන කාරණාහිදි ආගමේ අතපෙවීම අවම වීම, ආගමික නියෝජිතයින් ක්‍රියාකාරී දේශපාලනය තුළ අවම නියෝජනයක් දැක්වීම යනු දියුණු ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික ලක්ෂණ සේ සැලකේ.

 එසේම මෙම තත්ත්වය මා වත්මන ජීවත්වන ඔස්ට්‍රේලියානු සමාජය හා සෙසු දියුණුයැයි සම්මත සමාජ ක්‍රමයන් තුලින් මනාව පිළිඹිබු කරවයි.

 දියුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආගම කෙරෙහි වූ තර්කය එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන මොඩල තුළ ආගමේ දේශපාලන නියොජනය තරමක වැඩි අගයක් ගන්නා අයුරු අප දැක තිබේ. නිදසුනක් වශයෙන් ලාංකීය රාජාණ්ඩු පාලනය තුළ මෙන්ම ලාංකීය දේශපාලනය අරාජික වූ ඉංග්‍රීසි පාලන සමයේ ද බෞද්ධ භික්ෂුවගේ සිවිල් හා දේශපාලන භූමිකාව ඉතා ඉහළ මට්ටමක පැවති බැව් අපි ඉතිහාසයේ අසා ඇත්තෙමු.

කෙසේ වුවද නිදහසින් පසු ලංකාව නූතන ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මොඩලය වැළදගත් අතර ඉහත ඉස්මතු කරන ලද දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මිනුම් දණ්ඩ තුළ ආගම නම් තර්කය නූතන ලංකාවටද එලෙසම අදාල බවට සැකයක් නැත.

නූතනත්වයට පාතබන්නට ප්‍රථම මධ්‍යතන යුරෝපයේ පැවති රාජාණ්ඩු ක්‍රමය හා ආගම (කතෝලික පල්ලිය) එකිනෙකට බද්ධව පැවති අතර බොහෝ අවස්ථාවන්හිදී පල්ලිය විසින් යුරොපානු දේශපාලනය අතික්‍රමණය කරනු දක්නට ලැබුනි.

 පෘථිවිය පැතැලි ලෙස අර්ථ දැක්වූ පල්ලිය ප්‍රමුඛ යුරෝපානු ආගම කිසිදු ප්‍රගතිශීලී සමාජ, විද්‍යාත්මක හෝ දේශපාලන අදහසකට ඉස්මතු වීමට ඉඩ නොදී එකී අදහස් දරන්නන් තමන් යටතේ පැවති දේශපානල බලය යොදවා මර්දනය කළ අයුරු අප යුරෝපානු ඉතිහාසය පරිශීලනය කරන විට කියවා ඇත.

කොටින්ම යුරෝපානු දේශපාලන ඉතිහාසය විසින් මධ්‍යතන යුගය හදුන්වන්නේ යුරෝපයේ අදුරු යුගය ලෙසය. යුරෝපානු සමාජ-දේශපාලනය නූතන ප්‍රජාතන්ත්‍රවාදය  වෙත පිය නගද්දී ඔවුනට තිබූ ප්‍රබලම අභියෝගය වූයේ ආගම දේශපාලනයෙන් හා ආර්ථිකයෙන් ඛණ්ඩනය කරගැනීමයි. එම පරිවර්තනය යුරෝපානු දේශපාලනය තුල කෙතරම් අපහසු ව්‍යායාමයක් වූවාද යන්න ජෝන් ලොක් හා ජෝන් කැල්වින් වැන්නවුන්ගේ මධ්‍යතන පල්ලියට විරුද්ධ දේශපාලන ව්‍යාපාර ඉතිහාසය පරිශීලනය කරන විට පැහැදිලිවේ.

නූතන ලාංකීය දේශපාලන ව්‍යුහය ආරම්භයේ පටන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස න්‍යායාත්මකව  මිශ්‍රවී තිබෙන පසුබිමක පුරාණ රාජණ්ඩු ක්‍රමයේ  ලක්ෂණද එයට ඈදා ගන්නා ලෙසට  යම් සමාජ කණ්ඩායම් සමකාලීනව බලපෑම් කරමින් සිටිති.

මෙම තත්ත්වය නූතන ලාංකීය දේශපාලනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි අනුමාන කළ හැකි අතර එකී තත්ත්වය තවත් උග්‍ර වන්නේ පසුගිය දශකය කිහිපය තුළ ලාංකීය දේශපාලනය හා ආගම වැඩි වශයෙන් එකිනෙක බද්ධවීමේ ප්‍රවණතාවක් නිරූපනය කිරීමයි.

වත්මන් ලාංකීය දේශපාලනය තුල ආගමේ ඉස්මතුවීම සදහා වූ ප්‍රධාන කාරණා ද්විත්වයක් හදුනා ගත හැකිවේ. එනම් කලින්කලට මතුවී පැමිණි දේශපාලන තට්ටු මාරු ක්‍රමයේ ආදීනවයෙන් ස්ථාපිතවූ දේශපාලන අරාජිකත්වය හා ආගමේ නාමයෙන් ලාංකීය සිංහල මහජාතීන්ගේ දේශපාලන විශ්වාසය තමන් වෙත දිනා ගැනීම උදෙසා ඇතැම් දේශපාලන පක්ෂ විසින් අනුකම්පා විරහිතව ආගම දේශපාලනිකව දඩමීමා කර ගැනීම දැක්විය හැකිය.

මෙවන් තත්ත්වයන් යටතේ ඇතැම් ආගමික නායකයින් හා නියෝජිතයින් ආගමේ මූලික හරය ද පසෙක ලා දේශපාලනික හා සිවිල් කාරණා වෙනුවෙන් පුණ්‍යභූමියෙන් පිටතට පැමිණ දේශපාලකයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරින් හා උරිනුර ගැටෙති.

මෙමගින් ආගමට මෙන්ම ලාංකීය සමාජ-දේශපාලන සන්දර්භයටද සිදු වන්නේ බලවත් හානියකි. ප්‍රධාන වශයෙන් ආගමික නායකයින් හා නියෝජිතයින් සිවිල් සමාජය තුළ දේශපාලනිකව සක්‍රිය වීම මගින් සෘජුව හෝ වක්‍රව ඔවුන් නියෝජනය කරනු ලබන ආගම හා එකී ආගමික නායකයින් කෙරෙහි ගොඩ නැගී තිබෙන සමාජයීය ගෞරවය හට බලවත් සේ හානිගෙනදෙයි.

 ඒ අතරම එය දේශපාලනිකව බෙදී සිටින ලාංකීය ජන සමාජය අතර ආගමික ඛණ්ඩනයකට ද මග පාදයි. මෙලෙස ලාංකීය දේශපාලනය තුළ පවතින අනිසි ආගමික අතපෙවීම මගින් සමස්ත දේශපාලනය තවත් අරාජික වීමද නොවැළැක්විය හැකි අනිටු ප්‍රතිථලයකි.

ඉහත තත්ත්වය සාධනීයව වටහා ගනිමින් දේශපාලනයත් ආගමත් එකිනෙක වෙන් කිරීමට ලාංකීය ජන සමාජය වහවහා කටයුතු කළයුතුය. ආගම සියලු ජන වර්ගයාට පොදු ගෞරවාන්විත මණ්ඩපයක් වෙත ඔසවා තැබිය යුතු අතර දේශපාලනය ද ආගම දඩමීමා කර නොගත් ස්වාධීන ක්‍රියාදාමයක් වෙත විතැන් විය යුතුය.

එසේ නොවන කල ඉතිහාසය නැවත නැවතත් පුනරාවර්තනය කරමින් ලාංකීය සමාජය තුළ ආගමට එරෙහි වන්නන් රාජ්‍යබලය යොදා ගිලටීනය වෙත දක්කන ඒ අදුරු මධ්‍යතන යුරෝපානු යුගයෙන් හිරු උදාවන දිනය එතරම් දුරක නොවන බව නම් ඒකාන්තය.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment