විශේෂාංගසිව්කොණ

Share now!

මේ මැතිවරණ උණුසුම කෙමෙන් නිවී පොදු මහජනයා සිය සාමාන්‍ය දිවියට පිවිසෙමින් සිටින සමයයි. එළබෙන සතියෙන් පසු පොදු මහජනතාව සිය දෛනික රාජකාරි සදහා පොදු ප්‍රවාහන සේවයේ පාපුවරුවේ එල්ළී කොළඹට පමිණිය යුතුය. සුපුරුදු තේ දළුපෙට්ටිය පිටේ බැද ගත යුතුය, තවත් ලීසිං වාරිකයක් ණය පොතට එක්වද්දී සිය ත්‍රී රෝද රථය පණ ගන්වා ගතයුතුය. පොදු මහජනයා මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලකගෙන් ඉක්බිති සිතුවේ මේ පුණ්‍ය භූමියේ පහල වූ ජනපති වරුන් සිය දෛනික ආර්ථික හා සමාජ ගැටලු සදහා විසදුම් බන්දේසියක බහා තමන් වෙත පුදනු ඇති බවයි. අවාසනාවකට මෙන් සිදු වූයේ ඡන්දදායකයාගේ ගැටලු එලෙසම තිබියදී තාවකාලිකව පත්වූ සෑම පාලකයෙක් විසින්ම තමන් ගේ පැවති ආර්ථික හා සමාජ තත්වයන් තව තවත් සංවර්ධනය කර ගැනීමය. මෙවරද හැට නව ලක්ෂයකට අධික වූ ලාංකීය ජනතාව පැතූ ඒ දේශපාලන වෙනස සිදු වී තිබේ. ජයග්‍රාහී ජනතාව සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය කෙරෙහි උදම් අනන අතරම යටි සිතින් තමන්හට මෙවර පත්වූ පාලකායගෙන් සිදු වන්නේ කුමක්දැයි වෙනදාටත් වඩා සංකීර්ණලෙස දෑස් අයා සිටිති.    

මෙවර මැතිවරණය පිළිබදව පසු විපරම් ඕනෑතරම් ජනමාධ්‍යයේ, සමාජ මාධ්‍යයේ මෙන්ම විදේශගතව සිටින ලාංකීයයන් විසින්ද (මා දිවි ගෙවන මෙල්බර්න් නුවර ඇතුලුව) සිදු කරමින් සිටින මොහොතක මෙම ලියුම් කරු ඔවුන්ගේ එකී භාරධූර වගකීමට එරෙහි නොවීමට සිතයි. නමුත් මෙවර මැතිවරණයේදී එක් කාරණයක් ඉතාමත් බරපතල අයුරින් ලාංකීය දේශපාලන සිතියම ලකුණු කරනු දක්නට ලැබුණි. ඒ පිළිබදව සංක්ෂිප්තව හෝ සාකච්ඡාවට ප්‍රාරම්භයක් ලබා නොසිටිනු අපහසුය. එනම් වාර්ගිකත්වය හා ජාතීත්වය පදනම් කරගත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ, මුසල්මානු හා දකුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනමේ පැහැදිලි ඛණ්ඩනයයි. මේ මොහොත වන විට දකුණේ සිංහල බෞද්ධයා විසින් උතුරු නැගෙනහිර වෙසෙන ද්‍රවිඩයා හා මුසල්මානුවා ඡන්දයෙන් පරාජය කොට දූහුවිලි කොට ඇත. සිංහලයා හුරේ දමන්නේ මෙවර ඡන්දය ද්‍රවිඩයාට හා මුසල්මානුවාට එරෙහිවූ සිංහල බෞද්ධයාගේ මැතිවරණ සටනක් ලෙස සලකාය. දේශපාලනික හා සමාජයීය අර්ථයෙන් සැලකූ කල මෙකී ජාතිවාදී ඛණ්ඩනය ජයග්‍රාහී ලෙස නොව ජාතියක් වශයෙන් ඉන් අත් විය හැකි අනිටු ප්‍රථිපලයන්ගේ භයානක අදුරු සෙවනැලි සමස්ත ලාංකීය සමාජය විසින් හදුනා ගත යුතුය.

නැවුම්ව තේරී පත්වූ ජනපතිවරයා වෙත  දකුණේ වෙසෙන මහ ජනතාව මහත් අපේක්ෂා සහගතව සිටිනු දක්නට ලැබෙයි. එනම් නව ජනපතිවරයා ලාංකීය සමාජය තරමකට හෝ ඉහලට ඔසවා තබනු ඇතැයි යන විශ්වාසය සමගය. නමුත් මෙහි පැන නැගෙන සුවිශේෂී කාරණය වන්නේ මෙතරම් ජය ඝෝෂා මධ්‍යයේ වුවද නව ජනපතිවරයා උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ හා මුසල්මානු ජනයාගේ විශ්වාසය දිනා ගැනීමට අපොහොසත් වීමයි. නව ජනපතිවරයා රාජ්‍යයයේ ආර්ථික අභියෝග ජයගැනීම මෙන්ම වර්තමානයේ ලාංකීය භූමියේම වෙසෙන ද්‍රවිඩයාගේ හා මුසල්මානුවාගේ නිවැරදි අනන්‍යතාවය හදුනාගැනීම ද ජාතික අභියෝගයක් කොට ප්‍රමුඛතාවය ලබා දියයුතු බැව් ඉන් බරපතල ලෙස ගම්‍යමාන කරවයි.

නව ජනාධිපතිවරයා එවකට එල්.ටී.ටී.ඊ යට විරුද්ධව පැවති අවසන් යුද සමයේ රාජකාරි කළ සුවිශේෂී ආරක්ෂක ලේකම්වරයාය. යුද්ධය අවසන් කළ රජය පැවසූ පරිදි එවකට උතුරේ හා නැගෙනහිර පැවතියේ යුද්ධයකට එහා ගිය මානුෂීය මෙහෙයුමකි. එනම් කොටි ත්‍රස්තයන්ගෙන් උතුරේ හා නැගෙනහිර විසූ ද්‍රවිඩයන් මෙන්ම මුසල්මානුවන් ද ඉන් මුදවා ගත් අවි ගත් අරගලයකි. එනමුත් ඉන් පැනනැගෙන සංකීර්ණ ගැටලු කිහිපයකි, එහෙත් ඉන් ප්‍රමුඛ වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ඇතුලු යුද්ධය අවසන් කළ රජය විසින් සිදු කළ මානුෂීය මෙහෙයුම හා පශ්චාත් යුද සමයේ සිදුකළ පූනරුත්ථාපන කටයුතු ද්‍රවිඩයා විසින් අපේක්ෂිත අයුරින් හදුනාගෙන නොසිටීමයි. එය එසේ නොවන්නට උතුරේ හා නැගෙනහිර ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වර්ගවාදී දේශපාලන ප්‍රවාහයහට අහිංසක ද්‍රවිඩයා හා මුසල්මානුවා මෙතරම දකුණේ ක්‍රියාත්මක සිංහල බෞද්ධ මතධාරී දේශපාලන ප්‍රවාහයට එරෙහිව නොමග යැවීමට හැකි නොවනු ඇත. කෙසේ වුවද තමන් ඉදිරියේ පවතින අනේකවිද ආර්ථික හා සමජයීය අභියෝග හමුවේ ලාංකීය භූමියේ පවතින සුළුජාතීන් පිලිබද වූ අර්බුදය විසදීම සදහා නව ජනපතිගේ දිනපොතේ සැලකිය යුතු ඉඩක් වෙන්කළ යුතුව ඇත. ද්‍රවිඩයාගේ හා මුසල්මානුවාගේ ගැටලු ඔවුන්ගේ සමාජය තුලින්ම දැක ඔවුනට ආවේණික ගැටලු සදහා විසදුම් සපයනවා විනා ඔවුන් නොමග යවමින් වර්ගවාදීව කටයුතුකරන ‘දමිල’ හෝ ‘මුස්ලිම්’ සුළු පක්ෂයන්ගේ පටු අර්ථකථන නොසලකා හැරිය යුතුය.

එවිට සැමට පොදුවූ එක් නීතියක් හා සැවොම අගයන පොදු සමාජයක් එක් ධජයක් යටතේ නිර්මාණය කිරීමේ සමාජ විප්ලවය ජය ගැනීම නව ජනපතිවරයා හට එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment