නවතම පුවත්

‘2022’ නව වසරේදී, අපේ රට “කබලෙන් ලිපට” වැටේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන 2022 වසරේදී ශ්‍රී ලංකාව “බංකොලොත් ” වේවිද ?  මේ අප බොහෝදෙනෙකුගේ සිත් තුල මේවනවිට මතුවී ඇත සැක සංකාවකි .

විශේෂයෙන් ‘මූඩිස්” ආයෝජන සේවාව මෙන්ම  ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය, ශ්‍රී ලංකාව සම්භන්ධව දිගින් දිගටම නිකුත් කරන , නිවේදනයන් හා  ප්‍රකාශයන් හේතුවෙන් මෙම සැක සංකා තවදුරටත් වර්ධනය වෙමින් ඇත .

ෆිච් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමේ ආයතනය අනතුරු අඟවා සිටින්නේ ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවය .

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් (IDR) ශ්‍රේණිගතකිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත හෙලීමටද එම ආයතනය මෑතකදී පියවර ගත්තේය . විදේශ විනිමය ආපසු ගෙවීම පැහැර හැරීමේ වැඩි ඉඩක් ඇති බව ඉන් අදහස් වේ.

මෙලෙසම මීට මාස දෙකකට පමණ  පෙර මූඩිස් ආයතනයද CAA1 ස්ථානයේ සිට CA1 දක්වා මෙරට පහත හෙලීය .

කෙසේ වෙතත් මෙම , ෆිච් ශ්‍රේණිගතකිරීම සම්බන්ධයෙන් මෙන්ම මූඩිස් ආයතනය නිකුත් කල ප්‍රකාශ සම්භන්ධවද  ශ්‍රී ලංකා  රජය දැනටමත්  සිය විරෝධය ප්‍රකාශකර ඇත.  පසුගිය  දෙසැම්බර් 18 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකුව පැවසුවේ , “සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්ති කිහිපයක් සමග සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට ෆිච් ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) අසමත් වී ඇතිබවයි .

. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත්කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

 

Fitch Ratings revises outlook of 9 Indian banks' IDRs to negative

 

දැන් අප පිළිගත යුත්තේ කාගේ දත්ත හා තොරතුරුද ? කාගේ පැහැදිලි කිරීමද ? 

මේ ගැටලුව විසඳා ගැනීම සඳහා අප මෙම ආර්ථිකමය කරුණු කාරනා පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති , ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු  නියෝජ්‍ය අධිපති, අචාර්ය ඩබ් ඒ විජේවර්ධන මහතාගේ  සහය පැතුවෙමු .

එහිදී අප කල විමසුමකදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය .

” මුලින්ම මෙහිදී අප අවබෝධ කරගතයුතු කරුණක් තිබෙනවා , එනම් මෙම නය ශ්‍රේණිගත කිරීමේ ආයතන තම දත්ත වාර්තා සකසන්නේ ශ්‍රී ලංකා රජයේ දැනගැනීම පිණිස නොවේ . ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් වන ආයෝජකයින්ට මෙරට තත්වය ගැන අනතුරු ඇඟවීමයි ඔවුන් තම ශ්‍රේණිගත කිරීම් හරහා  සිදුකර ඇත්තේ . .එම නිසා ශ්‍රී ලංකා රජය මේ මොහොතේ කලයුත්තේ , එම ආයතන සමග අවි අමෝරා ගැනීම නොවේ .

තමන්ට කෙටි කලකින් විශාල විදේශ වත්කම් ප්‍රමාණයක් අත් පත් කරගත හැකි බවට පෙන්නුම් කරන සැලසුම් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති නමුත් , මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන එම සැලසුම් පිළිගෙන නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ . ඒ අනුව ශ්‍රී ලංකා රජය දැන් කල යුත්තේ , මෙම සැලසුම් එම ආයතනවලට පිළිගත හැකි ආකාරයකට සකස් කිරීමයි .

එසේම මෙම ආයතන හදිසියේ සිදුකල කුමන්ත්‍රණයන්  ලෙස මේවා  හුවා දැක්වීම , ශ්‍රී ලංකා රජය විසින් සිදුකල වරදක් . එම ආයතන මෙරට මහ බැංකුවේ ප්‍රධානීන් සමග සාකච්ජා කරලයි මෙවැනි පියවරයන්ට එළඹෙන්නේ . එසේම ශ්‍රී ලංකාවේම ආරාධනයෙන් ෆිච් රේටින් ආයතනයේ ශාඛාවක් මෙරටත් පිහිටුවා තිබෙනවා .

මෙම අවස්ථාවේදී මහා බැංකුවේ වගකීම වන්නේ , ණය බරෙන් නිදහස් වීමට , එසේම විදේශ වත්කම් වර්ධනය කරගැනීමට යම් සැලැස්මක් ඇත්නම් , එය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලටද ඒත්තු ගැන්වෙන පරිදි ඉදිරිපත් කිරීමයි . මහා බැංකුව, තම වගකීම් පැහැර හැර , තම  අසමත්කම් වසා ගන්නට , විවිධ පාර්ශව වලට චෝදනා නැගීම විහිළුවක් .

එසේම මහ බැංකුව අදූරදර්ශී ලෙස කරන මෙවැනි ප්‍රකාශ නිසා අර්බුදය තවත් බරපතල වෙනවා. මෙරට ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන ආයෝජකයින් තවදුරටත් මෙරට වෙතින් දුරස්වීමයි මෙමගින් සිදුවන්නේ  . මෙරට මහබැංකුව කියන ආයතනය , තමන්ට තොරතුරු සපයන ආයතන සමගත් අවි අමෝරාගෙන සටන් කරන ආයතනයක් කියල ඔවුන් හිතනවා .”

 

Don't underestimate Moody's warning” | Sunday Observer

ආචාර්ය ඩබ්. ඒ විජේවර්ධන මහතා

කෙසේ වෙතත්  ” ෆිච් රේටින්ග්” ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ඉදිරිපත් කර ඇති සෑම කරුණකටම , මෙරට මහබැංකුව පිළිතුරු සපයා ඇති අතර , මෙහිදී දෙපාර්ශවය විසින්ම ඉදිරිපත් කර ඇති කරුණු කෙටියෙන් හෝ  සංසන්දනාත්මකව හා විශ්ලේෂණාත්මකව විග්‍රහ කර ගැනීම ඉතා වැදගත්ය .

එම ආයතනය මෙරටට අදාලව  පෙන්වා දී ඇති ප්‍රධානතම අඩුපාඩුවක් වන්නේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මෙරටට ලැබීම පහත වැටීමයි. .නමුත් මීට පිළිතුරු බඳිමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසා ඇත්තේ,  ශ්‍රම සංක්‍රමණය නැවත ආරම්භ කිරීම , මැද පෙරදිග වෙතින් මෙරට ශ්‍රමිකයින්ට ලැබෙන ඉල්ලුම ඉහළයාම සහ  විවිධ ආකර්ෂණීය පැකේජ හරහා විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලැබීම පහසුකරවීම යන කරුණු මත , විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ රට වෙත ලැබීම් පිළිබඳ වන අපේක්ෂා ඉතා යහපත් මට්ටමකට හැරෙමින් ඇති බවයි .

එසේම සංචාරක කර්මාන්තය නැවත යථා තත්වයට පැමිණීමට තවත් බොහෝ  කාලයක් ගතවීමද , ප්‍රධාන ගැටළුවක් ලෙස ෆිච් රේටින්ග් ආයතනය පෙන්වාදී ඇත , මීට පිළිතුරු ලෙස මෙරට මහා බැංකුව සඳහන් කරන්නේ සංචාරක පැමිණීම්වල වේගවත් වර්ධනයක් මාසිකව දක්නට ලැබෙන බවයි ., වාර්ෂිකව රටට අහිමි වූ ඩොලර් බිලියන 5ක පමණ විදේශ විනිමය ආදායමක් ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී නැවත ලැබෙමින් පවතින ස්වභාවයක් එමඟින් පෙන්නුම් කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් ය.

2022 සහ 2023 වසර වලදී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැතිව ශ්‍රී ලංකා රජයට එහි බාහිර ණය බැඳීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි ෆිච් ආයතණය විශ්වාස කරන බවට ඔවුන් ගේ නවතම ශේණිගත කිරීමේ නිවේදනය නිකුත් කරමින් පැවසිය.”මෙම බැඳීම්වලට 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු ඇ.ඒ.ජ. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී ඇ.ඒ.ජ. ඩොලර් බිලියන 1 ක් ඇතුළත් වේ.2021 නොවැම්බර් වන විට නිල දළ ජාත්‍යන්තර සංචිතවලින් 430% කට ආසන්න ප්‍රමාණයකට 2022 දී ඩොලර් බිලියන 6.9 ක ණය වාරිකය (ප්‍රාග්ධනය) සහ පොලී ඇතුළුව විදේශ මුදල් ණය සේවා ගෙවීමට ද රජය මුහුණ දෙයි,” යනුවෙන් එම ආයතනය පවසයි.

ෆිච් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව 2022 සිට 2026 වසර දක්වා පොලී සහ ණය වාරිකය ඇතුළුව සමුච්චිත විදේශ මුදල් ණය සේවාව ඩොලර් බිලියන 26ක් පමණ වන බවයි.

මහ බැංකුව විසින් ඔක්තෝම්බර් මාසයේදී මාස හයක මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මූලාශ්‍ර, සින්ඩිකේටඩ් ණය සහ 2021 පළමු කාර්තුවේදී අඩු උපයෝගි කරගත් වත්කම්වල මුදල් ඉපැයීම ඇතුළු විවිධවූ ආකාර ගණනාවක් හරහා අමතර බාහිර ණය ලබා ගැනීමේ සැලසුම් එම මාර්ග සිතියමේ ගෙනහැර දක්වා තිබුනත් පවතින කාලය සහ බාහිර සම්පත් ලබා ගැනීමේ හැකියාව අපැහැදිලි අතර ණය සේවා සඳහා එසේ පහසුවෙන් මුදල්  ලබා ගත නොහැකි බවට ෆිච් ආයතනය පවසයි.

 

03 වන කොවිඩ් රැල්ලෙන් පිඩා විදින පිරිස් වෙත සහන සලසන්න – මහ බැංකුව, මුල්‍ය සමාගම් වෙත දැනුම් දෙයි | Mawurata.lk

 

කෙසේ වෙතත් මෙම කරුණු සියල්ලට පිළිතුරු බඳිමින් මහා බැංකුව පවසන්නේ 2021 වසරේ දී 4%කට වැඩි වර්ධනයක් ඇතිවීමට ඇති ප්‍රබල හැකියාව යළි තහවුරු කරමින්, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2021 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ දී 4.4%කින් වර්ධනය වී ඇති බවයි .

එසේම 2021 අප්‍රේල් මාසයේ සිට විනිමය අනුපාතිකය ස්ථාවරව පැවති බවත්, ඒ සමග අපනයන ආදායම සහ වෙනත් විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ද මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළගොස් ඇති බව මහබැංකුව පවසයි .

කොළඹ වරාය නගරයේ සහ කාර්මික කලාපවල හඳුනාගත් ව්‍යාපෘති සඳහා සෘජු ආයෝජන හරහා මූල්‍ය ගිණුම වෙත හිමිකම් ප්‍රාග්ධනය ලබා ගැනීමට ඉඩ සැලසීමට අපේක්ෂා කරන බව මහ බැංකුව ප්‍රකාශකර ඇත.

2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මඟින් හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය අසමත් වී ඇතැ යි ද මහා බැංකු ප්‍රකාශයේ දැක්වේ.

නව බදු ක්‍රියාමාර්ග හඳුන්වාදීමත්, බදු පරිපාලනය පද්ධතියේ වැඩිදියුණු කිරීමත් සමග ආර්ථිකයේ පුනර්ජීවනය ද තුළින් 2022 වසරේ දී රජයේ ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බවට ඔවුන් පැවසිය.

මහ බැංකුව පවසන පරිදි, ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා, රාජ්‍ය ණය තිරසාර මට්ටමකින් පවත්වා ගැනීමට දායක වන අන්දමින් රාජ්‍ය මූල්‍ය හිඟය සහ රජයේ මූල්‍ය අවශ්‍යතා අඩු කිරීමට මඟ පෑදෙනු ඇත.

ඉදිරි මාසවල දී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇතැ යි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද “පදනම් විරහිත ප්‍රකාශවලට” පටහැනිව, රජය සහ මහ බැංකුව විසින් මිත්‍ර ජාතීන්ගෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායි වෙමින් පවතින අතර, එමඟින් ඉදිරි කාලය තුළ දී ගෙවුම් ශේෂය මත පීඩනය සමනය කිරීමට හැකිවන බව මහා බැංකුව කියයි.

එසේම මේ වනවිට මෙරට රජය සහ මහ බැංකුව විශ්වාස කරන්නේ 2021 වසර අවසානය වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළින් පවතිනු ඇති බව යි.

ෆිච් ශ්‍රේණිගතකිරීමේ ආයතනය විසින් චීන මහජන බැංකුව සමග ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් පහසුකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවත්, එම පහසුකම ප්‍රයෝජනයට ගැනීමට නියමිතව පවතින බවත් මහා බැංකුව නිකුත් කල  ප්‍රකාශයේ සඳහන් ය.

ශ්‍රේණිගතකිරීමේ නිරවද්‍ය බව පරීක්ෂා කළ හැකි ප්‍රථම දිනය වන 2021 වසරේ දෙසැම්බර් 31 දින තෙක් නොසිට, ශ්‍රී ලංකා ශ්‍රේණිගතකිරීම පහත හෙළීමට ෆිච් ආයතනය තීරණය කිරීම මඟින් අන් කිසිවක් නොව ඔවුන්ගේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරන අතර, මෙම පහත හෙළීම මත පදනම්ව තීරණ ගැනීමෙන් ආයෝජකයින්ට සිදු විය හැක්කේ හානියක් පමණක් බව ද මහ බැංකුව සඳහන් කරයි .

ඉදිරි කාලය තුළ දී ශ්‍රී ලංකාව සියලු ණය සේවාකරණ ගෙවීම් සිදු කරන බවට රජය පැහැදිලි සහතිකයක් ලබා දී ඇතැ යි ද, පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික පීඩන තත්ත්ව යටතේ පවා ශ්‍රී ලංකාව එකදු ගෙවීමක්වත් ප්‍රමාදකර නොමැති බව ද මහ බැංකුව අවධාරණයකර ඇත .

මේ අනුව ණය  ශ්‍රේණිගත කිරීමේ ආයතන හා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත්  කරන කරුණු කාරනා අතර , ඉතා බරපතල නොගැලපීම් හා පරස්පරතා ඇති බවක් පැහැදිලිවම පෙනෙන්නට ඇත . “කොයි හැටි වෙතත්”  මේ ගැන මධ්‍යස්තව හා  පොදු මහජනතාවගේ කෝණයෙන් බලා අපට පැවසිය හැක්කේ මෙවැන්නකි .

මහබැංකුව ඉදිරිපත් කරන කරුණු කාරනා , පැහැදිලිකිරීම් , පිළිතුරු බැඳීම් මෙන්ම අපේක්ෂා හා අනුමාන නිවැරදි නම් , වර්තමානයේ අත්විඳින දැඩි ආර්ථික අපහසුතා හා දුෂ්කරතාවන්ගෙන් ‘යාන්තමින්’ හෝ  මිදී  , එළඹෙන 2022 වසරේදී , “හුස්මක් කටක්” ගැනීමට ,ශ්‍රී ලාංකීය පොදු ජනතාවට  අවස්තාවක් , හැකියාවක් උදාවනු ඇත .

නමුත් මහබැංකුවේ  මෙම ඉදිරිපත් කිරීම් සාවද්‍යනම්……. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දිගින් දිගටම පෙන්වා දෙන කරුණු , හා අනුමාන සත්‍යනම් …. නිවැරදි නම්….. එළඹෙන 2022 වසර , ශ්‍රී ලංකාවත් , ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත්, ආර්ථිකමය වශයෙන් , “කබලෙන් ලිපට” වැටෙනා වසරක් වනු නොඅනුමානය .

 

පැතුම් වික්‍රමරත්න .

([email protected])

 

 

 

 

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?