විශේෂාංග

Share now!

රුවන් වින්ඩ්සර්

ක්‍රි.ව 1928 ජූනි මස 02 දින තංගල්ල ප්‍රදේශයේ පල්ලිකඩ ග්‍රාමයේ උපත ලබන මහාචාර්ය විනී විතාරණයන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ තංගල්ලේ ක්‍රිස්තුරාජ විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ දී ඔහු දැක්වූ දක්ෂතාවය හේතු කොට ගෙන ඔහුට ගාල්ලේ මහින්ද විද්‍යාලයට ඇතුලු වීමට හැකියාව ලැබුණි.

එකළ මහින්ද විද්‍යාලයාධිපති ධූරය දැරෑ ඊ.ඒ.විජේසූරිය මහතා හා මහින්දයේ පරිසරයට එතුමන්ගේ දිවියට බලපෑ අයුරැ වරෙක එතුමණෝම මෙසේ ලියා තැබූහ. ” මිහිඳු ඉතිහාසයෙහි පදනමේ සවි ව පවතින ඒ ගරුසරු වුඩ්වඩ් සම්ප්‍රදාය විජේසූරිය සමයේ දී මල් පල දැරූ බවක් පාමින් මෙන්,ඒ විදුහල්හි වාහල්කඩින් නික්මුණෝ රටෙහි නන් උසස් තැන් උසුලමින් මහත් සම්මානයට පත් වන්නට වූහ.

අද අප හැම දෙන”අපි මිහිඳු ආදි සිසුවෝ” යි නො පැකිළ,මහ මනින්,මහ හඬින් කවර තැනක වුව ද පවසන්නේ මේ සියලු දෑ නිසයි. විජේසූරියනට පින් ! ” එතුමන් එසේ කීමට තවත් එක් හේතුවක් වූයේ එතුමන් සමඟ මහින්දයේ එකම පන්තියේ සිප් සතර හැදෑරෑ බොහෝ සිසුන් පසු කළක මෙරට ප්‍රකට මෙන් ම විශිෂ්ට චරිත බවට පත් වීමයි. මහාචාර්ය ධර්මසේන අරම්පත් සූරීන්, මහාචාර්ය නන්දාස කෝදාගොඩ සූරීන්, මහාචාර්ය සිරී ගුනසිංහ සූරීන්, ආචාර්ය එඩ්වින් ආරියදාස සූරීන් විනී විතාරණ සූරීන් සමඟ මහින්දයේ දී එක ම පන්තියේ අකුරු කළ ළමුන් විය. විනී විතාරණ ශිෂ්‍යයාගේ ශාස්ත්‍ර ගවේෂණයේ ආරම්භය ලෙස මහින්දයේ පොත් ගුල හදුන්වාදිය හැකිය.

එහි වූ සිංහල, පාලි, සංස්කෘත හා බෞද්ධ ග්‍රන්ථයන් ඔහුගේ චින්තනයේ නිම්වළලූ පුළුල් කෙරිණ. උසස් අධ්‍යාපනයට අදාළ සුදුසුකම් සපුරා පාසලෙන් නික්මෙන ඔහු කොළඹ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිය ප්‍රථ‍ම උපාධිය 1949 ලබා ගැනීමෙන් අනතුරු ව නැවත මහින්දයට පැමිණෙන්නේ ගුරුවරයකු වශයෙනි. විශ්වවිද්‍යාලයේ දක්ෂ විද්‍යාර්ථයකු සේම දක්ෂ ක්‍රීඩකයකු ද වූ විතාරණ සූරීන් විශ්වවිද්‍යාලය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද විය.

1953 දක්වා මහින්දයේ සේවය කරන ඔහු ඉන් අනතුරුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරු සේවයට බැදුනි. 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ලැබීමත් සමඟ ගුරු වෘත්තියට සමු දෙන ඔහු ඒ වන විට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් (B.A ) හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගෙන තිබුනි. එතුමන් වර්ෂ 1966 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාවේ පුරා සිංහල , පුරාවිද්‍යාව, භුගෝල විද්‍යාව ආදී අන්තර් ශික්ෂණයන් පිළිබඳව ද, වර්ෂ 1968 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් කුමාරතුංගයන්ගෙන් දේශීය භාෂා සාහිත්‍යයට සිදු වූ සේවය පිළිබඳව ද ආචාර්ය උපාධි ද්විත්වයක් හිමි කරගන්නා ලදී.

1981 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසි දෙවසරක සේවයට සමු දී ඉවත්ව රුහුණු විශ්වවිද්‍යාලය වෙත පිය නගන ඔහු ඒ වන විට මහාචාර්ය පදවිය දරමින් සිටියේය. 1981 දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියට පත්වන විනී විතාරණයන් දොලොස් වසරක සේවයට සමු දෙමින් 1993 දී ඉසිඹු ලැමෙන් අනතුරුව ආරාධිත මහාචාර්යවරයකු ලෙස කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වලට තම අපරිමිත සේවය පුද කරන ලදී. එතුමන් විසින් කරන ලද සේවයට කෘතගුණ පිදීමක් ලෙස රුහුණු විශ්වවිද්‍යාලය විසින් සම්මානිත මහාචාර්ය ධුරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සාහිත්‍යසුරී (D.Lit) සම්මාන ආචාර්ය උපාධිය ද පිරිනමන ලදී. මහාචාර්ය විනී විතාරණයන් සිංහල හා ඉංග්‍රීසි කෘති රාශියක කතුවරයාද වන අතර එතුමන් විසින් කරන ලද සංස්කරණයන් ද රාශියකි.

ලංකාවේ සිතුවම් ගෝලය ( 1960) , භූගෝල විද්‍යා ශබ්දකෝෂය (1961), ලිපි අට (1975) ,ගොඩ මානෙල් (ඉංග්‍රීසි කාව්‍ය – 1977 ) , මිදි වත (ග්‍රීක කාව්‍ය – 1978), මේඝදූතය ( 1977), තොටගමුව ( 1986), Night of Doom (1990), බලියාගය (1992), The Oru and the Yathra (1992), පහදුව ( 1993), පබඳ අත්වැල (1993), හිරෝෂිමා ( 1995), Sun and Moon in Sinhala Culture (1997), Sri Lankan – Maldivian Cultural Affinities ( 1997), Geographical Vision – Sri Lanka ( 1999) , ආසියා එළිය ( Light of Asia ග්‍රන්ථයේ ගද්‍ය පරිවර්තනය – 1995 ), සුනිල් සමර ( 2000), ආසියා පෙහෙලිය ( Light of Asia ග්‍රන්ථයේ පද්‍ය පරිවර්තනය – 2001 ), රුබයියාතය ( පරිවර්තන – 2002), ගීතාංජලී (පරිවර්තන – 2004), පදය වාක්‍ය හා ඡේදය ( 2007), අමර සමරුව ( 2007), මුවදෙව්දාවත (2007), සසදාවත (2012), වියරණ විසිතුරු ( 2013) ආදිය එතුමන් විසින් සම්පාදනය කරනු ලදුව මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ ග්‍රන්ථ වන අතර මෙතුමන්ගේ විශිෂ්ට සංස්කරණයක් වන පිටු 1700 සමන්විත සද්ධර්මරත්නාවලිය තවමත් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී නොමැති ග්‍රන්ථයකි.

මෙතුමන් විසින් ඉදිරිපත් කළ ඇති විද්වත් මතවාදයන් ද මෙරට ශාස්ත්‍රීය ක්ෂෙත්‍රයේ මහත් කථිකාවකට ලක් වූ අතර ඒ මතවාද ලෙස, * සමන් කුළ ඈත අතීත සමයෙහි සූර්ය වන්දනා මධ්‍යස්ථානයක් වූයේ ය. * ජීවි – අජීව සශ්‍රීක වස්තු රැසක් ඒකරාශීව දැක්වෙන සඳකඩපහණ විහාර,දේවාල,රජ මාලිගා ද්වාර වල තැම්පත් ව ඇත්තේ ඒ තුළට පිවිසෙන අයට එහි ස්පර්ශය ලැබීමෙන් වාසනාව ඇති කර ගැනීම සඳහා ය. * සීගිරිය ලංකා රාජ්‍යයෙහි අගනුවර හෝ බලකොටුවක් නොවී ය. * බක් මාසය මධ්‍ය කොට ගෙන විශේෂයෙන් තරුණයන් විසින් පවත්වන ලද පර්වත උත්සවයක් වූ එහි අරමුණ රාජ්‍යයට සශ්‍රීකත්වය ගෙන දීමය.

නූතන සිංහල අලුත් අවුරුද්දේ ප්‍රබවය එය වූවා විය හැකිය. * පොළොන්නරු ගල් විහාරයේ හිටි පිළිමය බුදුරජුන් සර්වඥතා ඥානය අවබෝධ කරගත් මොහොතෙහි උන්වහන්සේගේ සිත් හි පහළ වූ සැකය පිළිබිඹු කරයි. * මුවදෙව්දාවත දෙවැනි ගජබා රජුගේ කාව්‍ය කෘතියකි. * පැරකුම්බා සිරිත කෝට්ටේ සමයෙහි විසූ කිවියන් සමූහයක් විසින් ප්‍රබන්ධිත කෙටි රාජ ප්‍රශස්ති පංති වෙයි. ඒවා එක් රැස් කරන ලද්දේ තොටගමුවේ රාහුල හිමියන් විසිනි. * මාලදිව් මුල් වැසියෝ දකුණු ලංකාවේ යාත්‍රික සමූහයකි. ඔවුන් ඇති කළ ජනපදය 10 වැනි සියවසට පෙර සමයට අයත් වේ. * සිංහලය හා මාලදිව් බස අතර පවතින සමීප සම්බන්ධතා පද වලට පමණක් නොව වාක්‍ය රටා ඇතුළු ව්‍යාකරණයට ද සම්බන්ධය.

යන මතවාද පෙන්වා දිය හැකි වේ. සිය සාහිත්‍ය මෙහෙවර හේතුවෙන් 1962 දී සාහිත්‍ය උදෙසා වූ UNESCO සම්මානය, කලා කීර්ති ජනාධිපති සම්මානය, සර්වෝදය සම්මානය,කලා මණ්ඩල සම්මානය, රෝහණ රන්සිළු සම්මානය, උරුම ප්‍රසාද සම්මානය, සාහිත්‍ය රත්න සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද මෙතුමා 2018 වසරේ ගොඩගේ ජ්‍යෙෂ්ඨ සම්මානයෙන් ද පිදුම් ලැබීය. මෙම වසරේ දී දිවමන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය විනී විතාරණයන් සිළුමිණ පුවත්පතට මෙසේ අදහස් දැක්වීය. “සාමාන්‍ය පෘතග්ජනයකු ලෙස එලෙස සම්මානයක් හිමිවීම සතුටට කාරණාවක්.

මා ලියූ පොත්පත් බොහෝමයක් බෞද්ධ පොතපත. ඒවා හැම එකක්ම වගේ මුද්‍රණය කළේ ගොඩගේ මහත්මා. මවිසින් ඉංග්‍රීසියට පෙරළන ලද ‘කව්සිළුමිණ’ ග්‍රන්ථයට පසුගියදා ග්‍රේෂන් සම්මානය හිමි වුණා. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් මට ලැබුණා. එනිසා ලේඛකයකු වශයෙන් මාත් ප්‍රකාශකයා වශයෙන් එතුමත් ඒ පිළිබඳව සතුටට පත් වුණා. ඇත්තටම මා එතුමාට ණය ගැතියි. මොකද මා ඉංග්‍රීසියට පෙරළු සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ බොහෝමයක් විකිණෙන්නේ නැහැ.

සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ ඉංග්‍රීසියෙන් කියවන අය බොහෝම හිඟයි. ඒ වුණත් අනාගත පරපුර වෙනුවෙන් ලෝක සාහිත්‍යයට මේවා හඳුන්වා දීම අවශ්‍යයි කියන මතයේ ඉඳගෙන තමන්ට ලාබයක් නොලැබුණත් මෙවැනි අති ශ්‍රේෂ්ඨ පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කිරීමට මා උනන්දු කරවමින් විශාල සහයක් එතුමා මට ලබා දෙනවා. කවදා හෝ මේවා කියවන පාඨකයා තමන්ගේ රටවල භාෂාවට මේවා පරිවර්තනය කරගෙන රස විඳීවි. ඉන් පොත පළ කිරීමේ සතුටත්, පොත ව්‍යාප්ත කිරීමේ සතුටත්, පොත අනුන් කියැවීමේ සතුටත් මට ලැබෙනවා. වසර දහයක් පමණ තිස්සේ සිට පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ වගේම පුරාණ කාව්‍ය ග්‍රන්ථ ඉංග්‍රීසි පාඨකයා උදෙසා ඉංග්‍රීසියට පෙරළා මා ආත්ම තෘප්තියක් ලබනවා. සම්මාන හිමිවීමෙන් පේන්නේ මගේ කාර්යය එක්තරා අන්දමකින් සඵල වී ඇති බවයි.” මහැඳුරුතුමන් විවිධ සංගම් හා ආයතන වල නිලතල හොබවමින් ද ඉමහත් සේවාවක් කළ අතර වර්ෂ 2006 සිට 2015 දක්වා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු සභාපතිවරයා ද, හෙළ හවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ද විය.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙන් ම සිංහල ශබ්දකෝෂයේ කර්තෘවරයා ලෙස කළ මෙහෙවර අපමණය. නිරහංකාර මෙන්ම සරළ දිවි පෙවෙතක් ගත කළ එතුමාණෝ කිවයුතු දෑ කිවයුතු තැනදී කීම ආදී සද්ගුණවලින්ම යුතු වූහ. නිරතුරුව අපේ උරුමය ලොවට ගෙන යාමට වෙහෙස වූ එතුමන් දක්ෂ කථිකයෙකු ද විය. පැය ගණනක් වුවත් නොනවත්වා සිංහල ඉංග්‍රීසි දෙබසින් ම විද්වත් කථිකාවක් කිරීම එතුමන්ට කිසිදා අපහසු නොවීය. මහ සභා මැද සුදු ජාතික ඇඳුමින් සැරසී සැහැල්ලු, සෙමින් ගමනින් එන ඔබ මුවෙහි නැඟෙන සිනහව කාට නම් කවරදා අමතක වේද ? අද උදෑසන එතුමන්ගේ වියෝව දැන ගත් මෙහොතෙහි සොවින් යුතුව අප මුහුණු පොතෙහි තැනු සටහනකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් එතුමන් ගැන මතකය අකුරු කළේ මෙසේය. හෙළ සකු මගධ ඈ බස් සේම බුදුබණ දැන දෙසු සුවහසක් සිසු කැළට නැණගුණ පළ කළ සියත් බව පුද ලබන හැම තැන භව බැමි සිදීවා ඇදුරිදු විතාරණ දයාබර මහැඳුරුතුමනි, අපගේ පැතුම ද එය ම වේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment