විශේෂාංගසිව්කොණ

Share now!

සමාජයක් තුල කලාව දේශපාලනිකව බලාත්මක වන්නේ කලින් කලටය. බොහෝ ඓතිහාසික දේශපාලන අරගල සදහා කලාව විවිධාකාරයෙන් සමාජය බලගැන්වූ අවස්ථා අප අත්විද තිබේ. කවිය, වීදි නාට්‍ය, හා ගීතය ඒ අතරින් ප්‍රමුඛවේ. නමුත් මේ වන විට රැල්ලක් මෙන් ලාංකීය සමාජය තුල පැතිර යන වීදි චිත්‍ර කලාව නොහොත් ග්‍රැෆිටි කලාව කුමන දේශපලන අවශ්‍යතාවක් ඉටු කිරීමට පැතිර යන්නේදැයි පැහැදිලි නැති මුත් ඉන් සමාජයක් වශයෙන් උකහා ගත හැකි සාධණීය කාරණා බොහොමයකි. පශ්චාත් ජනපතිවරණ සමය තුල ලාංකීය සමාජය පුරා පැතිර යන්නට වූ මෙම ප්‍රවණතාව මේ වනවිත සෑම ප්‍රධාන හා උප ප්‍රධාන නගරයන්හි පොදු පවුරු වසාගනිමින් වෛවර්ණ පැහැයෙන් නැගෙන සිත්තම් සමස්ත සමාජයම විචිත්‍රවත් කරමින් පවතියි.

පෙර කිසිදාක ලාංකීය සමාජය තුල අප අත්විද නොමැති මෙම ප්‍රවනතාවය ඉස්මතුවූ මොහොතේ පටන් සමාජයේ බාල මහලු සියලුදෙනා අතරේ විලාසිතාවක් මෙන්ම අධිවේගයෙන් හමායන සුළගකටත් වඩා වේගයෙන් වීදි සිත්තම් කලාව නොහොත් ගැෆිටි කලාව සමාජගත් විය. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ගත් කල මෙතුවක් කල් නගරයේ පවුරු කාලකණ්ණි ලෙස ආක්‍රමණය කර සිටි පෞද්ගලක පොස්ටර් වසංගතය මෙම ග්‍රැෆිටි විලාසිතාව මගින් බරපතල ලෙස අභියෝගයට ලක් විය. එය දේශපාලනිකව මෙන්ම සමාජයීය වශයෙන් ඉතාමත් සාධණීය කරුණකි. මෙම ග්‍රැෆිටි රැල්ල පසුපස යම් කිසි දේශපාලනික අවශ්‍යතාවක් සෙවනැල්ලක් මෙන් පවතින බැව් පැහැදිලිය. එමෙන්ම මෙම ක්‍රියාදාමය විලාසිතාවක් මෙන්ම රැල්ලක් ලෙස සමාජගත කරනු ලබන්නේ ප්‍රබල වෙළද ප්‍රචාරන ආයතනයක් හෝ ආයතන කිහිපයක දක්ෂ තිර රචනයෙන් බැව්ද පැහැදිලිය. එකී සැකය තීව්‍ර කරන්නේ මෙතුවක් සිත්තම් වූ බොහොමයක් කලාකෘතීන් මගින් සිංහල බෞද්ධ ජාතිකත්වයත්, යුද වීරත්වයත් නොඅඩුව දක්නට ලැබෙන බැවිනි. මේ සියල්ල අතර අවංක ලාංකිකයාගේ හදවතේ වන් සුන්දරත්වයද නොඅඩුව දක්නට ලැබේ, ඉන් සමස්ත ද්වීපයටම ලැබෙන්නේ මින් කිසිදා නොලද සුන්දර පැහැයකි. එය සමාජයක් වශයෙන් නොඅඩුව දිරිමත් කළ යුතු කරුණකි.

ග්‍රැෆිටි කලාව ලාංකීය සමාජය තුල නව මානයක් ලකුණු කළද එය දිගු කලක් පටන් දියුණු සමාජයේ වෙසෙන කලා කරුවන්ගේ නිර්මාණ් ශක්තිය නිදහස් ආරයකින් සමාජ ගත කිරීමට ඇති තවත් එක මාධ්‍යයකි. මා වෙසෙන මෙල්බර්න් නුවර ද ඇතැම් නගර ග්‍රැෆිටි කලාකරුවනට නිදහසේ සිය අදහස් සමාජ ගතකිරීම සදහා වෙන් කොට දී තිබේ. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහයද නොඅඩුව ලැබේ. නමුත් එහි මා දකින එකම වෙනස වන්නේ එකී කලා කෘති තුලින් සමාජ ගත කරනුයේ නිර්මාණාශීලීත්වය හා නිදහස මිස පාර්ලිමේන්තු දේශපාලනය හෝ දේශපාලන නායකයාගේ දෘෂ්ඨිවාදය නොවේ. එය ඉතාමත් විධිමත් ක්‍රියාවලියක් බැව්ද මෙහිලා ඉස්මතු කළයුතුය.

ලාංකීය ග්‍රැෆිටි නිර්මාණ ක්‍රියාවලිය තුල නිර්මාණාත්මක බලය ලබා දී ඇත්තේ ජනයා වෙතය, එම ක්‍රියාවලිය විධිමත් නිර්ණායකයකට හෝ පාලනයකට යටත් නොවීම සැලකිය යුතු ගැටලුවකි. ඔවුහු මෙම නිර්මාණ යොදා ගන්නේ හුදෙක් පොස්ටර් වසංගතයට පිළියමක් ලෙසය. ජනයාට පවරා ඇති බලය දේශපාලකයාවෙත ප්‍රතිආරෝපණය වීමට ලාංකීය සමාජය තුල ගත වන්නේ ක්ෂ්ණයකි. පාර්ලිමේන්තු මැතිවරණයක් කට මුල තබාගෙන පෝස්ටර් වසංගතයට එරෙහිව ග්‍රැෆිටි කලා කෘති පැමිණීම දෙයාකාරව සලකා බැලිය යුතුය. පෝස්ටර් මතින් මෙතුවක් දේශපාලනය කළ ප්‍රාදේශීය දේශපාලකයා එළඹෙන මැතිවරණයේදී මනාප පොරයට මුහුණ දෙන්නේ කෙසේද?

ලාංකීය මැතිවරණ ක්‍රියාවලිය තුල පොස්ටර් යනු ප්‍රබල දේශපාලන අවියකි. ඔවුන් ඡන්දය සදහා පෝස්ටර් වෙනුවට වෙනත් විකල්පයක් වෙත ගමන් කරයිද නැතහොත් බලය සතු දේශපාලකයා මෙම අහිංසක ග්‍රැෆිටි නිර්මාණයම සිය මැතිවරණා ප්‍රචාරණය කරගනීවිද යන්න ඉවසීමෙන් බලා හිද වටහා ගත යුතුය. මක් නිසාද යත් මේ ලියැවෙන්නේ අප අත් විද අත් දැක ඇති සිරි ලංකාව පිළිබදව බැවිනි. දෙවැනි නිගමනය පළමු වැන්නට ප්‍රතිවිරුද්ධ වේ. යම් හෙයකින් ගැෆිටි නිර්මාණ හේතුවෙන් දේශපාලකයා පොස්ටර් බැනර් වෙනුවට වෙනත් පරිසර හිතකාමී විකල්පයකට ගමන් කළහොත් මෙතෙක් පොස්ටර් හා බැනර් බලයෙන් පමණක් මනාප දඩයමේ යෙදුනු දේශපාලන මැරයන්ගේ පාර්ලිමේන්තු සිහින බොදවී යනු ඇත. ඒ වෙනුවට ජනතාවගේ සිතේ පමණක් ඇල්වුණු පොස්ටරයේ මහිමයෙන් දේශපාලනය දික්විජය කරනා දේශපාලකයින් හට ඉඩ හසර සැලසෙනු ඇත.

කුමකින් කුමක් වන්නේද යන්න නිගමනයන්ට එළැඹීමට තවමත් කල් වැඩිය මක් නිසාද යත් ග්‍රැෆිටි කලාව මගින් නගරය අලංකාර කරන අතරම මජර පෝස්ටර් දේශපාලන ක්‍රියාවලියට ද නැවතීමේ තිත තබන්නේද එසේත් නැතහොත් මෙම අලංකාර ප්‍රවනතාව තවත් දේශපාලන මඩ ගොහොරුවක්ම පමණක් වේද යන්න තවත් නොබෝ දිනකින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය තුල ලාංකීය ජනයා අත්විද හිතහදා ගත යුතුය.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment