නවතම පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ තරගාවලි ජයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වසර 5 කට පසු එක්දින තරගයකදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) හැකියාව ලැබිණ. ඒ අනුව 2015 පරිදිම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිට මෙම තරගයට අවතීර්ණ වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විතව තරගාවලිය අවසන් කර ගැනීමට නම් මෙම තරගයේ ජය අත්‍යවශ්‍ය විය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ කරට කර සටනක් දීමට කොදෙව් පිල සමත් වුවත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම හමුවේ ඒ සියල්ල දෙවැනි තැනට වැටිණ.

ලකුණු 308 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී අවසන් පන්දු 28 දී ලකුණු 55 ක් ලබා ගැනීමේ අභියෝගය පවතිද්දී පිටියට පිවිසි ෆේබියන් ඇලන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 15 කදී ලකුණු 37 ක් රැස් කිරීමට සමත්වීම නිසා ජයග්‍රහණය අවසන් පන්දුවාරය තෙක්ම දෙපිළට දෝලනය විය. මැතිව්ස් විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගත යුතු වූ අතර පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ ෆේබියන් පරතරය ලකුණු 9 කට අඩු කළේය. එහෙත් ඊළඟ පන්දුවේදී එතෙක් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ  ෆේබියන් දැවී ගියේ ඩීප් මිඩි විකට්හි පන්දු රැකී කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම නිසාය.

පන්දු යැවීමේදී පාදයේ හට ගනු ලබන ආබාධයක් හේතුවෙන් ගෙවී ගිය වසර කීපයේදීම පන්දු යැවීමෙන් වැළකී සිටි මැතිව්ස් 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පන්දුවාර 10 ක් යොමු කිරීමෙන් පසු යළිත් පන්දුවාර 10 ක් යවන ලද්දේ අද තරගයේදීය. එහිදී සිය පන්දු යැවීම ලකුණු 59 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් කරගත් දකුණත් මඳ වේග පන්දු යවන්නා ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය පිතිකරුවන් වූ නිකොලොස් පූරාන් (50), කිරන් පොලාර්ඩ් (49), ජේසන් හෝල්ඩර් (08), සහ ෆේබියන් ඇලන් ගේ කඩුලු දවා ගත්තේය. නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීමෙන්ද ලක්ෂාන් සඳකැන් දැඩි ප්‍රහාරයකට ලක්වීම මත පන්දු යැවීමට පැමිණි මැතිව්ස් දක්වන ලද දක්ෂාතව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

ඉනිම ඇරැඹි ෂායි හෝප් සහ සුනිල් අම්බ්‍රිස් සාර්ථක ආරම්භයක් කොදෙව් දෙමින් සිටියදී නොසිතූ පරිදි ගුග්ලි පන්දුවකින් අම්බ්‍රිස්ව අතරමං කළ වනිඳු හසරංග එම සම්බන්ධතාව ලකුණු 111 කදී නවතාළීය. උදාන විසින් ෂායි හෝප් ව දවා ගැනීමෙන් පසු සිය කඩුලු දඩයම ඇරඹූ මැතිව්ස් ප්‍රථම කඩුල්ල වශයෙන් නිකොලොස් පූරාන්ව පිටියෙන් ඉවත් කළේය.

කිරන් පොලාර්ඩ්ගේ පාදයේ වැදී ගිය පන්දුවකට ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී ඩැරන් බ්‍රාවෝ දුවද්දී දැවී යෑමකට හසු වුවද ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ පොලාර්ඩ්ගේ දැවී යෑම විය. එබැවින් පාදයේ වැදුණු පන්දුව තෙවැනි විනිසුරු වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා පිල ඉල්ලීම් කළ අවස්ථාවේදී පොලාර්ඩ්ගේ ඉවසීම ඉක්මවා ගිය අයුරක් දක්නට ලැබුණි. මෙම තත්ත්වය මත මඳ වේලාවක් හතරේ සීමාව තුළ රැඳී සිටීමට බ්‍රාවෝට සිදු වුවත් තීරණයේ වෙනසක් නොවිණ.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් කොදෙව් පිලට ලබා දුන්හ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත්වද්දී ලකුණු 307 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

ආරම්භයේ සිට අවසානය දක්වාම වගකීම කුමක්ද යන්න නිසියාකාරව වටහා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා ලකුණු 300 කට එහා ඉලක්කයකට මූලික පදනම එක් කළහ. කණ්ඩායම් ඇතුළත් පිතිකරුවන් 11 දෙනාගෙන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළ අතර ඉන් 6 දෙනෙකුම ලකුණු 25 සීමාව ඉක්මවාලූහ. ඒ අතරින් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ.

පන්දු 47 කදී ලකුණු 51 ක් රැස් කරමින් සිය 5 වැනි අර්ධ ශතකය රැස් කරගත් ධනංජයත් පන්දු 31 කදී වටිනා ලකුණු 38 කින් ඉනිම පෝෂණය කළ තිසර පෙරේරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයත් වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා අවසන් පන්දුවාර 10 ඇතුළත ලකුණු 88 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා ඉනිම අවසන්වීමට පන්දු 21 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ජේසන් හෝල්ඩර් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ට 6 සහ 4 පහර බැගින් එල්ල කරමින් පන්දු 09 කදී ලකුණු 16 ක් රැස් කළේය. වනිඳු විසින් එල්ල කරන ලද එම හයේ පහර ඉනිමේ එල්ල වුණු වර්ණවත්ම පහර බවට අවිවාදිතය. පිට ඉන්නට ඈතින් ඇදී ආ පන්දුවේ මාවත වඩා එහාට ගොස් එල්ල කරන ලද එම පහර ස්කෙවයාර් ලෙග් කළාපයට ඉහළින් ඇදී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 300 සීමාවද සටහන් කරමිනි.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 10 ඇතුළත ලකුණු 60 ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් එක් කළහ. පළමු පන්දු වාරය යැවූ ෂෙල්ඩන් කොට්‍රල් පළමු පන්දුවාරය නිලකුණු පන්දු වාරයක් බවට පත් කිරීමට සමත් වුවත් වැඩි කලබලයක් නොපෙන්වූ ආරම්භක පිතිකරුවෝ දුර්වල පන්දු එන තෙක් ඉවසිලිවන්ත වූහ. දුර්වල පන්දු ලද සැනින් පහර පිට පහර එල්ල කළ දකුණත් වමත් පිතිකරු සුසංයෝගය පළමු පන්දුවාර 10 අවසන් වන විට හතරේ පහර 9 කින් ශ්‍රී ලංකා ඉනිම සරසාලූහ. ඉන් පහර 5 ක් අවිෂ්කගේ පිත්තෙන් වාර්තාවූ ඒවාය.

මුලු ලකුණු සංඛ්‍යාව 88 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය වෙත යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුවත් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා යුගල ඉනිමේ මැද පන්දුවාර වල වගකීම භාර ගත්හ. ඔවුන් පන්දුවට පහර දෙද්දී කොදෙව් පන්දු යවන්නන් ඉතා හොඳන් පන්දු යැවූ බැවින් ලකුණු රැස් කිරීම තරමක් මන්ද ගාමී විය. එහෙත් ඉතා පරෙස්සමින් ලකුණු පන්දුවට පහර දුන් කුසල්ලා යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළහ.

පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 07 ක් ලබා සිටියදී අකුණු සැරක වේගයෙන් යුතුව කුසල් පෙරේරා එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිටි රොස්ටන් චේස් අතින් ගිලිහී යෑමේ වාසියෙන් සිය ඉනිම ලකුණු 44 ක් බවට පරිවර්තනය කරගත්තේය. දෙවැනි තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් අද තරගයේද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවේය. පන්දු 48 කින් සමන්විත වූ කුසල් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් විණ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි