විශේෂාංගසිව්කොණ

Share now!

කොරෝනා නොහොත් කෝවිඩ් -19 වෛරසය මිනිස් ඇසට නොපෙනෙන තරම් අංශු මාත්‍රික වුවද එකී කුඩා වෛරසයකට කළ හැකි විනාශය කෙතරම් දැයි අපි මේ මොහොත වන විට හොදින් අත් විදිමින් සිටිමු. මුලින් චීනය මෙම වෛරසය හමුවේ දණ නමන විට චීනයෙන් ගිළිහෙන ආර්ථික හා සේවා ප්‍රථිලාභ උදුරා ගැනීමට දෙතොල ලොවමින් සිටි සුපිරි අමෙරිකාව මෙන්ම සමස්ත යුරොපා අධිරාජ්‍යයම මේ මොහොත වන විට මෙම වෛරසයේ ආපදාවට ලක්ව මුළුමනින්ම පාහේ අඩපණව සිටී. කොටින්ම මේ සමස්ත මිනිස් ජනගහණයෙන් තුනෙන් දෙකක් මේ මොහොතේ කල් ගෙවන්නේ සිය නිවෙස් වලට කොටු වෙමිනි. තත්වය ඒතරමට භයංකාරය.

පවතින තත්වය යටතේ මා වෙසෙන ඔස්ට්‍රේලියාවේත් බොහෝ රාජ්‍යයන් තුලත් වෛරසයක් සමග පොර බදින වෙහෙසට පත් ආණ්ඩුවක් මිස දේශපාලනයක් දක්නට නොමැත. එය මේ අවස්ථාවේ ලංකාව තුලත් දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. ආණ්ඩුවේ මුවින් ගිළිහෙන වදනක එල්ළී මාධ්‍ය ඉදිරියේ විපක්ෂය පවත්වන බොරු සන්දර්ශන අද දක්නට නොමැත. ඒ වෙනුවට සියල්ලන්ම පාහේ දිවි බේරා ගැනීම සදහා කොහේ හෝ දිව යමින් සිටියි. කොටින්ම ලංකාව තුල මෙම තත්වය සුවිශේෂී වන්නේ රාජ්‍යය තුල දේශපාලනයක් පමණක් නොව සක්‍රීය පාර්ලිමේන්තුවක්ද නොපැවතීමයි. රටක සක්‍රීය පාර්ලිමේන්තුවක් නොපැවතීම ප්‍රජාතන්ත්‍රවාදය මතින් පැන නගින දේශපාලන සංකල්පීයමය ගැටලු කිහිපයක් ඉස්මතු කරන නමුදු ලංකාව වැනි බහුතර “දේශපාළුවන්” වෙසෙන රාජ්‍යයක එකී දේශපාළුවනට දිනකට කෝටි ගණනක මුදලක් කාබාසිනියා කරමින් රැස්වී වල්පල් දෙඩීමට පමණක් පාර්ලිමේන්තුවක් නොමැතිවීම සතුටට කරුණක් බව ලක් වැසි දනා මේ ආපදා තත්වය යටතේ කදිමට වටහා ගත් ප්‍රායෝගික එක් සත්‍යයක් විය යුතුය. සමාජ මාධ්‍යතුල පමණක් ඇතැම් නොමේරූ අදේශපාලනික අදහස් කිහිපයක් මිස සමස්ත රාජ්‍යය තුලම දේශපාලනය ගිළිහී මිනිසුන් වෙන් වෙන්ව ගුළි ගැසී අයැදිමින් සිටින්නේ දේශපාලනිකව වෙන්වී අඩ දබර කර ගැනීම නොව ජීවිතයයි.

දිනෙන් දින කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මෙලොව හැර යන ජනගංගාව දෙස බලන කල මෙකී වෛරසය විසින් දඩයම් කරන්නේ මෙලොව වෙසෙන මනුෂ්‍යයා මිස ජාති, වර්ණ, කුල, නොවන බව සමස්ත මානව වර්ගයාටම වැටහී හමාරය. එනයින් මෙම මොහොතේ මිනිසාට වැදගත් වන්නේ තමන් වෙත වේගයෙන් දිව එන කොරෝනා වෛරසය හිතා මතා මග හරිමින් තමන්ගේ පණ බේරා ගැනීම මිස වෙනත් කිසිවක් නොවේ. කොටින්ම සවභාවධර්මයට පවා සිය දබැරැගිල්ල උළුක් කරමින් අභියෝග කරමින් සිටි දියුණු සිතැති මානවයා හට මේ මොහෝතේ කිසිත් කර කියා ගත නොහී අසරන වී සිය පියැසේ කොතැනක හෝ බිත්ති මුල්ලක සැගව සිටින්නට සිදුවතිබේ. මෙතුවක් අනෙකාවද පෙරළාගෙන සිය භෞතික පරමාර්ථයන් හඹා ගිය මිනිසාට ඒ සියල්ලක් අතහැර කුඩා වෛරසයක රග බලමින් සිටින්නට සිදුව තිබේ. මේ මොහොත සමග අජාහන් භ්‍රහ්මවංශ හිමි කළ එක් සුවිශේෂී ප්‍රකාශයක් සිහි ගැන්වේ. “වේගයෙන් ඇදෙන මොටර් රථයෙන් බැස හිමින් සිය ගමන යන්නට පටන් ගත් දා සිට මිනිසා සිය දෙපස ඇති සුන්දරත්වය අත් විදිනු ඇති බවයි. මෙම සුවිශේෂී මොහොත සිතන්නට හැකි සිතක් ඇති මානවයාට නැවතත් තමන් මෙතෙක් පැමිණි මාර්ගය දෙස පසු විපරමක යෙදෙන්නට කදිම අවස්ථාවක් සලසා දී තිබේ. ඒ පසු විපරම තුල තමන්ගේ අසල්වැසියා ගැනත්, මෙතෙක් මානවයාගේ දියුණුවත් සමග ස්වභාවධර්මයේ මාතාව වෙත සිදු කරන ලද බලවත් නොහොබිනා ක්‍රියාවන් පිළිබදවත් තවත් වරක් සිතීමට දියුණු මානවයා අවස්ථාවක් කොට ගත යුතුය.

මේ මොහොතේ රතු ඉන්දියානු නායකයකු වූ සියැටෙල්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය මෙනෙහි කිරීම වඩාත් යෝග්‍යය යැයැ සිතේ එනම් “අවසන් ගසද කපා දැමූ කල, අවසන් ගග ද දුෂණය කළ පසු, මෙනම අවසන් මාළුවාද අල්ලා ගත් පසු, මුදල් අහාරයට ගැනීමට නොහැකි බව මිනිසා වටහා ගනු ඇත” යනුවෙනි.

කලින් කලට පැමිණෙන ව්‍යවසනයන් හමුවේ මානවයා කෙතරම් ආපදාවට පත් වුවද ඉන් ලොව අවසන් නොවී හෙට හිරු පායන බැව් අප සිහි පත් කොට ගත යුතුය. එනයින් හෙට හිරු උදාවන තුරු තමන් අනෙකා වෙනුවෙන්ද එසේම තමන් වෙනුවෙන්ද මේ මොහොතේ ප්‍රවේශම් වී පොදු මානව සංහතිය වෙනුවෙන් යහපත් හෙටක අවදි වන්නට ලැබේවා යන්න සිවුකොණ අපගේ පැතුමයි.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment