විශේෂාංග

Share now!

මහාචාර්ය කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

ධර්මදෙශනය වූ කලි සමාජයට විහිළු සපයන මාධ්‍යයක් නොවේ. ධර්මදේශකයා ධර්මාසනය රඟමඬලක් කොට ගෙන රංගනයක යෙදෙන නළුවෙක් ද නොවේ. අද ලංකාවෙහි පැවැත්වෙන බොහෝ ජනප‍්‍රිය ධර්මදේශනා දෙස විමසිල්ලෙන් බලන්නෙකුට පෙනී යනුයේ ඒවා ශ‍්‍රාවකයන්ගේ සිත්තුළ නවනළු රස ඉපදවීට උපයෝගී කරගෙන ඇති සැටියකි. ශෘංගාර හාස්‍ය ජුගුප්සා වැනි නාටක රසයන් දැනවීමට ඇතැම් දේශකයන් උත්සාහ කරන්නේ විදුෂක චරිතයන්ට පන පොවමිනි.

ජනප‍්‍රිය වීමේ හීනමානයෙන් පෙළෙන ඇතැම් හිමිවරුන් කටට එන ඔනෑම දෙයක් කෙළතොල්ලන් ලෙස දෙසා බෑමට ධර්මදේශනය කදිම අවස්ථාවක් කර ගන්නා බවක් ද දක්නට ලැබේ. මෑතකදී සමාජ මාධ්‍යවල සංචරණය වූ ධර්මදේශනයක දේශකයකු බුදුන් වහන්සේ කරුණා මෛතී‍්‍ර ගුණ කිසිවක් නැති සමාජය විසින් පිළිකුළ් කරන ලද පිංගුත්තරයකුගේ තත්වයට මවා පෙන්වන ලදි. තවත් සමහර දේශකයෝ පාලි බසින් ඇති ධර්මසංකල්පයන් දැක්වෙන පාලිභාෂාමය පදයන් සිංහල පදයන් සේ සළකා නිර්වචන සපයමින් විතුන් සිනා සාගරයක ගිල්වති. මේ අතර මුඛවිකාර හස්තවිකාර පාමින් කොක්හඬලා සිනහසෙමින් වානරාකාර දෙශන ශෛලියක් අනුගමනය නරන්නෝ ද වෙති.

මේ සියල්ලට ම වඩා ධර්මය විකෘති කොට එය සත්‍ය ධර්මය ලෙස හුවා දැක්වීම අද ධර්මදෙශනයේ නවතම මාදිලිය වී ඇත. සූත‍්‍රධර්මයන්හි එන පදයක සන්දර්භගත අර්ථවිවිධත්වයන් නොදැන සූත‍්‍රයන්හි එම පදය යෙදෙන හැම තැනකටම එකම අර්ථය දක්වමින් ශ‍්‍රාවකයන් අවුලෙන් අවුලට පත් කරන ධර්මදෙශකයන් කොතෙකුත් දක්නට ඇත. මෙතෙක් සාම්ප‍්‍රදායිකව දැක්වෙන අර්ථ සාවද්‍ය බව පවසමින් තමන් ඉදිරිපත් කරන අර්ථ නිවැරදි බව ඔප්පු කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ සූත‍්‍රයන්හි යෙදී ඇති වචනවල ශබ්ද සාම්‍යය පදනම් කරගනිමිනි. ඒවා අතර අර්ථ වශයෙන් ඇති විවිධත්වය ගැන ඔවුනට කිසිදු හැඟීක් නැත. මේවා ගැන කිසිත් නොදැන ඔවුනට සවන් දෙන්නන් ඔවුන්ගේ ප‍්‍රකාශ පිළිගෙන මිථ්‍යාමත දරන්නන් වීම නොවැළැක්විය හැකිය. උපසම්පදා යන වචනය ශාසනික ව්‍යවහාරයෙහි යෙදෙන්නේ තාක්ෂණික පදයක් වශයෙනි. එයින් අදහස් වන්නේ නිසිවියට පත් භික්ෂුවක හෝ භික්ෂණියක ආරාමික සංස්ථාවේ පූර්ණ සාමාජිකත්වයට ඇතුළත් වීමයි. නමුත් විකෘති දේශකයන්ට අනුව නියම උපසම්පදාව නම් කුසලස්ස උපසම්පදා යන තන්හි දැක්වෙන උපසම්පදාවයි. එය පරමාර්ථ උපසම්පදාවක් ලෙස ද නම් කෙරෙයි. එකම වචනය දෙතැනක අර්ථදෙකක් සඳහා යෙදී ඇති ආකාරය වෙන් කොට දැනගැනීමේ හැකියාවක් ඔවුනට නැත. පාලි වාග්ව්‍යවහාරය පිළිබඳ නිසි අවබොධයක් නොමැති මෙබඳු දෙශකයන් නිසා ධර්මවිනය සංකල්ප විකෘති කොට ඉදිරිපත් කෙරෙන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ.

බොහෝවිට රහතුන් ලෙසින් පෙනී සිටිමිින් ධර්මවිනය විකෘති කරන්නන් තමන් තුළ ඇති දුර්වලතා වසා පෙන්වීමේ මගක් වශයෙන් ද ධර්මවිනය පිළිබඳ මිථ්‍යා මත පතුරුවන බවක් ද දක්නට ලැබේ. රහතකුයයි හඟවමින් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන ඉරියව් විදහා පාමින් හැසිරෙන භික්ෂුවකගෙන් වරක් මාධ්‍යවේදියකු ඒගැන විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ සිතනිවන උපසමය ඇතිකරවන යමක් වේද එය විනය වන අතර එය තමන් තුළ ඇති බවයි. ධර්මය තුළ විනය ද ගැබ් වන බව සැබෑවකි. එහෙත් භික්ෂුවිනය හෙවත් ප‍්‍රඥප්ති විනය ධර්මවිනයෙන් අන්‍ය වූවකි. මේ දෙක එකක් වශයෙන් හුවා දැක්වීම හිතාමතා හෝ අනවබොධය නිසා කෙරෙන ධර්ම විකෘතියකි.

භික්ෂූන් පෞද්ගලිකව දුසිල්වත් වීමට වඩා ධර්මවිනය විකෘති කොට එය ජනගත කරවීම මහා අපරාධයකි. බුදුන්වහන්සේ ලෝකවාසීන්ගේ හිතසුව සඳහා ඉදිරිපත් කරනලද්දේ මුල මැද හා අග යහපත් වූ අර්ථව්‍යංජන සහිත වූ හාත්පසින් ම පිරිසුදු වූ දහමකි. එය ස්වාක්ඛාතයයි පැවසෙන්නේ එබැවිනි. එබඳු දහමක් තම තමන්ගේ රුචිකත්වයට අනුව විකෘති කොට දැක්වීමෙන් සිදුවනුයේ ධර්මයේ අරමුණු සාධනය වීම නොව බාධනය වීමකි. අර්ථව්‍යංජන සහිත වූ දහමක අර්ථව්‍යංජන විකෘති කෙරෙන විට එයින් සිදුවිය හැකකේ අහිත අවැඩ මිස හිතවැඩ නොවේ. මේ නිසාම තමන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මය විපරීත කරන්නට උත්සාහ කළ කවරකුට වුව ද මොඝ පුරුෂයායි නිග‍්‍රහ කොට නිසි විධිය පැහැදිළි කිරීමට බුදුන් වහන්සේ කි‍්‍රයා කළහ. සාති, අරිට්ඨ වැනි භික්ෂූන් පිළිබඳ කතාපුවත් තුළින් පැහැදිළි වන්නේ එයයි`.

ධර්මවිනය විකෘති කොට දක්වන්නා තමන් වැරදි මගක යනු පමණක් නොව අනුගාමිකයන් පිරිසකගේ ද ජීවිත අනතුරෙහි හෙළන්නෙකි. අනෙක් අතට එබඳු පුද්ගලයන් මගින් පශ්චාත් ජනතාව මංමුළාවක හෙළෙනු ඇත. දහම පිළබඳ විකෘති මතිමතාන්තර ජනගත වීම නිසා අනාගතයෙහි පිරිසුදු බුදුදහම කුමක්දැයි වටහා ගත නොහැකිව ජනතාව මුළාවෙන් මුළාවට පත්වනු නොවැළැක්විය හැකිය. අවුරුදු දෙදහස් පන්සියයක පමණ වන කාලය පුරා ධර්මධරයන් අතින් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ ධර්මය අන්තර්ගත පාලි ති‍්‍රපිටකයේ පවත්නා තත්වය යථාස්වරූපය නොවේ යයි පවසන අරහතුන්යයි කියා ගන්නවුන්ගේ ප‍්‍රලාප පිළි ගන්නා පිරිසක් සමාජගතව ඇති සැටි දැනටමත් දැක ගත හැකිය. එබඳු තත්වයක් යටතේ අනාගතයෙහි බුදුදහම කවර තරමේ විපර්යාසයන්ට පත්විය හැකිදැයි කෙනකුට සිතා ගත හැකිය.

සද්ධර්මය විකෘති කොට දැක්වීම දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරීම මුළු මහත් මානව සංහතියට ම කරන මහා අපරාධයක් වන බැවින් එසේ වීමට ඇති අවස්ථාවන් වැළැක්වීම සඳහා ධර්ම විනයධර මහ තෙරවරුන් අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගත් බවට ශාසන ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. ථෙරවාද ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ප‍්‍රධාන සංගායනා තුනම සිදු වූයේ එබඳු කි‍්‍රයා මාර්ගයක ප‍්‍රතිඵලයක් වශයෙනි. අද පවතින ධර්මවිකෘති තත්වයන් යටතේ නිහඬව සිටී නම් එය ශාසනභාරධාරීන් තම වගකීම් පැහැර හැරීමකි. විශෙෂයෙන් ග‍්‍රන්ථධුරයෙහි නියැලෙන භික්ෂූන්ගේ වගකීම වන්නේ ධර්මය ආරක්ෂා කරගැනීම හා ප‍්‍රවර්ධනයයි. ධර්මදේශනයට නවක භික්ෂූන් යොමු කිරීමේදී ඒ සඳහා යොග්‍ය වන්නන් තෝරා බේරා ගැනීමේ ක‍්‍රමවෙදයක් නොපැවතුනහොත් ධර්මදේශන අයාලේ යාම නොවැළැක්විය හැකිය.

ප‍්‍රමිතිගතව අටුවාකරණයට බුද්ධඝොෂ හිමියන්ට හැකියාව තිබේදැයි විමසීමට මහාවිහාරීය භික්ෂූන් කි‍්‍රයා කළ සැටි අපි දනිමු. වර්තමානයේ ද ධර්මදෙශනයේ ප‍්‍රමිතිකරණයට අදාළ කි‍්‍රයාමාර්ග නොගන්නේ නම් ධර්මයට සිදුවන අන්තරාය සීමා ඉක්මවා යනු ඇත. ති‍්‍රපිටකය ග‍්‍රන්ථගතව තිබීමෙන් පමණක් ධර්මයේ පාරිසුද්ධිය රැුකෙනු ඇතැයි සිතා සිටින්නේ නම් එය මුළාවක් වනු නො අනුමානය.

මහාචාර්ය කපිල අභයවංස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment