විශේෂාංග

Share now!

චන්ද්‍රා කපුකොටුව

මම ගෙට වෙලා දවස් 21 කුත් පහුවෙලා. ගෙට උනාමත් දෙයියන්ගේ ලෙඩ හැදුනාමත් සති දෙකෙන් එළියට යන්න පුළුවන්. ඒත් අපට එළියට යන්න බෑ. තහනම්. කොරෝනා අපව නිවාස අඩස්සියේ තියලා.
ඉස්සර අපේ බැල්කනියෙ ඉඳලා බැලුවම වික්‍රමසිංහපුර අයිටීඑන් කුළුණ, කොටුවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ලංකා බැංකුවේ පිට්ටු බම්බුව, කොළඹ වරායේ දොඹකර තුනක ඔළුගෙඩි පේනවා. තෙරක් නැති ඉන්දියන් සාගරය සිතිජය දක්වාම පේනවා.
සමනොළගිර දක්වා පෙනුණු අපේ අහස ට මොකද උනේ?. කිලෝමීටර් හතරක් පහක් දුරටවත් නොපෙනෙන තරමට වායුව දූෂණය වෙලා. නූතනයේ ඒකට කියන්නේ දියුණුව කියලා.
අලුත උපන් ඇල්ටෙයාර්, සී සී සී, අයිස්ලන්ඩ්,එම්පරර්,හයාට්,ෂැංග්‍රිලා, පර්ල් වගේ යෝදයෝ පෙළට හිටගෙන නගරය වහගෙන ඉන්නේ. ඉවරයක් නැතුව ඉදිවුණු මහල් නිවාස වලින් සාගරය හුඟක් දුරට වහගෙනයි ඉන්නේ. මගේ ලෝකය කුඩා වෙලා. බැල්කනියෙදි පෙනෙන පුංචි ලෝකය දිහා බලාගෙන ඉන්නකොට මේ විදිහට කොටු වෙලා හිටපු තවත් කෙනෙක් ගැන මතක් වෙනවා.උන්මාද චිත්‍රා? නෑ, එහෙනම් බිම්ගෙයි සිරකරුවා, සිටුවර මොන්තක්‍රිස්තො, මැන්ඩෙලා?. ඒත් නෑ. ඈ ඈන්. ඈන් ෆ්‍රෑන්ක්.

අපට තව කොච්චර දවසක් මෙහෙම ඉන්න වෙයිද දන්නෙ නෑ. ඒත් පුංචි ඈන් දවස් හත්සිය හැට දෙකක්ම මෙහෙම හැංගිලා හිටියා.
අවුරුදු දෙකකටත් වැඩි කාලයක්. තමන්ගේම ගෙදර, නිරෝධායන වෙනවා වගේ. තාත්තගේ කාර්යාල ගොඩනැගිල්ලේ ඇනෙක්සියක. අම්මයි තාත්තයි අක්කයි වැන් පෙල්ස් පවුලේ අයයි ඔක්කොම අට දෙනෙක්.
1933 ඇඩොල්ෆ් හිට්ලර් බලයට එනකොට ඈන්ලා හිටියේ ජර්මනියේ මියුනිච් නුවර. තාත්තා ඔටෝ ෆ්‍රෑන්ක් යුදෙව් ජාතික ව්‍යාපාරිකයෙක්. අම්මා ඊඩිත්,අක්ක මාගෝ. පවුලේ පුංචි සුරතලී ඈන්ට අවුරුදු හතරයි.එයා උපන්නේ 1929 ජුනි 12 දා.
හිට්ලර්ගේ යුදෙව් විරෝධී ක්‍රියාකාරකම් එන්න එන්නම දරුණු වුණා. එන පොට හොඳ නැති බව දැනගත් බොහෝ යුදෙව්වෝ ජර්මනියෙන් පලා ගියා. ෆ්‍රෑන්ක් පවුලත් ගේදොර ව්‍යාපාර අත්හැර ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් නගරයට පැනගත්තා. රටවල් දෙකක් වුණාට ගොඩබිමින් පැය කිහිපයක ගමනක්.
ඕලන්දයේ (දැන් නෙදර්ලන්තයේ) ඇම්ස්ටර්ඩෑම් වල රිවුරන්බර්ට් හි මර්වෙඩෙප්ලේන් අංක 37, ඒ තමයි ෆ්‍රෑන්ක් පවුලේ අලුත් ලිපිනය. තාත්තගේ “ඔපෙක්ටා”(Opekta) ජෑම් ගබඩාව බිම් මහලේත් කාර්යාලය පළමු මහලේත් තිබුණා. කාර්යාලය පිටුපස කොටසේ ඈන් ලා හිටියා. පුංචි ඈන්ට ප්‍රීතිමත්ම කාලයක්. අම්මා, තාත්තා, අක්කා, ඉස්කෝලෙ, ටීචර්, යාලුවෝ සුරතල් සත්තු එක්ක සතුට ඉහවහා ගිය කාලයක්. එයා ආසාවෙන් ඉගෙන ගත්තා.
කාලය ගෙවී යද්දී හිට්ලර් ජර්මනිය වේගවත්ව සංවර්ධනය කලා. හැමතැනම ගොවිබිම්.අවුරුදු කිහිපයකට සෑහෙන්න තරම් ආහාර ගබඩා වල තිබුණා. හැමතැනම නව කර්මාන්තශාලා. අල්පෙනෙත්තේ ඉඳලා ගුවන් යානා දක්වා හැදුවා. වෙඩි උණ්ඩයේ සිට ටෝර්පිඩෝව දක්වා හැදුවා. ඔරුවෙ පාරුවේ ඉඳලා මහා යුද නැව් දක්වා හැදුවා.
මුළු ජාතියම එකසේ ඔහුගේ අණට කීකරු වුණා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය තම ආර්ය ජාතිය බව කියමින් හමුදා ශක්තිය වැඩි කරමින් යුදෙව්වන් හා කොමියුනිස්ට්වරුන් ඝාතනය කළා. අසල්වැසි ඉතාලිය ප්‍රංශය ඔහුට හිතවත්ව හිටියා. ප්‍රංශ නායක ඩි ලාඩියා, ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි සහ ආඥාදායක හිට්ලර් සමඟ බ්‍රිතාන්‍ය අගමැති චැම්බලේන් සාමය සඳහා සාකච්ඡා කළා. සාකච්ඡා අසාර්ථකයි.
යුරෝපයෙන් භාගයක ම යුදෙව්වන් දඩයම් කළ හිට්ලර් ගේ නාසි හමුදා 1940 මැයි මාසයේදී ඕලන්දයට කඩා වැදුනා.යුදෙව්වන්ව පහසුවෙන් හදුනා ගැනීම සඳහා ඔවුන්ගේ තාරකා සලකුණ (ඊශ්‍රායල් කොඩියේ ඇති තරුව) පැළඳීම අනිවාර්ය කෙරුණා. රුධිරයෙන්, හිස්කබල ඇතුළු ශරීරාංගවලින් යුදෙව්වන් වෙන්ව හදුනාගත හැකි ක්‍රම සහ විධි හිට්ලර්ගේ හමුදා සතුව තිබුණා. බයිසිකලය හැර වෙනත් වාහන යුදෙව්වන්ට තහනම් වුණා. දරුවන්ට යුදෙව් පාසල් පමණයි. අනිත් පාසල් තහනම්. ගැහැණු පිරිමි බොහෝ දෙනෙක් නාසින් ගේ වැඩ කඳවුරුවලට යැවුනා. අපේ පැංචි ගෙ අක්කා මාගො එයත් ඒ අතර වුණා. ඒ වෙනකොට මාගො ට වයස 16යි. ජීවිතය බේරාගන්න ජර්මනියෙන් පැන ගත්තත් යුදෙව්වන් හැමෝම වගේ අනිත් අවට රටවලදී හිට්ලර්ගේ නාසි හමුදාවට කොටු වුණා.
1942 හිට්ලර් අවසාන තීන්දුව ගත් අවුරුද්ද. හොලෝකෝසට් (Holocaust- දවා අලු කිරීම ) තීරණය ඔහු ගත්තා. ලොරි වල දුම්රියවල දහස් ගණන් දස දහස් ගණන් යුදෙව්වන් ඝාතනාගාර වලට යැවුනා.
භීතියට පත් ෆ්‍රෑන්ක් පවුල කාර්යාල ගොඩනැගිල්ලේ අභ්‍යන්තර ඇනෙක්සියේ සැඟ වුණා.කිසිම හඬක් නැගුවේ නෑ. දැඩි නිශ්ශබ්දතාවක්. පහන් දැල්වූයේ නෑ.ඔවුන්ගේ මිතුරු ඕලන්ද ජාතික හර්මන් ඇතුළු වෑන් පෙල්ස් පවුල ඔවුන් සමග හිටියා. ඔක්කොම අට දෙනෙක්. ඕලන්ද ජාතිකයන්ට එලියට පහලියට යෑමේ පහසුව තිබුනා. සියලු සැපයුම් හා බැහැර කිරීම් කෙරුණේ ඔවුන් අතින්.යුදෙව් ජාතික ෆ්‍රෑන්ක් පවුල එහි සැඟවී සිටින බව කිසිවෙකුට නොදැනෙන්නට ඔවුන් වග බලා ගත්තා. කාර්යාලයේත් ගබඩා සංකීර්ණයේත් වැඩ පටන්ගන්නේ උදේ 8.30 ට. සවස 5.00 වෙනකල් වැඩ. 08.30 ට පෙර සියලු ශබ්ද නැගීම් නවත්වා නිහඬවම ඉන්නට ෆ්‍රෑන්ක් පවුලට සිද්ධ වුණා.ඔවුන් එහි සිටින බව කාර්යාලයේ සේවකයෙක්වත් දැන ගත්තේ නැහැ. ජෑම් ව්‍යාපාරයේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි වෑන් පෙල්ස් ලා මගින් පවත්වාගෙන ගියා.
දුව පැන ඇවිද ගිය, සෙල්ලම් කරපු, අක්කා එක්ක ඉස්කෝලේ ගිය, පුංචි ඈන් ට දැන් දහතුනයි. මෙහෙම හිර වෙලා ඉන්න එක කොච්චර අමාරුද?.එයා ජනෙල් කවුළුවෙන් පෙනෙන ලෝකය දිහා බලාගෙන හිටියා. සයිරන් නළා හඬවමින් නාසීන්ගේ ස්වස්තික කොඩිය ගහගෙන එහා මෙහා දුවන හමුදා වාහන, ජර්මන් සෙබළු මිනිසුන්ට පහර දෙන හැටි මරා දමන හැටි,අසරණයන් මර ලතෝනි දෙන හැටි ඇය දුටුවා ජනෙල් කවුළුවෙන්.
කෑගසා හඬන්නට අවසර නැති බියට පත් ඈන් ගේ හදවත ඉකිබිඳිමින් හඬා වැටුණා. ටික දිනෙකින් ඇය ඒවාට හුරු පුරුදු වුණා. කවුළුව තුළින් දුටු ඇගේ පුංචි ලෝකයේ දිනපතාම දැක්කෙ එවැනි සිදුවීම්. අහස ගිගුම් දෙමින් පියාසර කරන යුද ගුවන් යානා බෝම්බ හෙළා ගෙන යන හැටි ඈත අහසේ ඇය දැක්කා. රුසියාව ප්‍රධාන මිත්‍ර හමුදා ජර්මන් හමුදාවට පහර දුන්නා. පොළොව දෙදරුම් කමින් පුපුරා ගිය බෝම්බ හඬ, පිස්තෝලයේ සිට කාලතුවක්කුව දක්වා පුපුරා ගිය වෙඩි හඬ ඇයට ඇසුනා. නිරුවත් මිනිසුන් පටවාගෙන ගිය ට්‍රක් රථ ඈන් දැක්කා. කවුළුව තුළින් හැමදාම ඇහෙන පෙනෙන ඒවා ඈන්ට සාමාන්‍ය දේවල් වුනා. වඩාත්ම අම්මගෙන් තාත්තගෙන් ලැබුණු ආදරේ නිසා. මේ ගැටලුවේදී එයාලත් අසරණ බව ඈන් තේරුම් ගත්තා.
හීන් හඩින් අහපු බීබීසී ගුවන්විදුලියෙන් නිතරම යුද පුවත් වාර්තා වුණා. ලෝකෙම යුද තොරතුරු ඈන් අහගෙන හිටියා. කවුළුවෙන් දකින දේ මොනවද කියලා එයා තේරුම් ගත්තේ ගුවන් විදුලි ප්‍රවෘත්ති වලින්. එයා කොහොමත් පොතපතට ආසා කළ කෙනෙක් නේ. ඈන් පාඩම් කළා. භූගෝල විද්‍යාව, ඉතිහාසය, නීතිය, ඉංග්‍රීසි ජර්මන් භාෂා, ජීව විද්‍යාව ඈන් ඉගෙන ගත්තා.
1942 ජුනි 12 ට යෙදුනු ඇගේ දහතුන් වෙනි උපන් දිනයට දෙමව්පියන්ගෙන් දිනපොතක් ලැබුණා. ඊට හරියටම දින 24 කට පස්සේ තමයි එයාලා මේ ඇනෙක්සියට කොටු වුණේ. දිනපතා ඇයට ඇහෙන පෙනෙන දේ ගැන ඈන් අර දිනපොතේ සටහන් කලා. කවුළුවෙන් පිටත ඇහෙන පෙනෙන දේත් ගේ ඇතුලත සිදුවන දේත් ගුවන්විදුලියෙන් ඇහෙන දේත් පොත පතින් ගන්නා දේත් ඒ සටහන් අතර වුණා. 1944 අගෝස්තු 4 වෙනිදා දින පොත ලිවීම නතර වුණා.

ඈන්ගේ අම්මා ඊඩිත් ෆ්‍රෑන්ක් එදා හවස ආහාර පිළියෙල කරමින් හිටියා. ඈන් අධ්‍යාපන කටයුතුවල යෙදී හිටියා. තාත්තා පත්තරේ බලන්න ඇති. හදිසියේම ඇනෙක්ස් එකේ දොර කඩාගෙන ජර්මන් සෙබළුන් ගෙට පැන්නා. ඈන්ගෙ ජීවිතේ වීරයා තාත්තා ඔටෝ ෆ්‍රෑන්ක්, අම්මා, ගිනිඅවි ඉදිරියේ යටත් වුණා. නිවස පරික්ෂා කිරීමේදී බෑගයක දමා තිබුණු ඈන්ගෙ දිනපොත බිම වැටුනා. සෙබළු ඒ ගැන තැකීමක් කළේ නෑ.
ෆ්‍රෑන්ක් පවුල ඇම්ස්ටර්ඩෑමයේ නාසි යුද මූලස්ථානය වූ එස් ටී ගොඩනැගිල්ලේ භූගත කුටියකට යැවුනා. මහාමාර්ගයට අඟල් කීපයක් ඉහළින් වූ කුඩා කවුළුවකින් කුටිය තුලට මඳ ආලෝකයක් ගලා ආවා. කුටිය තුළ සිටින අයෙකුට පිටත බලන්නට නම් අඩි තුන හතරක උසකට නැගිය යුතුව තිබුණා. එවැනි උසස් කුටිය තුළ තිබුණේ නැහැ.
ඊට අවුරුදු පනස් හයකට පසු වසර 2000 ජූලි මාසයේදී ලෝකයම ආදරය කරන දියණි ඈන් ෆ්‍රෑන්ක් මට හමුවුණේ එතනදී. අප කැටුව ගිය මාර්ග උපදේශිකාව ඈන්ව හඳුන්වා දෙද්දි පිරිස කඳුලින් තෙත්ව අසා සිටියේ හිතෙන් හඬා වැටෙමින්.
ළදරුවා පටන් මහල්ලා දක්වා තරාතිරමක් නැතිව ස්ත්‍රී පුරුෂ වයස් භේදයකින් තොරව දහස් ගණන් ලක්ෂ ගණන් යුදෙව්වන් ලොරිවලින් ට්‍රක් රථ වලින් දුම්රියෙන් නාසි කඳවුරු වලට ගාල් කෙරුණා. ඈන් ඇතුළු පිරිසත් බර්ගන් බෙල්සන් වැඩ කදවුරට යැවුනා. පහළොස් වන වියේ පසු වූ සුන්දර දියණිය කදවුර තුලදීම මිය ගියා.
කඳවුරු තුළ සිදුවන මරණ ඒවා සිදුවන ආකාරය නාසීන් හැර සෙසු ලෝකය දන්නේ නෑ. මිනී කඳු පිටින් වල දැමුනා. හිට්ලර් ගේ සමූලඝාතන ක්‍රියාවලියට අනුව කඳවුරු තුලත් ඉන් පිටතත් දශලක්ෂ ගණන් යුදෙව් ජාතිකයන් මරා දැමුනා. ඒ අතර බාල වයස්කාරයන් දස ලක්ෂයකට වැඩියි.

ඈන් මට නැවතත් හමුවන්නේ ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර දී. ඒ හමුව ගැන ඉදිරි ලිපියකින් කියන්නම්.
ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත එළියට එන්නේ 1945 හිට්ලර් පරාජය වී දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුවයි. එදා ජර්මන් සෙබළුන් ෆ්‍රෑන්ක්පවුල අත්අඩංගුවට ගත් වෙලාවේ බිම වැටුණු ඈන්ගේ දින පොත ලෝකය පුරා භාෂා 70 කින් මුද්‍රණය වුණා. The diary of a young girl, Diary of Anne frank ආදී විවිධ නම්වලින් එළිදැක්වුණු පිටපත් තුන්කෝටි දස ලක්ෂයක් පමණ ලෝකය පුරා උණු කැවුම් සේ විකිණී ගියා.

ලිපිය ඉවර නෑ. වෙනත් දවසක කියවමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment