BREAKING NEWSවිශේෂාංග

Share now!

ස්වභාවික විපත් අවදානම වැඩිම රටවල් අතර දෙවැනි තැනට ශ්‍රි ලංකාව පත්ව තිබේ. ජර්මන් වොච් ආයතනය 2019 වර්ෂයට නිකුත් කළ ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය ලෝකයේ 2018 වසරේ දත්ත අනුව ඉදිරිපත් කර ඇත.

පසුගිය කාලය පුරාවට කාලගුණ වෙනස්වීම් ආශ්‍රිතව කළ අධ්‍යනයන්ට අනුව ශ්‍රි ලංකාවේ දේශගුණ විපර්යාස සහ ආන්තික කාලගුණ තත්ත්වයන් වැඩිවෙමින් තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් ගොවීන් හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය දැඩිව පීඩාවට පත්වන අතර, වැවිලි, සංචාරක සහ මත්ස්‍ය කර්මාන්ත මෙන්ම මානව ජනාවාසද මෙමගින් දරුණු පීඩාවකට ලක්වීම නොවැළැක්විය හැකිය.

2016, 2017 සහ 2018 දී, ශ්‍රී ලංකාව පීඩා විඳි දැඩි නියං තත්ත්වයෙන් හා අනපේක්ෂිත ගංවතුරෙන් බොහෝ පුරවැසියන් අසරණ වී ඇති අතර විශේෂයෙන් එය දුප්පත් ගොවීන්ගේ ජීවනෝපායන්ට බලපා ඇත.

මුහුදු මට්ටම ඉහළයාම, ත්‍රිකුණාමලය වැනි නැගෙනහිර ප්‍රදේශවල, වෙරළට සමීපව ඇති වගා බිම් සැලකිය යුතු ප්‍රමාණයකට ලවණ ජලය මිශ්‍ර වී ඉඩම් නිසරු වීමට හේතුවී තිබේ. මුහුදු මට්ටම ඉහළ යාම මුහුදට ආසන්න පහත් බිම් ප්‍රදේශ ආක්‍රමණය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ශාක හා සත්ව ප්‍රජාව මෙම වෙනස්කම්වලට සෘජුවම ලක්ව ඇත. වනාන්තර විනාශය හා වාසස්ථාන විනාශ වීම සමග අධික උෂ්ණත්වය ඉහළ යාම උභයජීවීන්, පක්ෂීන්, උරගයන් සහ වෙනත් සත්වයින්ට හා ශාඛවලට දැඩි බලපෑමක් ඇති කර තිබේ.

2005 දක්වා ශ්‍රි ලංකාව ගෝලීය දේශගුණ අවදානම් දර්ශකයේ ඉතා පහළින් සිටියේ. නමුත් 2016 මැයි අරණායක ප්‍රදේශයට මිලිමීටර් 300කට අධික වර්ෂාවක් ලැබීම සහ නායයෑම්. එම කාලයේම කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 වැඩි වර්ෂාවක් වාර්තාවීමත් නිසා ගංවතුර සහ නායයෑම්වලින් විශාල පීඩාවකට පත්වුණා. ඒ නිසා යල මහ කන්න දෙකටම වගාවන් සදහා ජලය ලැබුණෙ නැහැ.2016දි ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ ශ්‍රි ලංකාව සිවුවැනි තැනට පත්වුයේ ඒ නිසයි. 2017 වසරේදී කළුතර බුලත්සිංහල ප්‍රදේශයට මිලිමීටර් 300 වැඩි වර්ෂාපතනයක් ලැබීම සහ ඒ හා සමගාවීම ඇතිවුණු ගංවතුර හා නායයෑම් ශ්‍රි ලංකාව අදාල දර්ශකයේ දෙවැනි තැනට පැමිණීම දක්වා හේතුවුණා යැයි පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයත් දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධානත් විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරීනුත් සහ තවත් විවිධ ප්‍රජාවන් මේ වන විටත් දේශගුණික විපර්යසන්ට මුහුණ දීමට සහ ඒවා අවමකර ගන්නා ආකාරය සම්බන්ධයෙනුත් විවිධ ක්‍රියාකාරකම් වල නියැලී සිටී.
දේශගුණික විපර්යාසයන් පුළුල් මාර්ග දෙකක් ඔස්සේ පාලනය කළ යුතු බවට ගෝලීය එකඟතාවයක් ඇත. එක් ආකාරයක් වන්නේ හරිතාගාර වායු විමෝචනය හා අනෙකුත් හානිකර සාධක අවම කර ගැනීම මගින් දේශගුණික විපර්යාස අවමකර ගැනීමයි. අනෙක් ආකාරය වන්නේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට අනුහුරුවීමයි.

දේශගුණික විපර්යාස වැලැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාකාරකම් හා උපාය මාර්ගයන්, දේශගුණික විපර්යාසයන්වල බරපතලකම අවම කරගැනීමට ඉවහල් වේ. මෙයට මූලික ක්‍රමවේදයක් වන්නේ මානවයාගේ ක්‍රියා හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කිරීමයි. පරිසරයේ පවතින ශාඛ, පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා බැවින්, නැවත වනාන්තර වගා කිරීම ද හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට සාර්ථක ක්‍රමවේදයකි. නිර්මාංශ ආහාර රටා සහ බලශක්ති කාර්යක්ෂම ප්‍රවාහන සේවා වැනි හරිත ජීවන රටා තෝරා ගැනීමද වැදගත් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිතියම්ගත කර තිබෙන නවතම තොරතුරුවලට අනුව මෙයට පෙර දත්ත හා සැසදීමේදී මේ වනවිට නිරිත දිග මෝසම් වර්ෂාවේ වැඩි වීමක් සහ ඊශාන දිග මෝසම් වර්ෂාවේ අඩුවීමකුත් පෙන්නුම් කර තිබෙනවා. මෙසේ වර්ෂාපතනය අඩුවනවිට වැස්ස ලැබෙන කාලයට රැස් කර තබා ගැනීමේ ක්‍රමවේදයකට යොමු විය යුතුයි.එසේ වර්ෂා ජලය රැස්කිරීමට නම් පුර්ණ හා අර්ධ වශයෙන් අත්හැරදැමු වැව් 42000ක් පමණ නැවත ප්‍රතිසංස්කරණය කරමින් ඉල්ලංගා වැව් පද්ධතිය සක්‍රිය කළ යුතු වෙනවා. අනෙක් අතට මධ්‍යම කදුකරයේ ජල උල්පත් විනාශකර තිබීම අහිතකර බලපෑමක්. විශේෂයෙන් මධ්‍යම කදුකරයේ ඊශාන දිග ජල උල්පත් නැවත නිර්මාණය කිරීම අවශ්‍යයයි. නිරත දිග මෝසම් වර්ෂාව බහුලව ලැබෙන බටහිර කලාපයෙන් අනෙක් කලාපවලට ජල පවාහනයට යොමු විය යුතුවෙනවා. ලෝකයේ අනෙක් රටවල නල හෝ වෙනත් ක්‍රම මගින් ජල පවාහනය සිදුවෙනවා යැයි පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා සදහන් කළේය.

මුලාශ්‍ර – ස්ලයිකැන් ට්‍රස්ට් www.slycantrust.org

රමේෂ් වරල්ලෙගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment