විශේෂාංග

Share now!

ප්‍රභාකරන් ඔහුගේ ෆැසිට් දේශපාලන සංකල්ප මත රැඳෙමින් වෙනම රාජ්‍යයක් දිනා ගැනීමට සටන් කළේය.ත්‍රස්ත  නායකයෙකු ලෙසත් මිනිස් බෝම්බ නිපදවන්නෙකු ලෙසත් ලොව සලිත කළ ප්‍රභාකරන් සිය ජීවිතයේ අවසන් හෝරා කීපය ගත කළ ආකාරය තවමත් අප්‍රකටය.

එල්.ටී.ටී.ඊ යේ හදවත ලෙස සැලකූ කිලිනොච්චි බලය 2009 ජනවාරි දෙවෙනිදා අහිමි වී ගිය පසු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔහුගේ සටන ගැන දෙවරක් සිතන්නට පටන් ගත්තේය. මේ නිසා විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු සහ නන්දිකඩාල් දක්වා පසුබැසීමේ මග වැලැක්වීමට නොහැකි බවට ඔහුගේ විශ්වාසයක් තිබිණි. නමුත් භාරවීම අදහසක් ඔහුට තිබුණේ නැත.

අවසන් මොහොතේ හෝ හමුදාවේ ක්‍රියාන්විතය කණපිට හැර විය හැකි දේශපාලන හා යුධමය තීන්දුවක් ලැබෙනු ඇතැයි ඔහු තදින් විශ්වාස කළේය. විශ්වමඩු පුදිකුඩිඉරිප්පු දක්වා සිය බලය පසු බැසීමට පෙර දිනක ඔහුගේ ආරක්ෂකයන් හමුවු ප්‍රභාකරන්ට  එක් කාඩර්වරයකු දුන් මනක්කල්පිත වීර යුද කතාවක් වන ත්‍රී හන්ඩ්‍රඩ් 300 චිත්‍රපටයේ පිටපතක් ලැබිණි.

මෙම චිත්‍රපටය නැරඹූ ප්‍රභාකරන් එම සිනමාපටයේ එන මනඃකල්පිත වීර කතාව තම සංවිධානයට අනුරූප කරගත්තේය. සියලු ජීවිත පුදා හල පසු පැමිණෙන වීරයකු ගැන සිහින මවමින් දෙමළ ඩයස්පෝරාව වෙනම රාජ්‍ය සිහිනයට සැබෑවට ළං වනු ඇතැයි ප්‍රභාකරන් සිතුවේය.

මේ නිසා 300 චිත්‍රපටයේ පිටපත් ඔහුගේ පළමු දෙවැනි හා තෙවැනි පෙළ නායකයන්ටත් බෙදා හැරීමට ඔහු පියවර ගත්තේ ය. විශ්වාසනීය තොරතුරු ඔස්සේ එකල ආ මෙම තොරතුරු සත්‍යයක් නම් ප්‍රභාකරන් යුදමය පරාජය ගැන දැන සිටියේ කිලිනොච්චියේ බලය ගිලිහීයාම සමගය. කල්තබා නිශ්චය කළාක් මෙන් ඉන් මසක් ගත වීමට පෙර ඔහුට වැඩිම කලක් ආරක්ෂාව සැපයූ විශ්වමඩු භූගත නිවසේ බලයද අහිමි විය .ඉන්පසු එවැනි නිවසක කල්ගෙවන්නට ඔහුට වාසනාව නොලැබුණේය.

පුදිකුඩිඉරිප්පු බලය අහිමි වන විට යුද්ධය ප්‍රභාකරන් ගේ හිස මතටම පැමිණ තිබුණේය. නමුත් සිවිල් වැසියන්ට එල්ටීටීඊ ග්‍රහණයෙන් ඉවත්වන්නට අවසරයක් නොතිබිණි.

මේ නිසා 2009 අප්‍රේල් 20 වැනිදා වන විට යුධ හමුදා 58 සේනාංකය පුදුමාතලන් හා  අම්පලාවන්පොක්කනෙයි කොටි ආරක්ෂක වළලු බිඳ දමා සිවිල් වැසියන් 35000 පමණ රජයේ පාලන  ප්‍රදේශයට ගෙන්වා ගත්හ.

එසේ පැමිණෙන සිවිල් වැසියෝ එල්ටීටීඊ  නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මුදානොගත් ප්‍රදේශයේ සිටින  බව හමුදාවට පැවසූහ.  මේ කාලය වන විට ප්‍රභාකරන් සිය පවුලේ සාමාජිකයන් ද තමන් ළඟට ගත්තේය. බිරිඳ මදිවාදිනි, චාල්ස් ඇන්තනී,ද්වරකා සහ බාලචන්ද්‍රන් සිටියේ ප්‍රභාකරන් පෙනෙන මානයකය. නමුත් සටන තීව්‍ර වන්නට පටන් ගැනීම නිසා ප්‍රභාකරන් අවසන් මොහොත දක්වාම ඔහුගේ සැලැස්ම ගැන විශ්වාසයෙන් පසු විය.

භානු, ජෙයම්, පොට්ටු අම්මාන් සහ සුසෙයි සමඟ ප්‍රභාකරන් අවසන් සැලසුම් සකස් කළේ මේ අතරවාරයේය. ඔහුට බාර වීම සම්බන්ධයෙන් අදහසක් නොවීය.  ඒ අතරවාරයේ ප්‍රභාකරන් නිතර නිතර සැටලයිට් දුරකථනයෙන් කේ.පී ට ඇමතුම් ගත්තේය. ඒ අන්තර්ජාතික වශයෙන් අවසන් මොහොතේ ලැබෙන උදව්ව කුමක්දැයි කේ.පීගෙන් විමසීමටය.

2002 සාම කාලයේ කේ.පී ප්‍රභාකරන්ට තෑග්ගක් ලෙස වන්නියට එවා තිබූ එම සැටලයිට් දුරකථනය ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවාවල අවධානය යොමුවී තිබිණි. ඒ බව දැන ගත් ප්‍රභාකරන් එසේ ගත් ඇමතුම් රැසක් තමන් ළඟ සිටින විශ්වාසවන්තයෙකු ලවා කථනය කරවා ගැනීමට වග බලා ගත්තේය. යුද්ධයේ අවසන් දින කිහිපය මෙසේ ගෙවෙමින් තිබියදී කේ.පී පසුව කළ හෙළිදරව්වලට අනුව ප්‍රභාකරන් ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනී ද කේ.පී ට දුරකථන ඇමතුම් දී තිබිණි.

මල්ලි කියන්නේ කේ.පී අන්කල් ගාවට යනවා කියලා, ඒ නිසා අම්මයි මල්ලිවයි කොහොමහරි රටකට ගන්න යැයි චාල්ස් ඇන්තනී මේ අතරවාරයේ කේ.පී ට බල කළේය. ඔහු සොහොයුරිය ද්වරකා ගැන ඉල්ලීමක් නො කරන්නට ඇත්තේ ඒ වනවිටත් ද්වරකා එල්ටීටීඊ කාන්තා  පුහුණුව ලැබ තිබූ නිසාය.

අදාල කතාව වර්තමානයේ දිගහැරීමට කේ.පී ට අවසර නැත්තේ ඊට තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් නැති නිසාය. මම සම්බන්ධ සිද්ධි තියෙනවා එක ඇත්ත ඒත් මට තවමත් මේවා ගැන කතා කරන්න අවසරයක් නැහැ යැයි කේ.පී  මා කළ විමසීමේදී පැවසුවේය.

මේ අතරවාරයේ ප්‍රභාකරන් සිය දෙමාපියන්ට සිය ආරක්ෂිත කලාපයෙන් පිටව යන්නට අවසර දුන්නේය. පුතා අවසන් වරට දැක්කේ යුද මුක්ත කලාපයෙන් රජයේ පාලන ප්‍රදේශයට යන්න කියපු වෙලාවෙදියි. එදා මම ඇහුවා අපි දැන් මොකද කරන්නේ කියල එයා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා  මොකුත් කිව්වේ නැහැ. ගත්ත තීරණ වැරදි කියලා තේරෙනවද කියලා ඇහුවම මේක අතීතය විග්‍රහ කරන්න වෙලාවක් නෙමෙයි කිව්වා යැයි යයි ප්‍රභාකරන්ගේ පියා පසුකලෙක රජයේ පාලන ප්‍රදේශයේදී කියා තිබුණේය.

 

එල්.ටී.ටී.ඊ යේ කලක් සන්නද්ධ නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට අනුව ඒ වන විට ප්‍රභාකරන්ගේ බලපරාක්‍රමය විසිරෙමින් තිබුණි. ප්‍රභාකරන්ගේ අණ නොතකමින් මැයි 16 වැනිදා එල්ටීටීඊ නායකයකු හෝ කිහිපදෙනෙක් මුහුද මගින් පැන ගියා. මම විශ්වාස කරන්නේ එයයි.  ඔවුන් ගියේ ඉන්දියාවට.  සයිනයිඩ් කරල් බෙල්ලෙ එල්ලපු  කොටි සාමාජිකයන් දාලයි ඔවුන් පැනලා ගියේ, සුදු කොඩි අරගෙන භාරවෙන්න ආවා කියනවා. සයිනයිඩ් බෙල්ලෙ එල්ලගෙන භාරවෙන්න එන්න පුළුවන්ද?  පැනලා ගිය නායකයන් දෙමළ ඩයස්පෝරාවට එකතුවෙලා අද අපට චෝදනා කරනවා. නමුත් ඒ චෝදනාව අපට නෙමෙයි ඔවුන්ටම කරගන්න චෝදනාවක් යැයි කරුණා අම්මාන් පැවසුවේය.

.

එකල දකුණේ යුද වාර්තාවන්ට අනුව යුද්ධයේ පසුබිම දිගහැරෙමින් තිබුණේ පහත පරිදිය. මැයි 16 වැනි දා වන විට අවසන් දින කිහිපයේ සටන ත්‍රීව වුයේය. 58 සේනාංකය මුලතිව් වෙරළේ බලය තහවුරු කරමින් 59 සේනාංකය හා එක්වූ අතර ඒ සමඟම මුහුදට විවෘත වීමට තිබූ තිබූ එල් ටී ටී ඊ බලය ගිලිහුනේය.මේ නිසා  නිසා ප්‍රභාකරන් තවත් කලබල විය.

ඒ අතර 59 සේනාංකය මුලතිව් වඩ්ඩුවාකල්ලු  පාලම සොරන්පත්තු දෙසින් උතුරටත් 53 සේනාංකය යටතේ 8 වැනි  කාර්ය සාධන බලකාය පුදුකුඩිඉරුප්පු සිට දකුණටත් මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. වෙරළේ බලය තහවුරු කළ 58 සේනාංකය වෙල් මුල්ලිවයික්කාල් අවසන් බිම් කඩ දක්වා හමුදා විශේෂ බලකාය කමාන්ඩෝ බලකාය සමග ඉදිරියට ගියහ.

 

මේ වන විට ප්‍රභාකරන් කේ.පී ගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසුවේය. ඉන් එකක් වූයේ තමන් ඇතුළු නායකයන් බේරා ගැනීමට හැකි මගක් ගැනය. කේපී ඊට පිළිතුරු ලෙස සටන අතහැර බාර වීමට හැකි යැයි කීවේය.

 

එසේ කිසිදා රජයේ හමුදාවට බාර නොවන බවත් හැකිනම් එවැනි භාර වීමක් සඳහා තුන්වෙනි පාර්ශවයක් මැදිහත් කරන්නැයි  ප්‍රභාකරන්ඉල්ලූවේය.

 

කොයි මොහොතක හෝ නෝර්වේ, ඇමෙරිකාව හෝ වෙනත් බටහිර රටක සහයක් අනුව යුද්ධය නවතිනු ඇතැයි ප්‍රභාකරන්ට අවසන් මොහොතේත් ප්‍රබල විශ්වාසයන් තිබිණි.

 

කේපී අවසන් මොහොතේත් නෝර්වේ සම්බන්ධ කරගන්න බැලුවා ඒක අසාර්ථක වුණා ඉන්දියාවක් ප්‍රභාකරන් බේරා ගන්නවාය කියන අදහසින් ඈත් වෙලා සිටි නිසා ඔවුනුත් අහක බැලුවා යැයි  කරුණා කීවේය.

 

මේ නිසා ප්‍රභාකරන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු එල්ටීටීඊ නායකයන් 15 දෙනෙකු හෙලිකොප්ටරයක ආධාරයෙන් ආසියානු රටක නවතා තිබෙන නෞකාවකට ගෙන ගොස් එතැන් සිට ඔවුන් ඒර්ත්‍රියාවට පිටත්කර හැරීමේ රහසිගත සැලැසුමක් කේපී සකස් කළේය.

 

සැලසුම ක්‍රියාත්මක වීමට නම් ප්‍රභාකරන් මේ වනවිට කොටුවී සිටි භූමියෙන් නිදහස් වී නැවත මුලතිව් කැලයට පැන යා යුතු විය.

 

භානු සහ මාෂල් මේ සැලසුම් වලට එකඟ වූයේ නැහැ. ඒ නිසා ප්‍රභාකරන් ඔවුන් අවසන් මොහොතේ මරා දමන්න නියෝග කළා යැයි කරුණා පවසයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් කේ.පී ගේ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට විදෙස්  සම්බන්ධීකාරක ලෙස සිටි කැස්ත්‍රො ගෙන් ඔහු මුදල් ඉල්ලුවේය. කේ.පී ගේ පස මිතුරකු වූ කැස්ත්‍රො ඊට සහායක් නොදැක්වූයේය. ඒ ප්‍රභාකරන්ගේ හොඳ නම කේ.පී ට වලංගු වී තමන්ට වළ කැපෙනු  ඇතැයි නැගුණ තෘෂ්ණාව නිසාය.

 

ප්‍රභාකරන් කාගේ හරි උදව්වක් ලැබෙයි කියලා මැයි 16 වැනිදා වෙනකම් බැලුවා කියලයි මම හිතන්නේ එහෙම උදව්වක් ලැබෙන්නේ නැහැ කියලා හිතුන නිසා එදා දවසෙ තමයි ඔක්කොම සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයට යන්න දුන්නෙ. ඒ වගේම එදා රෑ තමයි මුලතිව්වලට පනින පළමු විශාලම සැලසුම ක්‍රියාත්මක වුණේ 17 පාන්දර දෙකට වගේ ඔවුන් සියලු බලය යොදවමින් නන්දිකඩාල් කලපුවෙන් ඇවිත් 59 සේනාංකය හා 53 සේනාංකය  යා වූ ස්ථානයට ප්‍රහාර එල්ල කළා ඒ හමුදා ආරක්ෂක වළල්ල කඩන්න බලාගෙන යයි එවකට වන්නි ආඥාපතිව සිටි ජෙනරාල් ජගත් ජයසූරිය පවසයි.

 

මෙම ප්‍රහාරය සාර්ථක වූයේ නම් මුලතිව් කැළයට රිංගීමට  ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ කෙළවරක වූ විශේෂිත මුහුදු කොටි බෝට්ටුවකට වී මොහොතක් බලා සිටියේය. කෙසේ වෙතත් කොටින්ගේ එම වැරදී ගිය කුරුමානම ඔවුන්ගේ ප්‍රබල සටන් කරුවන් 70 ත් 100 ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කළහ. මැයි 17 වනවිට එල්ටීටීඊය වර්ග මීටර 400ක භූමියකට සිර වුයේ ඒ අවසරයෙනි.

 

කුඩා බිම් කඩකට සීමා වීම නිසා මට එදා ශවේන්ද්‍රට ප්‍රසන්නට කමල්ට ඔවුන්ගේ සීමාව මේකයි කියලා ලකුණු කරල කියන්නත් වුණා නැතිනම් අපේම අයට යුද්ධය අතරවාරයේ තුවාල වෙන්න තිබුණා යැයි ජගත් ජයසූරිය සඳහන් කරයි.

 

මේ වන වනවිට රජයේ පාලන ප්‍රදේශ වලට ආ ජනතාව රහසිගතව ප්‍රභාකරන්ගේ පණිවිඩ ගෙනාවා ඒ පණිවිඩ වලට අනුව ප්‍රභාකරන් යුද්ධය නතර කරන්න කැමැත්තෙනුයි හිටියේ.ඔහු ඒ සඳහා විදේශ සංවිධානවල සහ රටවල සහාය ඉල්ලා තිබුණා. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, චන්ද්‍රකාන්තන් චන්ද්‍රනේරු වගේ මන්ත්‍රීවරු අවසානයේ බැසිල් රාජපක්ෂ මහත්මයට මේ ගැන කතා කරලා තිබුණා. නමුත් බැසිල් රාජපක්ෂ මහත්තයා පස්සේ කිව්වා ඔහු එහෙම කතාවක් කළේ නැහැ කියලා යැයි  ප්‍රභාකරන්ගේ මස්සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.ජී සිවාජලිංගම් පැවසුවේය.

 

මෙවැනි වටපිටාවක් තුළ 17  වැනි දා මධ්‍යම රාත්‍රියේ ප්‍රභාකරන් තවත් උපක්‍රමයක් යෙදුවේය. ඒ සිවිල් වැසියන් ලෙස වෙස් වලා පැමිණ රජයේ පාලන ප්‍රදේශයට යෑමට අවසර ඉල්ලා සටනක් ඇරඹීමය.

5  වන ගැමුණු හේවා බලකාය සිටි ස්ථාන ඉලක්ක කරමින් ඇවිලුණු එම සටන අතරවාරයේ යුධ හමුදා තුවාලකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක් එල්ටීටීඊය පැහැර ගත්තේය.

 

පැහැරගත් එම ගිලන්රථය නැවත ආරක්ෂක වළලූ අතරින් එන විට ඊට ප්‍රහාර එල්ල කිරීමට යුද හමුදාව වගබලා ගත්තේය .මෙම සටන් අතර වාරයේ තම දියණිය ද්වරකා ද  කන්ටේනර් පෙට්ටියක් අසල මියගිය බව ප්‍ර ගිය බව ප්‍රභාකරන් දැනගත්තේය.ඔහු තවත් නොසන්සුන් වූයේය.

 

බිරිඳ මදිවදිනි ගැන බැලීමටවත් ප්‍රභාකරන්ට අවස්ථාවක් නොතිබුණේය. බාලචන්ද්‍රන් ද ඔහුට සිටි ආරක්ෂකයන් 6 දෙනෙකු සමග ආරක්ෂිතව පිටත් කර හැරිය ද ඔහුට සිදුවූයේ දේ ගැන ප්‍රභාකරන් දැන සිටියේ නැත.

 

චීනයේ සංචාරයක නිරතව සිට ලංකාවට පැමිණි යුද හමුදාපති එවකට ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා 18 වැනිදා උදේ පාන්දර 5.30 ට වගේ මට කතා කළා. මම විස්තර කිව්වා ම ඇයි හෙලිකොප්ටර් වලින් අතිරේක සෙබළු ආරක්ෂක වළල්ලට ගෙනිච්චෙ නෑ කියලා ඔහු මගින් කලබල වෙලා ඇහුවා. ඒ වෙනකොට අවශ්‍ය කටයුතු යුදබිමේ සිදුවන බව මම හොඳටම දැනගෙන සිටියා යැයි  lජෙනරාල් ජගත් ජයසූරිය සඳහන් කරයි.

 

18 වැනිදා කොමාන්ඩෝ සෙබළු කලපුව පීරමින් ප්‍රහාර එල්ලය එල්ල කොට ප්‍රභාකරන් සමඟ සිටි 150කට ආසන්න කොටි සාමාජිකයන් පිරිසක් මරා දැමුවේ මේ අතරය. එම මෙහෙයුම සවස අවසන් වූ පසුව ප්‍රභාකරන් ලග තිබෙනවා යැයි විශ්වාස කළ  001 පිස්තෝලයක් එම සෙබළු එවකට මේජර් ජෙනරාල් වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ගෙනැවිත් දුන්නේය. නමුත් ප්‍රභාකරන්ගේ සිරුරක් හමු නොවීය.

 

රජයේ අවසන් බිම්කඩක් කොටි ග්‍රහණයෙන් මුදා ගත්තා යැයි නිල නිවේදනය කළේ (මැයි 18 ) එදිනය.  මේ පුවත සැළ කළ පසු ශවේන්ද්‍ර  සිල්වාගේ දුරකථනයට ඇමතුමක් දුන් සරත් ෆොන්සේකා ඔහුට සුබ පැතුවේය.එම දුරකථනයෙන්ම ඔහු ළඟ සිටි කමල් ගුණරත්න හා ප්‍රසන්න සිල්වාට ද ඔහු සුබ පැතුවේය.

 

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ගන්ත්‍රය අනුව එදින සමස්ත භූමිය මුදා මුදා ගත්තා යැයි යුද හමුදාපතිවරයාට කී පසු සරත් ෆොන්සේකා නැවත  කමල් ගුණරත්නගෙන් විමසන්නේ ප්‍රභාකරන් කොහේද යන්නයි.

 

ප්‍රභාකරන්, පොට්ටුඅම්මාන්, සුසෙයි හැර අනෙක් සියලුම කොටි නායකයන්ගේ මළසිරුරු මගේ ළඟ තිබෙනවා යැයි මම කිව්වා  .එම පිළිතුරට යුද හමුදාපතිවරයාගේ ක්ෂණික පිළිතුර වූයේ ප්‍රභාකරන් මියගියේ නැත්නම් යුද්ධය අවසාන නැහැ යන්නයි එවකට 53 සේනාංකාධිපති ව සිටි වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි.

 

අන්තර්ජාතික සහායෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්‍රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සටනකය. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්‍රභාකරන් සිදුවේය. සටනින් සටන ආරක්ෂකයන් අහිමි වූ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැළයේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයන් 18 දෙනෙකු සමඟය. ඔවුන් අතර ප්‍රබල නායකයන් සිටියේ නැත ප්‍රභාකරන්ගේ නියෝගය වී තිබුණේ තමන්ට වෙඩි වැදුනොත් සිරුර පුළුස්සා දමා හමුදාව අතට පත් වීම වළක්වන ලෙසය. එසේ වුවද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්වත් සිහි එළවා ගත නොහැකි තරමට ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයෝ ද වික්ෂිප්ත වී  සිටියහ.ඔවුන්ගේ එකම සැලැස්ම වූයේ යළි මුලතිව් කැළයේ සැඟව යාමය.

 

යුද හමුදාව මේ වනවිට සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මළසිරුරය. වළදාලා හෝ තියෙනවාද කියලා ඩෝසර් දාලා හරි පීරලා බලන්න යැයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබුණේය.මැයි 19  වැනිදා උදා වූයේ එවැනි වටපිටාවකය.

 

ඒ අතරේ කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය .ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඩක් ගැන ඒ වනවිටත් හමුදා නිලධාරියෝ විමසිලිමත්වීම අරඹා සිටියහ.

 

එම තොරතුරු ලද වහාම අටවැනි කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරි එවකට කර්නල් ජී.වී රවිප්‍රියගේ  අණ පරිදි 4 වෙනි විජයබාහු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් රෝහිත අලුවිහාරේ  ඇතුළු අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් එම ඉලක්කය සොයා ප්‍රහාර එල්ල කළහ.

 

මෙය සුළු පටු නොවන බව ඔවුන්ට හැඟී ගියේ එතැන සිටි ප්‍රභාකරන්ගේ ආරක්ෂකයන් ද පෙරළා ඔවුන්ට පහර දීම නිසාය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ගේ සටහනට අනුව ලුතිනල් ජී.එච්.ඩී නාලකගේ නායකත්වයෙන් සැරයන්වරුන් වන ටී.එම් මුතුබණ්ඩා සහ එච්.පී විජේසිංහ ඇතුළු සෙබල කණ්ඩායම් දෙක මෙම ප්‍රහාරය ඉතා නිර්භීතව එල්ල කළහ.

 

ඒ වන විට උදෑසන 9.45ක් පමණ වී තිබිණි. ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයන්ගේ උණ්ඩ අවසන් වූයේය. එවැනි සටනකට අවි ආයුධ හෝ පතුරොම් සැපයීම සඳහා එල්ටීටීඊ සැපයුම් අංශයක්ද ඒ වන විට ඉතිරිව නොතිබිණ. හමුදාවේ අවධානය තුන් පැත්තකට යොමු කැර සැඟව යාමට ගත් ප්‍රභාකරන් ගේ උත්සාහය ඒ වනවිටත් නන්දිකඩාල් කළපුවේ දියමත කපාදැමූ ඉනි මෙන් වූයේය.

 

අත්බෝමබ සහ ගිනි අවි යොදාගනිමින් අප ප්‍රහාරය එල්ල කිරීම තීව්‍ර කළා. පුභාකරන් මෙම සටන අතරවාරයෙත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නැයි තමන් වටා සිටි කාඩර්වරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණා යැයි එවකට ලුතිතන්  කරනල් ලලන්ත ගමගේ පවසයි.

 

මේ නිසා ඔවුන්ට මරණය මිස වෙන යමක් ඉරනම් නොවීය. ඉදිරියට ඇදුනු සෙබළු එකිනෙක මළසිරුරු ඔසවා බැලූහ. කලපුවේ දිය මතට මුණින් අතට එබී තිබූ කොටි කැලෑ ඇඳුමින් සැරසී තිබූ හැඩිදැඩි මළ සිරුරක් ඒ අතර වූයේය.

 

ඔහුගේ හිසට සහ නලලට වෙඩි වැදී තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබලෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය.  ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුරු ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. ඒ වනවිටත් මරණාසන්න තුවාල සිදුවූ හිසෙන් ලේ ගලමින් තිබුණි.  මේජර් රෝහිත අලුවිහාරේ සමග සෙබළ කණ්ඩායම ප්‍රභාකරන් මිය ගියා යැයි පැවසුවද එය තවත් තහවුරු කරගැනීම සඳහා එවකට ලුතිනන් කර්නල් ලලන්ත ගමගේද  එම ස්ථානයට තවත් ළංවිය.

 

නන්දිකඩාල් කළපුව මැද කුඩා ‍‍‍‍‍‍‍මැස්සකුත් ප්‍රභාකරන් හදාගෙන තිබුණා. නමුත් හිසට වගේම පපුවටත් කෑලි වැදිලා තිබුණා. අත්බෝමබයක කෑල්ලක් හිසට වෙඩි වැදීමටත් පෙර වැදිලා තිබුණා කියලයි මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගෙ මළ සිරුර දැක්ක ගමන් මම අදුනාගත්තා. එක පාරටම යුරේකා යුරේකා කියලා කෑ ගැහුණා. අතේ තිබුණ ටී-56 උඩට වෙඩිල්ලක් තිව්වම, අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා ලලන්ත ගමගේ පවසයි.

මම මේ පණිවුඩය කියන්න පළමුව එවකට 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට  ඇමතුමක් ගත්තත් ඒකට ආන්සරේ වුණේ නෑ. දෙවැනි වර ඇමතුම ආන්සර් වුණා.  හොදටම ෂුවර්ද කමල් ගුණරත්න ඇසු විට ඔව් සර් ටක් ගාලා අමි කමාන්ඩර්ට කියන්න යැයි මම කමල් ගුණරත්න සර්ට කිව්වා යැයි ලලන්ත ගමගේ සදහන් කරයි.

 

කඩොලාන කැලෙන් එළියට ගෙනා ප්‍රභාකරන්ගේ සිරුරේ නළළ  සහ හිසට වැදී තිබූ වෙඩිප්‍රහාරයක් වූයේය. 2009 මැයි 19 වැනිදා උදෑසන 10.30ට එවකට  මේජර් ජනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති සරත් ෆොන්සේකාට මේ පුවත සැළ කළේය.

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම පුවත දැන ගත්තේ ඉන් අනතුරුවය. මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ බව මැයි 19 වැනිදා වැනි දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කොට ආපසු පිටව යාමට මෝටර් රථයේ දොර විවර වන විට ලැබුණු විශේෂ පණිවිඩය වූයේ ප්‍රභාකරන්ගේ මළසිරුර හමු වූ බවයි.

 

අවසන් මොහොතේ ප්‍රභාකරන් කොටු වනතුරු කේ.පී කිසිවක් නොකළ බවට කොටි ජාත්‍යන්තර සම්බන්ධීකාරක ක්‍රස්තොගේ  දෙවැනියා  වු නෙදියවන් පසුව චෝදනා කළේය.එසේ කී නැදියාවන් තවමත් නොර්වේ වල ජීවත් වන්නේය.

 

එදා ප්‍රභාකරන්ගේ කමිස සාක්කුවේ තිබූ දෙමළ ඊළාම් රාජ්‍යය  001 හැඳුනුම්පත ඇත්තේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ මුදල් පසුම්බියේය. එදින  ප්‍රභාකරන් ගෙල පැළඳ සිටි අංක තහඩුව ඩෝග් ටැග් (001) ඇත්තේ එවකට යුධහමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ළඟය .

 

ප්‍රභාගේ 001 පිස්තෝලය හමුදා සෙබළු දුන්නේ එවකට 58 සේනාංකාධිපතිව සිටි වත්මන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අතටය.

 

තිස් වසරක යුද්දයේ කොටි පෙරමුණ මෙහෙයවූ ප්‍රභාකරන්ගේ අවසන් පැය 24 ගතවූයේ එලෙසය. කොටි සංවිධානයේ සන්නද්ධ අංශය භාරව කලක් කටයුතු කළ කරුණා අම්මාන් කොළඹ සිට මුලතිව් දක්වා ගුවනින් පැමිණ ප්‍රභාකරන්ගේ සිරුර හඳුනා ගත්තේය.

 

මිය යෑමට පෙර අවසන් මොහොතේ ප්‍රභාකරන් පණ පිටින් කොළඹ පනාගොඩ කඳවුරට ගෙන ආවා යැයි පැතිර යන කතාවට මේ කිසිදු මූලාශ්‍රයකින් තටු ලැබෙන්නේ නැත.

 

එය ගොතන ලද ප්‍රබන්ධයක් යන්න සියලු දෙනා උපකල්පනය කරති. ශවේන්ද්‍ර ,කමල් හෝ ජගත් ජයසූරිය කිසිවිටෙකත් එවැනි අවස්ථාවක් ගැන සඳහන් නොකරති. කරුණා අම්මාන් කියන්නේද ප්‍රභාකරන් අවසන් මොහොතේ නන්දිකඩාල් කඩොලාන කැළයේ මරුමුවට පත් වූවා මිස පණපිටින් වෙනත් ස්ථානයකට ගෙන ඒමක් සිදු නොවූ බවයි.

 

දහනම වැනි දා මැදියම් රැය උදා වන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අලු මුලතිව් මුහුදේ දිය කොට හැරියහ. ප්‍රභාකරන් නැමැති ත්‍රස්ත නායකයාගේ ගමනක  අවසානය සිදු වූයේ එලෙසය.

(2017 ලියු ලිපියක් වර්තමානයට යාවත්කාලින කර තිබේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment