දේශියවිශේෂාංග

Share now!

පැතුම් වික්‍රමරත්න

නිදහසින් පසුව මෙරට ආර්ථිකයේ වඩාත්ම අර්බුදකාරී කාලවකවානුව මේ වනවිට උදාවී ඇති බවත් , එම අර්බුදයෙන් ගොඩඒමට රජය , අයවැය යෝජනාවලිය හරහාද කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා the colombo express.com වෙබ් අඩවිය වෙත පැවසීය

2019 අයවැය යෝජනාවලිය හා මෙරට වත්මන් ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කරමින් ශ‍්‍ ඩිව් ගුණසේකර මහතා the colombo express.com වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් මෙසේද පැවසීය .

යහපාලන රජයේ අවසන් අයවැය

මෙරටට ඉදිරිපත් වූ අයවැය යෝජනාවලි 72 කම මම කියවා තිබෙනවා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අයවැය යෝජනාවලිය ආරම්භ කරන විට,. පවතින ලෝක ආර්ථික තත්වයන් පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරපත් කිරීම. නමුත් මෙවර අයවැය යෝජනාවලියේ එවැනි විස්තරයක් වත් ඇතුලත්ව නැහැ. රටේ ආර්ථික තත්වය පිළිබඳවද කිසිම විශ්ලේෂණයක් මෙහි නැහැ.

එසේම මෙය යහපාලන රජයේ අවසන් අයවැය . එබැවින් පසුගිය කාලය තුල රජයේ කාර්ය සාධනය පිළිබඳව යම් පැහැදිලිකිරීමක් මෙහි අඩංගු විය යුතුව තිබුනා . නමුත් එවැන්නක් මෙහි නැහැ. අවම වශයෙන් පසුගිය වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක වූ අකාරය ගැනවත් මෙහි විස්තරයක් නැහැ. මෙය විශාල අඩුපාඩුවක්.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා ආර්ථිකයේ සැබෑ ප‍්‍රශ්න සඟවමින් සහ මගහරිමින් මෙවර අයවැය ඉදිරිපත් කළා .

රටේ බොහෝ අමාත්‍යවරුන්ට මන්ත‍්‍රීවරුන්ට මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ට ද වර්තමානයේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ.

ණය උගුල

නිදහසින් පසුව මේ රට ආර්ථික වශයෙන් මුහුණදෙන ගැඹුරුම අර්බුදයට මේ වනවිට අප මුහුණ දෙමින් සිටිනවා. අප ණය උගුලක සිරවී සිටිනවා. නමුත් මේ පිළිබඳව කිසිවක් අයවැය යෝජනාවලිය තුල පැහැදිලි කර නැහැ. මෙම අර්බුදයෙන් ගොඩ එන්න ගන්නා ක්‍රියාමාර්ග ගැන හෝ කිසිම සඳහනක් මෙහි නැහැ.

අද වන විට අපේ රටේ විදේශ විනිමය පහත වැටිලා. විදේශ විනිමය තියෙන්නේ අපි ගත්තු ණය. ණය අරගෙන සංචිත පුරවලා. අපි හම්බ කරගත්තු විදේශ විනිමයක් නැහැ. මේ නිසා රුපියල අවප‍්‍රමාණය වෙලා. අපේ ආනයන අපනයන වගේ දෙගුණයක්. අපට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. ආයෝජන එන්නේ නැහැ. රට තුළ ප‍්‍රාග්ධනය සම්පාදනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසා අපිට ණය ගෙවන්න ණය ගන්න වෙලා.

2008 වසරේ මෙරට විදෙස් නය ප්‍රමාණය ඩොලර් බිලියන 8 ක්ව පැවතුනා. එය 2014 වනවිට බිලියන 21 දක්වා ඉහල ගියා. වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් යනවිට එය බිලියන 47 දක්වා ඉහල ගියා මේ වනවිට මෙරට විදෙස් ණය ප්‍රමාණය බිලියන 53ක් පමණ වෙනවා. නය කළමනාකරණය කිරීම සඳහා වත්මන් රජයද කටයුතු කර ඇත්තේ ඉතා දුර්වල ලෙස බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. මෙවර අයවැය තුලද නය කළමනාකරණය කර ගැනීම පිලිබඳ කිසිම සඳහනක් නැහැ.

මේ ගැටලුව 77 වසරේ සිටම එන ගැටළුවක්. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා තමයි , මේ අය වෙනුවට ණය කියන සංකල්පය හඳුන්වලා දීලා රට නය උගුලක හිරකරන්න පලමු පියවර තැබුවේ. එතැන් පටන් කිසිම රජය එම ගැටලුවට සාර්ථක විසදුමක් දෙන්න අපොහොසත් වුනා. රජයේ අදායම කඩාවටුනා . නිෂ්පාදන ක්‍රියාවලි අඩපණ වුනා.

බණ්ඩාරනායක අගමැතිනිය සිටින කාලයේ රටේ රාජ්‍ය ආදායම සියයට 24 කව පැවතුනා , දැන් එය සියයට 15 දක්වා වැටිලා. දැන් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. මෙහෙම රටක් ගෙනියන්නේ කොහොමද ?

වැරදි බදු ප්‍රතිපත්ති

අද රටේ බදු ප්‍රතිපත්තියද ඉතා අසාර්ථකයි . ඍජු බදු සියයට 15ක් පමණයි . වක්‍ර බදු සියයට 85 ක් තිබෙනවා. මේ නොගැලපීම නිවැරදි කරන්න මෙවර අයවයෙන්ද රජය පියවර ගෙන නැහැ. අද රටේ ප්‍රබලව පවතින්නේ කළු ආර්ථිකයයි. නිල ආර්ථිකය නොවේ.

පොලොව යට වලලා දමාපු මිලියන ගණන් මුදල් හමුවන්නේ මේ නිසා බව පැහැදිලියි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු විවිධ ජාවාරම් කරුවන් මෙම කළු ආර්ථිකය මෙහෙයවනවා. කළු ආර්ථිකයක් බිහිවී ඇත්තේද රටේ පවතින බදු ප්‍රතිපත්තියේ වැරැද්ද නිසයි.පරිප්පු වලින් සීනිවලින් බදු ගැහුවම , තැලෙන්නේ සාමාන්‍ය මිනිහා. පාරිභෝගික බද්ද හරහා ජනතාව පීඩනයට ලක්වෙනවා. මේ ටික තේරුම් ගන්න රජය උත්සාහ කරන්නේ නැහැ.

නිෂ්පාදනය කදාවටිලා

පුද්ගලික අංශය සම්පූර්ණයෙන්ම නොසලකා හැරී අයවැයක් ලෙසත් මෙවර අයවැය හඳුන්වන්න පුළුවන්. ධනපති ආණ්ඩුවක් වෙලත් අවම වශයෙන් පුද්ගලික අංශයටවත් නිසි සහන ලබාදී නැහැ. පොලී අනුපාතය ඉහල ගිහිල්ලා . පුද්ගලික අංශයට එය ගැටළුවක්.

.අද රටේ නිෂ්පාදන ආර්ථිකයක් නැහැ . නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දේශීය ව්‍යවසායකයින් පෙළඹෙන්නෙත් නැහැ. මෙය විශාල ගැටළුවක්. රටේ නිෂ්පාදනය සියයට 3.1 ට බැහැලා . මීට පෙර මෙවැනි අඩුවීමක් රටේ දක්නට ලැබුනේ 89 වසරේ ජවිපෙ කලබල ඇතිවූ කාලවකවානුවේ පමණයි. එයින්ම අපට අවබෝධ කරගත හැකියි රට මුහුණපා ඇති ගැටලුවේ බරපතල කම. මෙම තත්ත්වය නිවැරදි කිරීමට මෙවර අයවැයෙන් කිසිදු සාධනීය පියවරක් ගෙන නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment