විශේෂාංගසිව්කොණ

Share now!

කොටි ත්‍රස්ථයන් බිම හෙළා වසර එකොලහක් ගතවූ මෙවසර පෙර දා තරම් උත්කර්ෂයකින් එකී යුද ජයග්‍රහණය සමරන්නට දකුණේ පාලනයට අවස්ථාව නොලැබෙන්නේ පැවති වසංගත තත්වය හේතුවෙනි. එසේ නොවන්නට මෙවරද එකී යුද ජයග්‍රහණය සමස්ත දිවයින පුරා වෙසෙන ජනයා විසින් සැමරියයුතුම අනිවාර්යය ජාතික සැණකෙළියක් වන්නට ඉඩ තිබුණි. යුධ ජයග්‍රහණය සැමරීම මගින් දකුණේ සිංහල වැසියා තිස්වසක් පුරා පැවති ඒ කාලකණ්ණි සිවිල් අරගල නිමාවීමේ සැහැල්ලුව ලාංකීය වැසියා එක ලෙස නැවත නවත ස්මරණය කරමින් උද්දාමයත පත් විය යුතුය එහි වරදක් දක්නට කිසිවෙකුට හෝ සදාචාරාත්මක හැකියාවක් නොමැත. කොටින්ම තමන්හට සෘජු අදාලත්වයක් හෝ නොමැති මැදපෙරදිග යුද්ධයට අතපෙවූ අමෙරිකාව පවා සිය මිලිටරි භටයින් අමෙරිකාව තුල ජාතික විරුවන් සේ ගරුබුහුමන් දක්වද්දී සිය යුධ ජයග්‍රහණ ජාතික වටනාකමක් දී සමරද්දී ලංකාව වැනි පුංචි දිවයිනක ලොව ප්‍රබලම ත්‍රස්ථ කල්ලියක් පරාජය කොට ලත් ජය ජාතියක් ලෙස සමරමින් එහි උත්කර්ෂය විද ගත යුතුය. නමුත් ගැටලුව වන්නේ එකී සතුට තුල ලාංකීය ද්‍රවිඩයා ස්ථානගත වන්නේ කොතැනද යන්නයි.

 

ලංකා භූමිය තුල යුද්ධය නිමා වුවද, පැවතියද සදා පරාජයට පත් වූයේ සාමාන්‍ය වැසියාය, ඒ අතරින්ද ද්‍රවිඩයා තවමත් ස්ථානගත වන්නේ දකුණේ සිංහල බහුතරය නියෝජනය කරන අගාධයටත් අන්ත අදුරු අගාධයකය. විශේෂයෙන්ම උතුරේ යුද සමයද ඇතුලත්ව ද්‍රවිඩයා දශක ගණනාවක් පුරාවට විදි නරා දුක් දකුණේ සිංහලයාට දැනෙන්නේ අඩුවෙනි, කොටින්ම උතුරේ ද්‍රවිඩයාගේ දුක කෙසේ වුවද මේ කොලමේ කර්තෲ ද ඇතුළුව බහුතරයක් ලක් වැසියා උතුරේ යාපනය හෝ දැක තිබුණේ නැත. පශ්චාත් යුධ සමයේ බොහෝ සිංහලයින් යාපනය වන්දනා කරන්නට ගියද ඔවුන් එලෙස අත්වින්දේ යුද සමයේ නෂ්ඨාවශේෂ මිස උතුරේ ද්‍රවිඩයාගේ සුවද නොවීම කණගාටුවට කරුණකි.

 

යුද්ධය මේ මොහොත වන විට අතිශය දේශපාලනිකය, යුද්ධය හා එහි ජයග්‍රහණය තනිව අත් පත් කොටගෙන ඇත්තේ දකුණේ එක් දේශපාලන පවුල් සංස්ථාවක් විසිනි, ඔවුනට අවැසි විට යුද්ධය කරලියට රැගෙන එන්නටත්, සගවා තබන්නටත් ඔවුන් ශූරය, අනෙත් කණ්ඩායමට යුධ ජයග්‍රහණය අරහංය, මක් නිසාදයත් එය ඔවුනට දේශපාලනිකව අවාසිසහගත බැවිනි. මේ අතර උතුරේ ද්‍රවිඩ දේශපාලඥයා සිංහලයාට දක්වන ප්‍රතිරෝධයක් ලෙස තවමත් කොටි ත්‍රස්ථවාදීන් විරුවන් ලෙස සමරන්නට දරන වෑයමද හිගන්නාගේ තුවාලය පෑරීමක් වැනිය.  මේ සියල්ලකින් තැලී පොඩිවී යන්නේ ද්‍රවිඩයාය. ඒ අනුව ලාංකීය ද්‍රවිඩයා සිවිල් පුරවැසියෙකු ලෙස ලද යුතු සියලු සිවිල් අයිතීන් හා වරප්‍රසාද සිංහලයා මෙන් ලබනවාද යන්න ගැටලුවකි.

 

කොටින්ම කියතොත් ලාංකීය ද්‍රවිඩයා හා සිංහලයා යනු තවමත් එකිනෙකා නොහදුනන ආගන්තුකයන්ය, එසේම එකිනෙකා සැක කරන්නන්ය. මෙම තත්වය තවත් ඔඩු දුවන්නට පසුබිම සකස් කරමින් අතිශය සිංහල බහුතර බලයකින් යුත් දේශපාලන නායකයකු දකුණේ තේරීපත්වීමද කැපී පෙනෙයි. මෙම නොකිළිටි මහ ජාතියේ රුධිරය නැමති භයංකර බීජය මේ මොහොත වන විට හොදින් පෙරළා සකස් කළ දකුණු පසේ ඉතා සරුවට වර්ගවාදී අයුරින් ඇතැම් පිරිස් රෝපණය කරමින් සිටිනු දක්නට ලැබේ. මහා රාවනා යුගයට නැවත ගමන් කිරීමටත්, “බයෝලොජි තිස්ස සර්ගේ ශුද්ධ ජාන මතවාදයත්” මෙන්ම “සන්නස්ගල සර් නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සෙවීමත්” ඉහත ක්‍රියාවලියේ කෘත්‍රිම ලෙස ආරෝපනය කරන ලද දිගුවන් ලෙස දැකිය හැකිය.

 

මෙම කොලම සම්පාදනය කරන මොහොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අතිශය වර්ගවාදී නායකයකු ලෙස හංවඩු ගසමින් අමෙරිකානු සිවිල් සමාජය විසින් ඔහු වෙසෙන ධවල මන්දිරය වටලා තිබීමෙන් ගම්‍යවන්නේ හිට්ලර්ගෙන් උගත් පාඩම තවමත් පශ්චාත් නූතන සමාජය පවා තවමත් හරිහැටි ග්‍රහණය කොට නොමැති බවයි. මොනම හේතුවකින් හෝ තැලෙන පොඩිවෙන ද්‍රවිඩ තරුණයා නැවතත් සිය විමුක්තිය උදෙසා ආයුධ දැරීමට තීරණය කළ හොත්, තිස්ස සර්ලාගේ ශුද්ධ ජාන පෙන්නා අහිංසකයින් මියයාම නැවතිය නොහැකිය, කොටින්ම එවැනි තත්වයකදී මේ මොහොතේ අවදිවෙමින් සිටින හෙළයේ මහා රජු  රාවනාද නැවතත් මහා නින්දකට යනු නිසැකය. එනයින් පෙනෙනමානයේ ඇති මහා විපත හදුනා ගනිමින් ද්‍රවිඩයාද සිංහල දේශයේම මිනිස් කොට්ඨාශයක් වශයෙන් සාධාරණලෙස සමාජයට අනුගත කරගනීමට වත්මන් පාලකයා සමත්වූ කල ඔහු පෙර අහිමි කරගත් ද්‍රවිඩ ඡන්ද ගෝනිය ඔහු විසින්ම නැවතත් අත්පත් කරගනු ඇත, එලෙසම ලාංකිකයා ප්‍රථමවරට ත්‍රස්ථවාදයට එරෙහිව ලාංකීය ජාතියක් වශයෙන් තමන් ලද ජය ද්‍රවිඩයාද සමග අත්වැල් බැදගනිමින්ම සමරනු ඇත.

 

 

 

 

 

 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සෙකා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment