නවතම පුවත්

මෙරට පළමු වතාවට විදුලි දුම්රිය ‌‌සේවයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ පළමු වරට විදුලියෙන් ක්‍රියාත්මක නාගරික පොදු ප්‍රවාහන දුම්රිය සේවයක් ආරම්භ කිරීම සඳහා ජපාන රජය රුපියල් බිලියන 48ක සහන ණය ආධාර මෙරටට ලබාදී ඇත.

මාලබේ සහ කොළඹ කොටුව අතර මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමට නියමිත අතර මීට අදාල ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා , ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනය (ජයිකා – JICA) අද (11) අත්සන් තැබීය..

මෙරට වාණිජ අගනුවර හා පරිපාලන අගනගරය මෙම දුම්රිය පද්ධතිය හරහා එකට සම්බන්ධ වනු ඇත් බවත් කොළඹට පැමිණීමට ඇති තදබදයට මේ හරහා ස්ථිරසාර විසදුමක් ලැබෙනු ඇති බවත් ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනය සඳහන් කර සිටී.

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර දළ වශයෙන් කිලෝ මීටර 16කි. මාලබේ තොරතුරු තාක්ෂණ අංගනය, බත්තරමුල්ල, රාජගිරිය, කොටාපාර දුම්රිය ස්ථානය, ජාතික රෝහල සිට වර්තමාන කොටුව දුම්රිය ස්ථානය දක්වා ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිත නැවතුම් ස්ථාන 16ක් මෙම ප්‍රවාහන පද්ධතියට අඩංගු ය.

උදෑසන සහ සවස, කාර්යබහුල වේලාවන්හිදී සෑම මිනිත්තු 2-3 වරක් දුම්රියක් ධාවනය කිරීමට නියමිත ය. මැදිරි හතරකින් යුත් එක් දුම්රියකින් මගීන් 800ක් පමණ ප්‍රවාහනය කළ හැකි අතර, අනාගත අවශ්‍යතාව මත දුම්රිය මැදිරි වැඩි කළ හැකිය. පැයට කිලෝ මීටර 80ක උපරිම වේගයකින් යුත් මෙම දුම්රියට මාලබේ සිට කොටුව බලා යාමට ගත වන කාලය දළ වශයෙන් මිනිත්තු 30 (නැවතුම් කාලසීමාව ද ඇතුළුව) කි.

මාලබේ – කොටුව නාගරික සැහැල්ලු දුම්රිය ප්‍රවාහන සේවය ඉදිකිරීමේදී ජපන් තාක්ෂණය යොදාගැනේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර තාක්ෂණ හුවමාරුව සහ ආර්ථික සහයෝගීතාව නගාසිටුවීමට ජයිකා මෙම සහණ ණය ලබාදෙන්නේ විශේෂ ආර්ථික සහයෝගීතා වරප්‍රසාද යටතේ ය. එනම්, ඉදිකිරීම් කටයුතු සහ උපකරණ වියදම සඳහා 0.1%ක් සහ ඉංජිනේරු සේවා වියදම් සඳහා 0.01%ක වැනි ඉතා අවම වාර්ෂික පොලී අනුපාත අය කෙරෙන අතර ණය ආපසු ගෙවීමේ කාලසීමාව වසර 40කි. ඊට වසර 12ක සහන කාලයක් ද අන්තර්ගත ය.

සෙසු පොදු ප්‍රවාහන සේවා සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් මෙම සැහැල්ලු දුම්රිය මාර්ගයට සමගාමීව මාලබේ (බස් නැවතුම්පොළ ආශ්‍රිතව) සහ කොටා පාර (දුම්රිය නැවතුම ආශ්‍රිතව) යන ස්ථානවල බහුවිධ ප්‍රවාහන පර්යන්ත ඉදිකිරීමට ද යෝජනා වී ඇත. ඊට අමතරව කොළඹ කොටුවේදී යෝජිත බහු විධ ප්‍රවාහන කේන්ද්‍රය හරහා බස් රථ පර්යන්තයත් දුම්රිය පර්යන්තයත් සමඟ සැහැල්ලු දුම්රිය පද්ධතිය සම්බන්ධ වේ.

එමෙන්ම මෙම සැහැල්ලු දුම්රිය පද්ධතියේ නැවතුම්පොළවල් සේම දුම්රිය මැදිරි ද ආබාධිත පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන්ට හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුවෙන් ප්‍රවේශවිය හැකි අයුරින් ඉදිකෙරේ.
මාලබේ- කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගයේ පරිසර බලපෑම් වාර්තාව ඇතුළු ශක්‍යතා අධ්‍යයන වාර්තාව සිදුකරන ලද්දේ ද ජයිකා ප්‍රදානයක් මගිනි. එහි පරිසර බලපෑම් වාර්තාවට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.
ඉහළට එසවුණු කණු මතින් දිවෙන දුම්රිය මාර්ගය නිසා ඉඩම් අත්පත් කරගැනීමේ අවශ්‍යතාව අවම වුවද නැවතුම් පොළවල් ආශ්‍රිතව හා දුම්රිය ඩිපෝව සඳහා ඉඩම් අත්පත් කරගත යුතුව පවතී. ව්‍යාපෘතිය භාරව ක්‍රියා කරන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, (ජාතික ප්‍රතිස්ථාපන ප්‍රතිපත්තියට අනුව) මෙම ඉඩම් පවරාගැනීම සිදුකරන අතර ජයිකාහි පාරිසරික හා සාමාජීය පිරිවිතර ද අනුගමනය කරමින් පොදු සංවර්ධන ව්‍යාපෘතිවලදී පූර්ණ සමාජීය සංවර්ධනයක් ඇතිකිරීමට අවධානය යොමුකර තිබේ.
මෙම දුම්රිය මාර්ගය හා දුම්රිය නැවතුම්පොළවල්, අතිශය ජනාකීර්ණ මහා මාර්ගවලට ඉහළින් ඉදිවන බැවින් ඉදිකිරීම් කටයුතු අතරතුරදී ඉදිකිරීම් සේවකයින්ගේ මෙන්ම මහජනතාවගේ ද ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීම ඉතා වැදගත් වේ. එබැවින් ව්‍යාපෘතිය ඉදිකිරීමේදී අනුගමනය කරනු ලබන ආරක්ෂිත පටිපාටි කෙරෙහි ජයිකා වැඩි සැලකිල්ලක් යොමුකරනු ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ජයිකාහි ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා මෙම ණය ගිවිසුමට අත්සන් තැබීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි