දේශියවිශේෂාංග

Share now!

අමරසූරිය පවුලේ මූලාරම්භකයා ලෙස ගැනෙන මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මැතිඳු උපත් ලබන්නේ 1847 දී ගාල්ලේ උණවටුනේ ජිරිස් ද සිල්වාගේ හා ගාර්දියෙවසම් පුංචි හේවාගේ මිනෝහාමි නෝනාගේ දරුවකු ලෙසිනි.කුඩා කළ බොනවිස්ටා විද්‍යාලයෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ මේ දරුවා ඉන් අනතුරුව තැපැල් නැවක සේවයට පත්විය. තුන් අවුරුද්දක ඒ සේවයෙන් පසුව නැවත මෙරටට පැමිණි මොහු ටී.වැන්ඩර්ස්පාර් සමාගමේ ගණකාධිකාරිවරයෙකු ලෙස බැදුනි.සරණ බන්ධනයට සුදුසු වයස එළැඹීම හේතුවෙන් ඔහු 1869 දී වැලිගම පලාතේ සුප්‍රසිද්ධ පවුලකට අයත් දෝන ක්‍රිස්තිනා ලොකු බදු ජයසූරිය මැතිණිය හා විවාහ විය.එතුමිය වනාහි අමරපුර නිකායේ ( අම්බලන්ගොඩ සුනන්දාරාමය මුලස්ථානය කොට ගත්) මහ නායක ධුරන්දරව වැඩ විසූ භාෂා ශ්‍රාස්ත්‍ර විශාරදවරයෙකු වූ වැලිගම සුමංගල මහනාහිමියන්ගේ සහෝදරියයි.

1877 දී වැන්ඩර්ස්පාර් සමාගමේ සේවයෙන් අස්වන එතුමන් ස්වකීය වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සුක විය.කෙමෙන් කෙමෙන් එම ව්‍යාපාර දියුණු වීමෙන් 1885 වන විට දකුණු ලක්ෂපතියා බවට එතුමන් පත් විය.
මේ කාළයේ දී එතුමන් ශ්‍රී ලංකාවේ නැගී එමින් තිබූ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයට සම්බන්ධ වීම එම ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි වේ.ඕල්කට්තුමා මුණ ගැසීමෙන් පසු ගාලු පරමවිඥාර්ථ සමිතිය පිහිටුවා එහි ප්‍රථම ලේකම් වශයෙන් එතුමන් කටයුතු කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස ගාලු කොටුවේ මහින්ද විද්‍යාලය ආරම්භ කිරීමෙන් නොනැවතී උණවටුණ,ගින්තොට,
මීපාවල,දංගෙදර,ගණේගම,කටුකුරුන්ද යන ගම් වල ද පාඨශාලා ආරම්භ කරන ලදී.
ඕල්කට්තුමාගේ ඉල්ලීම පරිදි ඉන්දියාවේ අදියාර්හි පිහිටි පරමවිඥාර්ථ සමාගම් මූලස්ථාන උද්‍යානයේ තැඹිලි පැල දහසක් සිටුවා ” අමරසූරිය උද්‍යානය ” තනවන ලදී.ඉන් නොනැවතී ජෝන් ද සිල්වා ශූරීන් ආදීන්ගේ නාට්‍ය ගාල්ලේ ප්‍රදර්ශනය කරවීමට අනුග්‍රහය ලබා දෙමින් ජනතාව තුව දේශමාමක චින්තනයක් ඇති කරවීමට සමත් විය.මෙසේ කළ සේවය ගැන ද පැහැදුනු ලංකාණ්ඩුව මෙතුමන්ට මහේන්ද්‍රපාල යන ගෞරව නාමය සහිතව මුහන්දිරම් පදවියක් පිරිනැමූ අතර 1907 දී එතුමා ජන්මාන්තර ගත විය.

එතුමන්ගේ පුත් හෙන්රි අමරසූරිය ධනෝපායන ක්‍රමය බවට පත් කර ගත්තේ පියා මෙන් වෙළදාම නොව වැවිලි කර්මාන්තයයි.අක්මීමණ සයිට්‍රස් වතුයායෙන් ආරම්භ කළ වැවිලි කර්මාන්තය මොරවක් කෝරළය දක්වා දික්ගැස්වීමට ඔහු සමත් විය.අවුරුදු කිහිපයක ඇවෑමෙන් රබර් අක්කර පන්දහසක අයිතිකරුවා බවට හෙන්රි අමරසූරියතුමාණෝ පත් වූහ.මේ කාළයේ දීම තම පියා තැනවූ පාඨශාලා ප්‍රමාණය දෙගුණ තෙගුණ කිරීමට මොහු සමත් වූ අතර ම පියදාස සිරිසේන මහතා ගාල්ලට ගෙන්වා යන්ත්‍රාලයක් පිහිටුවා සිංහල ජාතිය පුවත්පත ප්‍රකාශයට පත් කිරීමට යෙදුනි.එහෙත් නොසිතූ අයුරින් 1916 සැප්තැම්බර් 25 වැනිදා එතුමන් මෙලොවින් සමු ගත්තේය.
හෙන්රි අමරසූරිය තුමන්ට හා කර්ලැයින් අමරසූරිය මැතිණියට දාව 1904 දී උපන් හෙන්රි වුඩ්වඩ් අමසූරියතුමා වනාහී මේ පරපුරේ උපන් මහා අනේපිඬුසිටාණෝය.කුඩා කළ දීම සිදු වූ සිය පියාගේ අභාවයෙන් පසු අමසූරිය පවුලේ අනාගතය රැදී තිබුණේ මෙතුමන් අතෙහිය.පාසල් කාළයේ දී අති දක්ෂ ශිෂ්‍යයකු වූ එතුමන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද විය.

තම පියා හා මුත්තනුවන් ගිය මඟ ම යමින් එය අතික්‍රමණය කළ මේ තරුණයා මේ රටට නිදහස ලබා දීමේ කටයුත්තටද අත හිත දෙන්නට විය. ඒ අනුව 1935 ලංකා ජාතික සංගමයේ සභාපති තනතුරට පත් වූ අතර 1938 දී මෙරටට නිදහස ඉල්ලා යටත් විජිත භාර මහ ලේකම් හමු වීමට එතමන් එංගලන්තයට ගියේය.එක්සත් ජාතික පක්ෂ ආරම්භක අවස්ථාවේ දී ප්‍රථම මහලේකම් බවටද පත් වූ එතුමන් 1948 දී නිදහස් ශ්‍රී ලංකාවේ වෙළද ඇමති ධුරය හිමි කරගන්නා ලදී.

ආගමික වශයෙන් එතුමන් කළ සේවය ගැන කියා නිම කළ නොහේ.පරමවිඥාර්ථ සමාගමේ උපසභාපති,සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපති,මහාබෝධි සමාගමේ උපසභාපති,විද්‍යොදය විද්‍යාධර සභාවේ සභාපති ආදී නිලතල උසුලමින් ඔහු වියපැහැදැම් කළ ධනය මෙතෙකැයි කිව නොහැකිය.විද්‍යොදය මහ පිරිවෙන වැසී යාමට ආසන්නව දුබලව පැවති අවස්ථාවේ දී අකුරටියේ අමරවංස හිමියන් විද්‍යොදය පරිවෙනාධිපති කිරීමට ඔහු ගත් උත්සහය නොවන්නට ඇතැම් විට අද අපිට දකින්නට හෝ ඒ පින් බිම ඉතිරි නොවනු ඇත.

ඔහු අවසානයේ මහා පරපුරකට සෙවන දුන් උණවටුනේ මේ “අමරගිරි මහ වලව්ව ” ද ගුරු විද්‍යාලයක් බවට පත් කළේය.ජීවිතයේ සැදෑ සමග දෑස් අඳව ගත කළ එතුමන් 1981 මාර්තු 6 වැනිදා අප අතරින් සමු ගත්තේය.
එවන් මතක සැමැරුම් කැටි කොට ගත් අමරගිරි මහ වලව්ව අභිමානවත්ව නැගී සිටින්නේ ඒ ස්වර්ණමය ඉතිහාසය අපට යළි යළි මතක් කර දෙන්නා සේ නොවේමද ?

රුවන් වින්ඩ්සර්
අමරගිරි මහ වලව්වේ අතීතයෙන් බිදක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment