නවතම පුවත්

ශ්‍රී ලංකාව වයිට් වොෂ් වෙයිද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්දින පිටියේ දිගින් දිගටම අසාර්ථක ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පූර්ණ තරගාවලි පරාජයකට (වයිට්වොෂ්) දොරටු විවර කරගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ඊයේ (13දා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද කඩුලු 06ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 05කින් යුත් එක්දින තරගාවලිය තරග 4-0ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවේ.

පෝට් එළිසෙබෙත්හි පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 190ක පහසු ඉලක්කය කඩුලු 04ක් දැවී තරගයේ 32 (32.5)වැනි පන්දු වාරයේදී පසුකර යෑමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ.

සුපුරුදු පරිදි මෙවරද ඩි කොක්ගේ පිත්ත ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අතර, ඔහු ලකුණු 51ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබාදුන්නේය. මෙය ඩි කොක් එක්දින පිටියේ ලකුණු 50 සීමාව අඛණ්ඩව පසුකර ගිය 06 වැනි අවස්ථාවද විය. ඔහුට අමතරව ඩු ප්ලෙසිස් (43), ජේ.පී. ඩුමිනි (නොදැවී 31), ඒඩියන් මාක්‍රම් (29) ජයග්‍රහණයට අවශ්‍ය පසුබිම සකසා දුන්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ධනංජය ද සිල්වා කඩුලු 03ක් බිඳළීය.

ශා. ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 189ක් පමණි.

ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටීමට තිබූ ශ්‍රී ලංකා ඉනිම තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ඉසුරු උදාන මෙහිදී ලකුණු 78ක් (පන්දු 57) රැස්කිරීමට සමත් විය. පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට නම්කළ ඉසුරුගේ වේගවත් ඉනිමට පිටපිට එල්ල කළ හයේ පහර ත්‍රිත්වයක් සමගින් හයේ පහර 04ක් හා හතරේ පහර 07ක් ඇතුළත් විය. 

මෙය ඔහුගේ පළමු එක්දින අර්ධ ශතකයද වන අතර, ඔහු කසුන් රාජිත සමගින් අවසන් කඩුල්ලට (09 වැනි) ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

මෙම තරගයෙන් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉවත් කර තිබූ අතර, ඒ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට උපුල් තරංග කැඳවා තිබිණි. කෙසේ නමුත් උපුල්ගෙන් බලාපොරොත්තු වූ ආරම්භය නොලැබුණු අතර, ඔහු ලකුණු 04ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේය.

පසුගිය තරග ද්විත්වයේ සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට ලබාදුන් ඕෂධ ප්‍රනාන්දුද ඊයේ අසාර්ථක වූ අතර, එකඳු ලකුණක් හෝ රැස්කිරීමට පෙර ඔහුද දැවී ගියේය. මෙම තරගාවලියේදී එක්දින වරම් දිනාගත් ඕෂධ මුහුණදුන් පසුගිය තරග ත්‍රිත්වයේදී 25, 31, 49 ලෙස ලකුණු රැස්කර තිබිණි.

දිගින් දිගටම කඩාවැටෙන ශ්‍රී ලංකා ඉනිමට ධනංජය ද සිල්වා වැනි අත්දැකීම් සහිත පිතිකරුවෙකු පිතිකරණ ලැයිස්තුවේ පහළින් සිටියදී, පන්දුවට පහරදීමට පැමිණි ප්‍රියමාල් පෙරේරාද තමා මුහුණදුන් පළමු පන්දුවෙන්ම උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. 23 හැවිරිදි ප්‍රියමාල්ගේ පළමු එක්දින තරගය මෙයයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසානය වේගවත් කිරීමට උත්සාහ කළ ධනංජය ලකුණු 22ක් රැස්කර ගෙන සිටියදී පිටියෙන් ඉවත්ව ගිය අතර, ඒ සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව 123/8ක් ලෙස සටහන් විය. ලසිත් මාලිංගද ලකුණු රැස්කිරීමට පෙර දුවද්දී දැවී යෑමකට හසු වූ අතර, ඒ අනුව ලකුණු පුවරුව 131ක් වනවිට කඩුලු 09ක් ශ්‍රී ලංකාවට අහිමි විය.

කෙසේ නමුත් ඉසුරු උදාන හා කසුන් රාජිත ලකුණු 189ක් දක්වා ඉනිම ඉදිරියට රැගෙන ආවේය. මෙහිදී ඉසුරුගේ අගනා ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.

ශ්‍රී ලංකාව 189/10 (පන්දුවාර 39.2)

ඉසුරු උදාන 78 (57, 4×7, 6×4), අවිශ්ක ප්‍රනාන්දු 29 (27, 4×5), ධනංජය ද සිල්වා 22 (46, 4×2), කුසල් මෙන්ඩිස් 21 (42, 4×1), එන්රිච් නෝජ් 3/57 (8), අන්ඩිලේ පෙලක්වායෝ 2/21 (5.2)

දකුණු අප්‍රිකාව 190/4 (පන්දුවාර 32.5)

කුවින්ටන් ඩි කොක් 51 (57, 4×6), ෆෆ් ඩු ප්ලෙසිස් 43 (38, 4×5, 6×1), ජේ.පී. ඩුමිනි නොදැවී 31 (21, 4×4, 6×1), ඒඩියන් මාක්‍රම් 29 (32, 4×3), ඩේවිඩ් මිලර් නොදැවී 25 (33, 4×1, 6×1), ධනංජය ද සිල්වා 3/41 (10), කසුන් රාජිත 1/32 (5) 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි