විශේෂාංගසිව්කොණ

Share now!

“ජනතාවගේ විමුක්තිය” හැළුණු ජාතික ජනබලවේගයේ “ජවිපයම” නොවන ජවිපයේ නව සටන් පාඨ හා ලාංකීය දේශපාලනයේ නව විකල්පය

සිවුකොණ ලියැවෙන මේ මොහොතේ ලාංකීය සිවිල් වැසියාගේ සර්වජන ඡන්ද බලයේ මහිමයෙන් අති ප්‍රබල ආණ්ඩුවක් බිහි වී හමාරය. එය අන් කවරදාකටත් වඩා බල සම්පන්නය, කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි පන්නයේය. නමුත් අද සිවුකොණ කොලම වෙන් වන්නේ නැවුම් ආණ්ඩුවේ බලයේ දිග පළල පිළිබදව හෝ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට තිහක් ඡන්ද පොලට නොපැමිණීම පිළිබදව කථිකා කිරීමට නොවේ. කොටින්ම ප්‍රකාශිත ඡන්දයන්ගෙන් ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රතික්ෂේප කරතිබීම ගැන පැවසීමට හෝ පැවති දේශපාලන තට්ටු මාරු ක්‍රමයේ පැවති ප්‍රබල විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ සේදීයාම පිළිබදව කථිකා කිරීමටද නොවේ. එසේම විපක්ෂ දේශපාලන ව්‍යුහය වෙත අලුතින් සපැමිණි සජිත් ප්‍රේමදාස පන්නයේ සමගි ජන බලවේගය පිලිබදව හෝ ලද එකම මන්ත්‍රී ධූරය බදා ගැනීමට නොහී නඩු මගට බැසීමට සිවුරු සකසමින් සිටින උන්නාන්සේලා පිළිබදව ද මේ කඩිමුඩියේ කථිකා කිරීමෙන්ද පලක් නැත. එසේනම් මේ මොහෝතේ වඩාත් වැදගත් ලෙස ඉස්මතු කරමින් කථිකාවට බදුන් කළ යුත්තේ අති ප්‍රබල ආණ්ඩුවක් ඉදිරියේ පවතින අතිශය දුර්වල විපක්ෂයේ භූමිකාව මෙන්ම මේ මොහොතේ ශීඝ්‍රයෙන් ලාංකීය දේශපාලන භූමියෙන් වදවෙමින් පවතින දේශපාලන විකල්පය පිළිබදවය.

 

ඉතිහාසයේ වාමාංෂික ප්‍රවේශයකින් දේශපාලනයට පිවිසි ජනතා විමුක්ති පෙරමුණ විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුලද තවත් විටෙක ආයුධ සන්නද්ධවද පැවති ධනේෂ්වර පාලන තන්ත්‍රයට එරෙහිව සටන් කළද ඔවුහු 1990 දශකයෙන් ඉක්බිති දේශපාලන සන්ධර්භය තුල ලාංකීය දේශපාලනයේ විකල්පයේ භූමිකාව නියෝජනය කළහ. විටෙක පැවති චන්ද්‍රිකා රජයේ ඇමති ධූර ලබමින් ද අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ සැලකියයුතු ආසන සංඛ්‍යාවකට හිමිකම් කියමින් දශක දෙකකට ආසන්න කාලයක් යම් කිසි ප්‍රබල දේශපාලන විකල්ප බලයක් හිමි කොට හුන් ජවිපය වත්මන වැටී සිටින තත්වය අතිශය සෝචනීයය. ඔවුන් කෙතරම් අසරණ අඩියකට වැටී සිටින්නෙද යත් පුංචි කොලු ගැටවුන්ගේ යූ නාල මෙන්ම සෙසු සමාජ ජාල අවකාශ තුල නැතුවම බැරි දේශපාලන කට ගැස්ම බවට ජවිපය පත්ව තිබීම බැරෑරුම්ව ඉස්මතු කළ යුතුය.

 

පැවති ආණ්ඩු පක්ෂ විසින් ගිනි මද්දහනේම මහජන දේපල සොරා කෑවද ජවිපය තුල එවන් දේශපාලන සොරුන් සිටියේ නැත. කොටින්ම ජවිපය සැමවිටම උත්සහ ගත්තේ ලාංකීය මජර දේශපාලනය තුල යම් දේශපාලන විනයක් පවත්වා ගනිමින් වියතුන් පිරිසක් ද සමගින් දේශපාලන ආදර්ශය සැපයීමටය. නමුත් මෙහිදී මතුවන ගැටලුව වන්නේ අතිශය දූෂිත ප්‍රධාන ධාරාවේ දේශපාලනය මැනවින් මහ ජනතාව වටහා ගත්තද සොරුන්, තක්කඩියන් නොමැති විනයක් ඇති ජවිපය මෙතරම් ලාංකීය ජනයා විසින් දේශපාලනිකව පිළිකෙව් කිරීමට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතුය.

 

ජවිපය ලාංකීය දේශපාලන දෘෂ්ඨිවාදය තුල ජනතාවගෙන් මෙතරම් බරපතල ලෙස විතැන් වීම සදහා බලවත් සංස්කෘතික කාරණයක් බලපානු ඇති බවට අනුමාන කළ හැකිය. අක්‍රමවත් අයුරින් ආයුධ දැරීම හා එහි ප්‍රතිථලයක් වශයෙන් දේශපාලන අරගලයන් පරාජයට පත්වීමත් සමග ලාංකීය දේශපාලන භූමිය මත ඔවුන් විසින් වැපිරූ අවිශ්වාසයේ බීජ වත්මන් තත්වය හමුවේ රූස්ස වෘක්ෂයන් ලෙස බොහෝ ජනයාගේ සිත් තුල අතුපතර විහිදා වැඩී තිබීම මෙයට බලපානු ලබන මූලික කාරණය වශයෙන් පෙන්වා දිය හැකිය. එසේම මෙකී අවිශ්වාසය ඉතිහාසයේ පටන්ම ජවිපයට සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ඉස්මතුවීම වැළකූ බලවත් ප්‍රතිරෝදකය වශයෙන් ක්‍රියාත්මක විය.

 

අනෙත් කාරණය වන්නේ ජවිපය දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් සංස්කෘතිකානුගත වීමේදී ඔවුන්ගේ පොදු ක්‍රියාන්විතය සමාජය වෙත විවෘත ලෙස කියවා ගැනීමට ඉඩ නොදීමය. අනෙත් අර්ථයෙන් කිවහොත් ඔවුන්ගේ පවතින අතිශය සංවෘත උපසංස්කෘතික දේශපාලන ක්‍රියා පටිපාටින්ය. නිදසුනක් වශයෙන්, ජවිපයේ පාර්ලිමේන්තු සභිකයින් විසින් සිය මන්ත්‍රී වේතනය පක්ෂ අරමුදලට පරිත්‍යාග කරනු ලබන අතර කිසිදු දේශපාලන මණ්ඩලික සභිකයෙකු හට සිවිසල් වත්කම් සදහා හිමි කම් නොකියයි. ඔවුන් පවසන්නේ එසේය. කොටින්ම ඔවුන් පොදු පරිභෝජනවාදී සුඛෝපභෝගයෙන් තොර මනුෂ්‍යයින් පිරිසක් බවද සමාජය හමුවේ ඒත්තු ගන්වයි. නමුත් ඔවුන්ගේ පෞදගලික නිවාසය සුවිසල් වනවිට, කලිසම් සාක්කුවෙන් ස්මාර්ට් ජංගම දුරකථනයක් එළියට පමිණිවිට එසේත් නොමැතිනම් සිය දරුවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් උපාධියක් දිනූ කල ජනතාව සෘජුව ප්‍රශ්න කරනුයේ එය එසේ වන්නේ කෙසේද කියාය. එවන් අවස්ථාවන්හීදී ජවිප සාමාජිකයින් විසින් ඉතා නිර්මාණශීලී ප්‍රතිචාර ඒ සදහා ලබා දුන්නද ඒ සියල්ලකින් පිළිබිඹු වූයේ ඔවුන් ජනතාව ඉදිරියේ පත්වූ දැඩි අපහසුතාව මිස අන් කවරක් නොවේ.  කොටින්ම ජවිප සාමාජිකයින් මතින් දුමෙන් තොර යැයි සමාජය ඉදිරියේ මවා පෑවද එළිපිට නොවුවත් රහසේ ඔවුන් දුමක් අදිමින් මධුවිත තොල ගාන බව දන්නෝ හොදින් දනිති.

 

අවසන් වශයෙන් ජනතාව ජවිපය පිළිබදව පොදුවේ ඇති කර ගත් මතය වන්නේ ” කතාව විතරයි වැඩ නැහැ” යනුවෙනි. ඒ සදහා ආසන්නම හේතුව වන්නේ ජවිපය විසින් යමක් විවේචනය කිරීමේදී සැමවිට ජවිපය නිවැරදියි අනෙකා වැරදියි යන මතයේ සිට කටයුතු කිරීමය. එය ව්‍යාජ උද්දච්චකමක් දැයි යන්න සමාජය විසින් ගම්‍ය කොට හමාරය. කෙසේ වෙතත් මෑතකාලීන දේශපාලනය තුල ජවිපය දක්ෂිණාංෂික පක්ෂ විසින් යොදා ගනු ලැබුවේ කුදු “වාමාංශික අවතාරයක්” වශයෙනි. මෙකී වාමාංෂික අවතාරය මවා පෑම මගින් උග්‍ර දක්ෂිණාංෂික දේශපාලන ධාරාවන් විසින් සිය දේශපාලන උප්පරවැට්ටි වඩා නිර්මාණාත්මක ලෙස ජවිප ලවා කරව ගත්තා විනා ඉන් ජවිපය දේශපාලනිකව ලද කිසිදු වරප්‍රසාදයක් නොමැත. මෙකී තත්වය හොදින් ඉස්මතු වූයේ එක් දේශපාලන පවුලකට එරෙහිව තවත් දක්ෂිණාංෂික දේශපාලන පක්ෂයක නොනිළ දේශපාලන අතකොළුවක් වශයෙන් ජවිපය අවාසනාවන්ත ලෙස යොදා ගනිමින් ජවිපයට ඉතිරිව තුබූ අංශු මාත්‍රික ජනතා ප්‍රසාදය පවා ඔවුන් වෙත අහිමි කරවීමය මගිනි. එහි ප්‍රතිථලයක් වශයෙන් ජවිපය වත්මන් ලාංකීය දේශපාලන රාමුව තුල පරාජය වී හමාරය.

 

එසේ පරාජයට පත් ජවිපය දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් මියැදෙන්නේ “ජාතික ජන බලවේගයේ” උපතත් සමගය. ජවිපයේ මිනී පෙට්ටියට අවසන් ඇණය එහි නායක අනුර සහෝදරයා ඇතුළු සෙස්සන් විසින් ගසනු ලැබුවේ මෙවර පාර්ල්මේන්තු මැතිවරණය වෙත ඔවුන්ගේ නැවුම් දේශපාලන ව්‍යාපාරය ජනගත කරමින් සෑම දිස්ත්‍රික්කයකින්ම අපේක්ෂකයෙක් ඉදිර්පත් කරමිනි. වෙනදා ඉස්මතු වන දැඩි රුසියානු ලෙනින්වාදී වාම මතධාරීන් වෙනුවට ජනප්‍රිය තලයේ මුහුණු ජනබලවේග වේදිකාව මත දක්නට ලැබුණි. නමුත් ජාතික ජන බලවේගය ප්‍රමුඛ අනුර සහෝදරයා වටහා ගත්යුත්තේ මිය ගිය ජවිපයේ පින්තූරය පමණක් මල්මාලයක් පළදවා පක්ෂ කාර්‍යාලයේ ප්‍රදර්ශනය කරමින් එයට බුහුමන් දක්වමින් ජවිපය නොවන නැවුම් ගමනක් “ජාතික ජන බලවේගය” සමග යෑමට වඩා ප්‍රායෝගික බවය. කොටින්ම ජවිපයේ සම්ප්‍රදායික මතවාදය වූ “ජනතා” නම් වූ සංකල්පය බිද දමා වඩාත් ජාතික වාදී “ජාතික” සංකල්පය සිය නව දේශපාලන ව්‍යාපාරයේ නමට වෙත ඈදා ගැනීමෙන් ඇතැම්විට වාම නොවන පොදු ජනයා පවා ජාතික ජන බලවේගය වෙත ඇදී එනු ඇත.  එසේ වනවිට අනාගතයේ දිනක අනුර සහෝදරයාම නොවුනද වෙනත් නායකයකු යටතේ ජාතික ජනබලවේගය ලක්දිව සිසාරා සිය බල පරාක්‍රමයේ අතු සවිමත්ව විහිදුවනු ඇත.

 

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment