විශේෂාංග

Share now!

ගයාන් කුමාර වීරසිංහ

පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රීසීන් විසින් මුහුදු බඩ ප්‍රදේශ අත්පත්කර ගැනීමත් සමගිනි ඒ ක්‍රීස්තුවර්ෂ 1796 දීය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මුල්ම පොලිස් ස්ථානය ලෙස සැළකෙන්නේ මරදාන පොලිස් ස්ථානයයි. එහෙත් අපේ රටේ විධිමත් ආකාරයට ව්‍යවස්ථාපිතව පොලීසියක් ක්‍රියාත්මක වූයේ යැයි සැලකෙන්නේ 1866 සැත්තැම්බර් 03 වෙනිදා සිටය. එදා පත්වන පළමු පොලිස්පති ලෙස සැළකෙන්නේ ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මහතා ය. එතැන් සිට ගෙවී ගිය වසර 154 ක ඉතිහාසය තුළ පොලිස්පතිවරු 34 දෙනෙක් ගේ නායකත්වය පොලිස් සේවාවට ලැබී ඇතිබව පොලිස් ඉතිහාස තොරතුරුවල සදහන්ය. 2019 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා පොලිසියට නායකත්වය ලැබෙන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙකුගෙනි. ඔහු සී.ඩී. වික්‍රමරත්න මහතාටය. 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව වැඩ බලන්නට පත්කරන සී.ඩී. වික්‍රමරත්න මහතා පොලීසියට නායකත්වය දෙන්නේ පොලිස් ඉතිහාසයේ දීර්ඝ කාලයක් වැඩ බැලූ පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට ද එක්වෙමිනි. පසුගිය මාර්තු 15 වෙනිදා පූජිත් ජයසුන්දර මහතා සිය වයස අවුරුදු 60 පිරීමෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැන්නුනද 35 වෙනි පොලිස්පතිවරයාව පත්නොකිරීම හේතුවෙන් තවදුරටත් වැඩ බලන්නට සිදුව ඇත්තේ සී.ඩී. වික්‍රමරත්න මහතාටය. එම වැඩ බැලිල්ල තවත් එතරම් කාලයක් ඔහුට කරන්නට සිදු නොවනු ඇත. ඒ 35 වෙනි පොලිස්පති ලෙස පත්වන්නනට නියමිතව ඇත්තේ ඔහු වන බැවිනි. මේ වන විට පොලිස් සේවයේ සිටින ජේ්‍යෂ්ඨතම නිලධාරියා වන්නේද සී.ඩී, වික්‍රමරත්න මහතාය. ඔහුට පොලිස් සේවයේ කිසිදු අභියෝගයක් නොමැති බව ඔහු වැඩ බැලූ මේ කාලයම සාක්ෂි දරණු ඇත.

මේ සටහන් තබන්නට යන්නේ පොලිස්පතිවරු ගැන හෝ වැඩ බලන පොලිස්පතිවරයා ගැන නොව. අපේ රටේ කාන්තා පොලිස් නිලධාරීන් ගැනය. ඒ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය අලුත් වෙමින් කාන්තා නිලධාරිනියක් තව නොබෝ දිනකින් නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වන්නට සූදානමක් ඇති බැවිනි. ඇය කාන්තා හා ළමා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ වත්මන් අධ්‍යක්ෂිකාව වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්සානි ජයසිංහ ආරච්චි මහත්මියයි. ඇයට එම උසස් වීම ලැබුණු පසු ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය වන්නේ ඇයයි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ඇය තබා ඇති තවත් වාර්තාවක් වන්නේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට සහකාර පොලිස් අධිකාරී තරග විභාගයෙන් සමත්ව සහකාර පොලිස් අධිකාරීවරියක් වන පළමු කාන්තා නිලධාරිනිය ලෙසිනි.

බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය

බිම්සානි මහත්මිය පොලිස් සේවයට එක්වන්නේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙසිණි. ඒ 1997 වසරේ පෙබරවාරි 04 වෙනිදාය. සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමේ තරග විභාගයට ඇය මුහුණ දෙන්නේ 2000 වසරේදීය. එම විභාගයෙන් ඇය ඉහළ ලකුණු ප්‍රතිශතයක් ලබා ගනිමින් සමත් වූයත් ඇයට එම තනතුර අහිමි වන්නේ පිරිමි නිලධාරීන්ට පමණක් උසස් වීම් හිමිවීමේ පසු බිමක් හමුවේය.

ඇය තමාට වූ අසාධාරණයට එරෙහිව සටන් කළේ අධිකරණයට පවා ගොසිනි. දීර්ඝ නඩු විභාගයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලද නියෝගයකට අනුව ඇය 2007 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස උසස් වීම් ලබන්නේ ද පොලිස් ඉතිහාසය අලුතින් ලියමිනි. අනතුරුව ඇය 2013 වසරේදී පොලිස් අධිකාරීනියක් ලෙසත් 2017 වසරේ දෙසැම්බර් 31 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණියක් ලෙසත් උසස්වීම් ලැබුවාය.ඒ පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරීන්නියන්ට මේ තරමට ඉහළට එන්නට පාර කපා දුන් ප්‍රමිලා දිවාකර මහත්මියගේ අඩි පරේ යමිනි.

ආරම්භයේ පටන් පිරිමි නිලධාරීන්ට පමණක් වෙන්ව තිබුණු පොලිස් සේවාවට කාන්තාවන්ට දොරගුළු විවරවන්නේ විධිමත් පොලිස් සේවාවක් මෙරට ස්ථාපිත වී වසර 87 කට පසුවය. ඒ 1953 වර්ෂයේදීය. කාන්තාවන්ට ඒ අවස්ථාව එදා හිමිකර දෙන්නේ සර්. රිචඩ් අලුවිහාරේ පොලිස්පතිවරයාය. ඔහු සැළකෙන්නේ මෙරට පොලිස් සේවාවේ 12 වෙනි පොලිස්පතිවරයා ලෙසිණි. අපේ රටේ පොලිස් සේවාවේ මුල්ම ස්වදේශීය පොලිස්පතිවරයා ලෙස සැළකෙන්නේද සර්, රිචර්ඩ් අලුවිහාරේ මහතාය. ඊට පෙර පොලිස්පතිධුරය දැරූවන් 11 දෙනාම ඉංග්‍රීසි ජාතිකයන්ය. අනුරාධපුර දිසාපති ලෙස සේවයේ නිරතව සිටි සර්,රිචර්ඩ් අලුවිහාරේ මහතා විසින් අපේ රටේ කතුන්ට පොලිස් සේවයේ දොරගුළු විවරකරන්නේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිවි දෙනෙකු මුලින්ම පොලිස් සේවයට එක්කර ගනිමිනි. ඉතිහාසයේ තොරතුරුවල ලියැවී ඇති ආකාරයට අනුව මුල්ම පොලිස් කාන්තා නිලධාරිනිය ලෙස සැළකෙන්නේ සෝමා ගුණවර්ධන මහත්මියයි.

පොලිස් සේවය තුළ කාන්තාවන්ට එදා දොරගුළු විවර වූවත් ඒ අයට ඉහළට යන්නට ඉඩක් මුල් කාලයේ නොවීය. ඒ අවස්ථාව කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් පිරිමි නිලධාරීන් සමග උරෙන් උර ගැටී උදාකර දෙන්නේ මෙරට පොලිස් ඉතිහාසය තුළ වාර්තා රැසක් තබා ඇති ප්‍රමිලා දිවාකර මහත්මියයි. ඇය පොලිස් සේවයට පොලිස් කොස්තාපල්වරියක් ලෙස එක්වන්නේ 1958 දීය. ඒ පොලීසියට බදවාගත් පස්වැනි කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසිණි. ඇගේ කණ්ඩායමේ සාමාජිකාවන් 13 දෙනෙක් සිටියාය. එම කාන්තා නිලධාරිනියන් සමග ඒ වන විට පොලිස් සේවාවේ සිටි සමස්ත කාන්තා නිලධාරීන් ගණන 40 දෙනෙකි. කොළඹට කේන්ද්‍රව සේවය කිරීමට මෙම නිලධාරිනියන්ට අවකාශ ලැබෙන අතර වැඩි දෙනෙක් යෙදවෙන්නේ පිළිගැනීමේ නිලධාරීන්ගේ සහ දුරකතන ක්‍රියාකරුගේ සේවා කටයුතු සදහාය. ඊට අමතරව කොළඹ පාසල් අසල පදික මාරු අසල ඒ අයව සේවයට යෙදවෙන්නේ පාසල් දරුවන් පාර හරහා මාරුකරවන්නටය.

පොලිස් ඉතිහාසයේ සදහන් තොරතුරුවලට අනුව පොලීසියේ මුල්ම කාන්තා සැරයන්වරිය වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියය. ඒ තනතුර ඇය විසින් හිමිකර ගන්නේ සටන්කරය. කාන්තා නිලධාරීන්ට පොලිස් සේවය තුළ ඉහළට යන්නට අවස්ථාව උදාවීමේ හැරවුම් ලක්ෂය ලෙස සැලකෙන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියගේ එම උසස්වීමය. ඇයට එම උසස්වීම පවා ලැබෙන්නේ පොලිසියට එක්ව වසර 13 කට පසුවය. ඇය එතැනින් සිය සටන අතහැරයේ නැත. 1977 වසරේදී පොලිස් සේවයේ පළමු කාන්තා උප පොලිස් පරීක්ෂිකාව ලෙසද උසස්වීම් ලැබුවාය. අනතුරුව ඇය 1984 වසරේ පළමු පොලිස් කාන්තා පරීක්ෂකවරිය ලෙසත් , 1986 වසරේදී ඇය පළමු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව ලෙසත්, 1988 වසරේ පළමු කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය ලෙසත් 1994 වසරේදී පළමු කාන්තා පොලිස් අධීකාරීවරිය ලෙසත් ඇය පොලිස් සේවාවේ වාර්තා ගණනාවක්ම තබමින් ඉහළටම ගියාය. 1939 වසාරේ ජුනි 17 වෙනිදා උපන් ප්‍රමිලා දිවාකර මහත්මිය වයස අවුරුදු 60 සැපිරීමත් සමග පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේ 1999 වසරේදීය. ඒ වන විට ඇය සේවයේ නිරතව සිටියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරිය ලෙසිනි. ළමා හා කාන්තා කාර්යාංශයේ මුල්ම අධ්‍යක්ෂකවරිය වන්නේද ඇයය. එදා ඇයට අවුරුදු 60 න් විශ්‍රාම ගන්නට ඉඩක් නොවූවාය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීධුරයට උසස්කරමින් තවත් වසර තුනක් ඇයව පොලිස් සේවාය තුළ රදවා ගත්තේය. ඒ අනුව ඇයට පොලිස් සේවාවෙන් විශ්‍රාම ගැනීමට සිදුවන්නේ 2002 වසරේදීය.

ඇය දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් සේවාව තුළ සටන් කළේ පොලීසියේ කාන්තාවන්ට සම තැන ලබා ගන්නටය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස පවා ඇයට ඉහළට එන්නට අවකාශ ලැබෙන්නේ ඇයට තිබුණු ශක්තිය නිසාය. ඇය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කාන්තාවන්ට ඉහළට ඒමේ අවස්ථාව තිබුණේ උපරිම ලෙසින් අහුරාය. බිමිසාරි සටන් කරන්නේ ඒ සියල්ල බිද දමා පොලිස් සේවය තුළ කාන්තාවට සම ගැන හිමිකර ගන්නටය. පොලිස් කාන්තාවට ඇති අයිතීන් දිනා ගන්නටය. ඇය ඒ සියළු බාධක බිද දමා 2017 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස උසස් වීම් ලබන්නේ ප්‍රමිලා දිවාකර මහත්මිය විශ්‍රාම ගොස් වසර 15කට පසු කාන්තා නිලධාරිනියක් ඒ තැන හිමිකර ගනිමිනි. ඇගේ ඒ සටන නිසාම තවත් කාන්තා පොලිස් අධිකාරීවරියන් 08 දෙනෙකුට 2019 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරය හිමිවන්නේ ජාතික පොලිස් කොමිසමේද සහය ඇතිවය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එකවර කාන්තා නිලධාරිනියන් මෙතරම් පිරිසකට මෙයට පෙර කිසිදු අවස්තාවකදී උසස්වීම් ලබා දී තිබුණේද නැත. ඒ කාන්තා නිලධාරිනියන්ගේ උසස්වීම් වලට විවිධ බාධා කිරීම් නිරත්නතරයෙන් සිදුවූ බැවිණි.

එසේ උසස්වීම් ලබන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂධුරයේ සිටින තිලිණා ජයවර්ධන, පොලිස් පරියේෂණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයසුන්දර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ පද්මිණී වීරසූරිය, පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ධිමතී පෙරියප්පෙරුම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී දර්ශිකා කුමාරි, රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂික නිශානි සෙනෙවිරත්න, පොලිස් විශේෂ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මදාරා ආරියසේන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධික්ෂණ නිලධාරිනී ඉමේෂා මුතුමාලි යන පොලිස් අධිකාරීවරියන් අට දෙනාය.

මෙම නිලධාරිනියන් උසස් වීම් ලබන මොහොත වන විට පොලිස් දෙපර්තමේන්තුවේම සිටියේ පොලිස් අධීකාරිවරියන් 09 දෙනෙක් පමණි. නම වැන්නා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව වන ලංකා රාජනී අමරසේන මහත්මියයි. ඇය සිටින්නේ පොරොත්තු ලේඛනයේය.

මෙම නිලධාරිනියන් අතර සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස ඝෘජුව පොලිස් සේවයට එක්වූ නිලධාරිනියන් තිදෙනෙක්ද සිටින්නීය. ඒ මදාරා ආරියසේන, ඉමේෂා මුතුමාලි සහ ලංකා රාජිනී අමරසේන යන තිදෙනාය.
මෙම තිදෙනා ඇතුළු කාන්තා පොලිස් අධිකාරීවරියන් 08 දෙනාට උසස් වීම් ලබාදීමේදී පොලිස් දෙපාර්තමේන්තුව පැත්තේ තර්කය වූයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ සංඛ්‍යාවට අනුව පුරප්පාඩු ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එක් තනතුරක් පමණක් බවය. එම පුරප්පාඩුව ප්‍රමිලා දිවාකර මහත්මිය විශ්‍රාම ගැනීමත් සමග වූ පුරප්පාඩුව පමණි. ඒ වන විට බිමිසාරි මහත්මියගේ උසස් වීමෙන් එම පුරපාඩුවද සමුපූර්ණ වී තිබෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් එකග වන්නේ තවත් එක් කාන්තා නිලධාරිනියකට පමණක් එම අවස්ථාව ලබා දෙන්නටය. ඒ අනුව එම පුරප්පාඩුවට නම් කෙරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තිලිණා ජයවර්ධන මහත්මියවය. ඒ වන විට පොලිස් අධිකාරීවරියන් 09 දෙනෙක් සිටියද ඇයව නම් කෙරන්නේ ජ්‍යෙෂ්ඨත්ව ලේඛනයේ ඉහළින්ම නම සදහන් වූයේ ඇගේ වන බැවිනි. ඇයට එම උසස්වීම ලැබෙන්නේද ඇය සමග එකම දිනයේ පොලිස් අධිකාරී ධුරයට උසස්වීම් ලද තවත් නිලධාරීනියන් 05 දෙනෙක් සිටියදීය.

තිලිණා සමග එදා පිරිමි නිලධාරීන් 102 දෙනෙක් ජ්‍යෙෂ්ඨ්‍ පොලිස් අධීකාරීධුරයට උසස්වීම් ලැබූහ. පිරිමි නිලධාරීන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුර 169 ක්ද පොලිස් අධීකාරීධුර 162 ක්ද සහකාර පොලිස් අධිකාරී ධුර 314ක්ද වෙන්ව තිබියදී කාන්තා නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් කුඩඅම්මාගේ සැළකිල්ලක් ලැබෙන්නේ පිරිමි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පිරිමි ධුරයන්ද විස්සක් කිහක් පමණ පිරවීමට සුදුසුකම් ලත් පොලිස් අධීකාරීවරුන් නොමැතිව තිබියදීය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීධුර 169 ක් වෙන් වන්නේ පිරිමි නිලධාරීන් 75000 කට ආසන්න පිරිසක් වෙනුවෙනි. කාන්තාවන්ට එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීධුරයක් වෙන් වන්නේ නිලධාරිනියන් 8000 කට වැඩි පිරිසක් වෙනුවෙනි. අනුපාතයක් ලෙස ගත් කල පිරිමි නිලධාරීන් 450 කට පමණ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වෙන් වෙන විට කාන්තා නිලධාරිනියන් සියල්ල වෙනුවෙන්ම වෙන්වන්නේ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරක් පමණි. පිරිමි නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුර වෙන්වූ අනුපාතයට අනුව කාන්තා නිලධාරිනියන්ටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතනතුරු වෙන් වන්නේ නම් සැබෑ ලෙසම කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් වෙන් විය යුත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 18 ක් හෝ ඒ ආසන්න ගණනකි. ඒ වෙනුවෙන් කාන්තා නිලධාරීන් පොලිස් කොමිසම හමුවේ හඩ නැගුවාය. ඊට ජාතිත පොලිස් කොමිසමෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයකි. පොලිස් ඉතිහාසයේ පළමු වරට පොලිස් අධිකාරීවරියන් 08 දෙනෙක් එකවරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයන්ට උසස්වීම් ලබන්නේ ඒ අනුවය.
එම නිලධාරිනියන් අට දෙනා අතර සිටින තිලිනාත්, රේණුකාත්, පද්මිණිත්, ධිමනීත්, දර්ශිකාත්, නිශානිත් පොලිස් සේවයට එක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂිකාවන් ලෙසිනි. ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වන මදාරා සහ ඉමේෂා පොලිස් සේවයට එක්වන්නේ 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදාය. ඔවුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයන්ට උසස් කරන්නේ 2018 වසරේ නොවැම්බර් 03 වෙනිදා සිට ක්‍රියාත්මක වන ආකාරයටය. එහෙත් සෙසු පොලිස් අධිකාරීවරියන් සහකාර පොලිස් අධිකාරීධුරයන්ට උසස්වීම් ලබාඇත්තේ 2008 වසරේ ජනවාර් 01 වෙනිදා බැවින් ඒ අයගේ උසස්වීම ක්‍රියාත්මක වන්නේ 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිටය. ඒ අනුව මදාරාට සහ ඉමේෂාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින්නේ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් හය දෙනාය.
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම දැන් සිටින්නේ තිලිණා ජයවර්ධනය. ඇය පොලිස් සේවයට එක්වන්නේම රාජ්‍ය බුද්ධි සේවයෙ වෙනුවෙනි. ඇගේ සැමියා පොලිස් නිලධාරියෙකි. මෙම කණ්ඩායමේ වැඩිමහල්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිණිය වන්නේ ධිමතී පෙරියප්පෙරුම මහත්මියයි. ඇයද විවහාවී සිටින්නේ පොලිස් නිලධාරියෙක් සමගිනි. ඔහු දැන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ධිමතී පොලිස් සේවයට එක්වන්නේ 1984 වසරේදී උප සේවා උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසිනි. ඇය නිත්‍ය සේවයට අන්තර්ග්‍රහනය වන්නේ 1992 වසරේදීය. ඇය සාමාන්‍ය පොලිස් කාන්තාවගේ චරිතයට එහා ගිය තැනැත්තියකි. ප්‍රභු ආරක්ෂක පාඨමාලා පවා හදාරා ඇති ඇය මෙරට සංචාරයන් සදහා රාජ්‍ය නායකයින් පැමිණෙන විට ඒ අයගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව පවා භාරව සිටියාය. එසේම ඇය ලෝකයේ හොදම පොලිස් නිලධාරිනිය ලෙසද ජාත්‍යන්තර කාන්තා පොලිස් සංගමයේ ගෞරවයට පවා ලක්වූවාය. නිශානි සෙනෙවිරත්නවද පොලිස් සේවයට බදවා ගැනෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය වෙනුවෙන්මය. ඒ 1988 වර්ෂයේදීය. ඇය විවහා වී සිටින්නේද පොලිසියේ ඉහළ නිලධාරියෙක් සමගිනි.
මේ අය හැරුණුකොට සෙසු නිලධාරීනියන් පොලිස් සේවයට එක්වන්නේ 1997 වර්ෂයේදීය. නීත්‍ය සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් ඝාජු බදවා ගැනීම් කෙරෙන්නේ එම වර්ෂයේදීය. බදවාගෙන ඇති කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් ගණන 175 දෙනෙකි. ඒ අය අතරින් ඉහළටම ගොස් සිටින්නේ බිම්සාරිත්, රේණුකාත්, පද්මිණිත්, දර්ශිකාත්ය.
ඒ අය අතර සිටින රේණුකා ජයසුන්දර මහත්මිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂිකකාව ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් සේවයේ නිරතව සිටියාය. ඇයද විවහා වී සිටින්නේ පොලිස් නිලධාරියෙක් සමගිනි. මේ කණ්ඩායමේ සිටින පද්මිණි වීරසූරිය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේද සේවයේ නිරතව සිටි තැනැත්තියකි. ඇය සේවයේ නිරතව සිට ඇත්තේ හයිටි සහ ටිමෝර් රාජ්‍යන්වලය. ඇය විවහා වී සිටින්නේ හමුදා නිළධාරියෙක් සමගිනි. දර්ශිකා කුමාරිද පොලිස් සේවයේ වැඩ පෙන්නූ චරිතයකි. යුද සමයේදී ත්‍රස්තවාදීන්ට එරෙහි සටන්වලටද මුහුණ දී ඇති අය විවහා වී සිටින්නේ ව්‍යාපාරිකයෙක් සමගිනි. බිම්සාරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති තැනැත්තියකි.

දැනට පොලිස් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 09 දෙනා අතර සිටින බාලයන් වන්නේ මදාරා ආරියසේන සහ ඉමේෂා මුතුමාලි යන මහත්මීන්ය. සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා ඔවුන් පොලීසියට එක්වන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පිරිමි නිලධාරීන් 14 දෙනෙක් සමග කරට කර වැඩ පෙන්වමිනි. මේ කණ්ඩායමේ තවත් සාමාජිකාවක් සිටියාය. ඇය ලංකා රාජිනීය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස සේවයේ නිරතව සිටින ඇය සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වන්නේ උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදීය. උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස පොලිස් සේවයේ නිරතව සිටියදී උපාධිධාරිනියක් ලෙස සහකාර පොලිස් අධිකාරිණියක් ලෙස නැවත පොලිස් සේවයට එක්වූ පළමු කාන්තා නිලධාරිනිය වන්නේ ඇයය. සෙසු නිලධාරිනියන්ට මෙන් ඇයටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරය හිමිය. වැඩික ල් නොගොස් ඇයටද එම තනතුර හිමිවනු ඇත.

ජාතික පොලිස් කොමිසම සදහන් කරන්නේ කාන්තා නිලධාරිනියන්ට තවත් ඉහළට යාමට අවස්ථාව උදාකර දෙන බවය. තවත් වසර පහළොවකින් ශ්‍රී ලංකා පොලීසියේ ලොකු පුටුව වන පොලිස්පතිධුරය හිමිවීමට ඉහළම සුදුසුකම් ලබන්නේ 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා සහකර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරීන්ටය. ඒ අය අතර පිරිමි නිලධාරීන් 14 දෙනෙක්ද කාන්තා නිලධාරීන් 03 දෙනෙක්ද සිටිති. මේ අතර සිටින බාලයන් වන්නේ මදාරා සහ ඉමේෂාය. ඒ අය ඉපදී ඇත්තේ අසූවෙත් අසූ එකේත්ය. පොලීස් සේවයට එක්ව වසර 10 ක් වැනි කෙටි කාලයක් තුළ මේ දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම්ද ලබා සිටින්නීය. වයස අවුරුදු 60 න් මේ දෙදෙනා විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2040 සහ 2041 යන වර්ෂ වලදීය. ඊට තවත් වසර 19 ක් එහෙම් පිටින්ම ඉතිරිය. කාන්තා නිලධාරිනියන්ට දැන් නියෝජ්‍ය පොලිස්පතිධුරය දක්වා ඉළට යන්නට පාර කැපී හමාරය.බිම්සාරි නියෝජ්‍ය පොලිස්පතිධුරයට පත්කිරීමෙන් පසු තවත් නිලධාරිනියන් කිහිප දෙනෙකුටම නියෝජ්‍ය පොලිස්පතිධුර ලබා ගැනීමට ඒ තුළින් පාර කැපෙනු ඇත. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරය පවා දැරීමට කාන්තා නිලධාරීන්ට දොරගුළු විවර වනු ඇත. එහි අවසානය ඒ එක් නිලධාරිනියකට පොලිස්පති පුටුවේ අසුන් ගැනීමට ඉඩකල හිමිවීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment