විශේෂාංග

Share now!

පැතුම් වික්‍රමරත්න

විදෙස් සංචාරකයින් ලක්‍ෂ 30 මෙම 2019 වසර තුල මෙරටට ගෙන්වා ගැනීම ශ්‍රී ලංකා සංචාරණයේ නවතම ඉලක්කය හා අපේක්‍ෂාව බවට පත්ව ඇත. කෙසේ වෙතත් මෙවැනි නව ඉලක්ක හා අපේක්ෂා ගැන සිහින මවන විට , අතහැරුණු හා මගහැරුණු ඉලක්ක ගැනද අප අවධානය යොමු කල යුතුමය.

2016 වසර අවසාන වනවිට විදෙස් සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වාගැනීමත් , ආසියාවේ සංචාරක කේන්ද්‍රයක් බවට ලංකාව පත්කිරීමත් මෙරට සංචාරක බලධාරීන්ගේ ප්‍රධානතම අපේක්ෂාව හා ඉලක්කයක් බවට පත්වුයේ පසුගිය  2011 වසරේ සිටය. එනම් දැනට වසර අටකට  පමණ පෙර සිටය .නමුත් පසුගිය 2018 වසරේදීද එම ඉලක්කය  ජයගන්නට අපට නොහැකිවිය. පසුගිය වසරේදීද මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූයේ සංචාරකයින් ලක්ෂ 23 කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

කෙසේ වෙතත් පසුගිය 2018  වසර මෙරටතුල දේශපාලනික හා ආර්ථික වශයෙන්ද අර්බුද කිහිපයක්ම මතුවූ වසරක් විය, එම අර්බුද මෙරට සංචාරක ක්ෂේත්‍රයටද අහිතකර බලපෑමක් එල්ල කළේය . ඒ අනුව බලන කල මෙම වසර තුල ලක්ෂ 30ක  විදෙස්  සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සම්පූර්ණයෙන්ම අභව්‍ය හිතලුවක් ලෙස හෝ මිරිඟුවක් ලෙස ඉවත දැමීය යුතු නැත.

නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරමින් කාර්යක්‍ෂමව හා සැලසුම්සහගතව කටයුතු කළහොත් ,තවමත් එම ඉලක්කයට ළඟාවීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුය .

විශේෂයෙන්ම  සංචාරක සත්කාරක සේවා අංශය ගුණාත්මක හා තත්ත්වයෙන් ඉහළම තලයක පවත්වා ගැනීමට මෙරට බලධාරීන් ඇප කැප වුවහොත් එම ඉලක්ක යථාර්තයන් බවට පරිවර්තනය වනු ඇත.නමුත් මේ වනවිට මෙරට සංචාරක ක්ෂේත්‍රය තුල පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ මෙසේ පැමිණෙන විදෙස්  සංචාරකයින් සඳහා මෙරට සංචාරක යටි තල පහසුකම් ප්‍රමාණවත්ද යන්නය.

යටිතල පහසුකම්

මේ  වන විට මෙරටට විදෙස්  සංචාරකයන්ගේ පැමිණීම මිලියන දෙක ඉක්මවා ගොස් ඇත. ශ්‍රීලං කා සංචරනයේම සංඛ්‍යාලේඛන වලට අනුව 2019  වසර වන විට අවම වශයෙන් ශ්‍රී ලංකාව තුල සංචාරක හෝටල් කාමර 60000කට ආසන්න සංඛ්‍යාවක් පැවතිය යුතුය.නමුත් තවමත් මෙරට තුල ඇත්තේ සංචාරක හෝටල් කාමර 30000කට 40000 කට  ආසන්න සංඛ්‍යාවක් පමණි.එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සම්භන්ධ ගැටලුවේ බරපතල කම පෙන්වන එක් උදාහරණයක් පමණි.

මීට අමතරව මාර්ග පද්ධති ,ප්‍රවාහන පහසුකම්, සනීපාරක්‍ෂක පහසුකම්  ආදිය සම්බන්දවද බරපතල ගැටළු හා අඩුපාඩු රැසක් තවමත් ඉතිරිව ඇත.මිලියන දෙකකට අධික සංචාරකයන් සංඛ්‍යාවක් රට තුළට ඇදී එන විට ඔවුන්ට අවශ්‍ය සංචාරක සත්කාරක සේවා ද පුළුල්කර ලීමට සංචාරක බලධාරීන් කටයුතු යෙදිය යුතුය .

ලෝකයේ උසස්ම තත්ත්වයේ හෝටල් ශ්‍රී ලංකාවේ ද විවෘත කළ යුතුයි. හෝටල් කාමර සංඛ්‍යාවෙන් ඉහළ නංවා ගැනීම මෙන්ම පවතින හෝටල්වල සේවා සහ තත්ත්වය ගුණාත්මකව  ලොව ඉහළ පෙළේ හෝටල්වල මට්ටමට ගෙන ආ යුතුය.මෙම භාරදුර්ය කර්තව්‍යයන් සාර්ථකව නිම කරලීම සඳහා නව රජයේ සංචාරක අමාත්‍යංශය , ශ්‍රී ලංකා සංචරණය සංචාරක ක්‍ෂේත්‍රයට සම්භන්ධ කර්මාන්තකරුවන් , ව්‍යාපාරිකයින්  ඇතුළු පෙම ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන් හා කොටස්කරුවන් එක් කරගනිමින් ,   දිගු කාලීන ක්‍රමවත් එක් වැඩපිළිවෙළක් ආරම්භ කල යුතුය.

දේශීය සංචාරකයා

එසේම මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ බලධාරීන් දේශීය සංචාරකයා පිලිබඳ යොමුකර ඇති අවධානයද  කිසිසේත්ම ප්‍රමාණවත් නැත  .පසුගිය කාලය පුරාවටම  එම අඩුපාඩුව සංචාරක බලධාරීන් ඇති සිදුවිණ  . ඉදිරියේදී එම තත්ත්වය නිවැරදි කිරීමට බලධාරීන් නිසි පියවර ගත යුතුමය.සංචාරක ව්‍යාපාරයෙහි අභිවෘද්ධිය සඳහා විදේශීය සංචාරකයන් කෙරෙහි දක්වන සැලකිල්ල මෙන්ම දේශීය සංචාරකයන් සඳහා වන සේවා පුළුල් කිරීම පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය .

විදේශීය සංචාරකයන් සඳහා පහසුකම් සහිත කාමර සංඛ්‍යාව වර්ධණය කරන්නා සේම දේශීය සංචාරකයන්ගේ සුව පහසුව සඳහා සංචාරක නිවාස, අතරමඟ නවාතැන් පොළ සහ විවේකාංගණ වැඩි වශයෙන් ඉදිකළ යුතුය. සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මුදලකට පහසුකම් සහිත තත්ත්වයෙන් උසස් හෝටල් කාමර වැඩි වශයෙන්  ඉදිකිරීමට ඉදිරියේදී නව සංචාරක බලධාරීන් කටයුතු කල යුතුය. සංචාරක කර්මාන්තය හා පොදු ජනතාව
රටක සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය හා එරට සාමාන්‍ය පොදු ජනතාව අතර සමීප සබඳතාවක් පැවතීම අත්‍යාවශ්‍ය කරුණකි .එවැනි සබඳතාවයකින් තොරව රටක සංචාරක කර්මාන්තය දියුණු කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. 

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් සංචාරක ක්ෂේත්‍රයේ බලධාරීන් මෙරට පොදු ජනතාව සමග අත්වැල් බැඳ ගෙන ඔවුන් සමග එක්ව ගමනක් යා යුතුය. සංචාරක කර්මාන්තය දියුණු මට්ටමකට පැමිණි සැම රටකම පොදු ජනතාව එම කර්මාන්තය සමග ඉතා සමීප සබඳතාවක් ගොඩනගාගෙන තිබෙන අයුරු  ,ලෝක තත්වයන් විමසා බලන ඕනෑම අයෙකුට පැහැදිලිව නිරීක්ෂණය කල හැක්කකි.

මේ සමීප බව ගොඩ නගීමටනම් සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත , සමාජයේ පහල ස්ථර වෙත , ගලා යාමට සැලැස්විය යුතුය. ඒ වෙනුවෙන් සංචාරක බලධාරීන්  සැමවිටම සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ දැනුවත් කරලිය යුතුය.සංචාරක ව්‍යාපෘතියක් දියත්කිරීමේදී  එමගින් පොදු ජනතාවට හිරිහැර සිදුනොවිය යුතුය. එසේම එම ව්‍යාපෘතිය හරහා පොදුජනතාවට  සැමවිටම ප්‍රතිලාභයක් අත්විය යුතුය. එවිට ජනතාව අනායාසයෙන්ම සංචාරක කර්මාන්තය  සමග සමීපවනු ඇත.

මහජනතාව සමග ගැටෙමින් , ගැටළු ඇතිකරගනිමින් මෙම ක්ෂේත්‍රය දියුණු කල නොහැකි බව බලධාරීන් සැමවිටම සිහියේ තබා ගත යුතුය, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට පැමිණෙන සමාගම්ද මේ සම්භන්ධව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත යුතුය. එහිදී එම  ආයෝජනයන්  හරහා අදාළ ප්‍රදේශවාසීන්ට සෙත සැලසිය යුතු බව එම සමාගම් වලින් නිතරම ඉල්ලා සිටීමට සංචාරක බලධාරීන් අමතක නොකලයුතුය .හෝටල් ව්‍යාපෘතියක් ඉදිකරන විට එම හෝටලය අයත්  පළාතේ ජනතාවට ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ලැබිය යුතුය. ප්‍රදේශයේ ගොවීන්ට ධීවරයින්ට හෝ ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථා උදා විය යුතුය. ඒම  පළාතේ පාසල් රෝහල් වැනි පොදු ස්ථානවල සංවර්ධනය සඳහා ආයෝජකයන්ගේ සහාය ලැබිය යුතුය.

හෝටලයක් සඳහා ඉඩම් පරිශ්‍රයක් බදු දෙන්නේ වසර තිහක් හෝ පනහක් වැනි දීර්ඝ කාලයකට. ඒ සා දීර්ඝ කාලයකට ඉඩමක් බදු ගන්නා විට එම හෝටලය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජන දිවියට බාධා එල්ල වෙනවානම්, ඔවුන්ගේ රැකියා වාසස්ථාන අහිමි වෙනවා නම් හෝ  සංස්කෘතියට බලපෑමක් එල්ල වෙනවා නම් එම හෝටලයෙන් රටට ලැබෙන්නේ අවාසියක් මිස වාසියක් නොවන බව අවධාරණය කල යුතුව ඇත.

නිදසුනක් ලෙස කල්පිටියේ හෝටල් ඉදිකිරීම සඳහා බදු ක්‍රමයට ලබාදෙන  දූපත් ලබාදේ.එම හෝටල් ඉදිවීමේදී  දූපත්වාසීන්ගේ ධීවර රැකියා අහිමි වෙනවා නම් ඔවුන්ගේ නිවාස අහිමි වෙනවා නම් ඒ සංවර්ධනයෙන් පලක් නැත.

දූපත්වලට විදුලි බලය නැති නම් හෝටලයට සූර්ය බලයෙන් හෝ විදුලිය ලබාගෙන පොදු ජනතාවටත් යම් පමණකින් හෝ එය බෙදාදීමට ආයෝජකයින් උනන්දු කලයුතුය.පානීය ජලය සපයා ගන්නා විට ගමේ ජනතාව ගැනත් සැලකිලිමත් විය යුතුයි. ජල විදුලිය ලබාදීම ගමේ පාසල රෝහල දියුණු කරදීම මෙන්ම ගමේ ජනතාවගේ නිෂ්පාදන මිලට ගැනීම වැනි කටයුතු මඟින් ඒ ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳවත් ආයෝජකයන් සැලකිලිමත් විය යුතුය. මෙහිදී ආයෝජකයින් ඒ පිළිබඳව දැනුවත් කිරීම හා උනන්දු කරවීම හා පෙළඹවීම සංචාරක බලධාරීන් සතු වගකීමකි.

නිර්මාණාත්මක නව ක්‍රියාමාර්ග

සංචාරක කර්මාන්තය සඳහා අද ලොව පුරාම විශාල තරඟකාරීත්වයක් පවතී  . මෙම තරඟයෙන් ජය ගැනීමට නම් සම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් ඔබ්බට යමින් , නිර්මාණාත්මක නව ක්‍රියාමාර්ගයන් වෙත නැඹුරුවිය යුතුමය  ., සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොනු වී ඇත්තේ වෙරළ තීරය වටාය. නමුත් එයින් ඔබ්බට යමින් නව තේමාවන් යටතේ එය ප්‍රවර්ධනය කිරීමට සංචාරක බලධාරීන් සැලසුම් කලයුතුය.

පරිසර හිතකාමී සංචරණය සඳහා ලංකාව තරම් සුදුසු වෙනත් රටක් ලොව කොතැනකවත් නැති තරම්ය .එනිසා එයද තවදුරටත් රට තුල ප්‍රවර්ධනය කර ලීමට  පියවර යෙදිය යුතුය .සුව සංචරණය යනුවෙන් හඳුන්වන්නේ හුදෙක් රෝග සඳහා වෙදකම් කිරීම ම නොවේ . සුවපත් දිවියකට වඩාත් උපකාරී වන ක්‍රමවේද භාවිත කිරීම මේ තුලින් ඉස්මතුකෙරේ.

නිදසුනක් ලෙස යුරෝපා රටවල වසරේ අඩකට වැඩි කලක් අධික ශීතලෙන් පීඩා විඳින ජනතාවට ලංකාවේ සම ශීතෝෂ්ණ දේශගුණයට මනා සුව සංචාරයක අත්දැකීමක් ලබා දේ.

දේශීය වෛද්‍ය ක්‍රම සම්බාහන, ක්‍රම ආදිය පමණක් නොව අපේ රටේ ආහාර පාන පවා ඔවුන්ගේ සෞඛ්‍ය වර්ධනයට හේතු වේ. සංචාරක හෝටල් හා නිකේතන ආශ්‍රිත සුව සේවා මධ්‍යස්ථාන ප්‍රවර්ධනය හා ඒ පිළිබඳ පුළුල් ලෙස ප්‍රචාරය කිරීම මඟින් සුව සේවා සංචාරක අංශය ප්‍රවර්ධනය කිරීමට සංචාරක බලධාරීන් කටයුතු කල යුතුය.

ක්‍රීඩාව හා විශේෂ සංස්කෘතිකාංග සංචාරක ‍ක්ෂේත්‍රයෙහි සංවර්ධනය උදෙසා වැඩි වශයෙන් යොදා ගැනීමටද  බලධාරීන් නිර්මාණාත්මකව කටයුතු කල යුතුය . අන්තර් ජාතික ක්‍රීඩා තරග හා ක්‍රිකට් තරගාවලි සංවිධානය කිරීමෙන් විශාල ලෙස සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමමටද විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුය.දළදා පෙරහර, කතරගම ඇතුළු වෙනත් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත උත්සව විදෙස් රටවල ප්‍රචාරය කර එමඟින් සංචාරකයන් වැඩිපුර ආකර්ෂණය කර ගැනීමටද  පුළුල් හා නිර්මාණාත්මක වැඩ පිළිවෙළක්සැලසුම් කළයුතුව ඇත.

ශ්‍රී ලංකාව  සංචාරක ආකර්ශනයන්ගෙන් සපිරුණු අති සුන්දර දිවයිනකි .මෙතෙක්  නිසි ලෙස හඳුනානොගත් , ප්‍රවර්ධනය නොකළ සංචාරක ආකර්ෂණයන්  විශාල ප්‍රමාණයක්ද අප  රට තුල තවමත් සැඟව පවතී .. එම සැඟවුණු සංචාරක ආකර්ෂණයන්ද  ප්‍රවර්ධනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කොට ඒවාටද නිසි ප්‍රචාරණයක් ලබා දුනහොත් ලොව පුරා සංචාරකයින් තව තවත් , වැඩි වැඩියෙන් මෙරටට ගෙන්වාගැනීම සඳහා අලුතින් කැසිනෝ කලාප අවශ්‍ය නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment